රාණි සේනාරත්න රාජපක්ෂ
ස්වාමීනි, හේ සැපසේ නිදයි. ලෝකයේ යම් කෙනෙක් සැප සේ නිදයි නම් ඔහු ඉන් කෙනෙකි.
කුමාරය, රාගයෙන් යම් පරිදාහයකින් ඔහු නොදැවේද?
ස්වාමීනි, හේ රාගයෙන් දැවෙන්නේමය.
කුමාරය, ඒ ගෘහපතියා රාග පරිදාහයෙන් හාත්පසින්ම දැවෙයි. ඒ රාගය තථාගතයන්ට නැත. එය මුල්උපුටා හැර ඇත… ද්වේෂයක් ඔහුට තිබුණි නම්… තථාගතයන්ට නැත… එහෙයින් මම සුව සේ සැතපෙමි (අං.නි. 1 දේවදූත වර්ගය)
තවත් වරෙක එක් මධ්‍යම රාත්‍රියක කකුධ නම් දෙවියා ඇසූ ප්‍රශ්න සහ සර්වඥයන් වහන්සේගේ පිළිතුරු මෙපරිදි විය:
ශ්‍රමණයන් වහන්ස, සතුටු වෙත්ද?
ඇවැත්නි, කුමක් ලැබගෙනද?
එසේ නම් ශෝක කරත්ද?
කුමක් දිරා ගොස්ද?
එසේ නම් සතුටු නොවී, ශෝක ද නැතිව සිටිත්ද?
එසේය.
කිමෙක්ද? ඔබවහන්සේ නිදුක්ද? ඇල්මක් නැද්ද? අරතිය හුදෙකලාව සිටින ඔබ වහන්සේ නොමඬීද?
යක්ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මක් ද නැත. අරතිය හුදෙකලාව සිටින මා නොමඬී.
ශ්‍රමණයන් වහන්ස, කෙසේ නම් නිදුක්ද? ඇල්මක් කෙසේ නොවේද? අරතිය කෙසේ නම් ඔබවහන්සේ නොමඬීද?
හටගත් දුක් ඇත්තාට ඒකාන්තයෙන් ඇල්ම වේ. හටගත් ඇල්ම ඇත්තාට ඒකාන්තයෙන් දුක වේ. මහණ තෙමේ ඇලුම් නැත, දුක් නැතැයි දැනගන්න. (සං. නි. 1 - කකුධ සූත්‍රය) මෙහි සර්වඥයන් වහන්සේගේ සරල සැහැල්ලු බව හා අලේපේච්ඡතාව මනාව නිරූපිතය.
තව අවස්ථාවක උන්වහන්සේ පුද්ගල වර්ග සතරක් ගැන භික්ෂුන්ට දේශනා කළහ. ශ්‍රමණ අචල, ශ්‍රමණ පුණ්ඩරීක, ශ්‍රමණ පද්ම හා ශ්‍රමණ සුකුමාල යනුයි. තමන් වහන්සේ අයත් වන්නේ ශ්‍රමණ සුකුමාල ගණයට බව වදාරා එය විස්තර කළහ.
“මම (කවුරුන් හෝ) යාඥා කළ කල්හි සිවුරු බහුල කොට වළඳිමි. යාඥා නොකළ කල්හි වළඳන්නේ අල්පයෙකි… යාඥා නොකළ කල්හි පිණ්ඩපාතය අල්පයකි… යාඥා නොකළ කල්හි සේනාසන අල්පයකි… යාඥා නොකළ කල්හි ගිලන්පස, බෙහෙත් පිරිකර අල්පයකි. ශ්‍රමණයින් හා වසන කල මන වඩන කාය කර්මයෙන් වාක් කර්මයෙන් මනෝ කර්මයෙන් බහුලව පවතිත්. අමනාප සැටියෙන් සිටින්නේ අල්පවය. පිත්ත සමුට්ඨාන… කර්ම විපාකජ වේදනා මට බෙහෙවින් නූපදී. මම අල්ප ආබාධයෙමි. විශුද්ධ චිත්තයෙහි යෙදුණ… ධ්‍යාන සතර කැමැති සේ ලබන්නෙමි… ආස්‍රව ක්ෂයෙන් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලැබ… සමවැද වසමි.” (අං.නි. 2 - සමණමචල පුත්ත සූත්‍රය)
සර්වඥයන් වහන්සේ පාද ආරක්ෂාවට වහන් සඟලක් භාවිත කළ බවක් නොසඳහන්ය. දීර්ඝ චාරිකාවලදී පවා නිරාවරණ දෙපයින් ගමන් කළ බව ගම්‍ය වේ. උන්වහන්සේ උක්කට්ඨා සෙතව්‍යා නගරදෙක අතරේ දීර්ඝ මාර්ගයේ වැඩම කරනවිට ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ද ඒ මාර්ගයේ ගමන් කළේය. ඔහු තමා ඉදිරියෙන් ගිය සර්වඥයන් වහන්සේගේ පාදයෙහි සටහන පොළොවේ දැක්කේය. දහසක් අර ඇති, නේමිය හා නාභි ආදියෙන් පරිපූර්ණ චක්‍ර දැක්කේය. (අං.නි.2 - ද්‍රෝණ සූත්‍රය) සෝණදණ්ඩ බ්‍රාහ්මණ ද මාගන්දිය බ්‍රාහ්මණ යුවළ ද සර්වඥයන් වහන්සේ අතිශ්‍රේෂ්ඨ මහා පුරුෂයකු බව හඳුනාගත්තේ උන්වහන්සේගේ නිරාවරණ ශ්‍රී පාද පතුල් සටහන් මහ මඟ තිබෙනු දැක ඒවා පරීක්ෂා කිරීමෙනි. (දී.නි. 1 - සෝණදණ්ඩ සූත්‍රය; ම.නි. 2 - මාගන්දිය සූත්‍රය)
නාහං භික්ඛවෙ, ලොකෙන විවාදාමි. ලොකො ච ඛො භික්ඛවෙ, මයා විවදති. න භික්ඛවෙ, ධම්මවාදී කෙනචි ලොකස්මිං විවදති.
… තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති, අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. මයා භික්ඛවෙ, එවං ආචික්ඛියමානෙ දෙසියමානෙ පඤ්ඤාපියමානෙ පට්ඨපියමානෙ විවරියමානෙ විභජියමානෙ උත්තානීකයිරමානෙ න ජානාති න පස්සති. තම්හං භික්ඛවෙ, බාලං පුථුජ්ජනං අන්ධං අචක්ඛුනං අජානන්තං කින්ති කරොමි… (සං.නි. 3 – පුප්ඵ සූත්‍රය)
බුද්ධ කාලයේ ප්‍රධාන තැන ගත්තේ බ්‍රහ්ම ආගමයි. තවත් විවිධ දෘෂ්ටි රාශියක් ද පැවැතුණි. සර්වඥයන් වහන්සේ කිසිවිටෙකත් ඒ ආගම්වල ශාස්තෲන් හෝ ඒ දෘෂ්ටි විවේචනයට නිග්‍රහ කිරීමට නොයෙදුණහ. ඒවායෙහි වූ ප්‍රතිපදා, අදහස් එකල තහවුරු වී භාවිත වූ වචන හා සංකල්ප සුදුසු නම් උපයෝගි කරගත් සේක. නිද: එකල වානප්‍රස්ථ යෝගි බ්‍රාහ්මණයින් පුහුණු කළ සමථ භාවනාව එක්තරා මට්ටමක් දක්වා උන්වහන්සේ නිර්වාණ ප්‍රතිපදාව තුළ සිය ශ්‍රාවකයන්ට අනුදැන වදාළහ. (ඒ බව සූත්‍ර විශාල ගණනකින් පෙනේ.) විදර්ශනා භාවනාව මගින් නිවන් අවබෝධ කළ යුතු බව පෙන්වූ උන්වහන්සේ සමථ භාවනාවේ පිළිගත් ආනාපානසති භාවනාව අනුමත කළහ. කසිණ ආදී අනික් සමථ කර්මස්ථාන අනුමත නොකළහ.
තව නිදසුනකි, එකල ප්‍රාඥයින් ඇදහූ බ්‍රහ්ම ආගමේ ඇතැම් වචන හා සංකල්ප යොදාගැනීම. උන්වහන්සේ වරෙක දෙමවුපියන් ගැන පවසද්දී “භික්ෂුණි, යම් පුත්‍රයකු මවුපියන් ගෙදරදී පුදයි නම් ඒ කුලය බ්‍රහ්ම සහිතය. පූර්වාචාර්යය. පූර්ව දේවතා සහිතය. ආනුනෙය්‍යය සහිතය. භික්ෂුණි මවුපියන්ට බ්‍රහ්ම යැයි නමකි. පූර්වාචාර්ය යැයි නමකි. පූර්වදේව යැයි නමකි. ආහුනෙය්‍ය යැයි තවද නමකි… (අං.නි. 2 – සබ්‍රහ්ම සූත්‍රය) තවද ‘බ්‍රාහ්මණ’ යන පදය බොහෝවිට භික්ෂුන් සහ රහතන් වහන්සේලා සඳහා යෙදූහ. (නිද: ඛු.නි. I – න්‍යග්‍රොධ සූත්‍රය, ස්ථවිර සූත්‍රය, සං.නි. 4 – උපෙඛා සූත්‍රය; ධම්මපදය – බ්‍රාහ්මණ වර්ගය)
ඉහත පරිච්ඡේදයේ දැක්වූ පරිදි ඈත අතීතයේ විසූ අරක නම් තීර්ථංකර ශාස්තෲවරයාගේ උගැන්වීමක් සර්වඥයන් වහන්සේ ඒ ආකාරයෙන්ම භික්ෂුන්ට දේශනා කළහ. සුනෙත්ත සූත්‍රය ද එලෙසින්ම අතීතයේ විසූ ශාස්තෲන් ඇසුරින් දෙසූ ධර්ම දේශනයකි. සුනේත්‍ර, මුගපක්ෂ, අරණෙමි, උද්දාල, හත්ථිපාල, ජෝතිපාල (ඉහත කියන ලද) අරක යන ශාස්තෲවරුන් බ්‍රහ්ම සහභාවය සඳහා ධර්ම දේශනා කළ බැව් සර්වඥයන් වහන්සේ භික්ෂුන්ට පහදා දුන්හ. ඒ සත්ශාස්තෲන්ට ආක්‍රෝශ පරිභව කළවුන් නිරයට ගිය බවත් පැහැදී සරණ ගියවුන් ස්වර්ගයට ගිය බවත් වදාළහ. එලෙසින් භික්ෂුන් ද සබ්‍රහ්මචාරීන් ගරුකළ යුතු වෙතියි උපදෙස් දුන්හ. (අං.නි. 4)
උන්වහන්සේ විරුද්ධවාදීන් හා වාද නොකිරීම ප්‍රතිපත්තිය කොටගත් බව ඍජුව ප්‍රකාශ කළහ. වාද කිරීමට හෝ අන්‍ය ආගම්වලට පහර ගැසීමට කිසිවිටෙකත් නොයෙදුණහ. වරෙක භික්ෂුන්ට කළ ධර්ම දේශනයකදී ඉතා වැදගත් ප්‍රකාශයක් කළහ:
“භික්ෂුණි, මම ලෝකය සමග විවාද නොකරමි. ලෝකයා වනාහි මා සමග වාද කරයි. ධර්මවාදියෙක් ලෝකයේ කිසිවකු හා වාද නොකරයි… භික්ෂුණි, තථාගත තෙමේ යමක් මනාකොට දැනගනීද, මනාකොට අවබෝධ කර මනාකොට දැනගෙන කියයි ද, දේශනා කරයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවරණය කරයි ද, බෙදයි ද, උඩුහුරු කරයි ද, ඒ ලෝක ධර්මය ලොව ඇත. තථාගතයන් මෙසේ කියන කල්හි, දේශනා කරන කල්හි, පනවන කල්හි, පිහිටුවන කල්හි, විවරණ කරන කල්හි, බෙදන කල්හි, උඩුහුරු කරන කල්හි, යමෙක් නොදකී නම්, නොදනී නම්, භික්ෂුණි, ඇස් නැති, නොදන්නා නොදක්නා ඒ බාල පෘථග්ජනයාට මම කුමක් කරම්ද?…
“… ලෝකයේ පණ්ඩිතයන් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි; ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි. ඒ කෙසේ යත්, නිත්‍ය ධෘව ශාස්වත අවිපරිණාම ධර්ම
රූපයත්, වේදානවත් නැතැයි සම්මතය මම ද ඒ නැතැයි කියමි
මතු සම්බන්ධයි