අකුසල සමාපත්ති

cmadurawala
9 Min Read

ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියෝ

මේ කුඩා ලිපියට අපි පාදක කරගත්තෙ අංගුත්තර නිකායෙ පඤ්චක නිපාතයෙ එන අකුසල සමාපත්ති සූත්‍රයයි. එහි සාකච්ඡා කරන්නේ සැමදෙනා විසින්ම හඳුනාගෙන තිබිය යුතු ඉතා වැදගත් කරුණක් පිළිබඳව, එනම් අකුසල සමාපත්තිය පිළිබඳව. ඒ කියන්නේ අකුසලයට සමවැදීම පිළිබඳවයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕන මෙහි වචනාර්ථය. සමාපත්තියයි කියන්නේ මොකක්ද? සමවදිනවා. සමවදිනවා කියන්නේ ඒ තුළම රැඳෙනවා. වෙනත් අරමුණු කිසිවක් නොගෙන ඒ ආරම්මණය මතම බොහෝ වේලා මනස පවත්වන්නට පුළුවන් නම්, ඒකට කියනවා සමාපත්තියයි කියලා. සමවදිනවා කියලා.

(අ) කුසල සමාපත්ති

බාහිර අරමුණුවලින් වික්ෂිප්ත නොවී ධ්‍යානාංග තුළම බොහෝ වේලාවක් පවතින්නට පුළුවන් නම්, ඒකට කියනවා ධ්‍යාන සමාපත්තියයි කියලා. නිර්වාණය අරමුණු කරමින් සෝවාන් ඵලය සකෘදාගාමී ඵලය අනාගාමී ඵලය අර්හත් ඵලය කියන මේ ඵලයන් ගෙන් එකක් තුළ චිත්තය බොහෝ වේලාවක් පවත්වන්නට පුළුවන් නම්, ඒකට කියනවා ඵල සමාපත්තියයි කියලා. රහතන් වහන්සේලා සහ අනාගාමි උත්තමයෝ අෂ්ඨ සමාපත්තිලාභී නම්, උන්වහන්සේලාට මේ ජීවිතයේදීම සංඥා වේදයිත නිරෝධයට පත්වෙලා ආරම්මණ නොගෙන, සංඥා වේදනා නිරුද්ධ කොට බොහෝ වේලා පවතින්න පුළුවන්. ඒකට කියනවා නිරෝධ සමාපත්තියයි කියලා. මේ විදිහට අපි සමාපත්ති කියන්නේ සමවැදීම, පරිබාහිර අරමුණු නොගෙන අදාළ ආරම්මණයේම බොහෝ වේලාවක් පැවතීම, මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ කුසලයට සමවැදීම ගැන නෙවෙයි අකුසලයට සමවැදීම ගැනයි.

අපි හැමෝම භාවනා කරන්න උත්සාහ කරද්දී අපට මතුවෙන යම් යම් ගැටලු තියෙනවා. ඒ ගැටලු බොහොමයකට මේ සූත්‍රයෙන් පිළිතුරු ලැබෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ අපි කොහොමද භාවනාව සඳහා කාලය වෙන්කර ගන්නේ? බාහිර ගැටලුවලින් බාධාවක් නොවී අපි කොහොමද භාවනාව පවත්වන්නේ? ආදී බොහොමයක් ප්‍රායෝගික ගැටලුවලට මේ දේශනාවෙන් පිළිතුරු ලැබෙනවා.

අකුසල සමාපත්තියයි කියන්නේ අකුසලයට සමවැදීම. අපේ මනස දීර්ඝ කාලයක් සසරේ පුරුදු වෙලා තියෙන්නේ, හුරුවෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ අකුසල් දහම් ඇසුරු කරන්න. ඒ වගේම අපට හොඳ අභ්‍යාසයක් තියනවා. හොඳ පලපුරුද්දක් තියනවා අනිත් සියල්ලෙන්ම බැහැරවෙලා අකුසලය තුළ කිඳා බැහැගෙන ඉන්නට. ඒ ගැන තමයි මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ.

නොදැනම කෙරෙන භාවනාව

රාගයක් ද්වේෂයක් වගේ ප්‍රබල මනෝභාවක් ඇති වුනහම, අපි සිතමුකෝ යම් අවස්ථාවකදී තමන් වැඩ කරන කාර්යාලයේ හෝ වෙනත් පිරිසක් අතර ඉන්න කොට එහිදී කෙනෙක් අපට මොකක් හරි අවකැපෙන වචනයක් කියනවා. අපට ඒ වෙලාවට ඒක අහලා හිනැහිලා නිහඬ වෙන්න පුළුවන්. ඒක එතරම් දෙයක් නෙමෙයි. අවස්ථාවේ හැටියට අපි ඒක පස්සෙන් එතරම් ඵලවන්නේ නෑ. නමුත් අපට පස්සේ හිතෙනවා “ඒ මොකක්ද කිව්වේ? එයා කොහොමද එහෙම එකක් කිව්වේ?මොකක් හරි මම ගැන කථාවෙලා තියනවා. ඊයේ මම දැක්කා අහවලුන් එක්ක කතා කර කර ඉන්නවා. ඔය මනුස්සයා එකත් එකටම මොකක් හරි කියන්න ඇති. ඒ මිනිහ එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මං ගැන මොනවා කිව්වද දන්නෙ නෑ.” දැන් අපි මේක උපකල්පනය කරනවා එක් එක් විදිහට. මේ මනුස්සය අපේ අඩු පාඩු මොනව හරි දැනගෙන ඇති. අහවල් අහවල් අය මෙහෙම කේලම් කියන්න ඇති. ඒ නිසා තමයි මෙහෙම කිව්වේ ආදි වශයෙන්.

දැන් අපි මේ හරහා පුංචි චිත්‍රයක් ගොඩනගා ගන්නවා. ඒ චිත්‍රය තුළින් අර වචන ටික අපි විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා. නොයෙක් ආකාරයෙන් අදහස් එකතු කරනවා. එහෙම එකතුකරලා හිතන්න හිතන්න අපේ මනසේ අර වචන කිහිපය වටා ලොකු මනෝභාවයක් ගොඩ නැගෙනවා. ඒකට අකමැත්තෙන් අපි ඒ සමග තර්ක කරනවා. “ඇයි ඒ මනුස්සයා ඔක්කොම ඉදිරිපිට ඒක කිව්වේ? මම කොච්චර උදව් කරලා තියනවද ඒ මිනිස්සුන්ට? කෙළෙහිගුණයක් නැති මිනිස්සු” මේ විදිහට නොයෙක් ආකාරයෙන් අපි ඒ ගැන හිතනවා. මුලදී අර වචනෙ කියන කොට හිනා වෙලා ගියා. දැන් ටිකක් වෙලා යනකොට හිනා වෙන්න බැරි තත්ත්වයක් මනසේ ඇති වෙනවා.

මේ විදිහෙ තත්ත්වයක් උද්ගත වුණහම අර මුලින් නොතිබුණ එක්තරා මනෝභාවයක් අපේ මනසෙ වර්ධනය වෙලා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ. ද්වේෂය වර්ධනය වෙලා. මේකට තමයි අකුසල භාවනාව කියන්නෙ වඩවනවා. මොනවද වඩවන්නෙ? අපේ මනසේ තියන ගුණාංග වඩවනවා. චෛතසික ධර්ම වඩවනවා. චෛතසික ධර්ම කොටස් දෙකක් තියනවා. කුසල් සහ අකුසල් වශයෙන්. අපිට ඕන නම් කුසල් වඩවන්නත් පුළුවන්. ඕන නම් අකුසල් වඩවන්නත් පුළුවන්. හැබැයි නිරායාසයෙන්ම කෙරෙන දේ තමයි ඔය විදිහට අකුසල් වැඩෙන එක. ඒක අකුසල භාවනාවයි.

ඊට පස්සේ අපි කාර්යාල වෙලාව නිම වුණාම බස් එකට ගොඩවෙනවා. බස් එකේ එනකොටත් අපට අර වචන ටිකම මතක් වෙනවා. ටිකට් කඩන මනුස්සයා ටිකට් දෙන්න කෑ ගහනවා. ළඟ ඉන්න මිනිස්සු නොයෙක් ඕප දූප කතා කරනවා. ලොතරයි විකුණන මිනිස්සු කෑගහනවා. අනෙක් අය තව තවත් නොයෙක් දේ කතා කරනවා. බස් එකේ හෝන් ගහනවා. බ්රේක් ගහනවා. දැන් තමන්ට ඒ එකක්වත් බාධාවක් නෙමෙයි. තමන්ගේ භාවනාව දිගටම කරගෙන යනවා. අනිත් අය සද්ද කළා කියලා, ඇඟේ හැප්පුනා කියලා, ටිකට් ගන්න කිව්ව කියලා, ඒ කුමකින් වත් අපට දැන් බාධාවක් නෑ. දැන් අපි හිතන්නෙම අර මනුස්සයා මොකක්ද ඒ කිව්වෙ? ඇයි එහෙම කිව්වෙ? කව්ද මේ තොරතුරු දුන්නේ? මොනවද කියන්න ඇත්තෙ? ඔය ටිකත් එක්ක අපි වැඩෙනවා. වෙනදා අපට පැය එකහමාරක් බස් එකේ යන්න ඕන නම්, අද විනාඩි දහයක් ගත වුණා ද කියලාවත් තේරෙන්නේ නෑ. බස් එක අදාළ තැනට ගිහිල්ලා, ඉක්මනින් අපි බැහැ ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මූණ කට සෝදනවා. නානවා, කෑම කනවා, රූපවාහිනී බලනවා. මේවා කරන අතරෙම අපේ වැඩේ කරගෙන යනවා දිගටම. අර එකකින්වත් බාධා නොවී දිගින් දිගටම පවත්වා ගෙන යනවා. මේ මොකක්ද? අකුසල භාවනාවයි.

ඔබේ සිත එතරම්ම ප්‍රබලයි

දැන් අර බස් එකේදී ඇයි අපට කාලය එපමණ ගිය බව නොදැනුණේ.බාහිර එකම මනෝභාවයකින් වත් අපේ මනසට බාධා වුණේ නෑ. අදාළ අරමුණම විතරයි. ඒකට තමයි කියන්නේ සමවදිනවා කියලා. අකුසලයට සමවදිනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා සමහර විට අපි රූපවාහිනිය දිහා බලා ඉන්නවා. නමුත් එහි යන්නේ මොනවද කියලා අපි දන්නේ නෑ. එතකොට ඒකත් අපට බාධාවක් නොවෙයි. රූපවාහිනී බලන්න කොතරම් කැමති වුණත් ඒක බාධාවක් නොවෙයි. අපි ද්වේෂය නමැති මනෝභාවයට සමවැදිලා. පහුවදා අපි කාර්යාලයට ගිහිල්ලා අර මනුස්සයාව දකින කොට, සමහරවිට බැනවදින තරමට අපේ මනසේ ආවේගය වර්ධනය වෙලා. ඔන්න ඕක තමයි අකුසල භාවනාව සහ අකුසල සමාපත්තියයි කියන්නේ.

බොහෝ අවස්ථාවල අපට මෙහෙම වෙනවා. සමහර වෙලාවට සීනුව තියෙන තැන කතා කර කර ඉන්නවා. සීනුව ගැහැව්වද කියලා අපට ඇහෙන්නේ නෑ. මොකද කන් බීරිවෙලා තිබුණද? නෑ. එහෙනම් මොකක්ද වුණේ? ඒක මනසට ගත්තේ නෑ. එහෙනම් ඊට වඩා දෙයක් අපේ මනසේ තිබිලා තියනවා. අපි එක්තරා මනෝභාවයකට සමවැදිලා ඉඳලා තියනවා සීනු හඬත් නොඇසෙන මට්ටමට. මේක පිළිගන්න පුළුවන්ද? නමුත් එහෙම වෙනවා. අකුණක් පිපුරුවත් දන්නෙ නැති තරමට අපට යම් යම් මනෝභාවයන්ට සමවදින්න පුළුවන්.

දන්නා දෙයින් නොදන්නා දේට

එපමණ හොඳට සමවදින්න පුළුවන් වෙන්නේ අකුසලයට. කුසලයට සමවදින්න එපමණ පහසු නෑ. නමුත් අපි මේක තේරුම් ගත්තොත් අපහසුත් නෑ. ඕකමයි අපට කරන්න තියෙන්නේ කුසල භාවනාවෙදි. නමුත් කුසල භාවනාව කරන්න ගියහම “අනේ මට කකුල් නවන්න බෑ. දිගාරින්න බෑ. කොන්ද කැක්කුමයි. අවට ශබ්ද වැඩියි. අපි දැන් වයස් ගතවෙලා. මේවා අපිට කරන්න තේරෙන්නේ නෑ. මේ දවස්වල වැඩ වැඩියි. බාහිර ප්‍රශ්න වැඩියි. දරුවාගෙ ඉගෙනීම, ආර්ථික ප්‍රශ්න, මේවා ඔක්කොම තියෙද්දි ගෙදර ඉඳගෙන නම් මේක කරන්න බෑ. මම යනවා හුදෙකලා වෙන්න. ගිහිල්ලා මම කොහොම හරි භාවනා කරනවා” කියලා හිතාගෙන ඉන්නවා. එතකොට අර අකුසල භාවනාව කරගෙන යද්දී අපට දරුවො ප්‍රශ්නයක් වුණෙත් නෑ. ආර්ථිකය ප්‍රශ්නයක් වුණෙත් නෑ. කොන්ද ප්‍රශ්නයක් වුණෙත් නෑ. අතපය ප්‍රශ්නයක් වුණෙත් නෑ. බස් එකද මහ මගද කියන එක ප්‍රශ්නයක් වුණෙත් නෑ. රූපවාහිනිය දාල තියෙන එක ප්‍රශ්නයක් වුණෙත් නෑ. මොකවත් ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙනම් ඇයි මේ කුසල භාවනාවට විතරක් ප්‍රශ්න.

කාලයක් අකුසලය සමග වැඩිලා තියන නිසා අපට ඒවා ඇබ්බැහි වෙලා තියනවා. හරියට කෝච්චියක් රේල් පීලි උඩ තියලා එන්ජිම ක්‍රියාත්මක කළහම බාධාවක් නැතිව යන්නා වගේ. ඒක පිට පනින්නෙ නැතුව පාලනය කර ගන්න විතරයි තියෙන්නේ. කෝච්චිය යනවා දිගටම අර පීල්ල දිගේ. අන්න ඒ වගේ අකුසලය දීර්ඝ කාලයක් සසරේ පුහුණු කරලා තියෙන නිසා පීල්ල උඩින් තිබ්බ වගේ බාධාවක් නැතුව ඇදිලා යනවා. හැබැයි කුසල භාවනාව කරන කොට එහෙම නෑ. මහ පාරේ වාහනයක් පදවන්නා වගේ. අරහෙන් මෙහෙන් එන සියලු වාහනවලින් බේරිලා අපි යන්න ඕන. හැබැයි මේ ඔක්කොම බාධක අපිට තියෙන්නේ මේක තරමක් තේරුම් අරගෙන කුසල භාවනාව පුහුණු වෙන තුරු පමණයි. ක්‍රමය හරියට හඳුනා ගත්තොත් කෝච්චි පාරේ යනවා වගේ නෙමෙයි. ආකාසේ යන්නා වගේ ඕනම දිසාවකට ඕනම වෙලාවක ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන්. එතරම්ම සැහැල්ලුයි කුසල භාවනාව. නමුත් අපට මේක කරගන්න බැරි, තාම අපි මග හඳුනාගෙන අවතීර්ණ වෙලා නෑ. කොහොමද වෙන්නේ කියලා තේරුම් අරගෙන නෑ. ඒ නිසා කොහොමද කළ යුත්තේ කියලා තේරුම් ගන්න, හොඳම ක්‍රමය තමයි අකුසල භාවනාව සහ කුසල භාවනාව සන්සන්දනය කරලා බැලීම.

මේ විදිහට අපි අකුසල් වඩවනවා. අකුසලයට සමවදිනවා. ඒ අකුසලයට සමවැදුණහම බාහිර ආරම්මණ බාධාවක් වෙන්නේ නෑ. ඒ තුළම සමවැදී ඉන්න පුළුවන්. කුසල භාවනාව සාර්ථක කරගන්න මෙයින් අපට බොහෝ දේ ගත හැකියි. දැන් අපි එකින් එක අරගෙන බලමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *