සෙල්ලම් ගෙයි උපමාව සෙල්ලමක් නෙවි

rashi
By rashi
7 Min Read

ගුණතිලක මැටියගනේ

අපි කොයි කවුරුත් පාහේ පැටි වයසෙ දි සෙල්ලම් ගෙවල් දාපු අයයි කියමුකො. ඒ වගෙම සෙල්ලම් කඩ දාලා වලං කැබිලිතිවලට ගනුදෙනු බේරා ගන්න අය කියලත් හිතමුකො. හැබැයි එවකට අපේ වැඩිහිටි අය ‘අනේ මේ මොන විකාරයක් දැ’ යි කියා ඒ වැඩවලට හිනා වුණා. ඒත් අපි අපේ ළදරු ළමා මානසිකත්වය පෙරට දමමින් ඊට ඇලුණා, පෙම් බැන්දා, එතුළ හැංගිමුත්තන් කෙළියා. කොච්චර ඇලුණා ද කියනවා නම් කෑම පත අරගෙන ඒ ගෙට ගිහිනුයි කෑවෙ, නිදියා ගත්තේ, විවේක ගත්තෙ. හැබැයි අපි ලී කෝටු, පොල් අතු, තල් අතු අටවලා සෙල්ලම් ගෙවල් හදනකොට අපේ වැඩිහිටියො දහ අතේ ලෝන් ගහලා ගල්, වැලි, සිමෙන්ති, උළු, ටයිල්, තීන්ත යොදාගෙන තට්ටු ගෙවල් ගොඩනංවා ගත්තා. ඒවාට බැඳුණා. මේ මගේ බූදලය දේපළ වස්තුව කියලා කොටු කරගන්න රැක ගන්න වටේ තාප්ප බැඳ ගත්තා, CCTV කැමරා සවි කරගත්තා. එහි ආරක්‍ෂාවට ලක්‍ෂ ගණන් වැය කොට බලු තඩියො නඩත්තු කළා.

එහෙම බලනකොට එදා පොඩිහිටියොයි වැඩිහිටියොයි යන දෙගොල්ල ම එක ම බෝට්ටුවේ නේ ද?

මේ සෙල්ලම් ගෙයි උපමාව සම්බුද්ධ දේශනාව තුළ දී අපට මුණගැහෙන්නේ සංයුක්ත නිකායෙ රාධ සංයුක්තයෙ දි සත්ත සූත්‍රය වශයෙන් හදාරන කොට. රාධ සංයුක්තය ලෙසින් සංග්‍රහ වෙන්නෙ බුදුන් ධරමාන කාලයෙහි වැඩ සිටි රාධ නම් එක් සුවිශේෂී භික්‍ෂුවක් වටා. උන් වහන්සේ හුඟක් වයසට ගෙහුන් යන එන මං නැති ව ගියායින් පසු දෙව්රම් විහාරයේ සරණ සොයා පැමිණි අයෙක්.

දිනක් මහා කරුණාවෙන් ලොව බලා වදාරන ධර්ම රාජයන් වහන්සේගේ බුදු ඇසට මේ මහලු බමුණා ඉලක්ක වෙනවා. මහලු වියට පත් වුවත් ඔහුට මේ සංසාර දුක ජය ගන්නට හේතු ඵල විපාක මෝරා ඇවිත් ඇති බව දැක භික්‍ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, යම් දිනක මේ රාධ බමුණා වෙතින් යම් අනුග්‍රහයක් ලද භික්‍ෂුවක් සිටිත් නම් පවසන්නැ” යි විමසනවා.

එවිට නැඟී සිටින්නේ ධර්ම සේනාපති සැරියුත් හිමියන්. “එසේ ය භාග්‍යවතුන් වහන්ස, දිනක් මේ මහලු බමුණා මගේ පාත්‍රයට බත් හැන්දක් පූජා කළා…” යි පවසනවා.

“එසේ නම් මොහු පැවිදි කොට බ්‍රහ්මචරියාවේ යොමු කිරීම ඔබට බාරයි…”

දහමේ ගැඹුරු තැන් ඉතා සියුම් ලෙස විග්‍රහ කොට වටහා ගැනීමේ පටිභාන කුසලතාව මේ රාධ භික්ෂුව වෙත පිහිටා තිබුණා. එයින් ද නො නැවතී මේ රාධ භික්ෂුව එලෙස පටිභාන කුසලතාව සතු භික්ෂුන් අතර අග්‍රස්ථානයෙහි ද පිහිටුවනවා.

එයින් පසුවයි මේ රාධ භික්ෂුව නිතර නිතර පැමිණ බුදුන් ගෙන් විචාරන ලද ධර්ම කරුණු රාධ සංයුක්තය නමින් කෙටුම්පත් වූයේ.

ධර්මරාජයාණන් වහන්සේ යට කී සෙල්ලම් ගෙයි උපමාව තෝරා දෙන්නේත් එලෙස. “ස්වාමීනි, මේ සත්ත්වයා සත්ත්වයා යි කියනවා. ඉතින් කොයි විදියට ද සත්ත්වයෙක් වෙන්නෙ?” යනුවෙන් නැඟූ ධර්මානුකූල පැනයකට පිළිතුරු ලෙස,

“රාධ, සත්ත්වයා යනු යමෙක් රූපයෙහි යම් ඡන්දයක්, යම් රාගයක්, එයින් ලබන වින්දනයක්, එහි ඇලුණු බවක්, එයින් පිනායන බවක් ලබන්නෙක් වේ ද, ඔහුයි සත්ත්වයා කියන්නේ, ඒ විදියට ම වේදනා, සංඥා, සංඛාර, විඥානයෙහි වඩාත් ඇලුණු අයයි. එලෙස ලෝකයට බැඳුණු අය ලෝක සත්ත්වයායි. ඒ පංචස්කන්ධ ලෝකය අවබෝධ කර ගන්ට වෑයම් කරන අය බෝධිසත්ත්වයන්…”

බුදුන් වදාරන්නෙ මේ ස්කන්ධ පංචකය අරටුව ඇති සාරවත් දෙයක් හැටියට හැඟෙන සිතිවිල්ලත්, ඒ චින්තනය ඇතුළෙ ‘මම ඉන්නවා’ යන දෘෂ්ටියත්, එය මගේ වසඟයේ පවත්වාගත යුතු ය යන බැඳීමත් අන්තරායකර බවයි.

“රාධ, පොඩි ළමයින් පිරිසක් ඉන්නවා, ඒ අය තමන්ට තේරෙන විදියට ලී කෝටු කොළ අතු හොයාගෙන සෙල්ලම් ගෙවල් හදනවා. වැඩිහිටියො ඒවාට සදය උපහාසයෙන් සිනාවෙනවා. එහෙම තියෙද්දි වැඩිහිටි අශ්‍රැතවත් පෘතග්ජනයන් තමන්ගෙ සෙල්ලම් ගේ ඇතුළෙ සාද පවත්වනවා, ක්‍රීඩා කරනවා, මොකද ඒ අයගෙ සංසාරාවබෝධය පුළුල් වී නොමැති නිසා. ධනයත් තම දේපළ වස්තුවත් මගේමයි කියා මමායනය කරනවා. මේකත් සෙල්ලම් ගෙයක් ය කියන යථාර්ථය වැටහිලා නොමැති නිසා.

ඒත් දරුවො ලොකු මහත් වෙන කොට, ගෙවල් හදපු ඒ දරුවන්ට ම තේරෙන්ඩ ගන්නවා මේක විහිළුවක් ය කියා. එවිට ධනයක් ලෙස රැකපු ඒ සෙල්ලම් ගෙය ඔවුන් සියතින් ම කඩා බිඳ දමනවා. අවබෝධය ලබන තාක් කල් මේ සත්ත්වයා ස්කන්ධ පංචකය තුළ ‘මම’ කියල කෙනෙකුට රැවටෙනවා. එය ලොකු මුළාවක්, මෙතෙන්ට ම වැටෙන පොහොරක් විදියට දහම තුළ වරදවා තේරුම්ගත් එක්තරා යෙදුමක් ප්‍රකට වෙලා තියෙනවා ‘උත්පාද, ඨිති, භංග’ කියලා. ඨිතියක් ඇත්නම් ක්ෂණයක් හෝ පවතින්න එපැයි. එහෙම දෙයක් බුදුරජාණන්වහන්සේ වදාළ සූත්‍ර තුළ නෑ. සූත්‍ර ව්‍යවහාරය තමයි ‘උප‍්පාදෝ පඤ‍්ඤායති, වයෝ පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති…’ එහෙනම් සියලු ධර්මතා ඒ නියමයට යටත්. හටගත් ක්ෂණයමයි එහි ක්ෂය වී යෑමත් ඇරඹෙන තැන.

මීට ගැළපෙන උපමාවක් නම් පෙරහැරක ගිනිබෝල කරකවන අවස්ථාවක් දෙස බලා සිටීම. ගිනිබෝලකරුවා, අත රැඳි හරස් දණ්ඩ දෙකෙළවරේ ඇත්තේ දැල්වෙන ගිනිබෝල දෙකක් පමණයි. එය අධික වේගයකින් කරකවන විට දී අපට පෙනෙන්නෙ අගමුල සොයාගත නොහෙන ගිනි වළල්ලක්.

විදුලි බුබුළකත් එයමයි සිදු වන්නේ. බල්බයට විදුලිය සම්බන්ධ කළාම එය විනාඩි 30ක් දැල්විණි නම් සැබැවින් ම එය දැල්වී ඇත්තේ විනාඩි 15ක් පමණයි. විදුලි ධාරාවේ අධික වේගය නිසා අපට ඒ අඳුර පෙනෙන්නෙ නැහැ.

අරටුවක් තියෙනවා කියා හිතාගත්තු දේ ඇතුළෙ බැසගන්නේ නම් එයයි සක්කාය දිට්ඨිය. මෙය අශ්‍රැතවත් පෘතග්ජනයෙකු තුළ සතරාකාරයකින් මුල් බැසගත හැකියි. අයෙක් ‘රූපස්කන්ධය, ඇතුළෙ මම ඉන්නවා’ යි සිතනවා, තවෙකෙක් ‘මම ඇතුළෙ රූපස්කන්ධය තියෙනවා’ යි සිතනවා. තව කෙනෙක් ‘මමයි රූපස්කන්ධය යැ’ යි සිතන විට අනෙකා ‘රූපස්කන්ධය කියන්නෙ මටෙයි’ කියා අල්ලා ගන්නවා.

යම් සිතිවිල්ලක් එහි උත්පත්තියේ පටන් මෙනෙහි කරන්නේ නම් (යෝනිසෝ මනසිකාරයෙන්) එය උප්පාද වය ධම්මිනෝ හා උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති යන ධර්මතාව ප්‍රකාර ව ඉපදුණු තැන ම ක්ෂය වී යන සැටි පිරිසිඳ දැකගත හැකියි. එවිට මේ උපාදාන කැරගෙන සිටින ලෝකය ලිහිල් වන්නට ගනියි.

ඉරියාපථ භාවනාවට අනුවත් පුද්ගලයෙක් නැත. ඇත්තේ ඉරියව් පමණයි. උදාහරණයක් ලෙස අප මහවැලි ගංගාව ලෙසින් ව්‍යවහාර කරන්නේ ඒ ජල දහරාවේ කුමන ජල බිඳුවකට ද? සක්කාය දිට්ඨිය සිඳ බිඳ දැමීමත් ඒ උදාහරණය තුළ තියෙනවා. දැන් එතැන සිට තමාගේ ම ප්‍රඥාවෙන් ටික ටික දැකගන්නවා. බුදුන් විසින් අනිත්‍ය යැ යි පෙන්වා දුන් දේ තමන් තුළින් දැක ගැනීම. තුනුරුවන ගැන සැක සංකාවක් නෑ. බුදුන් වදාළ පමණින් ම නෙමේ එය විශ්වාස කරන්නෙ අදහන්නෙ.

මෙතෙක් දැනගත් ධර්මය පළමු වරට දකින තැන තමයි සෝතාපන්න ඵලය. එයින් විචිකිච්ඡාව දුරු වෙනවා. එකට එකට ගැලපී අවුත් සකස් වෙන හැටි දකිනවා. තවදුරටත් මේ ඇතුළෙ යමෙක් ඉන්නවා දැ යි විමසීම පටන් ගැනීමක්. සත්පුරුෂ සංසේවෝ, ධර්ම ශ්‍රවණය, යෝනිසො මනසිකාරය පදනමේ තබාගෙන

‘යං කිඤ්චි සමුදය ධම්මං – සබ්බන්තං නිරෝධ ධම්මන්ති’

සක්කාය දිට්ඨියේ ගිලිහීම නම් එයයි.

විසුරුවව්! සිඳ දමව්! එහි කෙළින ගති දුරුකරව්!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *