දෙනගම සිරිවර්ධන
දෑත පපුවට ළං කොට හිස ඔසවා බලමි. මෙත්, කරුණා උතුරන බුදු හිමියන්ගේ මුහුණ මට පෙනේ. මම දෑත නළලට ගෙන යමි. සාදු සාදුයි කියමින් දෑස පියා ගනිමි. යළි දෑස හැර මල් අසුන දෙස බලමි.
මා පිදූ සමන්පිච්ච මල් අසල රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතුසුද්ද මල්, ලස්සන සුවඳ මල්, මම ඒ බුදු කුටිය තුළ සුදු සුමුදු බිම හිඳ ගතිමි. දෑස පියා ගතිමි.
අර සුව`දැති, රුවැති මල් මසිතෙහි පිරෙනු දැනිණි.
සුවඳ ලස්සන මල් මා රැඳුණේ විසිතුරු මල් ලොවක, මොහොතකින් මගේ නැහැයට නොවේ. සිතට දුගඳක් දැනිණ.
මා මේ බුදු මැඳුරට පැමිණෙන විට පසු කැරගෙන ආ තුරු යොමුව අසලින් නැඟුණු දුගඳ මම නතර වී දුගඳ ආ දෙසට ඇස යොමු කළෙමි. මහා මල් ගොඩක්. ඊයේ මේ මලසුනේ වූ සමන්පිච්ච, රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතුසුදු මල් ඒ සුවඳින් ද රුවෙන් ද මිදී මිලානව, දුගඳව
පස්ගොඩක වැතිර ඇති සැටි පෙනිණ. එතැන පස් ගොඩක් වූයේ කෙසේද? මල් දිරාපත්ව පස් බවට පත්වෙලා.
මල් පස් වෙලා!
සුව`දැති, රුවැති, මල් දුගඳව විරූපීව පස් බවට පත් වුණා! මගේ සිත තුළ විදුලි කෙටීමක් දැනිණ. “නුඹේ සිරුරට ද අත්වන්නේ ඔය ඉරණමම යි.” විදුලි කෙටීමක් ගිගිරුමක්. සිත සැලිණ.
මා උපන් දා සිට, මොහොතින් මොහොත, පැයෙන් පැය දවසෙන් දවස වසරෙන් වසර මගේ සිරුර ජරාවට පත් වූ හැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ හැටි, සවිබල අත් පා දුබල වෑ ගිය හැටි මට පෙනෙන්නට විය.
සුරූපී ලලනාවක වූ මගේ මව පිළිකා රෝගයට ගොදුරු වුණා. දිගු නිල් කෙස්කලබ ගිලිහී ගියා. මුඩු හිසක් මතු වුණා. හමට සහ ඇටසැකිල්ලට ඉඩ දී මස් දිය වී ගියා. නහර මතුවුණා. මේ මගේ අම්මා ද? මට සැක මතු වුණු තරම්. සැත්කම්, එන්නත්, ලේ පරීක්ෂණ, විදුලිසැර ගැන්වීම් මැද වසර කීපයක් ගත වුණා. එක් දිනෙක ඇගේ හද ගැස්ම නැවතුණා. ඒ ඇටසැකිල්ල ආදාහනය කළා. ඇටසැකිල්ල අළු බවට පත්වුණා.
මගේ බාප්පා යෝධ බල සහිත ගොවියෙක්. රෝගාතුරව පස් වසරක්ම ඔහු සිටියේ ඇඳේ. මුළු සිරුරම වණ වුණා. කුණු ගඳ හමන්නට පටන් ගත්තා. මැස්සන් පිරුණා. වණවල පණුවන් පොදි ගැහුණා. ඔහුගේ දරුවන් ද ඔහු අත්හැර දැම්මා. හඬ හඬාම ඔහු මැරුණා. එම්බාම් නොකළ මළසිරුර දින තුනකට පසු ඉදිමුණා. නිල්වුණා. හම පිපිරී තුවාලවලින් ලේ ගලන්නට පටන් ගත්තා. ඇස්වල, කන්වල, නාස් පුඩුවල කටේ පණු කැදලි මතුවුණා. මුළු පළාතම ගඳගහන්න පටන් ගත්තා. ගඳ නිසාම තමයි ඒ පාළු ගෙයි දොර ඇරලා අවට පදිංචි අය බැලුවේ ඔවුන්ට පෙනුණේ මස් දිය වී කාගේදැයි හඳුනාගත නොහැකි මළසිරුරක්. හම ගැලවී, කෙස් ගැලවී වැටී තිබුණා. ඒ පස් බවට පෙරළෙමින් තිබුණා. මස් දියවී ඇට පෑදිලා ඇටසැකිල්ල මතුවෙලා නහර මතුවෙලා.
මගේ ශරීරයටත් වෙනත් අයගේ ශරීරවලටත් සිදුවන දේ මේ දෙයමයි මට සිතිණි. සිතිවිලි ඇතිවී නැතිවී යනු බලා සිටියෙමි.
ශරීරයේ ඇති ධාතු කොටස් හතර මට සිහිවිය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතු හතර හැර මේ ශරීරයේ වෙනත් ඇත්තේ කුමක්ද?
පඨවි – පඨවි යන දේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, ඇටමිදුළු, නහර ආදී මේ සියල්ල පස් වී යන දේ පඨවි ධාතුව.
අපෝ – දියවී යන දේ, දියර සහිත දේ කෙළ, සොටු, සෙම, කඳුළු, ලේ මුත්‍රා, දහදිය ආදී ශරීරයේ ඇති දියර ගතිය. මේ ආපෝ ධාතුව.
තේජෝ – ශරීරයේ ඇති උණුසුම් සහ සිහිල් බව. ඒ තේජෝ ධාතුව වායෝ ශරීරයේ ඇති පිම්බුණු ගතිය ඇති කරන වාතය ඒ වායෝ ධාතුව. මේ ධාතු හතර හැර අන් කිසිවක් ආත්මය කියා දෙයක් මේ ශරීරයේ නැත. ඒ ධාතු හතරට අයත් දේ අනිත්‍යයට හසුව විනාශයට ලක් වූ ආකාරය මම දිටිමි.
සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.
සබ්බේ සංඛාරා, අනිච්චා, මම මෙනෙහි කළෙමි. මගේ ශරීරය දෙසට මම යළි සිත යොමු කළෙමි. එය අනිත්‍යයට ගිය හැටි, අනිත්‍යයට යන හැටි, නිත්‍ය නොවූ ශරීරයක් බවට පත් වූ හැටි මෙනෙහි කළෙමි. මගේ මව, මගේ බාප්පා, අනිත්‍යයට ගිය හැටි, ඔවුන්ගේ මළසිරුරුවලට සිදුවූ දේ මට සිහිවිය.
ඒ ශරීරවල අභ්‍යන්තර ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවට එක් වූ හැටි, අභ්‍යන්තර තේජෝ, වායෝ ධාතු බාහිර තේජෝ, වායෝ ධාතුවලට එක් වූ හැටි, අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට, මහපොළොවට එක් වූ හැටි මම සිහි කළෙමි.
සියල්ල අනිත්‍යයි. මනුෂ්‍ය ශරීරය පමණක් නොවේ. ලෝකයේ අති සෑම දෙයක්ම ගස් වැල්, ගල්, පර්වත, ගංගා පවා, මහා සාගරය පවා නිත්‍ය නොවේ. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඒ සමගම තවත් දෙයක් සිහියට නැඟිණ. මගේ ශරීරය අනිත්‍යයට යෑම, ලෙඩ රෝගවලට ගොදුරු වීම වළක්වන්නට මට බැහැ. රැලි වැටීම, සවි බලය නැති වීම, පාලනය කරන්නට මට බැහැ. මගේ ශරීරය මට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි නම් එය මගේ යැයි කිව හැකිද? එය මගේ නම් එය රැලි වැටීමෙන්, දුබලවීමෙන් ලෙඩවීමෙන් වළක්වාගත හැකි විය යුතුය. එහෙත් එය එසේ කළ නොහැකිය.
මේ ශරීරය මගේ නොවේ. මම නොවේ. මගේ ආත්මය නොවේ. ආත්මය යනු මමයි මගේය යන හැඟීමයි. මේ ශරීරය මගේ නොවේ. මම නොවේ. මගේ ආත්මය නොවේ. මෙය අනාත්මයි අනාත්මයි අනාත්මයි. මේ ශරීරය අනිත්‍යයි. අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි.
සෑම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් මගේ නොවේ. මගේ ආත්මය නොවේ අනාත්මයි අනාත්මයි අනාත්මයි. අනිත්‍ය අනාත්ම වූ කිසිවක් මට අල්ලා ගත නොහැකිය. මම මේ සියල්ල අත්හරිමි.
සියලු දේ අත්හරිමි.
ඇලීමෙන් බැඳීමෙන් මිදෙමි.
අත්හරිමි. අත්හරිමි. අත්හරිමි.
මම දිගින් දිගට අත්හැරීමේ සිතිවිල්ලෙන් පසුවූයෙමි.
සිත මහා ශාන්ත බවකට නිසල බවකට හැරිණ. ඒ ශාන්ත නිසල සිත හඳුනාගත හැකි සිතිවිලි මාත්‍රයක් පමණක් ඉතිරි විය.
සංස්කාර විරහිත ශාන්ත සුවපත් බව තුළ මම රැඳී සිටියෙමි.

