කපිල පීරිස්
සත්ත්වයා, පුද්ගලයා යනු සංසාරගත නාම – රූප ක්‍රියාවලියයි. මෙහි නාම කොටසට අරක්ගත් චෛතසික සමූහයක් ඇත. මේ අතුරෙන් අකුසල චෛතසික සමඟ බැඳුණු දිට්ඨි – සංඛාර රාශියක් ද ඇත. සක්කාය නමැති දිට්ඨිය වේදනා චෛතසිකය සෝමනස්සව තබාගැනීමට මේ විවිධාකාර වූ දිට්ඨි – සංඛාර ගොඩනඟාගෙන ඇත. මේ දිට්ඨි – සංඛාර සහිත සිතෙන් බිහි කෙරෙන අරමුණු ධම්ම, විතර්ක ආදිය පෙරළා මේ දිට්ඨි – සංඛාරවලම ගැටීමේදීය වේදනා හට ගන්නේ. මේ වේදනා දිගින් දිගටම සොම්නස්ව පවත්වාගැනීමට දරන අභව්‍ය අසාර්ථක උත්සාහය තමයි දුක! සක්කාය දිට්ඨියට මේ අසාර්ථක ව්‍යාජ උත්සාහයේ නියැළිය හැක්කේ චෛතසික ගොන්නේ ප්‍රබලයා වන එනම් දිට්ඨි – සංඛාර අරමුණු වේදනා චක්‍රය දෙස විමසීමෙන් නිරික්ෂණය කරමින් එය පාලනය කළ හැකි “මනසිකාරය” නමැති චෛතසිකය අයාලේ යන තාක් ය. එනම් එය “අයෝනිසෝව” පවතින තාක් ය. මේ චෛතසික යෝනිසෝ තත්වයට පත් කරගත හැකි නම්, එනම් මේ චක්‍රයේ උපත වෙත අවධානය යොමු කර ගත හැකි නම් මේ දුක් චක්‍රයේ නිවීමේ ආරම්භය එයයි.
අරමුණු සංඛාර – දිට්ඨි සමග ගැටීමේදී හටගන්නා වේදනා පසුපස ඒවා සොම්නස් කර ගැනීම සඳහා තවත් සංඛාර – දිට්ඨිම ගොඩනඟමින් සිදුවන දුක් චක්‍රය මර්දනය කළ හැක්කේ මූලික වශයෙන්ම වේදනාවලට යන්නට ඉඩ හැරීමෙන් ය (ඛැඑ ටද). මෙසේ මම නොවන මගේ නොවන වේදනා වලට ප්‍රතිචාර නොදක්වා යන්නට හැරීමෙන් තවදුරටත් දුක් වේදනා ඇති කරමින් සංඛාර (භව කර්ම) ගොඩනැඟීම මර්දනය වේ. මේ නිසා මේ මොහොතේදීම හටගන්නා දුක අඩු වන අතර අනාගතයේ දුක් ඇතිවීම පිණිස වන භව කර්ම
එක්රැස්වීම ද හීන වේ. මෙසේ කළ යුත්තේ මේ අරමුණු දිට්ඨි – සංඛාර වේදනා චක්‍රයේ අනිත්‍යභාවය, පරඬැල් සොබාවය ඒ නිසාම එහි ඇති අනත්තභාවය (වසඟයේ තබාගත නොහැකි බව) පිළිබඳව ඇති දැනුමත් සමග ය. මෙහිදී මේ චක්‍රයට පණපොවන සිහිය (සතිය) මේ චක්‍රයෙන් පිටතට ගෙන ආනාපානය වැනි ධර්මතාවක් වෙත යොමුකර ගැනීම අතිශය වැදගත්ය. එවිට ඒ සතිය අරමුණු සංඛාර – දිට්ඨි වේදනා චක්‍රය තුළ වැද එය පණගැන්වීමට නොව ඒ දෙස පිටතින් නිරීක්ෂණය කිරීමට පෙලඹේ. (යෝනිසෝ මනසිකාරය සමග) මේ සමග ඒ දුක් චක්‍රය ක්ෂයවීමය ඇරඹෙන්නේ. මේ නම් සම්මා සතියයි. එවිට මෙම සතියෙන් කෙරෙන්නේ රූප, වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාම – රූප ක්‍රියාවලියන් නිරීක්ෂණයයි. එනම් සතර සතිපට්ඨානය වැඩීමයි.
මේ සමග දිට්ඨි සංඛාර වියැකෙන අතර එහි මූලිකයා වන “මම” ලෙස පෙනී සිටින එනම් ආත්මීය “මම” ලෙස පෙනී සිටින සක්කාය දිට්ඨිය ද වියැකේ. ගැටලුව ඇත්තේ මේ “ආත්මීය මම” ගේය “ආත්මීය මම” යනු තමනට අවශ්‍ය පරිදි එනම් තම සොම්නසට ඉවහල් වන පරිදි බාහිරය සංස්කරණය කොට තබාගත හැකි ලෙස සැලකෙන මම ය. ඇත්තටම නැත්තේ ඒ මම ය. නැතිකර ගත යුත්තේ ඒ මම නමැති අදහසය, හැඟීමය, දිට්ඨිය ය. බාහිරය සමග බැඳුණු සෝමනස්ස – දෝමනස්ස වේදනා පොරය එනම් දුක ඇති කරන්නේ මේ දිට්ඨියයි. මේ දිට්ඨි – සංඛාර ඉවත් වූ පිරිසිදු වූ පසු ඉතිරි වන “මම” බාහිරින් සොම්නස් බලාපොරොත්තු නොවේ. ඒ නිසාම දොම්නස් ද ඇති නොවේ. මේ “මම” නිවුණු මම ය. එයයි සම්මුති “මම” මේ සම්මුති මම “විසංඛාර ගත චිත්තය, ප්‍රභාස්වර සිත” ක්‍රියාත්මක වන්නේ පෙර පරිදිම විවිධ සංඛාර දිට්ඨි හා ඒවා ගොඩනඟන ලෝභ, දෝස, මෝහ, මාන නොව පරම පිවිතුරු සතර බ්‍රහ්ම විහරණයන් ඔස්සේය.
ප්‍රභාස්වර සිතට කඩාවදින විවිධ සංඛාර – දිට්ඨි (එනම් ලෝභ, දෝස, මෝහ නිසා හටගන්නා) නිසාය වේදනා චෛතසිකය කුළුගැන්වෙන්නේ එයයි. දුකේ උපත මෙයයි. දුක් චක්‍රය නිවුණ විටය නිවන.
මෙහිදී අතිශය වැදගත් වන්නේ සක්කාය – දිට්ඨිය නිමවන විවිධ සංඛාර – දිට්ඨි සහ ඒ නිසා හටගන්නා අරමුණු වේදනා චක්‍රයේ අනිත්‍යතාවය, එහි හරසුන් පරඬැල් ස්වභාවය ඒ නිසාම සක්කාය දිට්ඨියටවත් එය තම සිතැඟි උදෙසා වසඟයේ තබා ගත නොහැකි බව, ඒ නිසාම මේ දුක් චක්‍රය හටගන්නා බව නිවැරදි සිහිය තුළ පිහිටමින් මනසිකාර කිරීමය.
මනසිකාරය යෝනිසෝ වී නිවැරදි සිහිය තුළ මේ දුක් චක්‍රය පිරිසිදුව දකින තාක් සක්කාය දිට්ඨිය වේදනා සොම්නස් කිරීම සඳහා යැයි සිතාගෙන මේ දුක් චක්‍රය දිගටම පවත්වනු ඇත. කළ යුත්තේ සිහිය වැඩීම තුළ (ආනාපානසතිය වැනි) මේ චක්‍රය දෙස බැලීමය. මේ දුක් ගිනි චක්‍රය තවදුරටත් ඇවිළීමට අවශ්‍ය ද්‍රව්‍ය (සංස්කාර) එක්කිරීම නැවතෙන්නේ එවිට ය. මේ චක්‍රය දෙස නොබලා (සිහියෙන්) ඒ ගැන සිතීමෙන් මෙය කළ නොහැක. සිතීමේදී සිදු වන්නේ සක්කාය දිට්ඨියම නැවත ඉදිරිපත් වී සෝමනස්ස වේදනා උදෙසා නැවත නැවත සංඛාර දිට්ඨි ගොඩනැඟීම පමණ ය. ඒ වූ කලී ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි.
නිවනේදී ලෝකය හෝ/හා මම නැති වනවා වැනි බියක් කිසිසේත් ඇති කරගත යුතු නැත. නිවීමේදී සිදු වන්නේ බාහිරය සොම්නස් වේදනා උදෙසා මගේ, මගේ ආත්මය ලෙස සංස්කරණය කිරිම තුළ හටගෙන ඇති විවිධ සංඛාර – දිට්ඨි වියැකීම පමණි. එවිට එහි නියමුවා වන සක්කාය -දිට්ඨිය ද අහෝසි වේ. මේ සියල්ල වූ කලී සිතේ ඇති විවිධ දිට්ඨි – සංඛාර ඉවත් වී සිත් ප්‍රභාස්වර විමකි. එපමණකි. එවිට අපට ඒ “සම්මුති මම” ට ඉතා සුවසේ සැනසීමෙන් සියලු දුකෙන් මිදී බාහිර ලෝකයේ ක්‍රියාත්මක විය හැක. මෙහිදී මේ සම්මුති මම තුළ ක්‍රියාත්මක වන්නේ අප්‍රමාණ චෛතසිකයන් වන සතර බ්‍රහ්මවිහරණයන් ය. එහිදී ආත්මීය මම යන්න අහෝසිය. ඒ නිසාම මාන සංරචකයන් එහි නැත. ඒවා අප්‍රමාණ වන්නේ ඒ නිසා ය. එවිට මම ලෙස, මගේ ලෙස මගේ ආත්මය ලෙස ගෙන කරපින්නා ගැනීමට හෝ ඉන් පිටස්තර ලෙස ගෙන ඉවත් කිරිමට කිසිවක් නැත. මේ නිසාම පශ්චාත්තාප, පශ්චාත් සතුටු (සියුම් දුක්) මෙන්ම අනාගත බිය සතුටු (සියුම් දුක්) කිසිවක් නැත. සියල්ල මේ මොහොතේ බ්‍රහ්මවිහරණ තුළ ක්‍රියාත්මක වේ.
නිවනේදී අනිත්‍ය ප්‍රකටවීම තුළ අම්මා, තාත්තා, ගේ දොර ආදිය රූප කලාපවල චලනයන් ලෙස දැකීමෙන් ඒවා නැති ලෙස පෙනීමක් වැනි කිසිවක් සිදු නොවේ. ඒ නිසාම ලෝකයේ කිසිවක් මගහැරීමක් හෝ අතහැරීමක් සිදු නොවේ. නිවනේදී අතහරින්නේ වේදනාව සොම්නස් කර ගැනීමට අභව්‍ය ලෙස බාහිරය තුළ කරගෙන සිටි සංස්කරණයන් (චිත්තාභ්‍යන්තර සංස්කරණයන්) වියැකීම පමණි. අතහැරෙන්නේ ඒ සංස්කාරයන් ය. බාහිරය, සංසාරය පිළිබඳව කිසිදු සොම්නසක් වෙනුවෙන් වන සංස්කාරයක් දිට්ඨියක් නැති සම්මුති මම ඒ නිසාම නැවත ප්‍රතිසන්ධියක් ලබන්නේ නැත.
පෙර සඳහන් කළ දිට්ඨි – සංකාර අරමුණු දුක් චක්‍රය ක්‍රියාත්මක කරවන්නේ ලෝභය හා ද්වේෂයයි එනම් තණ්හාවය. මේ දුක් චක්‍රය තුළින් සොම්නස ලබාගැනීමට ඇති ආශාවය මේ. මේ චක්‍රයේ අනිත්‍ය පරඬැල් බව ප්‍රකටවත්ම මේ ආශාව, තණ්හාව ද වියැකී යයි.
පංචස්කන්ධ – කරත්ත උපමාව ද මේ පසුබිමේ තේරුම් ගත යුතුය. ඇත්තේ පංචස්කන්ධ ක්‍රියාවලියයි, මේ ක්‍රියාවලිය සොම්නස් වේදනා ලබාගැනීම පිණිසම පාලනය කළ හැකි කිසිවෙක් – මමක් (ආත්මයක්) මෙහි නැත. මෙවැනි අධිකාරී බලයක් ඇති කිසිවක් එහි නැතත් සක්කාය දිට්ඨිය සංඛාර දිට්ඨි සමූහයන් නිමවා ඒවාට උපාදාන වී සොම්නස ලබාගැනීමට පොරබදමින් සිටී.
පංචස්කන්ධ ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් බවට පත්වන්නේ ඒ අනුව ය. මෙලෙසම කරත්තයේ ද ඇත්තේ විවිධ කොටස්වල සමවායකි. මේ සමවාය කරත්තය ලෙස පාලනය කරගනිමින් තබාගත හැකි කිසිවක් නැත. පංචස්කන්ධ ක්‍රියාවලිය තුළ සොම්නස් වේදනා සඳහා එය මෙහෙයවිය හැකි කිසිවක් නැතිවාක් මෙන්ම කරත්ත කොටස් තුළ ද එහි කරත්ත ගුණයක් තබාගත හැකි කිසිවක් නැත. ආත්මීය භාවයක් – ස්වච්ඡන්දතාවයක් නැත. සත්ත්වයාට ඉහත දැක්වූ චක්‍රය තුළ තම වේදනා සොම්නස්ව තබාගැනීමේ ආත්මීය භාවයක් – ස්වච්ඡන්දතාවයක් නැත. එහෙත් මේ දුක් චක්‍රයෙන් මිදී නිවීමේ විභවය හැකියාව නම් ඇත. ඒ සඳහා යොදාගත යුත්තේ යෝනිසෝ මනසිකාරයයි.

