පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
ඊළඟට හතරවෙනි කාරණය තමයි, සමහර දේවල් කොපමණ හොඳ වුණත් කැමති විදිහට ලැබුණත් දීර්ඝ කාලයක් එකම විදිහටම භුක්ති විඳිනකොට නීරස වෙනවා. ඒක මේ ඉන්ද්‍රියයන්ගේ එක්තරා ස්වභාවයක්. එහෙම වෙනකොට ඒවා වෙනස් කරන්න මාරු කරන්න ඉවත් කරන්න අපට ඕන වෙනවා. මේකත් සමහරු සැබෑ අත්හැරීමක් හැටියට වරදවා ගන්නවා. එතන තියෙන්නේ අත්හැරීමක් නෙවෙයි වෙනසක් අපේක්‍ෂා කිරීම පමණයි. අර ජනවහරෙ තියනවනෙ උදේ හවස දකින කුකුළගෙ කරමලේ සුදුපාටට පෙනෙනවය, අතිරස වුණත් කනකොට කනකොට තිත්ත රස වෙනවාය කියලා. ඒ වගේ සමහරුන්ගේ ජීවිතවල කොතෙක් උසස් ලෙස යස ඉසුරු සම්පත් භුක්ති වින්දත් කාලයක් යද්දී ඒවා එපාවෙන ගතියක් දැනෙනවා. නමුත් ඒ නිසරු බව හඳුනාගෙන ඇතිවන නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවක් නෙවෙයි. මේක හඳුනා ගන්න හොඳ කතා ප්‍රවෘත්තියක් අපේ ජාතක කතා පොතේ තියනවා ‘කාම ජාතකය’ කියලා.
කාම ජාතකයේ කියවෙන්නේ, බ්‍රහ්මදත්ත රජ පරම්පරාවේ එක රජ කෙනකුට පුතුන් දෙදෙනකු ඉන්නවා. වැඩිමහලු පුතාට යුව රජකම පවරනවා. බාල පුතාට සේනාධිපති තනතුර පවරනවා. පිය රජතුමා වයස් ගතවීම නිසා රාජ්‍යයේ සියලු කටයුතු සොයා බලන්න වුණේ යුව රජතුමාට. කාලයක් යනකොට යුව රජතුමා හෙම්බත් වෙනවා. අන්තිමට පිය රජතුමා කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වෙනවා. ඉන් පසුව රාජ්‍යය හිමි වෙන්නේ යුව රජතුමාට, ඒ කියන්නෙ වැඩිමහලු පුතාට. නමුත් ඔහු ඒකට කැමති වුණේ නැහැ. මට දැනටම රජකම තිත්ත වෙලා තියෙන්නේ එනිසා මට එපා කියලා ඔහු ප්‍රතික්‍ෂේප කළා. රජකම භාර ගන්න කියලා නැවත නැවත ආයාචනා කළත් ඔහු ඒකට එකඟ වුණේ නැහැ. ඉතින් බලෙන් රජ කරවන්න බැහැනෙ.
එනිසා මල්ලි රජකමට පත් කළා. එහෙනම් ඔබ වහන්සේ යුවරජ තනතුරේම ඉන්න කියලා ඉල්ලා සිටියත් ඒකට කැමති වුණෙත් නැහැ. එහෙනම් සේනාධිපති තනතුර භාරගන්න කිව්වම ඒකත් ප්‍රතික්‍ෂේප කළා. එහෙනම් උපදේශක වරයෙක් හැටියට රජුට උපදෙස් දෙමින් රජමාලිගාවේ රැඳෙන්න කියලා ආයාචනා කළත් ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කරලා වෙස් මාරු කරගෙන රජමාලිගාවෙන් නික්ම ගියා. කොහේ ගියාද කියලා කවුරුත් දන්නේ නැහැ.
ඔහු ඈත පිටිසර ගම්මානයකට ගිහින් ගොවි පවුලක් දැන හඳුනාගෙන ආගන්තුකයකු හැටියට එහි නැවතුණා. මේ අලුතෙන් ආ තරුණයා ගොවි මහත්මයාගෙ වැඩවලට උදව් වුණාට, ඔහු කැත්ත උදැල්ල අල්ලන විදිහෙන්ම තේරුණා එතරම් පලපුරුදු කෙනකු නොවන බව. මේ කවුද කියලා ටිකක් විමසලා බලනකොට ගොවි මහත්මයා තේරුම් ගත්තා මේ වෙන කවුරුවත් නෙවෙයි අපේ යුවරජතුමා කියන බව. දැන ගත් විගස වැඳලා සමාව ගත්තා ‘ස්වාමීනී මට සමාවෙන්න මම නොදැනයි ඔබවහන්සේට වැඩ පැවරුවෙ’ කියලා. නැවත කිසිම වැඩක් කරන්න නොදී රාජකුමාරයෙක් හැටියට සියලු ආවතේව කරමින් ගොවි මහත්තයා දැන් මේ රාජ කුමාරයාට සංග්‍රහ කරනවා.
ටික දවසක් ගතවෙනකොට බදු අයකරන රාජ පුරුෂයො මේ ගමට ආවා. කුඹුරු ටිකක් තියෙන නිසා ගොවි මහත්මයාත් බදු ගෙවන්නට ඕන. ගොවි මහත්මයා රාජ කුමාරයා ළඟට ගිහින් කිව්වා ‘රාජ කුමාරයෙනි, මම ඔබ වහන්සේව පෝෂණය කරනවා. නැවත රජයට බදු ගෙවන්නත් ඕනද? ඒ නිසා මල්ලිට පණිවිඩයක් යවන්න මගෙන් බදු අයකරන්න එපා කියලා.’ දැන් රාජ කුමාරයා කල්පනා කළා ඇත්තටම මේ මනුෂ්‍යයානෙ තමන්ගෙ දුක සැප සොයා බලමින් සියලු කටයුතු කරන්නේ. ඒ නිසා මල්ලිට පණිවිඩයක් යැව්වා මේ ගොවි නිවසින් මින්පසු බදු අයකරන්න එපා කියලා. රාජපුරුෂයන් ගිහින් මේ පණිවිඩය කිව්වට පසුව නැවත බදු අය කළේ නැහැ. නමුත් රාජකුමාරයා මේ ගොවි නිවසේ ඉන්නවා කියන බවත් ඔහුගෙ උපකාරයෙන් ගොවි මහතා බදු ගෙවීමෙන් නිදහස් වුණු බවත් ඒ ගමේ අනිත් අයට ආරංචි වුණා. මෙතෙක් කල් අප්‍රකටව සිටියා, නමුත් දැන් ප්‍රසිද්ධ වුණා.
ලැබෙනවිට නීරස වූ දේම නොලැබෙනවිට රසවත්
ඉන් පසුව ඒ ගමේ සියලුම දෙනා ඒ ගොවි ගෙදරට ඇවිත් රාජ කුමාරයාගෙන් ඉල්ලීමක් කරනවා, ‘ස්වාමීනී, අපි ඔබ වහන්සේටයි කැමති. ඒ නිසා රජතුමාට කියන්න අපෙනුත් බදු අයකරන්න එපා කියලා. අපේ බදු මුදල් අපි ඔබ වහන්සේට දෙන්නම්’ කියලා. රාජකුමාරයා නියෝගයක් නිකුත් කළා මේ ගමෙන් මින් පසු බදු අයකරන්න එපා කියලා. දැන් ගමේ මිනිස්සු රජතුමාට බදු ගෙවන්නේ නෑ ඒ සියල්ල රාජ කුමාරයාට ගෙනැවිත් දෙනවා. දැන් රාජකුමාරයා ළඟ ටිකෙන් ටික බදු මුදල් එකතු වෙනවා. මුදල් එකතු වෙන්න එකතු වෙන්න අර යටපත් වෙලා තිබුණ තෘෂ්ණාව නැවත ටිකෙන් ටික මතුවුණා. තෘෂ්ණාව මතුවෙනකොට හරියටම අවස්ථාව බලලා මිනිස්සු ඊර්ෂ්‍යාවත් මතු කළා. ‘ස්වාමීනි මේ ඔබ වහන්සේට අයිති රාජ්‍යය. ඔබවහන්සේට අයිති සම්පත් මේ වෙන කෙනකු භුක්ති විඳින්නේ. ඔබ වහන්සේ මොකටද මේ අසරණයෙක් වගේ අනුන්ගේ ගෙවල්වල දුක් විඳින්නේ. ඔබ වහන්සේට මොනවා හරි කරන්න ඕන වුණාම මල්ලිට ආයාචනා කරන්න ඕනද? ඒ නිසා ඔබ වහන්සේ රජකම ගන්න ඕන. අපි උදව් කරන්නම්.’
මුලදි රාජකුමාරයා ඒ ගැන එතරම් උනන්දු නොවුණත් නැවත නැවත කියනකොට තණ්හාවත් ඊර්ෂ්‍යාවත් වැඩෙන්න පටන් ගත්තා. ඊර්ෂ්‍යාවයි තණ්හාවයි දෙක එකතු වුණාම මිනිසුන්ට ලෝකෙ කරන්න බැරි අපරාධයක් නැහැ.
දැන් රාජකුමාරයත් කල්පනා කරනවා රාජ්‍යය ගන්න ඕන. මොකක්ද ඒ සඳහා කරන්නේ? හිතවත් තරුණයො ටිකක් එකතු කරගෙන යුද ශිල්පය පුහුණු කරලා, යුද සේනාවෙ තමන්ට හිතවත් අයගෙත් සහාය ලබාගෙන රජමාලිගාව වට කළා. වට කරලා මල්ලිට පණිවිඩයක් යැව්වා ‘එක්කො රජකම දෙන්න නැතිනම් යුද්ධ කරන්න සූදානම් වෙන්න’ කියලා. මල්ලි කල්පනා කළා අනේ මෙහෙම අනුවණයෙක්. දෙපතුල ළඟ ඔටුන්න තියලා රජකම භාර ගන්න කිව්වහම පයින් ගහලා යන්න ගියා, දැන් ඇවිත් රජකම ගන්න මරාගෙන මැරෙන්න හදනවා. මට ඕනැති රජකමක් නැහැ නුඹම තියාගනින් කියලා රජකම අය්යට දීලා මල්ලි නික්ම ගියා. දැන් කවුරු ළඟද සැබෑ නෛෂ්ක්‍රම්‍යය තියෙන්නේ?
සැබැවින්ම අය්යට මොකක්ද වුණේ? බොරු රඟපෑමක් කළා නෙවෙයි. අවංකවම තමන්ට එපාවෙලයි එපා කිව්වේ. නමුත් ඇයිද මෙබඳු අර්බුදයක් මතුවුණේ? සැබෑ නෛෂ්ක්‍රම්‍යය සහ හෙම්බත්වීම අතර පරතරය වෙන්කොට හඳුනාගන්නට නොහැකි වුණොත් එතැන අර්බුදයක්මයි මතු වෙන්නේ. විකෘතියක්මයි ඇති වෙන්නේ. තමන් දන්නෙ නැහැ තමන් ඉන්න තැන කොතැනද කියලා. තමන් හිතාගෙන ඉන්නවා තමන් බොහෝ දේ අත්හැරියා කියලා. නමුත් ඕන වෙලා තියෙන්නේ පුංචි විරාමයක් විතරයි.
වෙනස් කිරීමේ තාවකාලික සුවය
දැන් හිතලා බලන්නකො පැය කිහිපයක් බිම වාඩිවෙලා ඉන්නකොට තුනටිය කකියනවා. කකුල් කකියනවා. ඒ වෙලාවට නැගිටලා කකුල් දිගහැර ගන්න ලැබුණොත් ඒක සුවයක්. ඉතින් හිටගෙන ඉන්න එක සුවයක් නම් පැය දහයක් පහළොවක් එක දිගටම හිටගෙන ඉඳලා බලන්න. එතකොට පොඩ්ඩක් වාඩිවෙන්න නැතිනම් හේත්තු වෙන්නවත් තැනක් සොයනවා. ඒ වගේ වෙලාවට වාඩිවෙන්න ලැබුණොත් ඒක තමයි ලොකුම සුවය. ඔහොම වාඩිවෙමින් නැගිටිමින් දවස ගතවෙනකොට පොඩ්ඩක් නිදා ගන්න තියනවා නම් ඒක තමයි සුවය. ඉතින් නිදාගන්න එක සුවයක් කියලා දවස් හත අටක් එක දිගටම නිදාගන්න පුළුවන්ද? එතකොට නැගිටලා එළියට යන්නේ කොයි වෙලාවෙ ද කියලයි බලාගෙන ඉන්නේ. නමුත් දවසක් දෙකක් එක දිගට ඇවිදින්න පුළුවන්ද? එතකොට වාඩිවීම හෝ නිදාගැනීමයි සුවය. දැන් ඇත්තටම කොයිකද සුවදායක? තිබුණු එක වෙනස් කිරීම පමණයි.
මේ අර්ථය අපි හරියට හඳුනා නොගන්නා තෙක් ඒක සැපදායකයි, මේක සැපදායකයි කියමින් වෙනස් කරනවා, මාරු කරනවා. හොඳයි සැපයි කියපු දේම පසුව දුකයි කියනවා. දුකයි කියලා ඉවත් කළ දේම නැවත සැපයි කියලා භුක්ති විඳිනවා. අලුත් දෙයක් හෝ අමුතු දෙයක් නැහැ. එකම චක්‍රයක්. මේ මුලාව තමයි සංසාර ගමන කියලා කියන්නේ. මේ පරිවර්තනය වීම වෙනස්වීම මාරුවීම තුළ ඇතිවෙන තාවකාලික නැවුම් බව පමණයි අපි සුවය හැටියට ආස්වාදනය කරන්නේ. මේක සුවයක් වගේ ඉන්ද්‍රියන්ට දැනෙන ආකාරයක් විනා ලෝකයේ යථාර්ථයක් නොවෙයි කියන බව හරියට වටහා ගත් තැනදි තමයි ඒ තැනැත්තා සියල්ල අත්හරිමින් සැබෑ නෛෂ්ක්‍රම්‍යයට යොමු වෙන්නේ. එතෙක් ද්‍රව්‍ය මාරු කළා කියලා පුද්ගලයො මාරු කළා කියලා ස්ථාන මාරු කළා කියලා, අවබෝධයෙන් ඇතුළත වෙනස් වෙලා නැතිනම් ඒක සැබෑ අත්හැරීමක් නෙවෙයි. එනිසා අත්හැරීමයි මාරු කිරීමයි එකක් නෙවෙයි දෙකක් කියන බව පැහැදිලිව වටහා ගත යුතුයි.
කාමය දෙයාකාරයි, වස්තු කාමය හා ක්ලේශ කාමය වශයෙන්
වස්තුකාම කියන්නේ ද්‍රව්‍ය සහ පුද්ගලයින්ට කැමති බව. ක්ලේශකාම කියන්නේ ද්‍රව්‍ය හෝ පුද්ගලයන් නැති තැන ඒවා ගැන කල්පනා කරමින් මනසින් භුක්ති විඳීමේ කැමැත්ත.
සැමියා හෝ බිරිඳ දැන් නැතත් අතීත ස්මරණයන් නැවත නැවත ආවර්ජනා කරමින් භුක්ති විඳින්නට කැමතියි. ඒ මොකක්ද? ඒකට කියන්නේ ක්ලේශ කාමය කියලයි. පුද්ගලයාට හෝ ද්‍රව්‍යයට ඇළුම් කරනවා නම් එතනත් කාමය. සමහරවිට ඒ පුද්ගලයන් හෝ ද්‍රව්‍ය අපට බැහැර කරන්න පුළුවන් පහසුවෙන්. නමුත් ඒ පිළිබඳ කැමැත්ත ඕනකම බන්ධනය සිතෙන් අයින් කරන්න පහසු නැහැ. නිවන් දැකීම සඳහා ද්‍රව්‍ය බැහැර කිරීම හෝ පුද්ගලයන් බැහැර කිරීම නෙවෙයි අපට වැදගත් වෙන්නේ, ඒ පිළිබඳ ක්ලේශයන් දුරු කිරීමයි. ඒ නිසා මේ සිව්වෙනි කාරණයත් අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන, හෙම්බත් වීම නිසා නීරසවීම නිසා දේවල් තාවකාලිකව ඉවත් කිරීම හෝ මාරු කිරීම නිවන් දැකීමට අවශ්‍ය සැබෑ අත්හැරීමක් නොවන බව.
(මතු සම්බන්ධයි)