ධම්මපදයෙන් මතක බණ

rashi
By rashi
5 Min Read

පූජ්‍ය මහාචාර්ය වංචුක් නේගි හිමියන්ගේ ධම්මපද අර්ථවිවරණය ඇසුරෙනි.

පරිවර්තනය: අයි. කේ. හේමතිලක

නිධීනං ව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදීනං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ

අර්ථය

පොළොවේ සැඟව ඇති වස්තුවක් දක්වන්නෙකු ලෙස, කෙනකු ඔබගේ වරද පෙන්වා දෙයි ද එවන් පඬුවන් ඇසුරු කරන බුද්ධිමතාට යහපතක් ම වේ.

විවරණය

බුද්ධිමතා යනු ප්‍රශංසාවෙන් ප්‍රීතියට පත් නො වන්නාක් මෙන්ම, ගැරහීමෙන් නොසතුටට පත් නො වන සෑම විට ම අනතිමානී ව හා යහපත් ව දිවිගෙවන්නා ය. ඔහු උදාවන විට සහ බසින විට රත් පැහැ ගැන්වෙන හිරුට සමාන ය. අවස්ථා දෙකේ ම එය එසේ පවතී. අනෙක් අතට, සාමාන්‍යයෙන් අප ප්‍රශංසා කරන්නේ අපේ ම මිනිසුන්ට වන අතර, අනෙක් අයට දෝෂාරෝපණය කරන්නට පෙලඹෙන හෙයින් එබඳු මානසිකත්වයකින් යුතු ව අප කිසි කෙනෙකුට ප්‍රශංසා හෝ ගැරහුම් නො කළ යුතු ය. අපට පක්‍ෂග්‍රාහී නො වී ප්‍රශංසා හෝ ගර්හා කළ නොහැකි ය.

අප ප්‍රශංසා කළ යුතු දේ වගා කරගත යුතු අතර ගර්හා කළ යුතු දේ අත්හළ යුතු ය. එය අපට ඵලදායී වේ. අපේ වරදින් අපව ඇද වැටීමට නො දී බේරන නිසා, අප අපේ දොස් දකින්නාට සැලකිල්ලක් දැක්විය යුතු ය. ඇසට ඇස නො පෙනෙන්නාක් මෙන්, කෙනෙකුට තමාගේ වරද දැකිය නොහැකි ය. එසේම කෙනෙකු අපේ වැරැද්ද පෙන්වූ විට, අප එය අත්හළ යුතු ය. සාමාන්‍ය මිනිසා ගැන කිසිවෙකු නො සිතන අතර මිනිසුන් වරද දකින්නේ ශ්‍රේෂ්ඨයන්ගේ ය. ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය එක්තරා විදියේ ප්‍රසිද්ධ ජීවිතයක් බවට පත් වේ. නායකයන්ගේ, උසස් නිලධාරීන්ගේ, ආගමික ඇදුරන්ගේ, ක්‍රීඩාවලට දක්‍ෂයන්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳ ප්‍රවෘත්තිවලට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබාදෙනු ලැබේ. ඒ නිසා අප පරෙස්සම්සහගත විය යුතු ය. ඔබට විනයක් තිබේ නම්, ඔබ බුද්ධිමතුන් ඇසුරු කරයි නම් ඔබගේ සුභ සිද්ධිය ස්ථීර වේ.

ඕවදෙය්‍යනුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ.

අර්ථය

අවවාද කර නිවැරදි මඟ පෙන්වා මිනිසුන් වැරදි මාර්ගය ගැනීමෙන් වළකන තැනැත්තා යහපත් අයට ප්‍රිය වන අතර දුෂ්ට අයට අප්‍රිය වේ.

විවරණය

දුෂ්ට මිනිස්සු කිසිවෙකුට කන් නො දෙති. ඔවුන්ට අවශ්‍ය අන් අය ඔවුන්ට කන් දීම ය. අපට අන් අයට උගැන්වීමට අවශ්‍ය නම්, අපේ අදහස්වලට පටහැනි යමක් කියන අයෙකුට සවන් දීමට අප කැමති විය යුතු ය. එහි ඇති විරෝධාකල්පය නම්, සෑම කෙනෙකු ම සිතනුයේ තමා පමණක් නිවැරදි මෙන්ම සත්‍ය මාර්ගයේ ගමන් කරන්නේ තමා පමණක් බව ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තමන්ගේ ඇතුළත නො බලා අන් අය නිවැරදි කිරීමේ අටියෙන් සෑම විට ම බලනුයේ පිටත පමණි. ඇත්තෙන් ම අද අවශ්‍ය ව ඇත්තේ සත්‍යයට එකඟ ජීවිතයක් ගත කිරීම විනා ඒ පිළිබඳව ගැඹුරු විග්‍රහ කරමින් පොත් ලිවීම නො වේ. සත්‍යයේ මාර්ගයේ යමින් පුද්ගලයෙක් මිනිසුන්ගේ සිත් දිනා ගනී නම් ඔහු ශ්‍රේෂ්ඨ ය. යහපත් ගුණාංග ඇති, නිශ්ශබ්ද ව හා සාමකාමී ව ජීවත් වන පුද්ගලයෙකු අද පවා නො කැළඹුණ ගැඹුරු සාගරය සේ සිටින බව අපට දක්නට ලැබේ. ඊට හාත්පසින් විරුද්ධ ලෙස යහපත් ගුණාංග හෝ හැසිරීම් නැති මහමඟ එහාමෙහා යන අය ගංගාවන් මෙනි. එය හරියට, ලද පළමු අවස්ථාවේ දී ම අපට වියදම් කිරීමට අවශ්‍ය වන ව්‍යාජ කාසියක් මෙනි. මේ ව්‍යාජ මිනිසුන් එහා මෙහා සැරිසරන්නේ තමන් අලෙවි කරගැනීමට ය. එවැනි මිනිසුන් ගෙන් අප පරෙස්සම් විය යුතු ය. අප සැලකිලිමත් ව ඔවුන්ගේ අරමුණු හා හැසිරීම පරීක්‍ෂා කළ යුතු ය. එසේ නො වුව හොත්, අප ඔවුන්ගේ අනුගාමිකයන් වී, අප අපේ වටිනා ජීවිතය අපතේ හරින්නන් බවට පත් වේ.

අපි ඔවුන්ගේ අවවාද හා උපදෙස් තක්සේරු කර බලමු. ආශාව හා ද්වේශය අපේ සිත්වල ඇති කැළැල් ය. අපේ යහපත සඳහා ම අප ඒවා මුලිනුපුටා දැමිය යුතු ය. කවුරු හෝ එසේ නො වේ යැ යි කියයි නම්, ඔහු අප නොමඟ යවන්නේ ය. රවටන්නේ ය. එසේම මිනිසුන් අතර බෙදීම් ඇති කරන යමක් කෙනෙකු කියයි නම්, ආගමේ උරගල තබා පරීක්‍ෂා කළ විට එය නිවැරදි විය නොහැකි ය. ඊට හාත්පසින් ම වෙනස් ව සමානත්වය, නිදහස සහ ස්වයං පාලනය යනාදිය ගැන අපට උපදෙස් දෙමින්, වැරදි මාර්ගයේ යෑමෙන් අපව වළක්වන තැනැත්තාට යහපත් මිනිසුන් කැමැති වන අතර, ඔහු යහපත් කෙනෙකු ලෙස පිළිගත යුතු ය. තමා තුළ ඇති උනන්දුවෙන් හා ලෞකික ජයග්‍රණයන්ගේ මාර්ගයෙන්, ආගමේ තරාතිරම තීරණය කරන තැනැත්තා, නරක සිත් ඇති තැනැත්තන් අතර ජනප්‍රිය වුව ද ඔහු වැරදි ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *