ගුණතිලක මැටියගනේ
පුද්ගලයෙක් උප්පත්තියෙන් ම පැවිද්දෙක් වෙලා මේ ලෝකෙ එළිය දකින්නෙ නැහැ නෙ. එය වසර දහයක් දොළහක් කෙලිදෙලෙන් ගත කළා ම ඔහු විසින් පෙර භවයන්හි පූර්ණය කැරගන්නා ලද පින් කුසල්වල කර්ම බලයෙන් දහමත් එක්ක තුබූ පයුරුපාසානයේ අනුභාවයෙන් ‘මහණ වීම’ සඳහා මඟපෙන්වනවා. අපේ සංඝ පීතෘ ඉතිහාසය පුරා සසුන’ඹර එකලු කළ ගුණවෘද්ධ, තපෝවෘද්ධ, ඥානවෘද්ධ යතිවර උතුමන් රාශියක් එලෙස ළමා වියෙහි දී ම ශාසනයට ඇතුළත් වූ අය. එවැනි නම් ගොත් රාශියක් අදටත් අපි සිහිපත් කරන්නෙ දොහොත් මුදුන් දී.
ඉන් බාහිර ව ආර්ථික අපහසුකම්, පවුල් බර, දිළිඳුකම ආදී ලෞකික දුෂ්කරතා උත්සන්න වීමෙන් ඉන් ගැලවෙන මඟක් ලෙස ‘මහණ කරවන’ අයත් ඉන්නවා.
අරමුණ කවරක් වෙතත් ළමා, තරුණ, වැඩිහිටි කිනම් වයසක දී වුව ගිහිගෙය අතහැර උතුම් පැවිදි භාවයට පත් වීම උත්තරීතර කැප කිරීමක්. අද කාලෙ ව්‍යවහාරයට අනුව නම් ලොකු කට්ටක් කන්න වෙන පට්ට ජීවන ප්‍රතිපදාවක්.
බුදුන් ධරමාන කාලයේ දිනක් දෙව්රම වෙත පැමිණි එක්තරා බමුණෙක් ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේ ගෙන් මෙවැනි පැනයක් විමසනවා.
‘ස්වාමීනි, ඔබ වහන්සේලාගේ බුද්ධ ශාසනයෙහි වඩාත් ම වැදගත් අසිරිමත් ආශ්චර්යය කුමක් ද?‘
ඊට පිළිතුරු ලෙස සාරිපුත්ත හිමියො මෙසේ වදාරනවා. ‘පින්වත් බ්‍රාහ්මණය, අප බුදුන්ගෙ ශාසනයේ උත්තරීතර කැප කිරීම නම් ගිහි පුද්ගලයෙක් පැවිදි භාවයට පත්වීමයි.’
‘හොඳයි, ඒ පැවිදි ජීවිතය තුළත් අති උත්තම ආශ්චර්ය කුමක් ද?’ ඒ දෙවෙනි ප්‍රශ්නය.
‘එනම් බ්‍රහ්ම චරියාව සපුරමින් නිර්වාණ මාර්ගයේ ඉලක්කය දක්වා ගමන් කිරීම’ එයයි බමුණාගේ ඊළඟ පැනයට පිළිතුර වූයේ.
මේ ප්‍රශ්න හා පිළිතුරුවල හරය අපේ බොදු ජන වහරට ඇවිත් බොදු විඥානයට බැසගෙන ඇත්තේ ‘යමෙක් තම පැවිදි දිවිය හරියට සම්පූර්ණ කළොත් එයාගෙ හතර වරිගයක් නිවන් දකිනවා’ කියලයි.
මේ නිසා ම වෙන්නැති පිරිමි පුතුන් හතර පස් දෙනෙක් හිටපු අපේ පැරණි පවුල්වලින් එක් කෙනෙක් ශාසනයට පූජා කරන්න පෙලඹුණේ.
වර්තමානයේ බෞද්ධ අපට ලොකු හිතේ බරක් වෙන්නේ දවසින් දවස සිවුරු හැර යන සංඛ්‍යාව වැඩි වන බව පෙනෙන කොට.
කොණ්ඩේ බූ ගාලා චීචරය පොරවන්නෙ හිතට නො ව ගතට නෙ. තුරුණු වියේ හෝමෝන ක්‍රියාත්මක වන්න පටන්ගෙන යෞවනයෙන් කිතිකැවෙන විට ‘යොබ්බන මදය’ මේච්චල් කරගැනීම පහසු වෙන්නෙ නෑ. සම වයස්වල තරුණයන් ආවාහ විවාහ වෙලා පස්කම් සැප වළඳන විට මේ අයට චීවරය බරක් වෙනවා.
භික්ෂුවක් සිවුරු හැර යෑම බුද්ධ දේශනාවට අනුව ආර්ය ධර්මයේ මරණයක්.
උපාධියක් ලබා ගුරු පත්වීමක් හෙම ලැබී තියේ නම් ‘උපැවිදි වීමට’ කැමති පැත්ත බර වැඩි වෙනවා. ඊට ම තමන්ගෙ තුරුණු සිරුරට මනාප වන විරුද්ධ ලිංගිකයෙකුගෙ ඇසුර කාන්දමක් වෙනවා.
බුද්ධ කාලෙත් මේ සම්භාවිතාව එහෙම මයි. ගෞතම බුදුන් ධරමාන කාලෙ එක්තරා භික්ෂුවක් ආරණ්‍යගත ව පිණ්ඩපාත දානෙන් යැපෙමින් බ්‍රහ්මචරියාවෙ හැසිරුණා. උන් වහන්සෙ පැන් ලබාගන්න නිතර අසල නිවෙසකට වඩිනවා. ඒ ගෙදර රූමත් කාන්තාව දිනක් මේ භික්ෂුවට ගෙදර දානෙකට ආරාධනා කරනවා. කාන්තාව එදා තමන් දන්න ඉස්තරම් සූප වෑංජන ශිල්ප ක්‍රම යොදා ප්‍රණීත දාන වේලක් පිළිගන්වනවා. භික්ෂුවට එක දාන වේලෙන් ම පිණ්ඩපාත දානෙ හත්කලවම් වෙනස වැටහෙනවා. මේ විදියට නා නා ප්‍රකාර රස මසවුලු කිහිප විටක් පිළිගන්වා දිනක් කල්යල් බලා ඇය යෝජනාවක් ගෙන එනවා.
“මේ තරුණ ජීවිතේ ආශ්වාදය විඳගන්න තියෙන එකේ ඔය වනාන්තරේට ම දිය වෙන්න අරිනව ද? ඇයි මේ දුක් විඳින්නෙ? මැසි මදුරු සරුප විමානෙ, අවු වැසි සුළංවලට ගොදුරු වෙ වී, නරක ද මේ ගෙදර ම නතර වෙලා හිට ගොවිතැනක් බතක් කරගෙන දරු මල්ලන් හදාගෙන පස්කම් සැපත විඳගන්න. තරුණ ජීවිතේ විඳගන්න මිසක්ක විඳවන්න නෙමේ නෙ…”
තරුණ භික්ෂුව මෙතෙක් බණ දහම් රැහැනින් මේච්චල් කරගෙන සිටි කාමරාග කුළු හරක් පට්ටියෙ බැමි ලිහා දැමුවා වගෙයි. හුදකලා වූ හැටියෙ ඔහුගෙ තනියට එන්නෙ අර කාන්තාව. දෙසවනේ රැව් දෙන්නෙ ඇගේ යෝජනාව. භික්ෂුවට දැන් පිණ්ඩපාත දානෙ පිරියක් නෑ. ඔහුගෙ පසිඳුරන් ම ඉල්ලා සිටින්නෙ අලුත් ජීවිතයක්.
මේ අතර ආගන්තුක දෙනමක් මේ ආරණ්‍යයට පැමිණෙනවා. උන්නාන්සේලාට මේ භික්ෂුවගෙ ‘සික් ගැහිල්ල’ රහසක් නෙමේ. ඒ ගැන පෙරැත්ත කරන විට තමන් සිවුරු හරින්නට අර අඳින බව භික්ෂුව නො වලහා එළියට දැම්මා. අන්තිමේ මේ සංගෙදිය ගිහින් නැවතුණේ ලොව්තුරා බුදු අමාමෑණියන් ළඟ. උන්වහන්සෙ සියලු පවත් හගිස්වා එළියට ගෙන “මහණෙනි, මේ කාන්තාව මේ භවයේ මතු නො ව පෙර භවයන්හි දීත් කාමරාගයෙන් මුසපත් ව මේ මානවකයාට විපත්තිය උරුම කොට දුන්නා”
“බුදු හිමියනි, ඒ අතීත කතාව ද පැහැදිලි කරදෙන සේක් වා…”
“මහණෙනි, මේ භික්ෂුව එදා තරුණ රාජ කුමාරයෙක්. ඔහු කඩු ශිල්ප දුනු ශිල්ප ප්‍රගුණ කරන්නට බරණැස සිට දිසාපාමොක් ඇදුරුතුමා ළඟට යනවා. පාඨමාලාව අවසන හොඳ ම ශිෂ්‍යයාට හිමි තෑගි බෝගත් එදා සම්මතය වී තිබූ විදියට ඇදුරිඳුගෙ රූමත් දූ සිඟිත්තත් රැගෙන බරණැසට එන ගමනෙ දි මහ වන මැද සොර මුලකට අසු වෙනවා. ඒත් දුනු ශිල්පයේ කෙල පැමිණි කුමරු තම හියවුර හිස් වන තුරු විඳ සොරුන් 50ක් මරා දමනවා. අවසානයට සටනට ආවේ සොර රැළේ නායකයා. කුමරු ඔහුට පහර දී බිම දණ පාගා ‘කුමරිය, මොහුත් ඉවරයක් කර දමන්න ඔය මගේ කඩුව දෙන්න’ යැ යි ඉල්ලා සිටිනවා.
සොර නායකයාත් ආරෝහ පරිණාහයෙන් යුත් කඩවසමෙක්. ක්ෂණියකින් කුමරියට ඔහු කෙරේ රාග සිතක් හටගන්නවා. රජ කුමරු පණපිටින් හිටියොත් ඒ ක්ෂණික ආලයට බාධාවක්. ඈ කඩුව ගෙන කොපුව පැත්ත කුමරුට දිගු කොට කඩු මිට බිම දණ සිටින සොර නායකයා අතට පත් කරනවා. සොරා එක පහරින් ම කුමරු ඝාතනය කොට කුමරියගේ මායම හඳුනා ගන්නවා.
මේ ගැහැනිය ලබ්බට තැබූ අතමයි පුහුලට තබන්නේත්. තම සැමියාට ද්‍රෝහී වූ මැය යම් දවසක මට ද ද්‍රෝහී වීම අහන්න දෙයක් ය. මැගෙන් අත මිදීම ඇඟට ගුණයි… සොරා ‘සුන්දරිය, අපි යමු, මා ඔබට රජ සැප දෙන්නම්. අපි අර ගංගාවෙන් එතෙර වෙමු. ඔබේ ආභරණ හා සියලු සළුපිලි ගලවා පොදියක් කොට මට දෙන්න. මේ මහ වනයේ කාට පෙනෙන්න ද? ඔබේ සැබෑ රූපශ්‍රීය නාරිලතා පුෂ්පයක් වගේ’
දැන් කුමරිය උපන් ඇඳුමින්. සොරා පොදිය ද රැගෙන ගඟෙන් එතෙර ව පලා යනවා. මහ වන මැද මේ සිදුවීම දකින ශක්‍රයා කාම තණ්හාවෙන් තම සැමියාට ද්‍රෝහී වූ මේ කාන්තාවට පාඩමක් උගන්වමි’ යි සිතා තමාගේ උදව්වට පංචශිඛ හා මාතලී යන දෙවි පුතුන් ද කැඳවා ගන්නවා.
දැන් ශක්‍රයා නරියෙක්, පංචශිඛ උකුස්සෙක්, මාතලී මාළුවෙක්. දියේ පිහිනා යන මත්ස්‍යයා දුටු නරියා කටේ තුබූ මස් කුට්ටිය බිම දමා මාළු රස බලන්නට දඟලන අතරේ උකුස්සා මස් කුට්ටිය ඩැහැගෙන ඉගිලෙනවා. දෑතින් ලජ්ජාව වසාගෙන සිටින කුමරිය නරියාගේ මෝඩ ක්‍රියාවට උපහාසයෙන් සිනාසෙනවා.
‘මෝඩ ගැහැනිය, අද මුණගැසුණු සොර නායකයාට කාමරාග තෘෂ්ණාවෙන් බැඳී ඇඳි වතත් අහිමි ව සිටින නුඹ ද මට ඔය සිනාසෙන්නේ?’ නරියා ඇගෙන් විමසනවා.
(මේ කතා පුවත චුල්ල ධනුග්ගහ ජාතකය නමින් ග්‍රන්ථාරූඪ ව පසුව අපේ මහැදුරු සරච්චන්ද්‍රයන් අතින් ‘මනමේ’ නමින් සම්භාව්‍ය වේදිකා නළුවක් බවට ද පත් වනවා. තව ද එය මැ ජපන් කෙටි කතාවකටත් ලියැවී ඒ ඇසුරින් ‘රෂොමොන්’ නම් සම්භාව්‍ය සිනමා චිත්‍රයකටත් නැඟෙනවා.)
මේ අතීත කතාව ගෙනහැර පෑ බුදු රජාණෝ උකටලී භික්ෂුවට වටිනා ගාථා ද්වයකින් අනුශාසනා කරනවා.
‘විතක්ක පමථිතස්ස ජන්තුනෝ
තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ
භීය්‍යෝ තණ්හා පවඩ්ඪති
ඒස ඛෝ දළ්හං කරෝති බන්ධනං’
(කාම විතර්කවලින් මඩනා ලද සිත් ඇති දැඩි රාගී අරමුණු ශුභ වශයෙන් ගන්නා වූ පුද්ගලයාගේ ආසාව බොහෝ සෙයින් වැඩෙයි. එවැන්නා තම භව බන්ධනය තව තවත් දිග්ගස්සා ගනියි.)
(ධම්මපදය: තණ්හා වග්ගය)
අභිධර්මාචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද හිමියන්ගේ දම් දෙසුමක් ඇසුරිනි.