අශෝකා අබේවර්ධන
හොඳින් මනා ව වැඩුණු ගසක් සුළඟකින් කඩා වැටුණ ද කවරකු විසින් හෝ කවර ආකාර ආයුධයකින් හෝ කපා දැමුව ද එය වඩාත් නැමී තිබුණු අතට වැටී යෑම නම් සිදු විය හැකි කරුණකි. කිසියම් කෙනෙකු සසරෙහි බොහෝ කල් පුරුදු පුහුණු කළ පුරුදුතාවයන්ට අනුව ඔහුගේ අවසන් සිත සකස් වීම ද සිදු විය හැක්කකි. යම් කිසිවෙකු තම ජීවිතය පුරාවට දානාදී කුසල් සිතපුරුදු පුහුණු කළේ වී නම් ඔහුගේ චිත්ත පරම්පරාව ඊට අනුරූපී ව ම සැකසේ. කුසලය කුසලයට ම උපනිශ්‍රය වේ.
සුමේධා මහ රහත් තෙරණින් වහන්සේ ද බොහෝ බුදු සසුන්හි රැස් කරන ලද කුසල් අධිකාරි ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස් කරමින් පැමිණ මනා කොට විමෝක්‍ෂදායී හේතුඵල දරන්නී කෝණාගමන බුදුන්ගේ කාලයෙහි කුල ගෙයක ඉපිද සමාන අදහස් ඇති තම යෙහෙළි දියණියන් සමග මහා ආරාමයක් කරවා බුදුන් ප්‍රමුඛ ව භික්‍ෂු සංඝයාට පවරා දුන්නා ය. ඕ එම පින්කමෙහි සිත පිහිටුවීමෙන් ඒ දිවියෙන් පසුව තව්තිසාවෙහි උපන්නා ය.
තව්තිසාවෙහි උපරිම දිව්‍ය ආයුෂය විඳ ඉන් චුත ව යාමයෙහි උපන්නා ය. දානය දෙව්ලොව යන ඉණිමඟ බව අසිරිමත් බුද්ධ දේශනාවන්හි සඳහන් වේ. යාමයෙහි ද උපරිම දිව්‍ය ආයුෂ වින්දනය කොට තුසිතයෙහි ද ඉන් සැව නිම්මාණරතියෙහි ද, පරනිම්මිත වසවර්තියෙහි ද පහළ ව මනරම් වූ දිව්‍ය සැප වින්දනය කළා ය.
ඒ සියලු කල්හි ඒ ඒ දෙව්ලොව බලසම්පන්න දෙවිවරුනට අගමෙහෙසිය වී එයින් චුත ව ගොස් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක වී වැඩි විය පැමිණි කල්හි සසුනෙහි පැහැද තෙරුවන් විෂයෙහි බොහෝ පිංකම් කළා ය. ජීවිතාවසානය දක්වා ම ධර්මානුකූල ව ජීවත් වී කුසල් දහම්හි නිරත ව දුගති ලොවක් නො දක්නී සුගතියෙහි පමණක් ඉපිද යළි තව්තිසාවෙහි උපත ලද්දී ය.
පිනෙන් සපිරි ඕතොමෝ අපගේ ගෞතම නම් වූ බුද්ධෝත්පාදයෙහි මන්තාවතී නුවර කොඤ්ච නම් රජුගේ දියණිය ව උපන්නී සුමේධා නම් වූවා ය. වැඩි විය පැමිණි කල්හි මාපියෝ ඈ වාරණවතිය නගරයෙහි අණිකදත්ත නම් රජුට පාවා දීමට සාකච්ජා කළ හ.
එහෙත් ඇය කම්සුව කෙරෙහි නො ඇලුණු සිත් ඇත්තී ය, කුඩා කල සිට ම සම වයසැති රජ කුමරියන් හා දැස්සන් සමග භික්‍ෂුණී ආරාමවලට ගොස් බණ අසා කරන ලද බොහෝ කුසල් අධිකාරී ඇති බැවින් හටගත් සංවේගය ඇත්තී සසුනෙහි බෙහෙවින් පැහැද සිටියා ය.
කාමයෙහි නො ඇලුණු සිත් ඇති ඕතොමෝ මාපිය සම්මුතිය අසා ඇය ගිහිගෙය පලක් නැතැයි ම කියා සිටියා ය. මාපියන් ඈ ගිහිගෙයට ඇල්ම ඇති කිරීමට බලවත් ව උත්සාහ ගත් නුමුදු එය ව්‍යර්ථ විය. ඒ පිංබර සිතෙහි කාමභෝගී ගිහි ජීවිතය කෙරෙහි අංශු මාත්‍ර ඇලීමක් ඇති නො වේ. පැවිදි බව ලබාගැනීමට ඇති ඒකායන මඟ නම් දැඩි පිළිවෙතක් අනුගමනය කීරීම බව තේරුම් ගත් ප්‍රඥාසම්පන්න සුමේධා කඩුව ගෙන තමා ම තම නිල්වන් දිගු කෙස්වැටිය කපා දමා, සිඳ ලූ එම කෙස් වැටිය කෙරෙහි ම පිළිකුල් මනස වඩා අසුභ නිමිති උපදවා එහි දී ම ප්‍රථම ධ්‍යානයට පැමිණියා ය. පෙර කළ අධිකාරී ඇති බැවිනුත් භික්‍ෂුණින් ඇසුරෙහි මනසිකාරය වඩන අයුරු අසා තිබුණ බැවිනුත් ධ්‍යානයට සමවැදීම එකෙණෙහි ම සිදු විය.
ප්‍රථම ධ්‍යානයට සමවැදීමෙන් පසුව වුව ද මාපියන් ඈ ගිහිගෙයි රඳවා තබා ගැනීමට උත්සහ දැරූ හ. එහෙත් දැඩි වීරිය සම්පත් ඇති සුමේධා කුමරිය මාපියන් ද පරිවාර ජනයා ඇතුළු සම්පූර්ණ රජ පවුල පමණක් නො ව ඇගේ විවාහාපේක්‍ෂිත අණිකදත්ත කුමරු ද සත්පුරුෂ භූමියෙහි පිහිටුවා සැමගේ ම අවසරයෙන් මාළිගයෙන් නික්ම භික්‍ෂූණී ආරාමයට ගොස් පැවිදි වූවා ය. විදසුන් වඩා නුවණ මුහුකුරා ගොස් විමුක්තිකාමී ධර්මයන්ගේ බලවත්කමෙන් නොබෝ කලකින් ම සිව්පිළිසිඹියා සහිත රහත් භාවයට පැමිණියා ය.
බුද්ධෝත්පාද සමයන්හි සැදැහැ සිතින් රැස් කරන ලද මහ පිනෙකින් මිස අනෙක් කරුණකින් සංසාර විමුක්තිය කෙරෙහි සිත් පහදවා ගත හැකි ද? සුමේධා මහ රහත් තෙරණින් වහන්සේ ද පෙර බුද්ධ ශාසන නම් සරුකෙතෙහි වපුළ පිං බීජයන්හි මහා අස්වනු නෙළා ගත්තේ එලෙස ය.
ථේරි ගාථා අපදානයෙහි ඇගේ පිංබර සංසාර ගමන මැනැවින් විස්තර වේ. කෝණාගමන බුදුන්ගේ කාලයෙහි කල්‍යාණ මිත්‍ර යෙහෙළියන් තිදෙනෙකු සමග බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි මහා ආරාමයක් කරවා පූජා කළ පුණ්‍ය සම්භාරයක් ඇත්තී සියක් වර දහස් වර නො ව සියක් දහස් වර දෙව්ලොව ඉපිද දෙවියන් අතර ද මහත් සෘද්ධි බල ඇති ව විසී ය. මිනිස් ලොව උපදනා කල්හි ද සක්විති රජුන් හට ස්ත්‍රී රත්නයක් ව ඉපිද සිය පිං මහිමය විදහා පෑවා ය. දුක් කම්කටොලු නම් මෙලොව ඇති දෙයක් යැ යි ඇය නො දැන සිටියා ය.
කොතෙක් සැප සම්පත් ඇති ව විසුව ද පෙර පුහුණු කරන ලද මනසක් ඇති බැවින් කාම සම්පත්හි ඇති අස්ථිර බව ඇය දැන සිටියා ය. ඒ ඇය කර්මණ්‍ය වූ ඇගේ සිත පුරුදු පුහුණු කළ ආකාරයයි.
ඉසුරුමත් රජ දියණියක වූ කුමරිය සිල්වත් විසිතුරු කථා ඇත්තී මවුපියන් වෙත පැමිණ සසර ගමනෙහි ඇති දුෂ්කරතාවය ද ආදීනවයන් ද දුක් දොම්නස් බහුල බව ද ආස්වාද රහිත බව ද පහදා, පැවිදි බව සඳහා අවසර පැතුවා ය. සිය මාපියන් ඇතු`ඵ පිරිස සත්පුරුෂ භූමියෙහි පිහිටුවා හැම දෙනාට ම සංසාරයෙහි ඇති දුක් සහිත බවත් කාමයන්හි ඇති අස්ථිර බවත් මැනැවින් පැහැදිලි කොට දුන්නා ය.
“බුදුන් දෙසූ ආර්ය සත්‍යයන් නො දන්නා වූ මෝඩයෝ භවයට ම කැමැති වෙති. මෑණියනි, භවයට අයත් වූ දෙවියන් අතර ඉපදීම පවා තාවකාලික ය. නැවත නැවත ඉපදීම කෙරෙහි මෝඩයෝ බිය නො වෙති. තාවකාලික සැපය පවා බැහැර වූ විනිපාත සංඛ්‍යාත නරකයෙහි උපදින අයට කවර නම් දහමක් වැටහේ ද? එහෙත් ක්‍ෂණ සම්පත් ඇති ව මිනිස් ලොව උපන් අප මේ අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කළ යුතු නො වේ ද?
කටුක වූ සර්ප හිසක් බඳු කාමය නම් දුගතියට ම යන මාවත වේ. භවයෙහි ඉපදීම් කෙරෙහි සතුටු වීමෙන් ඇති ඵලය කුමක් ද? භව තෘෂ්ණාව නැති කිරීම පිණිස මගේ ඉල්ලීම අනුමත කරන්න. ඔබ දෙදෙනා මට සසර ගමන නිමා කිරීම උදෙසා පැවිදි වීමට අවසර දෙන්න. ජාති ජරා මරණ දුක් නැති කිරීමට උත්සාහ කරමි.
මගේ බඹසර දිවි ඇති තෙක් රකිමි. බඹසර කිළිටි කර නො ගනිමි. තවදුරටත් ගිහියකු වී ආහාර නො ගන්නෙමි. පැවිදි බව හෝ මරණය යන දෙකෙන් එකක් තෝරා ගනිමි” යි ස්ථිර ව ම පවසා සිටියා ය. පැවිදි බව හෝ මරණය යන දෙකෙන් එකක් තෝරා ගනිමි යි යන කරුණ රට්ඨපාල රහතන් වහන්සේගේ චරිතාපාදානය සිහි ගන්වයි.
දුකට පත් මාපියෝ කඳුළු සලමින් දියණිය සැනසීමට උත්සාහ කරති. “ශෝක කිරීමෙන් ඵලක් නැත. ඔබ වාරණවතියෙහි අනිකදත්ත රජුට විවාහ සඳහා දුන්නෙමු. ඒ රජු රූප සම්පන්න ය. ඔබ ඔහුගේ අග මෙහෙසිය වන්නී ය. පුත, නුඹට රාජ්‍යයෙහි ආඥාව පැතිරවිය හැකි ය. ධනයට අධිපති විය හැකි ය. භව භෝග සම්පතින් යුතු සුව පහසුව ලද හැකි ය.
දරුව සිල් රැකීම, පැවිද්ද, බඹසර හැසිරීම බෙහෙවින් දුෂ්කර ය. ඔබ භද්‍ර යෞවන වියෙහි සිටින්නී ගිහි සැපතට පහදින්න. දියණියනි, ඔබ වාරණවතියෙහි අණිකදත්ත රජුට මෙහෙසිය වන්න” යි කියමින් ඇගේ සිතෙහි ගිහි බවට ඇලීම ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
“මෑණියනි, මේ භවගත සියල්ල අසාර ය. පණුවන් ගැවසීගත් සිරුර අපිරිසිදු ය. නවදොරින් අසුචි වැගිරෙනසුලු ය. මස් ලේවලින් සැදුණ පිළිකුල් උපදවන පණුවන්ට නිවෙසක් වූ රෝගයනට ආකරයක් වූ සිවලුන් සුනඛයන්ට ව්‍යාඝ්‍රයන්ට ආහාරයක් වූ මේ කය ගැන දන්නා වූ මම තවත් කෙනකුගේ එබඳු ම වූ පිළිකුල හා බිය උපදවන කයකට කෙසේ නම් ඇලුම් කරන්න ද?
මේ අසාර වූ කුණපයෙහි මෝඩයෝ ම බැසගත්තාහු වෙති. මේ සිරුර පිටතින් ගෙන බැලුව ද දුගඳ ඉවසිය හැකි නො වේ. වැදූ මව පවා ඒ දුගඳ නො ඉවසයි, පිළිකුල් කරයි.
මියගිය පසු නෑදෑයන් විසින් පිළිකුල් කරනු ලබන මේ සිරුර නොබෝ කලකින් ම සොහොනට ගෙන යනු ලැබේ. උපත මුල් කොටගත් මේ ජීවිතය දුක් සහගත ය. නුවණින් මෙනෙහි නො කරමින් විවාහ කර දීමට කවර හෙයකින් කැමති වෙම් ද?
දිනපතා අලුත් අලුත් ආයුධ සියයක් පතිත වෙද්දී සසර දුකෙහි කෙළවරක් වේ නම් සියක් වසරක් හෝ එබඳු ආයුධ පහරින් සිදු වන මරණය සංසාර ගමනට වඩා සැපෙකි.
බුදුන්ගේ දහම දැන දැනත් ඒ මඟ නො යන්නන්ට සසර බොහෝ දිගු ය. අපායෙහි ලැබෙන පීඩා බොහෝ ය. එසේ ම දෙව් ලෝවල ද නිවනට වඩා උතුම් සැපයෙක් නැත. ඉදින් පියාණෙනි, මැණියනි, මට පැවිද්ද සඳහා අවසර දෙන්නැ” යි කාමය වමාරා දැමූ සුමේධාව ඊට අවසර පැතුවා ය.
සණෙකින් යහන් ගැබට වැද සිය මෘදු කෙස් වැටිය කඩුව ගෙන කපා ඒ කෙරෙහි ම පිළිකුල උපදවා අනිත්‍ය සංඥාව වැඩුවා ය. සැණෙකින් ප්‍රථම ධ්‍යානයට සම වැදුණා ය.
එකල්හි අණිකදත්ත රජු ද සර්වාභරණයෙන් සැරසී මාළිගයට පැමිණ කුමරියට විවාහය සඳහා ආයාචනා කළේ ය. “ඔබට වාරණවතිය රාජ්‍යයෙහි අණසක පැතිරවිය හැකි ය. ධනයට අධිපති විය හැකි ය. සම්පත් ලැබ සුව සේ විසිය හැකි ය. තවමත් යොවුන් වියේ පසු වන ඔබ සිත්සේ දුර්ලභ වූ කම්සුව විඳින්න. මාගේ රාජ්‍යය ඔබට පවරා දෙමි. සැප ම අනුභව කරමින් දන් දෙන්න. සොම්නස් වන්න. ඔබගේ මාපියෝ ද දුක් වෙති. ඔවුන් ද සනසන්න.”
එහෙත් කාමය වුවමනා නො වූ, දුරු කළ මෝහය ඇති සුමේධා, රජුට කරුණු පහදා දුන්නා ය. “රජතුමනි, කාම විෂයෙහි සතුටු නො වන්න. ආදීනව විමසන්න. සිව් දිවයින ම දිනුවා වූ මහා මන්ධාතු රජ තෙම කාම භෝගීන්ගේ ශ්‍රේෂ්ඨතමයා වුවත් ඔහු ඉන් තෘප්තියට නො පැමිණ කලුරිය කළේ ය. ඔහුගේ නොතිත් ආශාවන් ද ඉටු නො විණ. එපමණක් නො ව කටුක වූ සසර ද නිම නො විණ.
හාත්පස දස දෙස පුරවමින් සත් රුවන් වැසි වැස්ස ලද නමුත් කාමභෝගී මිනිස්සු සෑහීමකට පත් නො වෙත්. අතෘප්තිමත් සිතෙන් ම මරණයට පත් වෙත්.
කාමය අනිත්‍ය ය. අස්තිර ය. දුක් සහිත ය. හිස ගිනිගෙන දැවෙන කල්හි කාමයක් කුමට ද? ජරා මරණ මා ලුහුබඳිනා විට එය නැසීම පිණිස වෑයම් කළ යුතු ය.”
මාපියෝ සහ යොවුන් අණිකදත්ත රජු ද කුමරියක උදෙසා හඬමින් සිටිති. ඒ දුටු සුමේධා “ප්‍රිය විප්‍රයෝගය හමුවේ හඬන්නවුන්ට සසර දිගු ය. ඒ කදු`ඵ සිව් මහ සයුරටත් වැඩි ය. එක කල්පයක දී එකතු කළ ඇට සමූහය වේපුල්ල පව්වටත් වඩා විශාල ය. ඒ ඒ ජාතීන්හි නැවත නැවත වැඩෙන සොහොන සිහි කරන්න. අමාමහ නිවන පවත්නා කල්හි පංචකාම රසයන් කුමකට ද? කාමයන් ගෙන් දැවෙන්නේ කුමකට ද?
කාමය ඇති කල සතුරන් ද එමට ය. අතින් ගත්තා වූ ඇවිලුණු තණහුල බිම නො දැමුවොත් අත පිළිස්සෙනවා නිසැක ම ය. අමා මහ නිවන සොයා යන්න. සසර කෙටි කර ගන්න.
කාමය නිසා දුක ම ඉපදෙයි. කාමයෙන් තොර නිවන ශෝක රහිත ය. කිළිටි රහිත ය. බිය රහිත ය.
නුවණින් මෙනෙහි කරන්නවුන්ට අමා මහ නිවන අද ද ලබා ගත හැකි ය. වැයම් නො කරන්නවුන්ට එය අපහසු ය.” එසේ පවසමින් සුමේධා කපාගත් දිගු කෙස් වැටිය අණිදත්ත රජ පාමුල හෙළුවා ය. එකෙණෙහි කඳුළු පිස නැඟිටගත් රජු ඇදිලි බැඳගෙන විමෝක්‍ෂය දක්නා වූ සුමේධා පැවිදි වීම සදහා නිදහස් කරන්නැ යි පිය රජු ගෙන් ඉල්ලා සිටියේ ය. සැබැවින් ම අණිකදත්තයන් ද සත්පුරුෂයකු බව නො කිව මනා ය. ඔහු කුමරියගේ බසෙහි පැහැදී එය පිළිගෙන තම රජ්‍ය බලය ද කාමඋන්මාදය ද යටපත් කොට ගත්තේ ය.
ඒ රාජ කන්‍යාවට සසර විමුක්තිය උදෙසා අවසර ලැබිනී. එතුමිය මෙහෙණවර ගොස් ශෝක රහිත ව අශ්චර්්‍ය වු අද්භූත ජනක පැවිදි බව ලබා සංසාර ගමන සුවසේ නිමා කොට ගත්තා ය. ඒ පමණක් නො ව සියලු රාජකීයයන් ම නිවන් මඟ යොමු කොට ගත්තා ය.
තම යහපත් අධිෂ්ඨානය මස්තකප්‍රාත්ත වන තුරු ම නො සිඳෙන වීරියෙන් යුතු ව වෙර වැඩු උත්තමාවියට අපගේ අත්තුංග නමස්කාරය වේ වාෟ අප අපට ද ඉතා ඉක්මන් භවයක ධි ම ඒ අමා නිවන් සුවය ම අවබෝධ වේ වා!