දහම්සොඬ ජාතකය

rashi
By rashi
8 Min Read

සුගත් වීරසූරිය

අලු‍ත් දවසකට ඉර එළිය වැටුණේ ය. එහෙත් දවස උදා වෙද්දී ම පැවැති වැහි බීරිම පැය ගණනාවක් ඉක්ම ගිය ද එලෙසින් ම පැවතුණේ ය. එනමුදු ඒ තවත් හෝරාවක් හෝ දෙහෙකට පමණි. හෙමි හෙමින් ගලා ආ කාලයේ මහ දිගු ගඟ මද්දහනය අභියස නතර වෙද්දී ඉර ගිනියම් වීමට පටන් ගත්තේ ය. වැහි බීරිම අතුරුදන් විණි. ගහේත්, වැලේත්, කොළේ හා මලේත් තිබුණු පිණි කැට සැඟවී ගත්තේ කොතැනක ද? එය කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. ඈත ගම් දනව් වෙතින් හමා හා රළු හුළඟ දැඩි උණුසුම් ස්වරයක් රැගෙන ආවේ ය. මුහුදේ මහ රළ ගෙඩි පෙරළෙන විට නැඟෙන හෝ හෝ හඬ යළි යළිත් ඇහෙන්නට වුණේ ය. තෙරක් නො පෙනෙන තරම් දිග දුරකට ඇදී ගිය වන සේයාවේ තුරු මුදුන් එකිනෙක ගැටිණ. මුහුදේ නො නිමි ඝෝෂාවත්, වන ගැබෙහි අඳෝනාවත් බරණැස් නුවරට ඇහෙද්දී දහම් සොඬ මහ රජතුමා සඳලු‍ තලාවට වී හුදෙකලා ව සිටියේ ය. රාජ මාළිගය බොහෝ දැසි දස්සන් ගෙන් ගැවසගෙන තිබුණේ ය. එය එසේ වුවත් මැඳුරු බිම දැඩි නිහඬතාවයක ගිලී පැවතිණ. එය රජුගේ හිතට නොහිම් සොම්නසක් ගෙන ආ බවට සැක නැත. කරුණාබරිත නුවන් යුගින් ඈත බලා හුන් ඔහුගේ ගැඹුරු කල්පනාව මොලවනු ලැබුවේ ද ඒ නිශ්චල බව ම විසිනි. රජ තෙම බුදුන් සරණ ගොස් සිටියේ ය. තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සතු ගුණ සමුදාය කොතරම් ද? නිමාවක් නිශ්චය කොට ගත නොහැකි එය අනන්තය තෙක් පැතිර සිටී. එමහ මුනිඳුන් සතු නැණ සමුදායයෙහි ද එවන් වූ තෙරක් හෝ අවසානයක් දැක ගැනීමට නොහැකි ය. ඒ ගුණ රැසින් මෙන්ම නැණ සමුදායෙන් ද යුතු වූ බුදුරජාණන්වහන්සේ සත් වග සසර කතරින් එතෙර කරවා වදාළෝ නො වේ ද? එම සිතැඟි සර විසින් රජ තෙම තව තවත් කල්පනා සයුරට ම වැටෙද්දී ඔහු සිත වූ ශ්‍රද්ධාධික සිතිවිලි මහරු පියුමක් ලෙසින් පිබිදුණේ ය. එයින් ඔහුගේ නෙතට සතුටු කඳුළු ද ගලා ආවේ ය. බුදු රුව ඔහු හිතෙහි ඇඳුණේ ය. දහම් සොඬ නිරිඳුනට ජීවමාන බුදුන් දකින්නට දැඩි කැමැත්තක් ඇති වුණේ ය. එහෙත් උන්වහන්සේ පිරිනිවන් පා දැනටත් වසර දහස් ගණනක් ඉක්ම ගොස් තිබිණ. බුදුන් නැති ලොව දහම් ද තිබිය නොහැකි ය. එය එසේ ම වී. කාලයේ ගඟ දියට හසු ව අතුරුදන් ව ගිය ඒ දහමින් බිඳක් හෝ සොයා ගන්නේ කෙසේ ද? දහම් නො දැන ගත කරන ජීවිතය හරියට රළ නොමැති වෙරළක් වැන්න. ප්‍රදීපය නිවී ගිය අඳුරු ගෘහයක් බඳු එහි තවත් කුමකට නම් රැf​ඳන්න ද? එක්වර ම ඒ හැම සිතිවිල්ලක් ම අතැර දැමූ දහම් සොඬ රජතුමා ඇතුළු ගැබට පියමන් කළේ ය. එයින් ඉක්බිති ව සර්වාභරණයෙන් සැරසුණු හෙතෙම කෙළින් ම පැමිණියේ රාජ සභා මණ්ඩපයට ය.

“ජයතු භවං මහා රාජ” යි අමාත්‍යයෝ රජතුමා පිළිගත්තෝ ය. නිරිඳු තෙම සෘජු ව සභා ගැබ දෙස බැලී ය . “අමාත්‍යයිනි, අද මා හට නුඹලා ගෙන් වෙසෙස් කාරණයක් දැනගන්න තියෙනවා. ඉදින් නුඹලා කවුරුන් හෝ දන්නවා ද, සම්‍යක් සම්බුදු රජාණන්වහන්සේ සදෙසා වදාළ දහමෙහි ඉතා කුඩා තැනක් හෝ? එසේ නම් මට නොවලහා එය පවසන්න.” රජු ඉල්ලා සිටියේ ය. සභා ගර්භයෙහි පියන් පත හැර තිබූ විශාල ජනෙල් රාමුවෙන් දුර ඈත වූ මහ මුහුද පෙනුණේ සිත්තරෙකු විසින් සිත්තම් කෙරුණු අපූරුතම සිතුවමක් මෙන් ය. වැල්ලට ඉහළ අහසේ එහා මෙහා ඉගිල ගිය මුහුදු ළිහිණින්ගේ ඝෝෂාව රාජ මාළිගයට ඇහුණේ යන්තමිනි. සභා ගර්භයේ ඉඳි කටු තුඩක් බිම වැටුණ ද එය ද ඇහෙන තරමට ම එහි රැස් ව සිටියෝ තුෂ්ණීභූත වී සිටිය හ. එම නිහැඬියාවත් සමගින් ම සබයෙහි කටයුතු ද එතෙකින් අවසාන වී. පසු දාට පහන් වූ ඉක්බිති බරණැස් නුවර වැසි කාටත් දැක ගත හැකි වූ දසුන මහත් වූ අසිරිමත් එකක් වී ය. අලංකාර ලෙස ඝන රනින් සරසනු ලැබූ රජතුමාගේ මඟු‍ල් ඇතු වීදි පුරා යමින් සිටියේ ය. ඇතු පිට තබා තිබුණේ දහසින් බැඳි පියල්ලෙකි. ඇත් ගොව්වා ද ඇතා ළඟ හිටියේ ය. වීදි දෙපසත්, ගම්මානවලත් සිටි සැවොම මේ දෙස බලා හුන්නේ ලොකු කුතුහලයකිනි. බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද දහම් ගාථාවක් හෝ එයින් අර්ධයක් හෝ දන්නා කෙනෙක් වී ද? එය දහම් සොඬ මහ රජතුමාට පවසන්නේ නම් දහසින් බැඳි පියල්ල ඔහුට හමු වන බව ඇත් ගොව්වා නිවේදනය කළේ ය. තත්පර පැය වී කාලය ඉක්ම යද්දී දවස ද මිය ඇදිණි. එහෙත් දහම හෝ එහි අරුත වත් දන්නා කෙනෙකු මුළු බරණැස් රාජ්‍යයෙනුදු හමු නො වුණේ ය. එතරම් ම සදහම් පිපාසයකින් පෙළු‍ණු රජතුමාගේ හැම බලා පොරොත්තුවක් ම ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් සුණුවිසුණු වී ගියේ ය. ඔහු තුළ විශල් කලකිරීමක් ඇති වුණේ ය. රාජ මාළිගයේ තවත් රැඳී සිටීමට ඔහුට කැමැත්තක් නො වී ය. කෙසේ හෝ දහම සොයා ගනිමි යි සිතූ ඔහු රජකම ද අතහැර මහ වනය වෙත නික්ම ගියේ ය. මේ නම් කොයිතරම් අසිරිමත් ජීවනයක් ද? දහමක් සොයා ගැන්ම වෙනුවෙන් රාජශ්‍රීයය ද අතහැර මහ කටුක වන පියසකට ගිය ගමන! දහම් සොඬගේ මේ මහා පරිත්‍යාගයෙන් සක් දෙවියන්ගේ පඬුපුල් අසුන උණු වී ගියේ ය. රජු කෙරෙහි ඔහු තුළ මහත් වූ ගෞරවාදරණීය සෙනෙහසක් හට ගත්තේ ය. මා තව දුරටත් මේ නිරිඳු තෙමගේ හිත් හසර පරීක්ෂා කරන්න ඕනෑ යි හිතූ සක් දෙවි තෙම රෞද්‍ර වූ යක් වෙසක් ගෙන වනයේ තනි වූ රජුන් අභිමුවට ආවේ ය. යකු දුටු රජතුමා තුළ කිසිදු වෙනසක් ඇති නො වී ය. එය තවත් එක හමු වීමක් පමණෙකැ යි රජතුමා කල්පනා කළේ ය.

“ඔබ යක්ෂ සේනාධිපති කෙනෙක් ද? ඔබ තථාගතයාණන් වහන්සේ සදෙසා වදාළ දහම දන්නවා ද? සංසාර දුකින් එතෙර වීමට සිත පැහැදෙන දහම දන්නවා නම් මට එය කියා දෙන්න. ඔබට මාගේ බරණැස් රාජ්‍යය ම පවරා දෙන්නම්. නැති නම් මාගේ ජීවිතය හෝ අරගන්න” රජතුමා කීවේ ය. “මහ රජතුමනි, මා එයදන්නවා. නමුත් දැන් මට බොහෝ කුසගිනියි. පළමුව මට ඔබව කා දමන්නට ඉඩ දෙන්න. එයින් පසු මා ඔබට ඒ දහම කියා දෙන්නම්” යක්ෂයා කී ය.

“යක්ෂය, මා අනුභව කළ පසුව නුඹගේ දහම අසන්නට ඉතිරි වන්නේ කවරෙක් ද? එහෙයින් නුඹේ කුස ගින්නත්, මාගේ සදහම් පවසත් එක්වර ම සංසිf​ඳන මඟක් සිතව” යි රජ තෙපළේ ය.

“රජතුමනි, එසේ නම් ඔබ අර පෙනෙන මහ පර්වතයට නැඟ මාගේ කටට පනින්න. ඒ අතර මා ඔබට ඇහෙන්න ධර්මය දේශනා කරන්නම්.”

යක් තෙමගේ නියමයට අනුව රජු මහ පර්වතය මුදුනේ සිට යකුගේ ගිනි අඟු‍රු වළක් වැනි වූ කටට පැන්නේ ය. සිදු වූයේ අසිරිමත් සිදු වීමෙකි. බියකරු යක්ෂයා හිටි තැන යකෙකු දක්නට නො ලැබුණේ ය. ඒ වෙනුවට එතැන හිටියේ අනන්ත රූ සපුවෙකින් යුතු වූ දෙව් මහ රජ කෙනෙකි. පර්වත මුදුනේ සිට පිනූ දහම් සොඬ රජු හෙතෙම දෝතට පිළිගත්තේ ය. “අනිච්චාවත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ – උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී – තේසං වූප සමෝසුඛෝ” යි දහම් සොඬට ඒ දෙව් මහ රජුන් දෙසූ සදහම ඇසුණේ ය. එයින් පසුව සක් දෙවි තෙම දහම් සොඬ දෝතෙහි තබාගෙන තව්තිසාවට කැඳවාගෙන ගියේ ය. එයින් පසු යළිදු මිනිස් ලොවට කැටුව ආවේ ය. නැවතත් බඹදත් රාජ තනතුරෙහි පිහිටවනු ලැබී ය. එකල දහම් සොඬ රජතුමා නම් දැන් ලොව්තුරා බුද්ධත්වයට පත් තමන් වහන්සේ යැ යි දක්වා වදාළ බුදුරජාණන්වහන්සේ මේ දහම් සොඬ ජාතකය නිමවා වදාළ සේක.

ජීවිතයක් තුළ මිනිසුන් කොතෙක් නම් දේ සොයයි ද? එහෙත් ඔවුන්ගේ දහසක් කම්කටොලු‍ හා සෝ ලතැවුල් තුනී කිරීමට ඒවායින් ලැබෙන්නේ කෙතරම් අල්ප වූ පිටිවහලක් ද? එය ද විටෙක ඔවුන් වෙත අපමණක් බියජනක සිතිවිලි රැගෙන ඒ. එහෙත් දහම සෙවීමෙන් කවරදාක වත් එවැන්නකට මුහුණ දීමට සිදු වන්නේ නැත. එම නිරාමිස ගවේෂණයෙන් සත්ත්වයාගේ හැම ජීවන මොහොතක් ම ආරක්ෂා වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *