කථිකාචාර්ය නිලන්ත පී. දිසානායක
ලොව පුරා වෙසෙන ශිෂ්ටාචාරගත වූ, නොවූ සියලු සංස්කෘතීන්හි වෙසෙන ජනී-ජනයා ස්වකීය ආගමික හා අභිචාරාත්මක විශ්වාස මත පදනම් වී සකස් කරගත් පූජා චාරිත්‍ර මගින් විවිධ අරමුණු සඵල කර ගැනීමට දරන්නා වූ ප්‍රෝත්සාහයක් නූතන විද්‍යාත්මක සමාජය තුළ ද විද්‍යාමාන ය. පුද පූජා යන්නෙන් පූජා වස්තූන් පිදීම, බුද්ධාදී මහෝත්තමයන්ට හා දෙවියන්ට ද භූතාදීන්ට ද ප්‍රභූන්ට ද කරනු ලබන විවිධ පුද සත්කාර අර්ථවත් වන බව සිංහල ශබ්දකෝෂයේ සඳහන් වෙයි. පුණ්‍ය චේතනාවෙන් යුක්තව යමක් ගෞරව පූර්වකව පිදීම, පූජා සංකල්පය තුළින් අර්ථවත් වේ. පූජා වස්තු පිදීම, උත්තමයන් සඳහා කරන විවිධ පුද සත්කාර පූජා ලෙස බෞද්ධ ශබ්දකෝෂයේ අදහස් කරයි.
මොනියර් විලියම්ස්ට අනුව පූජා ශබ්දය honour, worship, respect, reverence, veneration, homage to
superious or adoration of the Gods’. යන අර්ථයන්හි යෙදෙන අතර දෙවියන් කෙරෙහි පවතින භක්තිය හේතුවෙන් කරන පුද සත්කාර එහිදී පූජා ලෙස හඳුන්වයි. පූජා යන්න ගෞරව, බහුමාන, වන්දනීය යන අර්ථ විශද කරන සංස්කෘත පූජා ධාතුවෙන් නිපන් වදනක් වන බව පාලි – ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සඳහන් වෙයි. අභිධානප්පදීපිකාවට අනුව පූජා ශබ්දය අපචිති, අච්චිනා, පූජා-උපහාරො, බලි-මානනා යන අර්ථ හයේ ම යෙදේ. පිළිපැදීම පිළිවෙත් අනුව ක්‍රියා කිරීම සම්මත පිළිවෙතක් අනුගමනය කිරීම පූජා චාරිත්‍ර තුළ දී දැකගත හැකි ය. මේ අනුව කිසියම් ආගමික සන්දර්භයක් තුළ යහපත් යැයි සම්මත උපචාර විධීන් පුදපූජා යන්නෙන් අරුත් ගැන්වෙයි. ඇතැම්විට විවිධ සංස්කෘතීන් තුළ මුල්බැසගෙන තිබූ චූලසම්ප්‍රදායගත සංකල්ප සමූහයක් වර්ධනය වූ පූජා චාරිත්‍ර මහා සම්ප්‍රදාය (ප්‍රධාන ආගම) සමග ඒකාත්මික වීමෙන් සංකීර්ණ පූජා විධීන් බවට පරිවර්තනය වී ඇති බව පෙනේ. මේ අනුව ආගමික සංස්කෘතීන් තුළ පවතින විශ්වාස පද්ධතියට අනුකූල ව යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම පෙරදැරි කරගෙන පවත්වන්නා වූ සංකීර්ණ හා ක්‍රමානුකූල ක්‍රියාවලියක් ලෙස පුදපූජා හැඳින්විය හැකි ය. යම්කිසි ආගමක් දායක බැතිමතුන් විසින් ස්වකීය ලබ්ධියෙන් බලාපොරොත්තු වන ආධ්‍යාත්මික හෝ ලෞකික, නොඑසේ නම් මෙම දෙවර්ගයේ ම ප්‍රතිඵල ලබාගැනීම අරමුණු කර ගනිමින් සිදුකරනු ලබන ආගමික ක්‍රියා පිළිවෙත් පුදපූජා විධීන් තුළ අන්තර්ගත වේ.
මෙපරිද්දෙන් කිසියම් ලබ්ධිකයකු පුදපූජා පැවැත්වීමෙන් ලෞකික අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීම ප්‍රමුඛ වශයෙන් අරමුණු කළ ද ඒ තුළින් පුද්ගල ආධ්‍යාත්මික පසුතලයේ ද කිසියම් වූ ප්‍රජානනාත්මක දියුණුවක් ඇති වන බවට ගැනෙන අදහස මුළුමනින් ම බැහැර කිරීම සාධාරණ නොවේ. උක්ත අදහස් සමෝධානය කර බලන විට පුදපූජා යනු ආගමික සංස්කෘතීන්හි අන්තර්ගත ව පවතින විශ්වාස සහ පිළිගැනීම්වලට සමගාමී ව යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා පවත්වන සංකීර්ණ හා ක්‍රමානුකූල ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකි ය.
පූජා සංකල්පයේ ප්‍රභවය ගැන ආචාර්ය සුනිති කුමාර් චැටර්ජි මෙසේ පවසයි.
“හෝමය සහ පූජා යන අදහස් එකිනෙකට පරස්පර පසුතලයන්හි ප්‍රභවය ලබා තිබේ. මිශ්‍ර බවට පත්වූ හින්දූහු ද මිශ්‍ර වූ උපතක් ලැබූ බ්‍රාහ්මණයෝ ද හෝම සහ පූජා උරුම කර ගත්තෝය. ආර්යයන්ගේ විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකූ හෝමයට ආර්ය නොවූවන් එක්කර නොගත්හ. පශු කර්මය හෙවත් සතුන් බිලිදීම සාමාන්‍යයෙන් හෝම පූජාවේ අංගයක් විය. නමුත් පූජාව සියලුදෙනාට විවෘත විය. ඒ සඳහා අත්‍යවශ්‍ය වනුයේ මල් වේ. එහෙයින් එය පුෂ්ප කර්ම යැයි නම්කළ හැකිය. මේ පදනමෙහි පිහිටා සංස්කෘතයේ එන ‘පූජා’ යන්න මාක් කොලින්ස් ද්‍රවිඩ වචනයක් වශයෙන් තේරුම් කර ඇත. පූ ‘මල’ වශයෙන් ද චෙයි ජෙයි කිරීමට යන අර්ථය දනවන ද්‍රවිඩ ධාතුව සමග එක්ව වෛදික යුගයට අයත් ප්‍රාථමික ද්‍රවිඩයේ පූජෙයි = පුෂ්ප කර්ම, මල් පූජාව යන සමාස පදයක් ලෙස සංස්කෘතයේ පූජා ප්‍රභවයන්ට පත්වී ඇත. එහෙත් ජාල් කාපෙන්ටියර් මේ සඳහා යෝජනා කර ඇත්තේ ඇතිල්ලීම යන අරුත ඇති පූසු හෝ පූඩු යන ද්‍රවිඩ ධාතුවකි. ඒ අනුව සඳුන් සාදිලිංගම් හා ලේ තැවරීම පූජාවේ මූලික අංගයක් වේ. මහා භාරතයේ මල් පූජා විධිය අලංකාරය හා දෙවියන් විසින් පිළිගත හැක්කක් වශයෙන් අනුමත කර ඇත. මේ අනුව අවෛදික වූද ආර්ය නො වූ ද පූජා විධියක් ඇත්ත වශයෙන්ම පිළිගැනීමක් පෙනේ.”
මෙසේ අනුගමනය කරන නොයෙක් පුදපූජාවන්ගේ ප්‍රභවය කෙසේ සිදුවී දැයි පිරික්සීමේ දී එය දිගු ඉතිහාසයකට උරුමකම් කියන බව පෙනේ. විවිධ පුදපූජා ක්‍රමයන්හි ආරම්භයත් වර්ධනය වීමත් ප්‍රාථමික සමාජයන්හි ආවේණික ලක්‍ෂණයකි. එය එසේ වනුයේ එම සමාජ ස්වභාවධර්මය විසින් පාලනය කරනු ලබන බැවිනි. පෙරදිග සම්භාව්‍ය ආගමික සම්ප්‍රදායක් වන වෛදික සාහිත්‍යයත් අපරිදිග සම්භාව්‍යය ආගමික සම්ප්‍රදායක් වන ග්‍රීක සාහිත්‍යයත් මෙයට අවශ්‍ය නිදසුන් සපයයි. මේ හැර මිසර, බැබිලෝනියන්, ඇසිරියන් ආදී ශිෂ්ටාචාරයන්ගෙන් ද මේ හා සමාන තොරතුරු ලැබේ. ඒ සියල්ලෙන් සනාථ වන්නේ පුදපූජාවන්ගේ ආරම්භය ද මානව ශිෂ්ටාචාරයේ සම්භවය තෙක් දිවයන බව යි.”
බුදුසමයේ අන්තර්ගත පූජා සංකල්පය
බෞද්ධ පූජා චාරිත්‍ර මුල් බුදුසමය තුළ ඉතා ම සරල ව දක්නට ලැබේ. බුදුරදුන් හා සම්බන්ධ පූජාවන්හි ආරම්භය සංඝ සමාජය බිහිවීමටත් පෙර සිට ආරම්භ විය. තථාගතයන් වහන්සේ සම්බෝධියට පත්වී සත්සතියක් ගෙවී අවසන් වූ දින ආමිස පූජාවක් ලෙස තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ උන්වහන්සේට විළඳ හා මී පිඩු පිළිගැන් වූහ. එතැන් සිට චුන්දකර්මාර පුත්‍රයා, පිරිනැමූ අවසාන දානය දක්වා තථාගතයන් වහන්සේට රජ, සිටු, මැතිවරු හා දුගී ජනයා පිළිගැන්වූ දන් පිළිගත්හ.
බුද්ධ කාලයේදී ම ‘දානය’ පූජා විධිමය සංකල්පයක් ලෙස සකස් වී වර්ධනය වූ ආකාරය පාලි මූලාශ්‍රයාගත තොරතුරුවලින් අනාවරණය කෙරේ. එය සැදැහැතියන් විසින් සිදුකරන ලද ප්‍රධාන ආගමික පූජා විධිය ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. මූලික පිටක ග්‍රන්ථයන්හි දානය යන්නෙන් අදහස් කර ඇත්තේ දුගී මගී යාචකාදීන් විෂයයෙහි පිරිනමන තිළිණ වර්ගයක් නොව, බ්‍රාහ්මණ ආගමික ව්‍යවහාරයේ පැවැති යාඥා හෙවත් යාගයට හා ගෝත්‍රික සමාජයන්හි පැවැති පූජා විධීන්ට වඩා සුඛනම්‍ය වූත් ඵලදායි වූත් ආගමික කටයුත්තක් ලෙස ය. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදුණු සැදැහැතියකුගේ පළමු ආගමික කාර්යය වශයෙන් නිකාය ග්‍රන්ථයන්හි දැක්වෙන්නේ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට පසුදින දහවල දානයට ආරාධනා කොට වැඩම වීම යි.
බුදුරදුන්ට පමණක් නොව බුද්ධ ශ්‍රාවකයන්ට පූජා පැවැත්වීම ඓහලෞකික දියුණුවට හේතු වන්නකි. එමෙන් ම පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ස්තූප ඉදිකර ගෞරව දැක්වීම මහා කුසලයකි. ‘චෛත්‍ය චාරිකා කරන්නෝ මරණින් මතු සදෙව්ලොව උපත ලබති’යි මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ.
පූජාවන්ට සුදුසු ප්‍රපංචයන් ඉක්මවා ගිය, ඉක්මවා ලූ ශෝක පරිදේවයන් නැති බුදුවරයන් වහන්සේලාට හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට යමකු යමක් පූජා කරයි ද, එයින් අත්වන පින මෙබඳු යැයි ගණන් කොට කීමට නො හැකි ය.
බෞද්ධ පූජා පිළිබඳ විමසීමක යෙදෙන මහාචාර්ය ඇකිරියගල නන්ද හිමියෝ, බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයනුත් විසින් පරිභෝග කරන ලද ශුද්ධ යැයි සම්මත වස්තු හා ස්ථාන මුල්කර ගෙන ගොඩනැඟුණු කිසියම් චාරිත්‍ර හා අභිචාර සමූහයක් ලෙස පුදපූජා හැඳින්විය හැකි බව පවසති.
“පූජා” යන්න පාලි නිකාය සාහිත්‍යයේ ද යෙදී ඇති ස්ථාන රැසක් හමුවේ. ආමිස පූජා හා ධර්ම පූජා යනුවෙන් පූජා වර්ග දෙකක් පිළිබඳව අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වේ. ඒ අතුරෙන් ධර්ම පුජාව උතුම් වේ. සත්‍ය ගවේෂණයේ නිමග්නව සිටි සිද්ධාර්ථ බෝසතුන්ට ආලාරකාලාම හා උද්දකරාමපුත්ත ආචාර්යවරුන් මහත් වූ පූජාවන් සිදුකළ බව පෙළෙහි දැක්වේ.
පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං යනුවෙන් පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් වන බව මංගල සූත්‍රයේ සඳහන් ව තිබේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරු ව බුද්ධ දේහය කෙසේ ගෞරව බහුමානයට පාත්‍ර කළ යුතු දැයි අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් විමසූ අවස්ථාවේ බුදු මුවින් දේශිත පිළිතුර වූවේ “ආනන්ද ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීමට උත්සාහ නොකළ යුතු ය. ඒ සඳහා ගිහියෝ සහ බමුණෝ සිටිති. ඔවූහු තථාගත සිරුරට පූජා කරන්නාහ” යන්නයි. “පූජකෝ ලභතෙ පූජං – වන්දකො පටිවන්දනං’‘ යනුවෙන් මෙත්තානිසංස සූත්‍රයෙහි සඳහන් කරන්නේ පූජා හා වන්දනා කරන්නාට පෙරළා වැඳුම් පිදුම් ලැබෙන බව යි.
යථොක්ත් කරුණුවලින් පැහැදිලි වන්නේ ඵලාපේක්‍ෂාවෙන් පුදපූජා කිරීම පිළිබඳ අදහස මුල් නිකාය ග්‍රන්ථවල පිළිගෙන ඇති ආකාරයයි. පොදු ජනයාට මෙලොව පරලොව වශයෙන් පිනක් ලබා දීමට සමත්කමක් පූජාවන්හි තිබෙන බවට මේ තුළින් ජනතාව දැනුවත් කර තිබෙන බව පැහැදිලි ය. ජාණුස්සෝනි බ්‍රාහ්මණයාට දානමය පුණ්‍ය කර්මයෙන් ලැබෙන පුණ්‍ය ඵල විස්තර කරන බුදුරජාණන් වහන්සේ එමගින් දිව්‍යමය සැපසම්පත් ලැබෙන බව පැහැදිලි කළහ. ආහාර පූජා කරන්නාට බලය ද, වස්ත්‍ර පූජා කරන්නාට වර්ණය ද, යාන වාහන දෙන්නාට සැප ද, පහන් පූජාවේ යෙදෙන්නාට දීප්තිමත් ඇස් ද, වාසස්ථාන පූජාවේ යෙදෙන්නාට සියලු සැප සම්පත් ද, ධර්ම දේශනාවේ යෙදෙන්නාට නිවන ද අත්පත් කරගත හැකි බව සංයුක්ත නිකායේ සඳහන් වේ.
සිව්පස පූජාව පිළිබඳව ඉදිරිපත් වන මෙම විවරණයන් තුළින් ගම්‍ය කරනුයේ සසර ගමනේ නිමග්න ව සිටින පුද්ගලයාට අවශ්‍ය සැප සම්පත් සාධනය කර ගැනීම විෂයයෙහි ආමිස පූජාවේ උපයෝගීතාවක් පවතින බව යි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ දානානිසංස පහක් දක්වා තිබේ.
“පඤ්චිමෙ භික්ඛවේ දානෙ ආනිසංසා කතමේ පඤ්ච? බහුනොජනස්ස පියො හොති මනාපො, සන්තො සප්පුරිසා භජන්ති, කල්‍යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති ගිහී ධම්මා අනපෙතො හොති, කායස්ස භෙදා පරම්මරණං සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති…”
මෙහි සඳහන් මුල් ආනිශංස හතර වන බොහෝදෙනාට ප්‍රියමනාප වීම, සත්පුරුෂයන් භජනය කිරීම, යහපත් වූ කීර්තිරාවය පැතිර යෑම, පඤ්ච ශීලාදී ගුණ ධර්මයන්ගෙන් යුක්ත වීම සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන අනුසස් වන අතර පස්වැන්න වූ මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයන්හි ඉපදීම සම්පරායික වශයෙන් ලැබෙන සුවයකි.
බෞද්ධ විග්‍රහයට අනුව දාන පූජාව කොටස් දෙකකින් සිදු කළ හැකි ය. එනම් පූජා බුද්ධියෙන් දෙන දානය සහ අනුකම්පා බුද්ධියෙන් දෙන දානය වශයෙනි. ශීලාදී ගුණධර්මයන්ගෙන් උපලක්‍ෂිත ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් විෂයයෙහි පිරිනමන දානය පූජා බුද්ධියෙන් යුක්ත වූ දානය ලෙස සැලකේ. එබඳු උතුමන්ට පහන් සිතින් දාන පූජාව සිදු කරයි ද ඒකාන්තයෙන් ම එය මහත්ඵල මහානිශංස වන්නේ ය. එසේ ශ්‍රද්ධා ගුණයෙහි පිහිටා දන්දෙන පුද්ගලයා දීමට පළමුව ද, දෙන අවස්ථාවේ ද, දීමෙන් අනතුරුව ද සිත සතුටු කර ගත යුතු ය.
අනුකම්පා බුද්ධියෙන් පිරිනමන දානයට හුදෙක් අනුකම්පාව පමණක් මුල් වේ. “තෙ දක්ඛිණෙය්‍යා
සුගතස්ස සාවකා – එතේසු දින්නානි මහප්ඵලානි” යනුවෙන් බුද්ධ ශ්‍රාවකයන්ට දෙන දානය මහත්ඵල ගෙන දෙන බව සුත්ත නිපාත රතන සූත්‍රයේ සඳහන් වේ.
පෞද්ගලික ව පිරිනමන දානයට වඩා සාමූහික ව පිරිනමන දානය බුදුරජාණන් වහන්සේගේ පවා ඇගයීමට ලක්ව තිබීම විශේෂ ය. සියතින් සකස් කරන ලද සඟල සිවුරක් පූජා කිරීම සඳහා මහප්‍රජාපතී ගෝතමී තෙරණිය අවසර පැතූ අවස්ථාවේ, “ගෝතමිය සංඝයාට දෙන්න. එවිට මට ද පූජා කළා වන්නේ ය” යැයි වදාළ සේක. මේ අනුව පෞද්ගලික දානයට වඩා සාමූහික දානයෙහි වටිනාකම ප්‍රතීයමාන කර ඇති බව පෙනේ. මජ්ඣිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයෙහි පෞද්ගලික දාන 14ක් හා සඟසතු දාන 07ක් ගැන සඳහන් වේ. සාමූහිකව යමක් පුජා කිරීමේ දී කලාත්‍රයවර්තී පිරිසක් එයට ඇතුළත් වීම මෙහි දී ඉදිරිපත් වන වැදගත් දේශනාවක් ලෙස සැලකිය හැකි ය. අග්‍ර වූ සංඝරත්නයට දන් දෙන්නා වූ නුවණැති පුද්ගලයා දෙවි බවට හෝ මනුෂ්‍ය වූයේ නම් සෙසු ආදායක දෙව්මිනිසුන්ට වඩා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වෙයි.
දානය සඳහා වැඩමවාගෙන එනු ලැබූ භික්‍ෂූන් වහන්සේ විසින් දානය වැළඳීමෙන් පසු පිරිසට පුණ්‍යානුමෝදනාවක් සිදුකිරීම මුල් කාලයේ සිට ම ව්‍යවහාරයේ පැවත තිබේ. එය පෞද්ගලික පූජා විධියක් වශයෙන් නොව බොහෝදෙනාගේ සහභාගිත්වයෙන් සිදුවූවක් බව පෙනී යයි. එම නිසා බුදුසමය අනුදත් සැදැහැතියන්ට විවෘත වූ පූජාමය ආගමික ක්‍රියාවක් ලෙස දානය හැඳින්වීම වඩාත් සාධාරණ ය. එමෙන් ම බෞද්ධ ගිහි සාමාජිකයන් සඳහා ව්‍යවහාරයේ පැවැති ඔවුන්ගේ පූර්ණ සහභාගිත්වය ලැබුණු ආගමික පූජාව දානය බව පෙනේ.
දානයේ ආනිශංස වශයෙන් සකලවිධ ලෞකික සම්පත් සාධනය කරගත හැකිවා මෙන් ම අවසානයේ නිර්වාණය ද ලබාගත හැකි ය යන්න ඛුද්දක පාඨ නිධිකණ්ඩ සූත්‍රයේ සඳහන් වෙයි.
ආමිස පූජාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ දී ආහාර ද්‍රව්‍ය පුජාව පමණක් නො ව සිව්පසයෙහි ලා ගැනෙන සෙසු ප්‍රත්‍යයන් පුජා කිරීම ද එයට අන්තර්ගත කළ හැකි ය. බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට කරන ලද ප්‍රථම ආරාම පූජාව ලෙස සැලකෙන වේළුවනාරාම පූජාව බුදුසමයේ පූජා සංකල්පය සුවිශේෂ අවස්ථාවක් නිරූපණය කරයි. බුද්ධ කාලයේ විසූ රජවරු, සිටුවරු හා මහාමාත්‍යවරු ප්‍රමුඛ සැදැහැතියෝ සුවිශාල ආරාම ඉදිකර බුදු සසුනට පුජා කළහ. බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා ඒවා හුදු පූජා හෝ අනර්ථකාරී ක්‍රියා ලෙස සලකා ප්‍රතික්‍ෂේප කළ බව තොරතුරු පෙළෙහි කිසිදු තැනක නොදැක්වේ.
මේ ආකාරයට මූලික බෞද්ධ ග්‍රන්ථයන්හි පෙනෙන පුද පූජා, වන්දනාමාන පිළිබඳ තොරතුරු පසුකාලීන ව එනම් අට්ඨකතා යුගයේ දී තවත් වර්ධනයට පත් වී තිබේ.