මනුසත් උයන නොකෙලසනු

cmadurawala
3 Min Read

සත්‍ය, ධර්ම, ක්‍ෂාන්ති, ප්‍රේම, අහිංසා කොතැනකද?

බුදුරජාණන් වහන්සේ; මහණෙනි, යම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬුවක් මහමුහුදෙහි දමයි. ඒ වියදඬුව පෙරදිගින් හමන සුළඟ අවර දිගට ගෙන යයි. අවර දිගින් හමන සුළඟ පෙර දිගට ගෙන යයි. එහි කණකැස්බෙක් අවුරුදු සීයක් ගිය කල එක වරක් හිස ඔසවයි. මහණෙනි ඒ කිමෙක්ද?, ඒ කණකැස්බාගේ හිස වියදඬු සිදට (සිදුරට) ඇතුළු වන්නේදැ?යි අසා වදාළ සේක. සංඝයා වහන්සේ, “ස්වාමිනි දීර්ඝ කාලයක් ඉක්මැ යෑමෙන් යම් දවසෙක ඇතුළු වේ නම් කෙසේ දැනේදැ?යි” කීහ. “මහණෙනි, ඒ කණකැස්බා අවුරුදු සිය ගණනින් ඔසවන හිස ප්‍රබල වාතයෙන් උඩට නැගුණු රළ ඇති මුහුදු පිට ඇවිදිනා වියදඬු සිදට ඇතුළුවනු සුලබය. මිනිස් පියෙන් හෙවත් මිනිසත් බවින් මිදී එක් වරක් අපායට ගිය බාලයකු මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම දුර්ලභ යයි වදාළ සේක.

හේ යම් කලෙක්හි වියදඬු සිදට එකතු වන කණකැස්බා හිස සෙයින් තමන්ගේ යම්කිසි පිනකින් මිනිසත් බවක් ලබන්නේ වී නම් පිහිටක් නැති පහත් පවුලෙක ලෙඩකුව දුර්වර්ණ රූප ඇත්තකුව සා පවස් දෙකින් පෙළෙන්නකුව ජීවිකාව සනහා සතුන් මැරීම ආදී අකුසල කර්ම කොට නැවතත් අපායෙහිම උපදී.

නරකයෙහිද තිරිසන් යොන් හි ද ප්‍රේත විෂයෙහි ද පින්කම් කරන්නට නොහැකියි. අපායෙහි නිතරම දුක් ඇති බැවින් ද දෙව් ලොවැ පස්කම් සුව බහුල බැවින් ද පුණ්‍යකර්මයට අවකාශ සුලබ නොවේ! මිනිස් ලොව වනාහි බොහෝ සෙයින් සුව පහසුකම් ද සත්පුරුෂ සේවනාදි ප්‍රත්‍ය සම්වාසය ඇති බැවින් ද පුණ්‍යකර්මයට භූමිය වේ. මෙහි දුක් ඇති වූ කල නුවණැතියෝ ඒ දුකින් මිදෙන්නට තෙරුවන් පිහිට සොයා යති. එබැවින් දුක්ඛූපනිසා සද්ධා යයි වදාළ ලෙස දුක ද ශ්‍රද්ධාව ඇති කැරැ ගැනීමට බලවත් හේතුවක් වේ.

මේ ලෝකයෙහි ඇතැම් මනුෂ්‍යයෝ උපතින්ම විවිධ ආබාධ සහිතව උපදිති. ගුණ නුවණින් ද තොරව අහේතුක ප්‍රතිසන්ධිකව උපදිති. ඇතැමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධිකව උපදිති. ටික දෙනෙක් පමණක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකව උපදිති. අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන්ගේ දෙසුමක බුද්ධ වචනය එලෙස ප්‍රතිඅර්ථ නිරූපණ කළ සැටි මතක් වෙයි.

කය නම් අසාරය
බව නම් බයංකාරය
අසනුව දිවා රැය
කියම් බුදුගුණ අලංකාරය

යනුවෙන් වීදාගම මෛත්‍රය හිමියෝ බුදුගුණාලංකාරයේ සඳහන් කළහ. පවට ලැජ්ජා භය නැති මිනිසුන් ගහණ සමාජයක ද අප මේ ජීවත් වන්නේ යැයි නොසිතෙන්නේද? තමන්ටත්, අනුන්ටත්, ජන සමාජයටත් වින කටින පිරිහෙළන තැනකට අධම පහත් තැනකට ද අප මේ පත්වී ඇත්තේ? මිනිස්කමට නිගා දෙන මනුදම් සිරිත දුසිරිතකට පත්කරන කල බුදු දහමින් යළි පණ පිහිටුවා ජීවිතය බුදු මගෙහි ආයති සංවරයෙහි පිහිටුවා ගත හැකිය. වලාකුළෙන් වැසුණු සඳ නැවත ඉන් මිදී බබළන්නාක් මෙනි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *