සිහිකල්පනාවෙන් වැඩ කරමු

rashi
By rashi
3 Min Read

එදිනෙදා අපට හමු වන අයගේ සිහි කල්පනාව විවිධ මට්ටම්වල පවතියි. මේ අය අතර ඉතා හොඳ සිහිකල්පනාවකින් කටයුතු කරන අය මෙන්ම තනිකර ම අවසිහියෙන් වැඩ කරන අය ද වෙති.

ක්ෂණික හා වැරදි නිගමනවලට එළඹීම, තමන්ටත් අනුන්ටත් අවැඩක් වන ක්‍රියාමාර්ගවලට යොමු වීම සිහිකල්පනාව අඩු අය පෙන්නුම් කරන අයහපත් ම ලක්ෂණ අතර වෙයි. එනිසා අඩු සිහිකල්පනාව යනු සමාජ ව්‍යසනයකි. රෝගී භාවයක ප්‍රතිඵලයක් වන විටක හැර සිහිකල්පනාව යනු උත්සාහ දරා වැඩිදියුණු කරගත යුත්තක් ම ය.

යහපත් සිහිය එක් අතකින් සසර පුරුදු කරගෙන ආ කුසලතාවක් විය හැකි ය. එනමුත් අඩු සිහිකල්පනාවක් ඇති අයට ඉන් ඉහළ මට්ටමකට දියුණු නො විය හැකි බව ඉන් අදහස් නො වේ.

සිහිකල්පනාව දියුණු කරගැනීමට මූලික ව අවශ්‍ය කරන්නේ බලවත් වුවමනාවයි. ඒ සඳහා මානසික මෙන්ම කායික අභ්‍යාස ද ප්‍රගුණ කළ යුතු වේ. ඇතැම් විටක අප සිටිනා පරිසරය කෙටි කාලයකට වෙනස් කිරීමෙන් පවා සිහිය දියුණු කරගැනීමේ ප්‍රවේශයක් ලබාගත හැකි ය. නිදසුනක් ලෙස නිසංසල පුදබිමක් වැනි ස්ථානයක දී අපේ සිත් නිරායාසයෙන් සන්සුන් වෙයි. එසේ සන්සුන් වූ සිත ක්‍රමානුකූල ව හීලෑ කරගැනීම පහසු ය.

කෙසේ වෙතත් තදබල වුවමනාවක් ඇති අයකුට සිහිය දියුණු කරගැනීම පිණිස විශේෂ පරිසරයක් වුවමනා නො වේ. කරන කියන සැම කටයුත්තක දී ම සිහියෙන් සිටීම පහසු නැති බව සැබෑ මුත් තදබල වුවමනාව ඇති තැනැත්තා සිහිය ගිලිහෙමින් වුව ද නැවත නැවත උත්සාහයෙහි යෙදෙමින් සිහිය පිහිටුවා ගනියි. වැදගත් වන්නේ එයයි. කෙටි වේලාවකට සිහිය ගිලිහී ගිය විට එයින් අධෛර්යයට පත් විය යුතු නැත. සිහිය පිහිටුවාගත යුතු බවට තදබල වුවමනාවක් හා අදිටනක් තිබේ නම් සිහිය ගිලිහී ගිය බව ද විටින් විට හෝ අපට සිහිපත් වෙයි.

නවකයකු මේ අභ්‍යාසය ආරම්භ කළ යුත්තේ සිතිවිලිවලට නිදැල්ලේ සැරිසරන්නට ඉඩ දෙන අතර ම ඒ සිතිවිලි මොන ආකාරයේ ඒවා ද යන්න ගැන අවධානයෙන් පසු වීමෙනි. ඒ හා සම්බන්ධ භාවනාවක විශේෂයෙන් යෙදෙන අවස්ථාවක මේ නිරීක්ෂණ කාර්යය වඩාත් හොඳින් කළ හැකි ය. එවැනි භාවනාවක විශේෂයෙන් යෙදන්නට අවකාශයක් නැත්නම් එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන අතර ම කඩින් කඩ හෝ මේ අවධානය පවත්වාගැනීමට උත්සාහ ගත යුතු ය. නැවතත් අවධාරණය කළ යුතු වන්නේ ආරම්භයේ දී විටින් විට අවධානය ගිලිහී යෑම අධෛර්යයට හේතුවක් නො කරගත යුතු බව ය.

සිහිය පිහිටුවාගැනීමේ වැදගත්කම නිතර සිහිපත් කර දෙන කල්‍යාණ මිත්‍ර ඇසුරක් තිබේ නම් මේ උත්සාහයට එය අමතර සවියකි. ධර්ම ශ්‍රවණය ද මෙහි ලා ඉතා වැදගත් වේ. මනා සිහිකල්පනාවෙන් කටයුතු කිරීමට දැන් පටන් ම අදිටන් කරගනිමු. එය කිසිත් කරකියාගත නොහැකි ජීවිතයේ අවසන් සමයට කල් තැබීම මහත් අනුවණකමකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *