වන අරණ එකත් පසෙක සිටි ඒ දෙව්තෙම බුදුන්වහන්සේ අමතා මෙසේ කීය. වනෙහි වෙසෙන එක් වේලක් අහර බුදින සන්සුන්වූ බඹසරුන්ගේ සිරුරු පැහැය කවර හෙයින් පැහැදිලිද? බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉකුත්දා ගැන ශෝක නොකරති. නොලත් දේ නොපතති. පවතින දෙයින් යැපෙති. ඉන් සිරුරු පැහැය පැහැදිලිය. එහෙත්, නොලත් දෑ පැතීමෙන් බාලයෝ වියලෙති, ශෝකවීමෙන් සිඳින ලද බටදඬුවක් සේ. සංයුක්ත සඟියෙහි අරඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙයි. ඉස්සර කාලේ තොරතුරු අනුව ගම්සභා, වරිග සභා වලින් වැව් අමුණු, ගමේ මංමාවත් ශ්‍රමදාන කරමින් සකස්කර ගත්තේ ගැමියන්, ගොවියන් එක්වෙමිනි. මඝ මානවක කතාව ඊට කදිම නිදසුනකි. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය පටන් ගත්තේ ඒ. ටී. ආරියරත්න මහතා විසින් කනතොලුව නම් බොහෝ ප්‍රභූන් නොයන ගමකට නාලන්දා විiාලයේ සිසුන් සමග ගොස් එකට වැඩ කිරීමෙනි. ප්‍රථම වරට, එවක ලංකාවේ අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එය නැරඹීමට ගියාය. මෑත යුගයේ ගමේ පාරවල් හැදීමට ඇතැම් දේශපාලනඥයන් ඉඩ දුන්නේ නැත. ඒ කටයුතු මහ රජය, පළාත් සභාව, ප්‍රාදේශීය සභාවේ රාජකාරි යැයි විවේචනය කරමිනි. එහෙත් අද අත්තම් ක්‍රමය නැවත මතු වී ඇත. ශ්‍රමදානය අගය කෙරෙනු පෙනේ. සාමූහිකත්වය, සහජීවනය, අනෙකා ගැන සිතීම, අනෙකාගේ ජීවිත ගොඩගැනීමට අතහිත දීම පින්කමක් ලෙස ක්‍රියාවට නැංවෙනු පෙනේ.
පුබ්බහාසී, පුබ්බභාෂී, පුබ්බකාරී යනු බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියාදුන් වටිනා ධර්මතාවකි, සාරධර්මයකි. භික්ෂුන් හමුවට කෙනකු පැමිණි විට මුලින්ම සිනහසීම, මුලින්ම කතාබහ කිරීම, මුලින්ම කළ යුතු දෙයක් වේ නම් කරදීම යනු එම කාරණා තුනයි. එක්තරා කාලයක දේශපාලන පක්ෂ විසින් සිනාසීම සීමා කළේය.
ජපන් රටේ එකිනෙකාට ගරු බුහුමන් දැක්වීම අගනා සාරධර්මයක් වී ඇත. පොඩි දරුවකු පවා විනයානුකූලව, නීත්‍යනුකූලව පාර හරහා කහ ඉරෙන් ගිය පසු කහ ඉරට පවා ආචාර කොට යන පුරුද්ද බලා සිටින්නට වටින්නේය. කන බොන කෑම බීම, කෙසෙල් ලෙලි, පොතු කෑලි, කඩදහි කෑලි මහමග දමා යන්නේ නැති රටවල් ලෝකයේ ඇත. බුදුදහම බුදුසසුන ගැන මහ ඉහළින් කතා කරන නිතර බණ අසන පින්කම් කරන අපේ රටේ තත්ත්වය ඉතා කනගාටුදායක ය. පරිසරයට ආදරය කිරීම, ගරු කිරීම, අවට පරිසරය සුරැකීම යුතුකමකි, වග කීමකි.

