නුපුහුණු මනස ව්‍යාකුල ය. කළ යුත්ත හෝ නො කළ යුත්ත හෝ පිළිබඳ වුව ඊට නිශ්චයක් නැත්තේ ය. බාහිර පරිසරයේ විවිධත්වයෙනුත් ඒවා කෙරෙහි පහළ වන ආවේගවලිනුත් නුපුහුණු මනස වැසී ඇත්තේ ය. ඒ කොතෙකින් ද යත්, බොහෝ දෙනා මනස යනුවෙන් යමක් ඇති බව හෝ නො දකිති. මන්ද, මනසට නිතර ම බාහිර පරිසරයේ පුද්ගල, වස්තු ආදිය ආරෝපණය ව පවතින බැවිනි. එවිට හුදෙක් බාහිර ලෝකය ම ප්‍රකට වන්නේ ය. එය ම හඹා යන්නේ ය. ආධ්‍යාත්මික ලෝකය යටපත් වන්නේ ය; අමතක වන්නේ ය. අසීමිත ව බාහිර පරිසරයට නිරාවරණය වන විට පුද්ගල – වස්තු ආදිය ඉතා ශීඝ්‍රයෙන් සම්මුඛ වන්නේ ය. එතැන ඇත්තේ කලබලයකි. එවිට ආධ්‍යාත්මික නැඹුරුව කෙරෙහි ඉස්පාසුවක් නැත්තේ ය. බාහිර බාධා කිරීම් අවම නිස්කලංක පරිසරයක දී භාවනා පුහුණුව ආරම්භ කළ යුත්තේ එබැවිනි. ඊට අරණ්‍ය, රුක්මුල්, හිස් කුටි වැනි විවේකී තැන් වඩා යෝග්‍ය ය. එහෙත් ඒ හුදෙක් භාවනා පුහුණුවේ ආරම්භයේ දී ය. පුහුණුව ස්ථාවර වූ පසු, ඕනෑ ම පරිසරයක දී සිය ආධ්‍යාත්මික වටිනාකම් ආරක්ෂා කරගත හැක්කේ ය. ඒ අනුව, කටයුතු බහුල අයට පවා දවසේ ලැබෙන තාවකාලික විවේකයේ දී භාවනාව ප්‍රගුණ කළ හැක්කේ ය.
භාවනා පුහුණුව සඳහා මනසින් හුදෙකලා වීම අත්‍යවශ්‍ය ය. නුපුහුණු මනසක් ඇති තැනැත්තා පිරිසෙන් හුදෙකලා ව සිටියත් මනසින් පිරිස ඇසුරු කරන්නේ ය. එහෙත් භාවනා පුහුණුවෙහි යෙදෙන්නා පිරිසක් අතරේ සිටියත් මනසින් හුදෙකලා වන්නේ ය. ඔහු වැඩි අවධානයක් දක්වන්නේ සිය ආධ්‍යාත්මික වටිනාකම් කෙරෙහි ය. ශීලය යනු එවන් මූලික ආධ්‍යාත්මික වටිනාකමකි. ශීලයෙන් තොර වූ විට ආධ්‍යාත්මික නැඹුරුව ගිලිහෙන්නේ ය. පුන පුනා ශීලය පලුදු වීමෙන් ආධ්‍යාත්මික නැඹුරුවෙන් ඉඳුරා ම බැහැර වන්නේ ය. ශීලය තුළ ස්ථාවර වීමෙන්, භාවනා පුහුණුවෙන් ලබන ආධ්‍යාත්මික ප්‍රබෝධය කලක් තහවුරු වන්නේ ය. එබැවින් ශීලය අත්‍යවශ්‍ය වූ අභ්‍යන්තර සාධකයකි. එසේ ම භාවනා පුහුණුවට උපකාර කරන බාහිර සාධක ද ඇත්තේ ය. භාවනා පුහුණුව සඳහා පරිණත ආධ්‍යාත්මික ගුරුවරයකුගේ ඇසුර උපකාර වන්නේ ය. දහම් කරුණු අසා දැනගැනීමේ ශක්තිය ‘සුතමය ප්‍රඥාව’ ය. දහම් කරුණු සිතා දැනගැනීමේ ශක්තිය ‘චින්තාමය ප්‍රඥාව’ ය. හුදෙක් ඉන් දහම් කරුණු ප්‍රායෝගික ව දැනගැනීම සඳහා පොලඹවන්නේ ය. එහෙත් ඉන් දහම් කරුණු අධ්‍යාත්මයට සමීප නො කරන්නේ ය. ආධ්‍යාත්මික ව ධර්මය ජීවමාන කිරීමේ ශක්තිය ‘භාවනාමය ප්‍රඥාව’ ය. එය ප්‍රායෝගික පුහුණු ක්‍රම ඇසුරෙන් හඳුනාගත යුතු ආධ්‍යාත්මික තාක්ෂණයකි. ප්‍රායෝගික ව ධර්මය පුහුණු කළ අය වෙතින් ලැබෙන ඉඟි, ආධුනිකයන්ට යා යුතු මාර්ගය පෙන්වන්නේ ය; මංමුළා විය හැකි තැන් කල්තියා අඟවන්නේ ය; ආධ්‍යාත්මික චාරිකාවට යෝග්‍ය බාහිර වටපිටාව ගොඩනඟන්නේ ය. එබැවින් ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ ඇසුරට ආධුනිකයෝ රුචි වෙති. එසේ ආධ්‍යාත්මික පිරිවර තුළ අන්‍යෝන්‍ය සුහදතාවක් ඇතත්, තම තමා හුදෙකලා ව පුහුණුවෙහි යෙදිය යුතු ය. එබැවින් භාවනා පුහුණුවත් හුදෙකලාවත් එකට බැඳී ඇත්තේ ය.
භාවනාවේ දී වන්නේ වැඩීම ය; පුරුදු කිරීම ය; පුන පුනා ඇසුරු කිරීම ය. යම් මානසික ස්වභාවයක් පුන පුනා ඇසුරු කරන්නේ නම්, ඒ මානසික ස්වභාවය වඩාත් ප්‍රබල ව නැඟී සිටින්නේ ය. කිලිටි මනෝභාව හා අන්ධකාර වූ ආධ්‍යාත්මික අනවධානය යනු නුපුහුණු මනසේ පුරුදු කිරීම් ය. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා පුරුදු කිරීම භාවනාව ය. නුපුහුණු මනසේ පුරුදු කිරීම්වලට ප්‍රතිවිරුද්ධ ව සටන් කළ යුතු බැවින් භාවනාවේ ආරම්භය දුෂ්කර ය. භාවනාවේ කොටස් දෙකකි. ඒ ‘සමථ’ හා ‘විදර්ශනා’ වශයෙනි. සමථ භාවනාවෙන් සිතේ ඒකාග්‍රභාවය වැඩෙන්නේ ය. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩෙන්නේ ය. ප්‍රඥාව ඉපදීම සඳහා සිත ඒකාග්‍ර විය යුතු ය. සිත ඒ මේ අතට ඇවිදුවන කිලිටි මනෝභාව යටපත් වූ විට පමණක් සිත ඒකාග්‍ර වන්නේ ය. ඒ සඳහා පළමු ව, කිලිටි මනෝභාවවලට ප්‍රතිපක්ෂ වෙමින් ආධ්‍යාත්මික තලයට මනස අවදි කරවන ප්‍රසන්න මනෝභාවයක් තෝරාගත යුතු ය. අනතුරු ව එය ම යළි යළි සේවනය කළ යුතු ය. එවිට, කිලිටි මනෝභාව සිතින් සැඟවී යෑමත් – සිත ඒකාග්‍ර වීමත් එක විට ම සිදු වන්නේ ය. එය ප්‍රඥාව පහළ වීමට සුදුසු මානසික තත්ත්වයකි. ප්‍රඥා බැල්ම නිරායාස ය. සිතාමතා බලෙන් දහම් කරුණු ඒත්තුගන්වන්නට යෑමෙන් ප්‍රඥා ධාරාව නිවී යන්නේ ය. යළිත් තර්කය හා චින්තනය සිය ආධිපත්‍යය තහවුරු කරගන්නේ ය. එබැවින් විදර්ශනා භාවනාව යනු අචින්ත්‍යමය වූ ප්‍රඥා බැල්මක් උපදවාගෙන වාසය කිරීම ය; එය සෞම්‍ය ව රැක බලාගැනීම ය; ඊට වැඩෙන්නට අවකාශ සැලැස්වීම ය.
සමථය ආරම්මණ ග්‍රාහී ය. එනම් සමථ භාවනාවේ දී සිත අරමුණක් වෙතට යොමු කරන්නේ ය. විදර්ශනාව අනාරම්මණ ග්‍රාහී ය. එනම් විදර්ශනා භාවනාවේ දී සිත අරමුණු කෙරෙන් ඈත් කරන්නේ ය. වාස්තවික හෝ මනෝමය හෝ වේවා සිතින් දැනගන්නා සියලු දේ අරමුණු ය. තෝරාගත් එක් නිශ්චිත අරමුණක් පමණක් සිතින් මෙනෙහි කිරීම සමථය වඩන්නාගේ කාර්ය ය. බැලූ බැල්මට පෙනෙන්නේ, එසේ එක ම අරමුණකට සීමා වීමෙන් සිත මොට වන බව ය. එහෙත් එය සිතෙහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට සාපේක්ෂ ව නො ව, අරමුණුවලට සාපේක්ෂ ව සලකා එළැඹි නිගමනයකි. ලෝකයේ කොතෙක් අරමුණු ඇතත්, එක් මොහොතක දී සිතට අරමුණු වන්නේ ඉන් එකක් පමණකි. නුපුහුණු මනසට අරමුණු වන දෙය තීරණය කරනු ලබන්නේ අරමුණු එළැඹීමේ රටාව විසිනි. සිත පුහුණු කිරීමේ දී වන්නේ, එකී තීරණය ගැනීමේ ශක්තිය සිතට භාරදීම ය. මෙනෙහි කිරීම යනු එසේ තෝරාගත් අරමුණක් වෙත එළැඹීමේ ශක්තිය ය. අරමුණු ගැනීමේ ශක්තිය ප්‍රබල වූ සිත මොට නො වන්නේ ය; තියුණු වන්නේ ය. සිත තියුණු වීමට නම්, මෙනෙහි කිරීම සඳහා තෝරාගන්නා අරමුණ ආවේගවලින් තොර විය යුතු ය; උපේක්ෂාවක් ඉපදවිය යුතු ය; ප්‍රසන්න හැඟීමක් දැනවිය යුතු ය. එසේ නො වන්නේ නම් අරමුණ විසින් සිත පාලනය කරනු ලබන්නේ ය. එවිට සිත පරයා අරමුණ නැඟී සිටින්නේ ය. සිත සැඟවී යන්නේ ය.
මෙනෙහි කිරීම සඳහා යොදාගන්නා භාවනා අරමුණ, හුදෙක් සිත පිහිටුවීමට උපකාර කරන බිම්කඩක් පමණකි. සිතට හුදෙකලා පැවැත්මක් නැත්තේ ය. සමථ භාවනාවේ දී කුමක් හෝ ප්‍රසන්න අරමුණක් භාවිත කරන්නේ එබැවිනි. සිතෙහි සමථයක් නැත්තේ, පොදුවේ කා තුළත් ඇති සීමිත දුර්වලකම් කීපයක් හේතුවෙනි. ඒ සීමිත දුර්වලකම්වලට ප්‍රතිවිරුද්ධ ව ගොඩනැඟුණු බැවින්, සමථ භාවනා ක්‍රම ද ගණනින් සීමිත ය. ඉන් තෝරාගත් එක් භාවනා අරමුණක් මෙනෙහි කරන විට, අරමුණු අතර විවිධත්වයෙන් සිත ඈත් වන්නේ ය. විවිධත්වය යනු අරමුණු කෙරෙහි ඇති වන ආකර්ෂණ ශක්තිය ය. ඒ ශක්තිය දුබල වන වීමේ දී අරමුණු අබිබවා සිත ඉදිරියට එන්නේ ය; ප්‍රකට වන්නේ ය. එවිට අරමුණෙහි හැඩයෙන් යටපත් නො වූ ප්‍රකෘති සිත අත්දකින්නට ලැබෙන්නේ ය. එය කිලිටි මනෝභාවයන්ගෙන් මිදුණු ප්‍රභාස්වර අවධියකි. එහි කලක් ස්ථාවර වීමෙන් ‘ධ්‍යාන’ නමැති සමාධිමත් මානසික තලවලට පිවිසිය හැක්කේ ය. වඩා සියුම් සමාධිමත් මානසික තලවලට පිවිසෙමින් රිසි සේ සිත හසුරුවන යෝගීහු නොයෙක් ප්‍රාතිහාර්ය දක්වති; දුරින් ඇති දේවල් ගැනත් දිව්‍යමය දර්ශන හා ශබ්ද ගැනත් දැනගනිති; අනුන්ගේ සිතුවිලි දැනගනිති; අතීත භව ගමන සිහි කරති; සත්ත්වයන් මැරී උපදින අයුරු දකිති. එසේ සමථ භාවනාවෙන් වඩන ලද සිත කූටප්‍රාප්ත වන්නේ ය. සමථ භාවනාව සිත වැඩීමට සීමා වන්නේ ය; සිත නො ඉක්ම වන්නේ ය. සිත ඉක්මවිය හැක්කේ විදර්ශනා භාවනාවෙනි.
විදර්ශනාව ඇරඹිය හැක්කේ කිලිටි මනෝභාව යටපත් වූ සිතිනි. එනම් පළමු ව කිසියම් සමථ භාවනාමය අවධියක් සම්පූර්ණ කළ යුතු ය. විදර්ශනාත්මක මෙනෙහි කිරීම් මඟින් ද එකී සමථ භාවනාමය අවධිය සම්පූර්ණ කරන්නේ ය. එහෙත් මෙනෙහි කිරීම් යනු සැබෑ විදර්ශනාව නො වන්නේ ය. මෙනෙහි කිරීමෙන් සිත කර්මණ්‍ය වූ විට, දෙවනු ව ඒ මෙනෙහි කිරීමට අදාළ විදර්ශනා බැල්ම උපදින්නේ ය. එසේ උපන් විශේෂ දර්ශනය අඛණ්ඩ ව පවත්වාගෙන යෑම විදර්ශනා භාවනාව ය. එය අචින්ත්‍ය හඳුනාගැනීම පිණිස එල්ලය බලන අවධියකි. එබැවින් ඊට චින්තනයෙන් බාධා නො කළ යුතු ය. බලෙන් දහම් කරුණු මෙනෙහි කරන්නට යෑමෙන්, භාවනාමය ප්‍රඥාව යටපත් කොට චින්තාමය ප්‍රඥාව ඉස්මතු වන්නේ ය. චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ආදි මූලික දහම් කරුණු පිළිබඳ දැනුමෙන් විදර්ශනාව පෝෂණය ලබන්නේ ය. එහෙත් ඒ දහම් කරුණු ගැන පුන පුනා කල්පනා කිරීමේ දී වන්නේ හුදු මනෝමය ආකෘති ගොඩනැඟීම ය. මනෝමය ආකෘතිය යනු සත්‍ය ධර්මය නො වන්නේ ය. ආයාසයෙන් ගොඩනැඟූ මනෝමය ආකෘතිය කෙරෙහි බැඳෙන්නෝ, ධර්මයෙහි සත්‍ය ස්වභාවය පිළිගැනීමට මැළි වෙති. භාවනාවෙන් වන්නේ සත්‍ය ධර්මය දැකීමට මනස සූදානම් කිරීම ය. එහි දී අභ්‍යන්තර ප්‍රඥාව මුහුකුරා යන තරමට ක්‍රමයෙන් ගැඹුරු ධර්මය ප්‍රත්‍යක්ෂ වන්නේ ය. බුදුන් වහන්සේ තනි ව ධර්මය ප්‍රත්‍යක්ෂ කළ හ. බුද්ධ ශ්‍රාවකයෝ බුදු වදනින් ලබාගන්නා බාහිර ඉඟි ඇසුරෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරති. මූලික දහම් දැනුම සම්පූර්ණ කරමින් ඒ බාහිර ඉඟිය ලබාගත් අයකු ඊළඟට කළ යුත්තේ, ඒ ධර්මය තමා තුළින් ප්‍රත්‍යක්ෂ වීමට සමථය හා විදර්ශනාව වැඩීම ය.
විදර්ශනාව මැදහත් නිරීක්ෂණයකි. ආංශික නො වී, එළැඹි මොහොත දෙස පරිපූර්ණ දැනුවත්භාවයෙන් බැලීමේ නිරීක්ෂණ ශක්තිය විදර්ශනාවට ඇත්තේ ය. චින්තකයා ආංශික දැනුමෙන් යුතු ව නිගමනයක් උදෙසා මැදිහත් වන්නේ ය. ඔහු තුළ පැවැති අසම්පූර්ණ නිරීක්ෂණය ද ඒ නිගමනයෙන් පසු නවතින්නේ ය. එබැවින් භාවනාවේ දී දහම් කරුණු අරබයා උපදින සිතුවිලිවලට වුව විශේෂ වටිනාකමක් නො දෙන්නේ ය. ඒවා ද හුදෙක් සිතුවිලි යැයි සලකා අත්හැර දමන්නේ ය. දකින – අසන – දැනෙන – සිතන සියලු දේ, විදර්ශනා බැල්මට අනුව දැකීම් – ඇසීම් – දැනීම් – සිතීම් මාත්‍ර පමණකි. එසේ හැඳිනීමෙන් අරමුණු ග්‍රහණයට තිබූ උනන්දුව හීන වන්නේ ය. විදර්ශනා බැල්මෙහි නිරීක්ෂණ කෝණ වන්නේ අනිත්‍ය, දුඃඛ, අනාත්ම ය. අනිත්‍ය යනු ස්ථිර ව නො පවත්නා බව ය. දුඃඛ යනු අස්වැසිල්ලක් නො වන බව ය. අනාත්ම යනු තමාගේ හෝ අනුන්ගේ හෝ බලපෑමෙන් තොර බව ය. විදර්ශනා බැල්මෙන් පොලඹවන ලද්දේ, කිසිදු සටහනක් ස්ථිර ව සනිටුහන් නො කරන්නේ ය; කිසිදු සංස්කරණයක් පිළිබඳ ප්‍රාර්ථනා නො කරන්නේ ය; සියල්ල ආත්මයෙන් ශුන්‍ය වූ හුදු ධර්මතා මාත්‍ර ලෙස දකින්නේ ය.
ප්‍රාථමික විදර්ශනා බැල්ම සමග, එය පිරිවරා ඊට අනුගත වෙමින් විදර්ශනාත්මක චින්තනයක් ද නිරායාසයෙන් උපදින්නේ ය. අභ්‍යන්තර ප්‍රඥාවත් සියුම් තර්කනයත් මුසු වූ එය ‘නය විපස්සනාව’ ය. එහි ඇති සියුම් තර්කනය මඟින්, හුදෙක් ඖදාරික මිත්‍යා දර්ශනවලින් සිත රැකගන්නේ ය; තත්ත්වගත වීමට ඇති නැඹුරුවෙන් සිත මුදවන්නේ ය. එවිට ආත්ම දෘෂ්ටිය ඇතුළු දෘෂ්ටිවාදවලින් ව්‍යාකුල නො කරන ආරක්ෂිත අවකාශයක් තැනෙන්නේ ය. විදර්ශනා ප්‍රඥාව වැඩීමට සුදුසු නිදහස් අවකාශය එය ය. එය පෙර අත්විඳ නැති කලාපයකි. එතුළ හැදී වැඩෙන විදර්ශනා ප්‍රඥාව තර්කයෙන් තොර ය. එය ක්‍රමයෙන් මුහුකුරා ගොස් පරිණත විදර්ශනා බැල්මක් බවට පත් වන්නේ ය. එවිට නය විපස්සනාවේ බලය අහෝසි වන්නේ ය. එළැඹෙන මොහොතක් පාසා අචින්ත්‍යයෙහි එල්ලය සොයමින් හුදෙක් විදර්ශනා බැල්ම ම බබළන්නේ ය. දිනෙක ප්‍රථම වරට අචින්ත්‍ය වූ නිර්වාණය ස්පර්ශ කරන්නේ ය. අවබෝධ කළ ධර්ම මාර්ගය තව තවත් වඩන විට පූර්ණ සත්‍යාවබෝධයට පත් වන්නේ ය. අනතුරු ව වැඩිය යුත්තක් නැත්තේ ය.
– ආසභ –

