පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
ගෘහස්ථ කාමභෝගී ජීවිතයකට සකදාගාමී ඵලය ලැබීමට ඉඩප්‍රස්තා ඇති බව පෙනේ. එවැනි වටිනාකමක් ගෘහස්ථ ජීවිතයට ලබාගත හැකි නම් ශාසනයේ ළාබාල අවස්ථා දෙක ගැන, එනම් සද්ධානුසාරී, ධම්ම නුසාරී අවස්ථා දෙක පිළිබඳව හොඳින් කරුණු වටහා ගැනීම ගෘහස්ථ, ප්‍රව්‍රජිත අප කාටත් බෙහෙවින් වැදගත් වේ.
සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන් තුළ පිහිටන මූලික ගුණාංග පහකි. බුදු පියාණන් වහන්සේ මේ ගුණාංග හඳුන්වා ඇත්තේ ඉන්ද්‍රියයන් ලෙසය. මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩූ අවස්ථාව රහත් භාවය බවත්, එයට වඩා ක්‍රමයෙන් අඩුවන අවස්ථා අනාගාමි, සකදාගාමි, සෝතාපන්න, ධම්මානුසාරී, සද්ධානුසාරී වශයෙනුත් දැක්වේ. සද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා දෙකේදී ඇත්තේ මේ ඉන්ද්‍රියයන්ගේ සරලම අවස්ථාවයි. බුදු සවුවකු වන්නේ මේ ඉන්ද්‍රියයන් පුද්ගලයකු තුළ වැඩීම ඇරඹුණොත් පමණක් බව දත යුතු ය. මේ ඉන්ද්‍රියයන් මොනවාද?
- ශ්‍රද්ධාව: මෙහිදී ශ්‍රද්ධාව වශයෙන් ගැනෙන්නේ දැනට පොදු ව්‍යවහාරයේ ඇති අදහස නොවේ. අප විහාරයකට ගිය විට ඇති ආගමික සිරියාව මුල් කරගෙන අපගේ සිත් සතන්වල එක්තරා පහන් හැඟුමක් ඇති වේ. බෝ මළුවට ගොස් පහන් දල්වන විට, පූජාවන් පවත්වන විට, වතාවත් කරන විට පහන් හැඟුම් සමුදායක් ඇතිවේ. මේ පහන් හැඟුම ශ්‍රද්ධාව හැටියට බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් මෙහිදී ශ්‍රද්ධාව වශයෙන් පෙන්වනු ලබන්නේ වෙනත් කරුණකි. මෙහිදී ඉහතින් කී පහන් හැඟුම වැරදි දෙයක්, අනවශ්‍ය දෙයක් ලෙස ගත යුතු නොවේ.
මෙහිදී ‘ශ්‍රද්ධාව’ වශයෙන් අදහස් කරනු ලබන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය මට ද ලෝ තතු, සසර තතු දැන ගැනීම සඳහා ප්‍රමාණවත් ය’ යි පිළිගැනීම යි. ඇදහීමයි. “සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං ඉතිපි සො භගවා අරහං…” ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය දහම් නයින් දැන උන්වහන්සේ ශාස්තෘ ප්‍රමාණත්වයෙන් ගැනීම ‘ශ්‍රද්ධාව’ බව දත යුතුය. තවත් අයුරකින් පවසත හොත් ‘ශ්‍රද්ධාව’ යනුවෙන් අදහස් කරනු ලබන්නේ, කවදා හෝ ප්‍රඥාවක් බවට පත් කර ගත හැකි කරුණක් පිළිබඳව මූලික වශයෙන් ඇති කරගන්නා
පිළිගැනීමයි. හේතු යුක්ති සහිතව කරුණු දැන ශ්‍රද්ධාව තහවුරු කරගන්නට හැකිවූ අවස්ථාව සෝතාපන්න භාවයට පත් වන අවස්ථාවයි. ‘අවෙච්චප්පසාද’ යනුවෙන් හැඳින්වෙන්නේ කරුණු සහිතව ඇති වන ප්‍රසාදය යි. සද්ධානුසාරී , ධම්මානුසාරී පුද්ගලයෝ එසේ කරුණු දැන පැහැදුණ අය නොවෙති. ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති අයයි. ‘තථාගතෙචස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං’ යනුවෙන් ඒ බව සං. නි. සරකානි සූත්‍රයේ සඳහන් වේ. මෙයින් අපට ශ්‍රද්ධා ඉන්ද්‍රියයේ ආරම්භක අවස්ථාව කෙබඳු ද යන්න වටහාගත හැකි වේ.
මේ අවස්ථාවේ ශ්‍රද්ධාව තහවුරු වූ එකක් නොවේ. බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන පිළිබඳව ශ්‍රද්ධාව ඒකාන්ත නිෂ්ටාවකට තවම පැමිණ නැත. ‘න හෙව ඛො බුද්ධෙ එකන්තගතිකො හොති අභිප්පසන්නො න ධම්මෙ …….. න සංඝෙ….’ යනුවෙන් ඒ බව දුතිය සරකානි සූත්‍රයේ සඳහන් වී තිබේ. ශ්‍රද්ධාව තහවුරු වී නැතත් කුශලය වැඩෙන්නට ඇරඹී ඇති බැවින් සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගල දෙදෙනාගේ ශ්‍රද්ධාව සුගතිගාමී වීමට පමණක් යොමු වූ පුද්ගලයාගේ ශ්‍රද්ධාවට වඩා මුහුකුරා ගොස් තිබේ. ඔවුන් ‘සම්බෝධිපරායන’ යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ශ්‍රද්ධාව නිවන් පැත්තට යොමු වී පවතින බැවිනි.
- වීරිය: වීර්යය යනුවෙන් අපේක්ෂා කරන්නේ ‘කුශලයෙහි උත්සාහවත් වීම’ යන අර්ථය යි. “ආරද්ධ විරියො විරහති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය” යනුවෙන් සං. නි. v (i) විභංග සූත්‍රයෙ එන පරිදි අකුශලය බැහැර කරන්නටත් කුශලය උපදවන්නටත් ඇති උත්සාහය මින් අදහස් කෙරේ. මේ උත්සාහය අසාර්ථක වන අවස්ථාවනට ද සසුන් මඟෙහි අවකාශ ඇත. කුශලයෙහි උත්සාහය අසාර්ථක වන විට නැවත නැවතත් සංවරයට පැමිණීමට සසුනෙහි ඉඩ තිබේ. එයට දහමේ කියනු ලබන්නේ “ආයති සංවරය” යනුවෙනි. අද සිට සම්පූර්ණයෙන් නිවැරදි වෙනවාය කියා නිවැරදි වීමක් මනුෂ්‍යයා තුළ සිදුවිය නොහැකි ය. “අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති” යයි ම. නි. ii භද්දාලි සූත්‍රයෙහි සඳහන් පිළිවෙළට හරි මඟ ඉක්මුණ විට එසේ ඉක්මුණ බව දැන ධර්මානුකූලව පිළියම් කිරීම ආයති සංවරයට පැමිණීම යැයි අදහස් කෙරේ. එම සූත්‍රයෙහිම බුදුරජාණන් වහන්සේ මාගේ ආර්‍ය්‍ය විනයෙහි දියුණුවක් ඇත්තේ ආයති සංවරයට හෙවත් නැවත සංවරයට පැමිණීමට ඉඩ ඇති නිසාම යැයි වදාරා තිබේ. මේ අයුරින් පුද්ගලයා තුළ නිවැරදි භාවය සඳහා ඇති උත්සාහය ඇරඹුණ අවස්ථාව සද්ධානුසාරී හා ධම්මානුසාරී වශයෙන් ගැනේ.
- සති: වීර්යය නොසිඳී දිගින් දිගට පවත්වන්නට නම් සතිය අවශ්‍යය. සතිය හෙවත් සිහිය යන්න ගැඹුරින් සලකන විට සතර සතිපට්ඨානය අදහස් වේ. (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා) එහෙත් සරල වශයෙන් ගත් කල සිහි බුද්ධියෙන් යුතුව කටයුතුවල නිරත වීමට හැකි වන අයුරු පුද්ගලයා තුළ ඇති වන එක්තරා සාවධාන වීමක් ලෙස මෙහිදී අර්ථවත් කළ හැකි ය. ‘සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි විරභාසිතම්පි සරිතා අනුස්සරිතා’ (සං. නි. v(i) විභංග සූත්‍රය) යනුවෙන් උතුම් බලවත් සිහියෙන් යුතුව ඉතා පෙර කියන ලද්ද, කරන ලද්ද පවා සිහිකිරීම, නැවත නැවත සිහි කිරීම සතින්ද්‍රිය යි.
- සමාධි: සමාධින්ද්‍රියෙන් ගැඹුරු වශයෙන් අදහස් කරනුයේ රූපාවචර සමාධි අවස්ථාවන් ය. එහෙත් සරල වශයෙන් ගත් කල, සමාධි යන්නේ අදහස් කරනුයේ නිර්මාණය උදෙසා එකඟ වූ මානසික තත්ත්වයක් වර්ධනය වීමයි. ‘වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං’ යනුවෙන් සමාධින්ද්‍රිය වන්නේ නිර්වාණය අරමුණු කරගෙන මානසික එකඟතාවක් ඇති වීම යි. ඒ එකඟතාව යම් තරමකින් හෝ ඇතිවීම සමාධින්ද්‍රියයේ ආරම්භය යි.
අං. නි. III ගිහි සූත්‍රයෙහි ගෘහස්ථ සෝතාපන්න පුද්ගලයාගේ සුවිශේෂ මානසික ධර්ම (අභිචෙතසික) සතරක් ගැන සඳහන් වේ. එනම් කරුණු දැන බුද්ධ ප්‍රසාදයත්, ධර්ම ප්‍රසාදයත්, සංඝ ප්‍රසාදයත්, අරියකන්ත ශීලයත් (ආජීව අට්ඨමක සීලය) ය. මේ අභිචෙතසික ධර්ම මේ දිවියේම වෙහෙසක් නැතිව පහසුවෙන් ලැබ දැහැමි සුඛවිහරණ සහිත වීම සෝතාපන්න පුද්ගලයාගේ විශේෂ ගුණයකි. මෙයින් ප්‍රකට වනුයේ ද නිවන් අරමුණු කර ගත් කුශල සිතෙහි එකඟතාව යි. සමාධින්ද්‍රිය යි.
- ප්‍රඥා: මෙයින් අදහස් වනුයේ පොතපතින් ලබා ගන්නා දැනුම නොවේ. “පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො, අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා’ යනුවෙන් දුක් කෙළවර කිරීමෙන් ලබන නිවන් අවබෝධයට මුල් වූ උදයත්ථ ගාමිනී පඤ්ඤාව හෙවත් සමුදය නිරෝධ දැනීම මෙහි ප්‍රඥාව යි. මෙහි සරල ස්වරූපය හා ගැඹුරු අවස්ථාව සංයුක්ත නිකායේ ඔක්කන්ති සංයුත්තයෙහි විස්තර කර ඇත. පුද්ගලයාත් පුද්ගලයාගේ රූප ශබ්දාදී අරමුණුත් විඤ්ඤාණ, ස්පර්ශ, වින්දන යන සමස්ත අත්දැකීම් ලෝකයත් වෙනස් වන ධර්මතාවක් ය යන කරුණ වටහා ගැනීම ප්‍රඥාවට පැමිණීම යි. සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන්ට අනිත්‍යතාව හරි හැටි ඒත්තු ගොස් නොමැති වුවද ලෞකිකත්වයෙහි ස්ථිරසාර බවක් නොමැති බව වැටහී තිබේ. ඔක්කන්ති සංයුක්තයෙහි මේ දෙදෙනා හඳුන්වනු ලබන්නේ නිවන් මඟට බැසගත් දෙදෙනකු ලෙස ය. ශරීරයේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ද, ඒ අනුව ග්‍රහණය කරගන්නා රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු ද, ඒ බාහිර අරමුණු පිළිබඳව ඇති කර ගන්නා ස්පර්ශය ද, ඒ ස්පර්ශය පදනම් කරගෙන ඇති වන වින්දනය ද, ඒ වින්දන පදනම් කරගෙන ඇති වන හැඟීම් ද යනාදී වශයෙන් ඇතිවන සියලු ධර්මතා වෙනස් වනසුලු ය. (අනිච්චා), පරිවර්තනය වනසුලු ය( විපරිණාමී), අන් අයුරකට යනසුලු ය (අඤ්ඤථාභාවී) යනුවෙන් අදහයි ද (සද්දහති), ඇදහීමෙහි පෙලඹෙයි ද (අධිමුච්චති) ප්‍රඥා ඉන්ද්‍රියයේ ආරම්භය මෙයයි.
මතුසම්බන්ධයි

