පූජ්‍ය බලපිටියේ නන්දරතන හිමිපාණෝ

cmadurawala
4 Min Read

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බලපිටියේ නන්දරතන හිමිපාණෝ කතා බහේ දී කා අතරත් උන්වහන්සේ හැඳින්වූයේ “නන්ද” හාමුදුරුවෝ යන නාමයෙනි. එසේ වූ උන්වහන්සේ බලපිටියේ නන්දරතන නාමයට හිමිව, ආශ්‍රිත නිශ්‍රිත සියල්ලන්ම “නඳන” කර වූ භික්‍ෂු රත්නයකි. උන්වහන්සේ ඇසුරු කළ සැමට වචනාර්ථයෙන්ම, බෞද්ධ ධර්මර්ථයෙන්ම සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් වූහ. අප ඒ සම්බන්ධයෙන් ද කල්පනා කර බලන විට දැන් මට පෙනී යන්නේ උන්වහන්සේ මගේ අධ්‍යාපන දියුණුවට මෙන්ම ආධ්‍යාත්මික දියුණුවට ද බලපා ඇති බවයි. මට වයස වසර දහයේ දී පමණ සමය මතකයට එයි. අප සහෝදර තිදෙන ආනන්ද විද්‍යාලය ඇරී නිවසට යන්නේ බොරැල්ලේ තිලකරත්නාරාම මහා විහාර භූමිය හරහාය. අපේ නිවස එක්ව පිහිටා තිබුණේ “ඔස්ටින්” පාර ආසන්නයේය. අප එන විටත් අපේ ස්වාමින් වහන්සේ තිලකරත්නාරාමස්ථ සිරි සුමණ විද්‍යාල පිරිවෙණෙහි ශිෂ්‍ය භික්‍ෂූන්ට සහ ගිහි ශිෂ්‍යයන්ට උගන්වමින් සිටිනවා දකිමු.

අපි දිවා ආහාරයෙන් පසුව වහාම දිවයන්නේ පන්සලටයි. එහි ගොස් පිරිවෙණ තුළ කෙරෙන ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය දෙස බලා සිටිමු. විශේෂයෙන් නන්ද හාමුදුරුවන්ගේ ලස්සන අත් අකුරින් මෘදු හඬින් සිසු දරුවන්ට අකුරු කරවන හැටි ළගාන්නා සුළුය. අපි එහිදී සිංහල අකුරු රේඛනය, බැඳි අකුරු, අක්‍ෂර වින්‍යාසය, ගාථා, කවි, දහම් පද, ශ්ලෝක ආදියට නෙත්සිත් සවන් යොමු කර සිටිමු. ඒවා අද මගේ ජීවිතයට බලපා ඇති අයුරු ඡායාරූප පටයක් ලෙසින් සිත්හි මැවෙයි. එමෙන්ම උන්වහන්සේ තුළ තිබූ උපශාන්ත ගුණය, මෘදු කටහඬ, සරල පිවිතුරු පැවැත්ම, පොත පත ඇසුර, වචන, බස හසුරුවන අයුරු, කවි කුසලතාව, නිර්මාණශීලිත්වය, බුද්ධි පාටවය, සාහිත්‍ය විවේචන ශෛලිය ආදී දේ අප අධ්‍යාත්මය තුළ ගැඹුරට කාවැදී ඇති බව දැන් දැන් අපට පසක් වෙයි. ඒ උන්වහන්සේ තුළ වූ ආධ්‍යාත්මික, කාරුණික, මෘදුභාවය නිසා යැයි දැන් සිතේ. උන්වහන්සේට ළංවූ උන්වහන්සේ වෙත පැමිණි සෑමදෙනාටම උන්වහන්සේගේ කල්‍යාණ ධර්ම අනිවාර්යෙන්ම බලපෑම් කර තිබේ. ඒ මුලින් පැමිණි පුද්ගලයා ආපසු ගියේ යමක් ඇතිවය. විශේෂයෙන් ආධ්‍යාත්මික සුගුණ ගුණදම් රාශියක් අතැතිව මානසික සංයමයෙනි.

නන්ද හිමියන් ඉපිද ඇත්තේ ඉගැන්වීමටය. අධ්‍යාපනය ලබාදීමටය. බණ දහම් කියා දීමට පමණක් නොව පිරිවෙන් පාසල් අධ්‍යාපනය දීමටය. එපමණක් ද නොව විෂය බාහිර ක්‍රියාකාරකම් හා අවිධිමත් නොවිධිමත් අධ්‍යාපන කාර්ය සඳහාය. උන්වහන්සේ කුටිය තුළ සයනාසය, එහි ඇති අල්ප වූ පාරිභෝගික භාණ්ඩ දකින විට අපට යම් ඉගැන්වීමක් වෙයි. පොත පත අසුරා ඇති ආකාරය. පෑන පැන්සල ආදී එදිනෙදා අවශ්‍ය සබන් දත් මදිනා බුරුසු තබා ඇති ආකාරය, කුඩා ලස්සන බුද්ධ ප්‍රතිමාවක් තබා සැමදා දැල්වෙන පොල්තෙල් පහන පිරිසිදුව තබා ඇති අයුරු සිත් ගන්නා සුළුය. උන්වහන්සේගේ ප්‍රථම රාජ්‍ය අධ්‍යාපන සේවය ආරම්භ වූයේ අම්පාර සේනාගම විදුහලෙනි. එහි ගිය වහාම එහි දරුවන්ට කියවීමේ පහසුකම් සහිත පුස්තකාලයක් ගොඩනංවා ඊට අවශ්‍ය පොත පත උන්වහන්සේගේ වියදමින් මාස්පතා කොළඹ පැමිණ රැගෙන යන්නේ පියකු දරුවන්ට රස කැවිලි ගෙන යන්නා සේය. ඒ දරුවෝ බොහෝ දෙනා වසර කිහිපයක් තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා අද රාජ්‍ය සේවයේ නොයෙක් තනතුරුවලත්, අධ්‍යාපන සේවයේ ගුරු-අධ්‍යාපන පරිපාලනය වැනි තනතුරු උසුලති. ඒ උන්වහන්සේ විසින් ලබාදුන් පෙළඹවීම නැමැති අධ්‍යාපන සංවර්ධන සංකල්පයේ වර්ධනයෙනි. වයස් භේදයක් නැතිව වැඩිහිටි අයට, නොයෙක් තනතුරු දරණ නිළධාරීන්ට උන්වහන්සේ ගුරු වූහ. වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන වැනි තනතුරු දරන අයත්, තවත් වෙනත් ඕනෑම සේවයක කටයුතු කරන අයත්, කිසියම් ගැටලුවකදී යමක් දැනගන්නට පැමිණෙන්නේ උන්වහන්සේ වෙතය. ඕනෑම ගැඹුරු ගැටලුවක් ඉතා සංයමයෙන් වචන දෙක තුනක භාවිතයෙන් හඳුන්වා නිරාකරණය කිරීම උන්වහන්සේ ඉතා සුළු නිමේෂයකදී කර දේ. පැමිණි තැනැත්තෝ සැහැල්ලු නිවුණු තෘප්තිමත් සිතින් විසිර යති. මා මෙහි සඳහන් කළේ අද සමාජ පද්ධතිය තුළ පවතින ගැටලුවලට මුහුණදෙන අයවලුන්ට මෙබඳු සන්මිත්‍ර උපදේශනයන් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ මෙබඳු කල්‍යාණ මිත්‍ර මහා ථෙරවරුන්ගේ නික්ම යෑම රටට ජාතියට, සමයට ලොකු පාඩුවකි. මෙතෙක් ලියා ඇත්තේ ඉගෙනුම, ඉගැන්වීම පිළිබඳ නන්ද ස්වාමින් වහන්සේගේ ධාරිතාව පිළිබඳව පමණි. තවත් බොහෝ වටිනා කාරණා සමූහයකි. අපි මෙතෙකින් සෑහෙමු.

උන්වහන්සේට නිවන් සුව!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *