රංදිල් මධුවන්ත එදිරිසංහ
පඬු පෙවීම සහ එහි ආනිශංස
යම් කෙනකු විමසුවහොත් මේ විශ්වයෙහි පවතින දුර්ලභම දසුන් ඇති, වටිනාම පිංවන්තම වස්ත්‍රය කුමක්ද කියා, ප්‍රතික්ෂේප කළ නොහැකි සර්ව සාධාරණ ම පිළිතුර නම් ඒ නම් උතුම් බුද්ධ චීවරයයි නොහොත් අරහත් ධජයයි
මේ බව පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ කතාවෙන් ද මැනවින්ම ගත හැකිය.
පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ කතාව
මෙයින් කල්ප අනූදෙකකට මත්තෙන්, තිස්ස නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. දිනක් උන්වහන්සේ පාංසුකූල චීවරය ගසක වනා, විහාරයට පිවිස වැඩඋන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක්, දුන්න හා කඩුව ගෙන දඩයමට යන විට එම පාංසුකූල චීවරය දැක ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන්, දුන්න හා කඩුව බිම තබා බුදුන් වහන්සේ සිහිකොට එම පාංසුකූල චීවරයට දොහොත් නඟා වැන්දේය. ඒ පිනෙන් ඒ තැනැත්තේ සුගතියෙන් සුගතියට යෙමින්, සසර සැරිසරා අප බුදු රජුන්ගේ සසුනේ පැවිදිව රහත්ව නිවන් දුටුවේය.
අපදාන පාලියේ පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට ඇත. “මෙයින් දෙඅනූවන කපෙහි මම පාංසුකූලට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුගතියක් නොදනිමි. මෙය චීවරයට සැදැහැ සිතින් වැඳීමේ විපාකයයි.
කැලේ සතුන් මර මරා ඇවිදින වැද්දෙකුට පවා චීවරයක් දැක වන්දනා කිරීමේ කුසලයෙන් පමණක් එසේ ආනිශංස ලැබුණා නම් නවදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස්හය දහසක උපසම්පදා සීලයක පිහිටි පැවිදි උතුමන් වහන්සේලා උදෙසා උන්වහන්සේලාගේ අප්‍රමාණ ශික්ෂාපද රාශියක් ආරක්ෂා වෙන පරිදි ඉතා මැනවින් විනයානුකූලව සිදුකළ යුතු සහ සිදුකරන පඬු පෙවීමේ මහා පුණ්‍ය කටයුත්ත යනු,
● ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පටන් අවිච්ඡින්න වූ පැවත එන චීවර පරම්පරාවෙහි මහා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමකි.
● එම ඖෂධීය පඬු නිසා උන්වහන්සේගේ සමත්, සෞඛ්‍යත්, ජීවිතයත් ආරක්ෂා වේ. ඒ පඬුවල ඇති ගුණය නිසා මැසි – මදුරු ආදීන්ගේ අනතුරු වැළකී යන නිසායි.
● එසේම කිසිදු බාහිර අලංකරණයක් නොමැති උතුම් අරහත් ධජය එසේ විනයානුකූලව දරා සිටීම තුළ ශ්‍රමණ රූපය මැනවින් බබළ වන අතර උන්වහන්සේගේ සීලය ද චීවරයේ සම්බන්ධ බොහෝ අනේකප්‍රකාර ශික්ෂාපද ආරක්ෂා වීම හේතුවෙන් මැනවින් සුරක්ෂිත වේ.
● එසේ මැනවින් සීලය සුරක්ෂිත වන නිසා සමාධිය මැනවින් වැඩී, උන්වහන්සේගේ පැවිදි කිස ද ඉතා හොඳින් මුදුන්පත් වීමටම උපකාරි වේ.
● මේ මහා පුණ්‍ය කර්මය මහත් අවබෝධයෙන් සැදැහැ සිතින් සිදුකරන්නේ නම් සසර පුරා ඉතාම වර්ණවත් ශරීරයක් ලැබීම සිදු වේ.
● ඉතා උසස් කුල උත්පත්තියක් නිරතුරුවම ලැබීමට කුසල හේතු සකස් වේ.
● එසේම තමන්ට අවශ්‍ය ආකාරයේ ඉතා වර්ණවත් සුන්දර වස්ත්‍රාදිය නොඅඩුවම ලැබේ.
● අනේකප්‍රකාර සමාපත්තීන් ද සමවැදීමට ද කුසල් හේතු සකස් වේ.
● සසර තමන්ගේ හිත – කය මැනවින් ආරක්ෂා වන පරිදි හේතු කුසලයක් නිරතුරු තමන්ට ආරක්ෂාවක් වන අතර මැසි – මදුරු ආදීන්ගේ පීඩාවෙන් තොරව වාසය කිරීමට ද හේතු වේ.
ඉතින් මේ ආකාරයේ උතුම් ආකාරයේ අරමුණු රාශියක් පෙරදැරි කරගෙන සැදැහැති ගිහියන් දින ගණනාවක් නිදි වරාගෙන, වෙහෙස වී කළයුතු මේ පුණ්‍ය කටයුත්ත පිළිබඳව නිවැරදි බවත් එහි ඇති පුණ්‍යවන්ත බවත් දත යුතුමය.
මෙවර එහි හොඳින් දැනුවත්ව, සාකච්ඡාකාරීවත් සත තච්චකාරීව මහත් ඵල ලැබෙන යෙදීමට මේ මනා දැනුමෙන් සහ අත්දැකීමෙන් යුතුව මේ ධර්ම ලිපිය ඔබ සැමට අනගි යහපතක් පිණිසම හේතුවනු ඇත.
අප ප්‍රථමවම අවබෝධ කරගත යුතු දෙය නම් පඬුගැසීම සහ ඩයි ගැසීම දෙකක් වග. චීවරය කැප වන්නට නම් ඩයි නොගසා පඬු පමණක් ගැසිය හැකි වුව ද පඬු නොගසා ඩයි පමණක් ගසන සසුන් සම්ප්‍රදායක් නැත.
අදටත් ඇතැම් දැඩි විනයකාමී හිමිවරු පඬු පමණක් භාවිත කරනා අතර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්වහන්සේ ද තම සිසු හිමිවරුනට එය නියම කර ඇත.
පඬු පොතු සකසා ගන්නා ආකාරය
මේ සඳහා යොදාගන්නේ ස්වාභාවික පොතු වර්ගයි කොස්,මහෝගන’,කුඹුක්,කොහොඹ,වෙනිවැල්ගැට,
කලහ’, කළු නුග වඩාත් හොඳ පොතු වර්ග වේ.
පළමුව මේ පොතු සොයාගත යුතුයි. පොතු නම් ලී මොල්වලින් ගත හැකියි. ගස්වලින් ගන්නේ නම් ගස නොමැරෙන්නට පොත්තේ සම්බන්ධය සම්පූර්ණ නැති නොවන සේ විවිධ පැතිවලින් පොතුගත යුතුයි.
එසේ ගත් පසු ඒ පොතුගත් තැන්වලට මැටි තබා රෙදි කඩකින් ගැටගසන්න ද අමතක නොකරන්න.
කෙසේ හෝ සපයා ගත් පොතු අඟලෙ අඟලෙ කෑලිවලට කපා හොඳින් අව්වේ එළා පැති මාරු කරමින් දින තුන හතරක් එහි තෙත කිරි ගතිය හොඳින් ඉවත් වනතෙක් වියළාගත යුතුයි.

පඬු සකසා ගන්නා ආකාරය
එක චීවරයකට පඬු පොවන්නේ නම්, ජලය ලීටර් විස්සක් පමණ අල්ලන ප්‍රමාණයේ බාල්දියකින් පොතු කැබලි එකක් මුට්ටියකට දමා මුට්ටියේ යම් ප්‍රමාණයක් පොතු සිටී ද එවැනිම ප්‍රමාණයක් ජලය ද එකතු කරන්න.
උදාහරණය : මුට්ටියේ අඟල් පහක් උසට එම කැබලි පවතී නම් අඟල් දහයක් වන සේ ජලය එකතු කලන්න.
ඉන්පසු විටින් විට කූරු ගාමින් පෙණ දමා උතුරන්න එනතෙක් ටිකක් සැර ගින්න දෙන්න. උතුරන්න එන විට මඳ ගින්නේ රත් කරන්න. යම් විටෙක ජලයේ ප්‍රමාණය පොතු මට්ටමට ආවිට ඒ පොතුවල ජලය කිරි පෙරන ප්‍රමාණයේ ටිකක් ලොකු සිදුරු ඇති ගොට්ටකින් පෙරා වෙනත් භාජනයකට වෙන්කර ගන්න.
ඉන්පසු නැවතත් අලුතින් පෙර සඳහන් කළ ප්‍රමාණයටම ජලය එකතු කර පොතු දක්වා හිඳුණු පසු නැවත ඒ ජලය අර කලින් භාජනයටම පෙරා ඉවත් කර ආයෙත් කලින් පරිදි එයටම ජලය එකතු කරන්න. මෙසේ පස්වරක් හෝ උපරිම සත්වරක් කරන්න. ඉන්පසු අර පොතු ඉවත් කර, අර පෙරා වෙන් කරගත් ජලය සියල්ලම නැවත භාගෙට භාගයක් සිඳවා ගන්න.
මේ පඬු සකසා ගන්නා වැඩේට ඔබ දිනක්ම වැය කළ යුතුව ඇත.
- උණු ජලයේ ගිල්වා මිරිකා ගත් චීවරය අඟල් හයේ දිග පටියක් සේ නමා රෝල් කර එහි එක කොනක සිට ජලය නොමිශ්‍ර අතින් ටික ටික ඉසිමින් පඬු ඔරුව තුළ (පඬුවලට නැවත ජලය එකතු නොකළ යුතුය එවිට පඬු නරක් වේ) පඬු පෙවිය යුතුය. එක කොනක සිට දිගහරිමින් පඬු පොවන අතර පඬු පෙවූ කොන ද නැවත එතිය යුතුය.
තවත් පැහැදිලි ලෙස කිවහොත් එක කොනකින් දිගහැරෙත්දී අනික් කොනින් නැවත එතිය යුතුය. මෙසේ දෙපැත්ත මාරු කරමින් ටික ටික තෙත් කරමින් පඬු ගසා චීවරයේ පඬු බේරී වැක්කෙරෙන්න වගේ මට්ටමට ආ විට පඬු ගැසීම නැවතිය යුතුය.
ඉන්පසු මඳ අව්වේ වියළිය යුතුමය. නැති නම් චීවරයෙහි දැඩි පැල්ලම් සහිත ගන ගතියක් පවතී.
එසේ වුවහොත් නැවත එකවරක් ඇල් ජලයෙන් ඉතා තදින් නොඅතුල්ලා සේදිය යුතුය.
මෙසේ නිවන් මඟ වඩනා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය උදෙසා අපමණ සැදැහෙනි,
සෝමනස්සසහගත ඤාණසම්පයුත්ත මහග්ඝත ත්‍රිහේතුක කුශල චිත්තයෙන් සකසා ගත් මේ මහත් වූ සාරාණීය කඨින චීවර පූජාව සිදු කරගන්නා සේක්වා. ඩයි භාවිතයකින් තොරව සම්පූර්ණයෙන්ම චීවරයම පඬු භාවිත කරමින් පඬු පෙවීමට එය ඉතාමත් ශ්‍රේෂ්ඨ උතුම්ම කාරණයකි.

