ලාමා ගෝවින්ද
පරිවර්තනය – අනුරාධ මහසිංහ
තිබ්බත සම්ප්‍රදායයේ ‘මන්ත්‍ර’ යන්න සමරූප වන්නේ අප සම්ප්‍රදායයේ ‘පිරිත්’ යන්නට ය. පරිවර්තනයේ නිරවද්‍යතාව පිණිස ‘මන්ත්‍ර’ යන වචනය යොදාගෙන ඇත ද, ඒ කවර තැනක වුව ‘පිරිත්’ යන වචනය යොදාගෙන මේ ලිපිය කියවිය හැකි ය. – පරිවර්තක
ජීවී සත්ත්වයන්ට සේ, සෑම සංඥාවකට ම – සෑම සංකේතයකට ම උස්-පහත් වීම නිසා සෑදෙන ආවර්තයන් තිබේ. මේ සංකේත සිය ශක්තියෙහි උච්චස්ථානයට නැඟගත් පසු, දෛනික ජීවිතයට බැස, එහි විවිධ මංමාවත් ඔස්සේ ගොස් පුරුදු වශයෙන් කෙරෙන දෑ බවට පත් වී, මූල අත්දැකීමට ඇති සම්බන්ධය අහෝසි වී යයි; නැත හොත්, බොහෝ පටු හෝ බොහෝ සාමාන්‍ය හෝ වී, මූලික අර්ථය අහිමි වී යයි. ඉන් පසු අනෙක් සංකේතයක් පැමිණ එහි ඉඩ අත් කරගනී. පැරණි සංකේතය එහි මූලාරම්භකයන් තුළට වැද සැතපෙන්නේ, නිසි කල පැමිණි විට යළි උපත ලබනු පිණිස ය.
මා මෙහි මූලාරම්භකයන් ලෙස සඳහන් කරන්නේ කිසියම් සංවිධානයක් ගැන නො ව, සහජ ඥානයෙන් හෝ සම්ප්‍රදායයෙන් හෝ, තමා කරා එන සංකේතයන්ගේ සියුම් ස්පන්දනයන්ට ප්‍රතිචාර දක්වන්නට තරම් සංවේදීකමක් ඇති පුද්ගලයන් ය. මන්ත්‍ර සංකේත ගත් කල, සම්ප්‍රදායය හෝ පෞද්ගලික රුචිකත්වය විසින් මෙහෙයවනු ලැබ, මේ සංකේත වටා එක් වී තැන්පත් වන මනෝභාවයන් විසින් මෙම සංකේතයන්ගේ බලය ඉහළ නංවන බව සැබෑ වුවත්, මන්ත්‍රයෙහි ලා අතිශය වැදගත් කාර්යයක් ඉටු කරන්නේ ශබ්දයේ සියුම් ස්පන්දනයන් ය.
ජීවිතයෙහි මුණගැසෙන වස්තුන්ගේ ද සංසිද්ධීන්ගේ ද ස්වභාවය හෙළි කරන්නට සමත් හෙයින් නිර්මාණයේත් – නිර්මාණශීලීත්වයේත් යතුර තනන්නා වූ, මෙ කී ශබ්දයේ නැත හොත් කම්පනයේ බලය ගැන පුරාණ ඍෂිවරු දැන සිටිය හ. හිමාල වැටියේ විසූ යෝගීහු ද, ඉරාන භූමියේ ශරතූස්ත්‍ර ධර්මය ඇදහූ පූජකවරු ද, මෙසපොතේමියාවේ ඥානවන්තයෝ ද, ඊජිප්තු පූජකයෝ ද, ග්‍රීක මුනිවරු ද යනාදි වශයෙන්, සම්ප්‍රදායය විසින් සලකුණු ඉතිරි කොට ඇති තන්හි වුසූ නැණවතුන් හැම කෙනෙක් ම වාගේ මේ රහස දැන උන් හ.
පෙරදිග ඥානයේ ආභාසය ලැබ, බටහිර යෝග සම්ප්‍රදායේ මහත් බලපෑමක් කළ ගුරුකුලයක් පිහිටවූ පයිතගරස්, ‘ගෝලීය වස්තූන්ගේ සුසංවාදය’ ගැන කථා කළේ ය. ආකාශවස්තූන්ගේ සිට පරමාණුව දක්වා හැම ද්‍රව්‍යමය දෙයක් ම ස්වකීය චලනයෙන්, කම්පනයෙන් හෝ රිද්මයෙන් ජනනය කරනා ශබ්දය එයින් අදහස් කෙරිණ. මේ ශබ්ද සියල්ල එකතු වී විශ්වීය මහා සුසංවාදය නිමැවෙයි. ඒ ඒ වස්තුව තමන්ට අනන්‍ය වූ ශබ්දයෙන් විශ්වීය සංධ්වනියට දායක වෙයි.
නිර්මාණාත්මක නාදය පිළිබඳ අදහස පුරාණ ග්‍රීසියේ දිව්‍යමය හේතු ශාස්ත්‍රයේ සිට මුල් කිතුසමය වෙත සංක්‍රමණය වූ බැව් සාන්ත ජෝන්ගේ ශුභාරංචියෙහි එන මේ ගුඪ පාඨයෙන් පෙනී යයි: “ආරම්භයේ එහි වූයේ වචනය යි. වචනය වූයේ දෙවියන් සමඟ යි. එමෙන් ම වචනය දෙවියන් විය.”
කිතු සමය අපරදිග විඥානවාදී සම්ප්‍රදායයන් සහ පෙරදිග ආධ්‍යාත්මික සම්ප්‍රදායයන් සමග සම්බන්ධ කිරීමේ හැකියාව තිබුණු මේ විශිෂ්ට ඉගැන්වීම්වල බලපෑම නො බිඳී තිබුණි නම්, කිතු සමිඳුන්ගේ විශ්වීය ධර්ම පණිවුඩය, ආගමික අධිකාරිය සහ පටු මානසිකත්වය යන බොරුවළවලින් ආරක්ෂා කරගත හැකි වන්නට තිබිණ.
කෙසේ වුව නිර්මාණාත්මක නාදය පිළිබඳ දැනුම භාරතයෙහි නො නැසී පැවැතුණේ ය. නොයෙක් යෝග සංස්ථාවන් විසින් නොයෙක් හැඩ ගන්වමින් වර්ධනය කරනු ලැබීමෙන් පසු, එහි අවසන් හැඩය තැනුණේ, බෞද්ධ ගුරුකුලයක් වූ විඥානවාදී (යෝගාචාර) සම්ප්‍රදායය අතිනි. මේ සම්ප්‍රදායයෙහි ග්‍රන්ථ සහ විදර්ශනා යන ධුර දෙක ම තිබ්බතය සිට ජපානය තෙක් මහායාන බුදුසමය ප්‍රචලිත රටවල අදටත් නො නැසී පවතියි.
ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් සිය ‘තිබ්බත චාරිකා’ ග්‍රන්ථයේ අටවැනි පරිච්ඡේදයේ තමාට තිබ්බතයේ දී මුණගැසුණු කෙනකු ගැන මෙසේ සටහන් තබන්නී ය: ඔහු නාදයේ ස්වාමියෙකි. තාලම්පටක් වන් සිය සරල භාණ්ඩයෙන් නේකවිධ නාද සියල්ල උපද්දන්නට ඔහු සමර්ථ විය. එමතු නොව, පයිතගරස් ඇදුරන් සේ, ලොව සියලු සත්ත්වයන් සහ ද්‍රව්‍යයන් තමා සිටින අවස්ථාව අනුව නාදයන් උපදවන බැව් කියා සිටියේ ය. “ඒ මන්ද,” ඔහු පැහැදිලි කළේ ය. “සත්ත්වයකු වේ වා, ද්‍රව්‍යයක් වේ වා – ඒ වනාහි නර්තනයේ යෙදෙන්නා වූත්, එනයින් නාද උපදවන්නා වූත් පරමාණු සම්භාරයක ඒකරාශි වීමකි. නර්තනයේ රිද්මය වෙනස් වන විට ඉන් උපදවන නාදය ද වෙනස් වෙයි… සෑම පරමාණුවක් ම සදාකාලික ව සිය ගීය ගයන්නේ ය. නිර්මාණකාරී නාදයන් ඇත්තේ යම් සේ ද, විනාශකාරී නාදයන් ද ඇත්තේ ය. මේ දෙක ම උපදවන්නට හැකි තැනැත්තෙක් වෙයි ද, ඔහුට නිර්මාණය ද විනාශය ද කරන්නට පුළුවන් වෙයි.”
මෙබඳු ප්‍රකාශ භෞතිකවාදයට තුඩු දෙන ශාස්ත්‍රයන්ගේ බහා තේරුම් කරන්නට ගොස් අර්ථ විකෘත කිරීමෙන් වළකින්නට අප පරෙස්සම් විය යුතු ය. ‘මන්ත්‍ර සජ්ඣායනා කරන විට ඒ අසබඩ ඇති ද්‍රව්‍යයන්ගේ අණු, මන්ත්‍රයේ ශබ්දයෙහි උස්-පහත්වීම්වලට අනුකූල වූ කිසියම් ජ්‍යාමිතික රටාවකට සැකසෙන බැව් පරීක්ෂණාගාර තුළ පෙන්විය හැකි ය,’ වැනි කථා අසන්නට ලැබේ. මන්ත්‍රයකින් වන බලපෑම මෙබඳු යාන්ත්‍රික එකක් නම්, මන්ත්‍රය ග්‍රැමෆෝනයකින් ඇසෙන්නට සැලැස්වූ කල ද එසේ ම සිදු විය යුතු ය. එහෙත් ඇත්ත කරුණ නම්, යන්ත්‍රයක් නො ව, අඥාන මනුෂ්‍යයකු විසින් ස්වර නො වරද්දා මන්ත්‍රාචාර්ය කෙනෙකු අනුකරණය කරමින් කරන සජ්ඣායනයෙන් පවා මන්ත්‍රයෙහි ආනිශංස නො ලැබෙන බවයි. මන්ත්‍රයෙහි ආනිශංස ඇත්තේ නිවැරදි ස්වර පිළිපැදීමෙහි හෝ උච්චාරණයහි ය යන්න, භෞතිකයෙහි එන කම්පන හා තරංග, ආධ්‍යාත්මික තරංග සමග පටලවාගත් ව්‍යාජ-විද්‍යා රසිකයන්ගේ දුර්මතයකි. මන්ත්‍රයෙහි බලය ඇත්තේ නිවැරැදි උච්චාරණයෙහි නම්, තිබ්බතයේ සියලු මන්ත්‍රවල බලය අහෝසි වී බොහෝ කල් ය. මන්ද, ඒවා සජ්ඣායනා කෙරෙන්නේ මූල සංස්කෘත උච්චාරණයෙන් නො ව, තිබ්බත භාෂා රීති අනුව යමිනි. ‘ඕම් මනි පද්මෙ හූම්,’ යන්න තිබ්බතයේ අද වහරන්නේ ‘ඕම් මණි පේමේ හූම්,’ යනුවෙනි.
මෙයින් පෙනී යන්නේ, මන්ත්‍රයෙහි බලයත් ආනිශංසයත් රඳා පවතින්නේ එය සජ්ඣායනා කරන පුද්ගලයාගේ ආකල්ප, ඥානය සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මත බවයි. මන්ත්‍රයෙහි ශබ්දය භෞතික නාදය නො ව (ඒ සමග එන භෞතික නාදයක් ඇති නමුත්) ආධ්‍යාත්මික නාදයකි. එය ඇසිය හැක්කේ කනින් නො ව හදෙනි. එය සජ්ඣායනා කළ හැක්කේ මුවින් නො ව මනසිනි. මන්ත්‍රයෙහි බලයත් ආනිශංසයත් ලැබිය හැකි වන්නේ මන්ත්‍රය සමග බැඳුණු ආධ්‍යාත්මික අත්දැකීමට සමීප, එනම්, ආධ්‍යාත්මික මඟෙහි යම් හෝ පියවරක් තැබූ තැනැත්තාට ය.
රසායනික සූත්‍රයකින් පල ලැබිය හැක්කේ ඒ සංකේත කියවීමට දන්නා, ඒවාට සමීප, ඒවා සමග ගනුදෙනු කළ හැකි තරමට රසායන විද්‍යා ඥානයක් ඇත්තකුට සේ ම, මන්ත්‍රයකින් පල ලැබිය හැක්කේ එහි එන සංකේතයන්ගෙන් කියැවෙන අභ්‍යන්තර අර්ථය ගැන දන්නා, එය ක්‍රියාත්මක විය හැකි ආකාරය ගැන දැනීමක් ඇති, එය තමා තුළ ඇති අභ්‍යන්තර ශක්තීන් සිය ඉරණම යහපත් කරගන්නට මෙහෙයවන අතර අප වටා සිටින අන්‍යයන්ගේ ශාන්තිය උදෙසා ද එය හේතු වන බැව් දන්නා තැනැත්තාට ය.
මන්ත්‍ර යනු ගුරුකම් නො වේ; ප්‍රකට බටහිර විද්වතුන් පවා නැවත නැවත වරදවා කියන හැටියට මන්ත්‍රයෙහි ප්‍රවීණතාව (සිද්ධි) ලැබූවන් යනු මන්ත්‍රකාරයෝ ද නො වෙති (ඇල්බට් ග්‍රන්වෙඩෙල් සිද්ධ යෝගීන් හඳුවන්නේ ‘මන්තරකාරයන්’ යනුවෙනි). මන්ත්‍ර යනු එහි කිසියම් ගුප්ත සූත්‍රයක් නිසා පල දරන්නක් නො ව අත්දකින්නාගේ මනස තුළින් ම පල දරන්නකි. මන්ත්‍රවලට ම කියා අනන්‍ය වූ අමුතු බලයක් නැත. එහි කාර්යය නම් දැනටමත් පවතින ශක්තීන් ඒකරාශී කිරීම ය. කාචයක් තුළ තාප ශක්තිය නැත ද, සූර්ය රශ්මි කදම්බයන් ඒකරාශි කොට ඒවායේ මෘදු උණුසුම තාපදීප්ත ශක්තියක් බවට හරවන්නට එයට හැකි ය. මන්ත්‍රයේ කාර්යය ද මෙබඳු ය.
ලොව කිසිවක හේතුවක් හෝ හේතුන්ගේ අන්තර්-සම්බන්ධයක් නො විමසන, ඵලය පමණක් දකින ම්ලේච්ඡයකුට, මන්ත්‍රය පෙනී යන්නේ ගුරුකමක් හැටියට විය හැකි ය. එබැවින් මන්ත්‍ර සම්ප්‍රදායයේ ඥාන සම්භාරය දෙස ගුරුකම් දෙස බලන අන්දමින් බලන්නන්ගේ තත්ත්වය ද ඊට ලොකු වෙනසක් නැත. එමෙන් ම කිසියම් විද්‍යාර්ථියකු දාර්ශනික අවියෙන් ම මන්ත්‍ර විශ්ලේෂණය කොට ඒවා අර්ථශූන්‍ය පල්හෑලි යැ යි නිගමනය කරන්නේ ද (ලෝරන්ස් වාඩෙල්ගේ ‘තිබ්බත බුදුසමය ද ලාමාසමය ද?’ කෘතිය) මන්ත්‍රයෙහි අරුත දකිනු පිණිස අවශ්‍ය වන ව්‍යාකරණ ඥානය හෝ තර්ක ඥානය හෝ නැතිකම නිසා ය.