2025 වසර ගෙවී ගියේ ඛේදවාචක රැසක්, විපත්, කරදර, බාධා, ගැටලු, අභියෝග ඉතිරි කොටය. සිරිලක මතු නොව මුළු ලොවම දුක, ශෝකය, බිය මැද අවිනිශ්චිත ජීවිත ගතකරන බව අමුතුවෙන් කිවයුතු නැත. අග මුල පැටලී ගැටමුසු පඹගාලක අපි පැටලී සිටිමු. අන්තෝ ජටා බහි ජටා ගාථාව අපට මේ තතු පැහැදිලි කරයි. හික්මුණු – සීලවන්ත, ප්‍රඥාවන්ත සැදැහැති මිනිස්සු මේ ගැටලු ලිහාගනිති. අන්තවාදී නොවී අපචාර, අපරාධකාරි හැසිරීම් වලින් මිදී අපගාමී නොවී අපට ලැබුණු දුර්ලභ ජීවිතයට මුහුණ දිය යුතුය. පවෙහි නොගැලී පිනෙන් කුසලින් සිහියෙන් සතිමත් බවින් භව ගමන යායුතු බව බෞද්ධයා ඉගෙන ගන්නේ බුදු බණ ඇසීමෙනි, දැනීමෙනි, කියවා අවබෝධ කොට ගැනීමෙනි, බුදු මගෙහි ගමන් කිරීමෙනි.
අපගාමීත්වය යනු සමාජයක පැවැත්ම තදබල ලෙස බිඳ දැමීමකි. සමාජ අපේක්‍ෂා බිඳ දමන, සමාජ අනුමතීන් කඩා ඉහිරවන ඕනෑම හැසිරීමක් අපගාමීවේ. කුමක් හෝ වී තිබෙන බවට මහජනයා තිගැස්සුමට ලක් කරන ස්වභාවයක් අපගාමීත්වයෙහි ගැබ්ව ඇත.
තවදුරටත් පෘථිවියට මේ ආකාරයට පවතින්නට පුළුවන්ද? ගෝලීය වශයෙන් දැඩි උණුසුමක් පැතිර පවතී. එය දිගටම වර්ධනයවීම කාලගුණික, දේශගුණික අසමබර ස්වභාවය වැඩි කිරීමට හේතුවී ඇත. වනාන්තර, ජල මංපෙත්වලට හානිවීම අප විසින් ව්‍යසනයකට මුහුණදීමෙන් අත්විඳින ලදී. දැන්වත් ගුණ නුවණින් අවදි වී පොදු අරමුණු ඉටුකරමින් තමන්ගේ දිවිසැරිය ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
පරපුරෙන් පරපුරට පැන් පිණිස ජනතාව සපැමිණි පොකුණ වටා උණ පඳුරු ද වැටකේ ගාල් ද තිබිණ. පොකුණ සංවර්ධනය කළ යුතු යැයි සිතූ පිරිසක් මෙම ශාක පද්ධතිය ඉවත් කරලමින් පොකුණ වටා නව ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරමින් වට පවුරු ඉදිකළහ. උල්පත් වැසී යෑමෙන් දිය සිඳිණි. අතීතයට අයත් පොකුණක නටබුන් ඉතිරි විය.
සජීවී සංස්කෘතියකට අයත් සංකේතවල නිසග ගුණ ඉවත් කළහොත් එම සංස්කෘතිය ද යටකී දිය සිඳුණ පොකුණම බවට පත්වේ. මේ ඛේදවාචකය නුවණින් වටහාගෙන වැඩකළ යුතුය.
සිදුවූ මහ විපතට මුහුණ දුන් ජනතාව බේරා ගැනීමට රජය, හමුදාව, පොලිසිය, ස්වෙච්ඡා සංවිධාන, පෞද්ගලික ආයතන, පන්සල්, පල්ලි, කෝවිල් විවිධ ආගමික ආයතන, විදේශිකයන් ස්වදේශිකයන්, විප්‍රවාසී ලාංකිකයන් මෙන්ම නොරටුන් ද ඉමහත් පරිත්‍යාග, ආධාර, ශ්‍රමය වපුළ සැටි අපි දුටුවෙමු. එම සියලුම අංශවලට පින් කුසල් වැඩේවා! මියගිය අයට සුගතියම අත්වේවා! විපතට පත්වූවන්ට සෙත ශාන්තිය සුවපත් භාවයම ලැබේවා!
අපි සිතින් කයින් පිබිදී දිවා රෑ වැඩකරමු.

