ගුණපාල කාරියවසම්
මිනිසුන් වන අප එකිනෙකා හමු වූ විට මීට පෙර දැක තිබුණත් නැතත් සිනාසී කථා කිරීම යහපත් ගතිගුණයකි. එහෙත් සමහරු එසේ නො කරති. පොදු වාහනයක දී පොදු ස්ථානයක දී නාඳුනන දෙදෙනකු හමු වූ විට විනාඩි ගණනක් එකිනෙකා මුහුණ බලා සිටිනවා මිස වචනයකුදු කථා නො කරති.
එකිනෙකා අතර කථාබහ කිරීමෙන් අලුත් මිතුරෙකු තම ජීවිතයට එක් වන අතර දැනුම හා අවබෝධය ද වර්ධනය වේ. අලුතෙන් යමෙකු හමුවීමේ දී මුලින් ම සිනාසීම හා කථා කිරීම අප බුදුන් වහන්සේගේ සිරිතක් වී තිබුණි. ඒ නිසා ම උන්වහන්සේට ‘පුබ්බහාසී’ හා ‘පුබ්බභාසී’ යන ගුණ පද දෙකක් පටබැඳී තිබුණි. එකිනෙකා අතර කථා බහ කිරීම තුළින් නො දන්නා කාරණා දැන ගැනීමටත්, දන්නා දේ තවත් තහවුරු කර ගැනීමටත් හැකි වේ. එහෙත් සෑම කෙනෙකු සමග ම සෑම දෙයක් පිළිබඳව ම කථා කිරීම නිශ්ඵල වැඩක් බවත්, ඒ නිසා යම් යම් කාරණා පිළිබඳව කථා නො කළ යුතු පුද්ගලයන් පස් දෙනෙකු සිටින බවත්, ඒ අය සමග එම කාරණා සාකච්ඡා කිරීම තුළින් මතභේද හටගන්නා බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ‘දුක්කථා සූත්‍රය’ තුළින් මෙම කාරණා හෙළිදරව් වන අතර අංගුත්තර නිකායේ ‘පඤ්චක නිපාතයේ’ මේ සූත්‍රය අඩංගු වී තිබේ.
මුලින් ම අපි ඒ කාරණා පහ කවරේදැයි විමසා බලමු.
- ශ්‍රද්ධාව නැති අය සමග ශ්‍රද්ධාව ගැන කථා නො කළ යුතු ය.
- දුසිල්වත් අය සමග සිල්වත්කම් පිළිබඳව කතා නො කළ යුතු ය.
- නුවණ මඳ අය සමග උගත්කම ගැන කථා නො කළ යුතු ය.
- මසුරු අය සමග දානය ගැන කථා නො කළ යුතු ය.
- ප්‍රඥාව නැති අය සමග ප්‍රඥාව ගැන කථා නො කළ යුතු ය.
ඉහත කාරණා පහ පිළිබඳව ගැඹුරින් නො සිතා මතුපිටින් බැලුව ද සත්‍ය කාරණා බව අපට පැහැදිලි ය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා තුළින් මිනිසුන් වන අපට කරුණු අවබෝධ කර දීමේ දී ඒවායේ කිසිදු අඩුලුහුඬුකමක් සිදු නො වන අයුරින් ත්‍රෛකාලික වටිනාකමක් ඇති අයුරින් දේශනා කර ඇත. ඉහත කාරණා පහ පිළිබඳව තවදුරටත් විමසා බලමු.
ශ්‍රද්ධාව නැති අය සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීම නිශ්ඵල වැඩක්. ඒ නිසා අමනාපකම් ඇති වෙනවා. තිබුණු හොඳ හිත පළුදු වෙනවා. තරහ ඇති කර ගන්නවා. බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය පිළිබඳව සිතෙහි ඇති කරගනු ලබන පැහැදීම ශ්‍රද්ධාවයි. බොදුනුවන් වන අප වැඩි පිරිස බෞද්ධයන් වී ඇත්තේ ත්‍රිවිධ රත්නය පිළිබඳව ඇති කර ගත් ශ්‍රද්ධාවකින් නො ව උපතින්. බොහෝ පිරිස සැදැහැවත් බෞද්ධයන් නො ව උපතින් බෞද්ධයන් යැ යි කීවාට වරදක් නැහැ. ඒ නිසා එවැන්නන් සමග ශ්‍රද්ධාව ගැන කථා නො කර මඟහරින ලෙසත් කථා කිරීමෙන් වාද විවාද මතගැටුම් අමනාපකම් ඇති කර ගන්නා බවත් බුදුන් වහන්සේ දේශනා කර ඇත.
දුසිල්වත් අය සමග සිල්වත්කම පිළිබඳව කථා කිරීමෙන් වැළකීම දෙවෙනි කාරණය ලෙස වදාරා තිබේ එය ද නිශ්ඵල වැඩකි. කාලය නාස්ති කරන වැඩකි. බෞද්ධයා යනු නිති පන්සිල් රැකිය යුතු පිරිසකි. ඊට අමතර ව පොහොයට වත් අටසිල් සමාදන් විය යුතු ය. බෞද්ධයන් යැ යි කියා ගන්නා අප දිනපතා පන්සිල් සමාදන් වන්නේ නැහැ. අඩුම තරමින් නින්දට යන විට දී වත් පන්සිල් සමාදන් වන්නේ කීයෙන් කී දෙනෙක් ද? පන්සිල් සමාදන් වන හා පොහොය අටසිල් සමාදන් වන පිරිසට, පන්සලට යන අයට වගේම භික්‍ෂුන් වහන්සේලා ඇසුරු කරන අයට ගරහන අය, බනින අය දොස් කියන පිරිස කොතරම් ද? කොතරම් නිදහස තිබුණත් ඉඩප්‍රස්ථා තිබුණත් පොහොය දිනයේ දී සිල් සමාදන් වීමට අකැමැති අයත් ඉන්නවා. ව්‍යාපාර කටයුතු කරන බෞද්ධයන් එදාටත් සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරනවා. පන්සලකට ගොස් මලක් පහනක් පූජා කරන්නේ නැහැ. ඔවුන්ට සීලයේ වටිනාකම, සීලයේ ආනිශංස කියා දෙන්න බැහැ. පස්පව් නො කරන ලෙස කීවොත් ඔවුන් තරහ ගන්නවා. කෝප වෙනවා. ඔවුන් නැඹුරු වී සිටින්නේ, පුරුදු වී සිටින්නේ දුස්සීල වැඩවලටයි. සීලයේ වටිනාකම ඔවුන්ට වටහා දෙන්න බැහැ. ඒ නිසයි දුසිල්වත් අය සමග සිල්වත්කම පිළිබඳව එහි ආනිශංස පිළිබඳව, එහි වටිනාකම පිළිබඳව කථා කිරීමෙන් වළකින ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ.
තුන්වෙනි කාරණය ලෙස දක්වා ඇත්තේ නුවණ මඳ (නූගත්) අය සමග උගත්කම පිළිබඳව, එහි වටිනාකම පිළිබඳව කථා නො කරන ලෙසයි. එය නිශ්ඵල වැඩක්. මත ගැටුම් ඇති වන වැඩක් අමනාපකම් ඇති කර ගන්නවා. නූගතාට යමක් තේරුම් ගන්න බැහැ. තේරුම් කරල දෙන්නත් අමාරුයි. සමහර නූගත් අම්මල තාත්තල දරුවන්ට උගන්වන්න උත්සාහ කරන්නේ යහපත් පමාර්ථයෙන් ම නො වෙයි. අනෙක් ළමයින් පාසල් යන නිසා වගේම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන නිසා. සමහර විට එවැනි මාපියන්ට උගත්කමේ වැදගත්කම තේරුම් කර දීමත් හරි ම අමාරුයි. බස් එකේ බෝඩ් එක කියවගන්න ඉගෙන ගත්ත ම ඇති කියල තමයි ඔවුන් හිතන්නේ. එවැනි අය සමග උගත්කමේ අගය කථා කිරීම නිශ්ඵල වැඩක්. තුන්කල් දන්නා බුදුන් වහන්සේ ඒ නිසයි නුවණ මඳ අය සමග උගත්කම ගැන කථා නො කළ යුතු බව දේශනා කර ඇත්තේ.
මසුරු අය සමග පරිත්‍යාගය ගැන දානය ගැන කථා නො කළ යුතු බව බුදුන් වහන්සේ හතර වැනි කාරණය ලෙස දේශනා කර තිබෙනවා. මසුරාට දන් දීමේ අගයත් එහි ආනිශංසයත් මෙලොව දී මෙන්ම පරලොව දීත් එහි හොඳ ප්‍රතිඵල ලැබෙන ආකාරය විස්තර කර දීම හරි ම අමාරුයි. කවර අයුරින් විස්තර කර දුන්නත් ඔහු මසුරුකමින් මිදෙන්න කැමැති නැහැ. තමාගේ ධනය විනාශ කිරීමට දෙන උපදෙස් සේ සලකා ඒවා බැහැර කරනවා. මේ නිසා අමනාපකම් ඇති කර ගන්නවා පමණක් නො වෙයි වෛරක්කාරයෙක් ලෙස හිතනවා. පිංකම් පිළිබඳව කතා කළොත් ඔහු නිතර ම ඒවායේ දොස් දකිනවා. අඩුපාඩු කියනවා. මේ නිසයි මසුරු අය සමග පරිත්‍යාගය ගැන කතා නො කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ.
මෙම දුක්කථා සූත්‍රයේ දී බුදුන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා ප්‍රඥාව නැති ප්‍රඥාවෙන් අඩු දුශ්ප්‍රාඥයන් සමග ප්‍රඥාව ගැන කථා කිරීම කාලය අපතේ යවන නිශ්ඵල ක්‍රියාවක් බව. මෙහි දී ප්‍රඥාව ලෙස ගැනෙනුයේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි. පන්සිල් ගැන වත් අවබෝධයක් නැති අය සමග චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදිය පිළිබඳව කථා කිරීම කාලය අපතේ යවන නිශ්ඵල ක්‍රියාවක් බවයි බුද්ධ දේශනාව. තෙරුවන් ගැන හරි අවබෝධයක් ඔහුට නැහැ. දැන ගන්න කැමතිත් නැහැ. එවැනි අය සමග කථා කිරීම තුළින් අමනාපකම් ඇති වෙනවා. තරහ ඇති කර ගන්නවා. ඉන්පසු බද්ධ වෛර බවට පරිවර්තනය වෙනවා.
ඉහත ගති ලක්‍ෂණ ඇති අය සමග ඒ ඒ මාතෘකා ගැන කථා නො කර සිටීම වැදගත් බව බුදුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අය සමග කථාබහ කිරීම තමන්ටත්, අනුන්ටත්, දෙලොවටත් වැඩක් නැහැ. සමාන අදහස් ඇති අය සමග සමාන මාතෘකා යටතේ කථා බහ කිරීම තුළින් තමන්ටත්, අනුන්ටත් දෙලොවටත් වැඩ සිද්ධ වෙනවා. ශ්‍රද්ධාව ඇති අය සමග ශ්‍රද්ධාව ගැනත්, සිල්වතුන් සමග සිල්වත්කම ගැනත්, නුවණ ඇති අය සමග උගත්කම ගැනත්, මසුරු නැති අය සමග දානය හා පරිත්‍යාගය ගැනත්, ප්‍රඥාව ඇති අය සමග ප්‍රඥාව ගැනත් කථා කළ යුතුයි. එය හරි ම පහසුයි. දෙපාර්ශ්වය ම හොඳින් ඇහුම්කන් දී සිටිනවා. කථාව ප්‍රියජනකයි. කාලය ගෙවී ගිය බව වත් දැනෙන්නේ නැහැ. යහපතට ම හේතු වෙනවා. දෙලොවට ම වැඩ සිද්ධ වෙනවා. මෛත්‍රිය වැඩෙනවා. තරහව මතු නො වී වාද විවාදවලින් තොර ව මතභේද ඇති නො වී අමනාපකම් ඇති නො වී මෛත්‍රී සහගත සිතුවිලිවලින් යුක්ත ව කථාව අවසන් වෙනවා. අප සැමගේ ජීවිතවලට මේ සූත්‍ර දේශනාව ඉතා වැදගත්. සැමට තෙරුවන් සරණයි!