මහාචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේ සමග මගධ ක්‍ෂේත්‍රය මතින් වැඩම කරති. මනා ලෙස නියර බැඳ සකසන ලද ලියදි සහිත කෙතෙහි සොඳුරු බව බුදුරජාණන් වහන්සේ සිය නිරාමිස ඇසින් දුටුවා විය හැකිය. අනඳ මහ තෙරුන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ මගධ ක්‍ෂේත්‍රය අනුව භික්ෂු සංඝයාගේ සිවුර මසා ගැනීමට උපදෙස් දෙන ලෙස අනුදැන වදාරති.
දෙව්රමට වැඩම කළ අනඳ මහ තෙරුන් වහන්සේ තම සිතෙහි ඇඳී තිබූ මගධ ක්‍ෂේත්‍රයෙහි ස්වරූපයට අනුව චීවරයක් මසා බුදුරජාණන් වහන්සේට දක්වති. එම චීවරය වඩා විධිමත් ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේට ප්‍රශංසා කරති.
චීවරය අද දක්නට ලැබෙන ආකාරයට සකස් වූයේ ඉහත දක්වන්නට යෙදුණ සිදුවීමෙන් පසුවය. එදා සිට අද දක්වා වූ අවුරුදු දහස් ගණනක කාලය තුළ වෙනස් නොවී පැමිණීම ම චීවරයේ සම්භාවනීයත්වයත් එහි නිවැරදි ගමන් මගත් ප්‍රකට කරයි.
පාලියෙහි චුරාදි ගණයට අයත් චීව (භාසායං) ධාතුවෙන් හෝ භුවාදි ගණයට අයත් චීවූ (ආදානසංවරණෙසු) ධාතුවෙන් හෝ “චීවර” යන පදය සෑදී ඇති බව පෙනේ. චීව ධාතුව බැබළීම් අර්ථයෙහි ද චීවූ ධාතුව ගැනීම්, වැළැක්වීම් යන අර්ථයන්හි ද යෙදේ. චීවරය දරාගත් භික්ෂුව සකලවිධ ක්ලේශයන් සංවරණය (වැළැක්වීම) කරන හෙයින් ද එනිසා ම දිවා රාත්‍රි බැබළීමට පත්වන හෙයින් ද චීවර යන්න යෙදී ඇති බව පෙනේ.
චීවරයේ ඉතිහාසය මගධ ක්‍ෂේත්‍රය පිළිබඳ කතාවෙන් ඔබ්බට ද ගමන් කරයි. සිදුහත් බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ කල්හි පැවිදිවීමට අවශ්‍ය සිවුරු, පිරිකර, ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලදි. ඒ වනවිට ද චීවර පරම්පරාවක් භාරතයේ පැවැති බව එම සිදුවීමෙන් පැහැදිලි වෙයි. එහෙත් සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වීමත් සමගම පැරණි චීවරයට නව අර්ථකථනයක් ලැබිණ.
කොණ්ඩඤ්ඤ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වී ඔහු ප්‍රමුඛ පස්වග තවුසන් පස්වග භික්ෂූන් ලෙසින් බුද්ධ පුත්‍රයන් බවට පත්වීමෙන් ඇරඹි නව චීවර පරම්පරාව ක්‍රමයෙන් භාරතයේ සිවුදිගම පැතිර ගියේ ය. එම පරම්පරාවට අයත් වූවන් අතර සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඥානයෙන් අග්‍ර වූවෝ ද මුගලන් මහ රහතන් වහන්සේ වැනි ඍද්ධියෙන් අග්‍ර වූවෝ ද ආනන්ද මහරහතන් වහන්සේ වැනි ස්මෘතියෙන් අග්‍ර වූවෝ ද සුනාපරන්තයට වැඩම කළ පුණ්ණ තෙරුන් වහන්සේ වැනි මහා ක්‍ෂාන්තියෙන් අග්‍ර වූවෝ ද වෙති.
කඩකපා මහන ලද හෙයින් වස්ත්‍රයෙහි අගය අඩු වුවද චීවරයේ බොහෝ කල් පැවැත්මට එයම හේතුවක් විය. සීතෝෂ්ණාදී වූ ස්වාභාවික තත්ත්වයන්ගෙන් විය හැකි පීඩාවන් දුරුකර ගැනීමට චීවරය උපකාර වූවා සේම චීවරය පෙරවූවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හා එක් වීමෙන් එය පූජනීයත්වයට පත් වූවා පමණක් නොව මහා බලසම්පන්න ද විය.
චණ්ඩ බවට පත් මනසකින් මෙහෙයවනු ලැබ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරතවීම නිසාම චණ්ඩාශෝක නමින් හඳුන්වනු ලැබූ අශෝකාධිරාජයා ධර්මාශෝක බවට පත්වන්නට හේතු වූයේ හුදෙකලාවම වැඩම කළ නිග්‍රොධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය යි. සන්හුන් ඉඳුරන් සහිතව ආධ්‍යාත්මික ශක්තියකින් යුක්ත වූවකු හා එක්වූ චීවරයේ බලය එබඳු ය.
ගැමුණු කුමරු හා තිස්ස කුමරු ඔවුනොවුනට එරෙහිව යුද වදින්නට වූ විට භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ඔවුන් වෙත වැඩම කොට අවවාද කිරීමෙන් සමගි සම්පන්න කළහ. එම අවස්ථාවේ දී ගැමුණු කුමරු කියා සිටියේ ඔබ වහන්සේලා කරදර වූයේ කුමකටද සත් හැවිරිදි සාමණේර නමක් වුව අප වෙත එවූ නම් අප අතර කලහයක් නොවන්නේ ය යන්න ය.
දේශය විපතට පත්වූ මොහොතක විපතින් දේශය නිදහස් කරගැනීමේ ශක්තිය හා අවශ්‍යතාව ඇත්තවුන් ඔවුනොවුන් හා කලහ කරත් නම් දේශය තවත් ව්‍යසනයකට ඇද දැමුවා වන්නේ ය. ඒ බව වටහාගත් තිස්ස සහ මහා තිස්ස යන තෙරුන් වහන්සේලා වනගතව දේශය නිදහස් කරගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරමින් සිටියදී වළගම්බා රජු හා ඇමතියන් අතර ඇතිවූ කලහය සංසිඳුවා ඔවුන් සමගියට පත් කළහ. ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කරන්නට කටයුතු යෙදී තිබුණු අවස්ථාවේ අනියම් ලෙසින් ජනතාවකගේ අභිමානයට අභියෝග කරන විට වාරියපොල සුමංගල මාහිමියෝ සාධාරණය පෙන්වා නිවැරදි යති ජීවිතය හා එක්වූ චීවර පරම්පරාවේ බලයත් යති ජීවිතයේ බිය රහිත බවත් ප්‍රකට කළහ.
චීවරයෙන් සංකේතවත් කරන මහා ශක්තිය එබඳු වැඩදායක ශක්තියක්ම වෙයි. අඛණ්ඩ පරම්පරාවක් අවුරුදු දහස් ගණනක කාලයක් පුරා පැවත ඒමත් චීවරය පොරවාගත් උතුමන් වෙතින් ඊට ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් චීවරයට එම බලය ලබාදී ඇත.
චීවරය හැම විටෙකම සංකේතවත් කරනුයේ සුන්දර වූත් අර්ථවත් වූත් පූජනීය යති ජීවිතය යි.
මජ්ඣිමනිකායේ බ්‍රහ්මායු සූත්‍රයේ එන විස්තරයක් අනුව ඒ උත්තම චීවරය බුදුහිමියන් පෙරවි කල්හි නෙත් සිත් පහන් කරවන සුන්දරතම දර්ශනය වූවාට සැක නැත. බුදුහිමියන්ගේ චර්යාවන් විමසමින් සත් මසක් උන්වහන්සේ පසුපස හඹාගිය උත්තර නම් බ්‍රාහ්මණ මානවකයා ඒ සුන්දර දර්ශනය දුටුවේයත ඒ දැක සිය ගුරුවරයා වූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට වාර්තා කළේ ය. ඒ මෙපරිද්දෙනි,
“ඒ තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සිවුර ඉතා පහත් වූයේ ද නොවෙයි; ඉතා උස් වූයේද නොවෙයි; සිරුරෙහි ඇලුණේ ද නොවෙයි; සිරුරෙන් බැහැර ගියේ ද නොවෙයි.
සිවුර පොරවනු ලැබීමෙන් ආනන්දයට හෙවත් සතුටට පත් නොවූ නන්ද අවපසට පැමිණි පුන්සඳ රැය කෙළවර ළාහිරු කිරණ වැදීමෙන් සුදුමැලි වන්නාක් මෙන් ශෝභා රහිත විය. ඒ නන්දම ආනන්දය හෙවත් නිවන සාක්ෂාත් කළ කල්හි, නන්ද තෙරුන් වහන්සේ ලෙස බුදුහිමියන්ට නමස්කාර කරන විට සුළඟින් සැලෙන තඹවන් ළපලුයෙන් හෙබි, මලින් බබළන කිණිහිරි ගසක් මෙන් ශෝභාවත් වූහ.
“…වාතෙරිතඃ පල්ලවරාගතාම්‍රඃ
පුෂ්පොප්වලග්‍රිරිව කර්ණිකාරඃ”
මේ විස්තරය පශ්චාත් කාලීන වූවකි.
ඒ සුන්දර පදය හෙවත් නිවන අවබෝධ කිරීම නිසා සුන්දර වූ නන්ද පිළිබඳ කතාව මුල් කොටගෙන සෞන්දරනන්ද නමින් සංස්කෘත භාෂාවෙන් මහා කාව්‍යයක් ලියූ අශ්වඝෝෂ හිමියන් විසින් කරන ලද්දකි.
මහාකාශ්‍යප, ශාරිපුත්‍ර, ආනන්ද යන තෙරවරුන් ප්‍රධාන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේගේ සිවුර මහන විට අනෙක් භික්ෂූ සංඝයා වහන්සේ නූල් සකස් කොට දුන්හ. සකස් කළ නූල් බුදුහිමියෝ ඉදිකටුවලට අමුණා දුන්හ. මුගලන් තෙරුන් වහන්සේ ‘අත්වැඩ’ දුන්හයි යනුවෙන් ප්‍රකට පුවත ධම්මපදට්ඨ කතාවේ එන්නකි.” ඒ සිවුරු මැසීම මහඟු කටයුත්තක් බව එයින් කියැවෙයි.
සිවුරු දානය ද මහඟු පින්කමක් වෙයි. භද්දාකුණ්ඩලකේසී තෙරණියට සිවුරු පූජා කළ දායකයකු මහත් වූ පිං ලැබූ බව ථෙරිගාථාහි සඳහන් වී තිබේ. සුමේධ සම්බුදුරදුන්ගේ සිවුර මැසීමට ඉදිකටු පරිත්‍යාග කළ අයකු සුචිදායකත් ථෙර නමින් ගෞතම සම්බුදුරදුන් හමුවේ පැවිදි වී සියුම් නුවණක් ද ලැබූ බව අපදාන පාලියේ සඳහන් වී තිබේ. ලාභීන් අතුරෙන් අගතැන් ලැබූ බක්කුල තෙරුන් වහන්සේට පැවිදිවී ගතකළ අවුරුදු අසූවක කාලය තුළ සිවුරුවලින් ද අඩුවක් නොවූ බව මජ්ඣිම නිකායේ බක්කුල සූත්‍රයේ සඳහන් වී තිබේ.
එමෙන්ම උපසේන තෙරණුවෝ කසළ ගොඩෙන්, සුසානයෙන් අහුලාගත් රෙදිකඩ එකතු කොට මසාගත් රළු සඟල සිවුරෙන් සෑහීමට පත් වූහ. ලුබ හෙවත් රළු සිවුරු දරන්නවුන් අතුරෙන් මෝඝරාජ තෙරණුවෝ අගතැන් පත් වූහ. සුන්දරී තෙරණියත් සුභාකම්මාරධිතා තෙරණියත් පාංශු කූල චීවර දැරූහයි ථෙරිගාථාහි සඳහන් වේ. ලුබ සිවුරු දරන භික්ෂුණීන් අතුරින් කිසාගෝතමී තෙරණියෝ අගතැන් පත්වූහ යි ඒතදග්ග පාලියෙහි සඳහන් වේ.
කුසල් වැඩෙන, අකුසල් පිරිහෙන සිවුර සේවනය කළයුතු වුවත් අකුසල් වැඩෙන කුසල් පිරිහෙන සිවුර සේවනය නොකළ යුතු බව මජ්ඣිම නිකාය සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ සඳහන් වී තිබේ.
එමෙන්ම දුසිල්වත්ව සිට ශ්‍රද්ධාදෙය්‍ය වූ හෙවත් ශ්‍රද්ධාවෙන් පූජා කළ චීවරය පෙරවීම ගිනිගෙන දිලිසෙන යකඩ පටිවලින් ශරීරය වෙළීමක් හා සමාන බවත් යමකු දුසිල්වත්ව සිට ශ්‍රද්ධාදෙය්‍ය වූ චීවරය පොරවා නම් එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවත්නා බවත් අංගුත්තර නිකාය අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ සඳහන් වේ.