බුද්ධ මාතාවගේ පිරිනිවන් පෙළහර

rashi
By rashi
19 Min Read

අශෝකා අබේවර්ධන

(පූජාවලිය 27 වැනි පරිච්ඡේදය ඇසුරිනි)

මහා සිහි නුවණින් යුතු ව සිය අවසන් ගමන යන්නේ රහතන් වහන්සේමය. ඒ නිර්මල වූ බුදු සසුනෙකම අසිරියයි.

ගෝතමීන් වහන්සේ ඇතුළු මෙහෙණි පිරිස ගිනිගත් ස්ත්‍රී ලෝකයෙහි කෙලෙස් ගිනි නිවාලන්නට ආදර්ශයෙන් ඉඩ හසර ලබා දී සුව සේ ම පිරිනිවනට වැඩිය හ.

ස්වාමීනි, බුදුරජාණෙනි, නුඹවහන්සේගේ රූප දර්ශනයෙහි මගේ ඇස තෘප්තිමත් නො වේ. මධුර වූ සුගත තෙපුල් ඇසීමෙන් මගේ දෙසවන ද තෘප්තිමත් නො වේ. සිවුවනක් පිරිස් පිරිවරා ධර්ම තේජසින් වැඩ හිඳිනා නුඹවහන්සේගේ සිරි මුව මඬල දුටුවෝ ද, නුඹවහන්සේගේ ශ්‍රී පාද පද්මයෙහි නමස්කාර කළෝ ද, අමා නිවන් දෙන්නා වූ අමා දහම් ඇසුවෝ ද සැබැවින් ම ශ්‍රීවන්තයෝ ය. එබැවින් බුදුරජුනි, මම පිනැත්තියෙක්මි. ශ්‍රීවන්තියෙක්මි. භාග්‍ය වන්තියෙක්මි. මම ම ඇස් කන් ලදිමි යි බුදුන්වහන්සේට ස්තූති පූජා කරමින් බුදුරුව බල බලා සිටි සේක.

බුද්ධ මාතාවන් අද පිරිනිවන් පානා බවත්, අවසර ලත් බවත්, ක්‍ෂමා කරමින් සිටි බවත්, බුදුන් ධර්මය දේශනා කරමින් සිටි බවත් සියලු ශ්‍රාවකයනට සැල ව ගියේ ය. එයින් මහත් වූ ධර්ම සංවේගයට පැමිණ බුද්ධ මාතාව වැනි මහ පින්වතුනට පවා සාධාරණ ධර්මයක් ය යි කියමින් අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී අසූ මහ සව්වෝ පිරිවර සමග පැමිණ බුදුරදුන් සමීපයෙහි පෙළගැසී සිටිය හ. නන්ද හා රාහුල දෙදෙනා වහන්සේ ද, පන් සියයක් ශාක්‍ය කුල ස්ථවිරයෝ ද ධර්ම සංවේගයට පැමිණ සිටිය හ.

සෝවාන් ඵලලාභී අනඳ තෙරුන් වහන්සේ එවක රහත් ව නො සිටි බැවින් ශෝකය දරාගත නො හී බුද්ධ මාතාවගේ පිරිනිවීම සිදු වනුයේ මගේ බුදුරජාණන් වහන්සේගේත් පරිනිර්වාණ කාලය ආසන්න හෙයින් වන යි සිත සිතා කඳුළු වගුරවමින් හඬන්නට පටන්ගත් සේක.

එකල මහා ප්‍රජාපතීන් වහන්සේ මහා ශ්‍රාවකයනුත් වැඳ තම පුත් නන්ද රහතන් වහන්සේත්, මුණුබුරු රාහුල රහතන් වහන්සේත් වැඳ සමුගෙන හඬමින් සිටි ආනන්දයන් වහන්සේ වෙත ගොස් “මට ම ප්‍රිය වූ, මට ම කළ්‍යාණ මිත්‍ර වූ, මට ම උපකාරී වූ මේ සා නිවන් සුවයක් සාදා දුන් භික්‍ෂුණී සාසනයට මේ සා යහපතක් කළා වූ පුතනුවෙනි, නුඹ වහන්සේ බහුශ්‍රැතයන් අතර අග පැමිණි කෙනෙකි. බුද්ධෝපස්ථානයෙහි අප්‍රමාදී කෙනෙකි. මධුර ලෙස බණ කීමෙහි ඉතා දක්‍ෂ කෙනෙකි. බුදු කෙනෙකුන් අතින් අටවරයක් ලබාගත් ශ්‍රීවන්ත කෙනෙකි. ධර්ම භාණ්ඩාගාරය රක්‍ෂා කරන කෙනෙකි. නුඹ වැනියන් හඬනු නො යෙදෙයි. අනෙක් අතට මේ හැඬුව මනා කාලයකුත් නො වෙයි. මේ මහා මංගල කාලයකි.

එසේ හෙයින් නුඹවහන්සේ වැනියන් සන්තෝෂ වුවමනා කාලයකි. ඇසිල්ලෙකින් මා ලබන අද්භූත මංගලසිරි නුඹ ම දකින්නේ ය. බුදු කෙනෙකුනු ද ලබාගත නොහැක්කා වූ මහත් වූ පූජා දැන් මා ලබන දෙස බල බලා නො හඬා වැඩ සිටිය මැනව. නුඹගේ සහායෙන් පැවිදි වීමි. උපසම්පදාව ද ලදිමි. නුඹ මට කළ අනුබල සංග්‍රහය මමත් ව්‍යර්ථ නොකළෙමි. පෙරකල සියක් වසක් ගියා වූ ස්ත්‍රීන්ට ද සාදාගත නුහුණු වූ දැකිය නුහුණු වූ රස නො දත්තා වූ අමා මහ නිවන් රසය දැන් සත් හැවිරිදි බාල කුමාරිකාවනට පවා සාදා දීමි. දක්වා වීමි. සසුන් බලපෑ තුන්ලෝ වාසීන් තුඩ තුඩ සාධුකාර දෙවාපීමි. එසේ හෙයින් නුඹ මට කරවා ලූ සංග්‍රහය බොහෝ සෙයින් වටනේ ම ය යි කියමින් ආනන්දයන් වහන්සේ අස්වසා බුදුන් වහන්සේ දෙස බලා සිටි සේක.

එවේලෙහි බුදුපියාණෝ බුද්ධ මාතාවගේ විකුම්බලය මුළු ලෝ වාසීන්ට ම දක්වා පන් දහසක් මුළුල්ලෙහි පවත්නා බුද්ධ ශාසනයෙහි මතු අති ප්‍රසන්න වූ ශ්‍රද්ධාවන්ත කුල ස්ත්‍රීන් මේ වික්‍රම දැක සන්තෝෂ කරවා, ශ්‍රීවන්ත බුදු පුතුන් ම පැතීමෙහි උත්සාහ කරවා, ඔවුන් මුව ප්‍රබෝධ කරවා, බුද්ධ මාතාවන්ගේ බල පරාක්‍රම මුළු ලොවට ම, දක්වා මතු බුදුවන බුදුවරුන්ට ද මාතෘ ධර්මයන් පුරන්නා වූ කුල ස්ත්‍රීන්ගේ වීරිය ද වඩනා සේ ලොවට යහපතක් කරමි යි සිතා වදාරා මෑණියන් වහන්සේ අමතා වදාළ සේක.

ගෝතමියනි, බුද්ධ මාතා වූ තොප වැනි පින්වත්හු ලෝකයෙහි ඉතා දුර්ලභ ය. එසේ වූ තොප වැනියන් ලෝවාසීනට පෙළහර නො දක්වා නිහඬ ව අප්‍රසිද්ධ ව නිවන්පුරයට යෑම නො හොබී. මා තොපට කළා වූ සංග්‍රහ මතු ලොව ප්‍රසිද්ධ ව ප්‍රකට වන සේ පෑම මනා ය. පෙර ස්ත්‍රීන්ගේ අභිසමයෙහි සැක කළා වූ අනුවණ සත්ත්වයෝ බොහෝ ය. ඔවුන්ගේ ද සැක දුරු කරන පිණිස දැන් මා ඉදිරියෙහි කිසියම් ඍද්ධි බලයක් දක්වා පෙන්වාලීම මැනව යි වදාළ සේක.

ඒවෙලෙහි ගෝතමීන් වහන්සේ බුදුන් බස මුදුනින් පිළිගෙන මා වැනියන්ගේ කුමන බලයක් වේ ද? නුඹ වහන්සේගේ ම බුදු බල ලෝවැසියනට දක්වා කිසියම් පෙළහරක් කරමි යි සිරිපා වැඳ අවසර ගෙන ධ්‍යානයට සමවැදී ආකාශයට වරෙක දෙවරෙක සේ සත්වරෙක නැඟි නැඟී බැස බැස බුදුන් වැඳ වැඳ යළි සියක් ර දහස් වර ලක්‍ෂයක් වර ආකාශයට පැන නැඟී පුන් සඳක් සේ දිලිහි දිලිහී සිට දස දිග් බලා මුළු ලෝ වැසියනි, මේ මාගේ බලයක් ය යි නොසිත ව. මා පුතණුවන් ගෞතම බුදුන්ගේ පෙළහරක් බලව යි හඬගෑ ය.

ඒකෙණෙහි දස දහසක් සක්වළ සියලු දෙව් බඹ පිරිස් රැස් ව තුන් ලෝ පුරා සිට සාධු නාදයෙන් බුදුන්ට ස්තූති පූජා කළ හ. ඉක්බිත්තෙන් මෙහෙණින් දෙදෙනකු සේ පෙනී සතර දෙනෙකු, අට දෙනෙකු, සොළොස් දෙනෙකු සේ, ලක්‍ෂයක් කෝටියක් දෙනෙකු සේ පෙනි පෙනී වෙන වෙන රූ මව මවා මුළු සක්වළ මුළුල්ලෙහි අහස්කුස අවකාශයක් නො තබා චක්‍රාවාටයෙහි පෙනී ගියා වූ රත් පියුම් වනයක් බුදුන්ට පිදුවා සේ එකලා වෙසින් සිට ඒ සා මහත් මෙහෙණින් පිරිස ලවා මපුතු ගෞතම බුදුන්ගේ බලයක් බලව යි කටින් කට කියූ දැය ඒ කෙණෙහි මහත් වූ සාධු නාද පූජා විය.

නැවත ඒ සා මහා පිරිස හෙලූ ඇසිපිය යළි නඟා නො ලන ඇසිල්ලෙහි එතෙක් රූ අන්තර්ධාන කොට නැවත ගුවන් කුස තනි ව පෙනී “මම ය බුද්ධ මාතාවෝ” යි හඬ ගෑ සේක. එකෙණෙහි ද මහත් වූ සාධු නාද පූජා විය. නැවත විදුලියක් සැඟවුණා සේ අන්තර්ධාන විය. තුන් ලෝ පුරා සිටි මහත් වූ දිව්‍ය සේනාවන් අතර උන්වහන්සේ කොහි දැ යි දන්නා කෙනෙක් නො වී ය. උන් වහන්සේ දෙව්ලොව, බඹලොව, මිනිස් ලොවෙහි ද නැත. මේ සක්වළ ද, පිටසක්වළ ද, පරසක්වළ ද නැත. උන්වහන්සේ සිටි තැන ම සිටි නමුත් කිසිවකු විසින් නො දක්නා ලද්දේ ය. බුද්ධ මාතාව කොහි දැ යි මහා සෙනඟ කුහුල් සිතින් සිටිය දී නැවත විදුලියක් සේ පෙනී සිටි සේක. එවේලෙහි ද සාධු නාද පූජා වී ය. යළිත් මුවා වී යළිත් පෙනී එහි අධිෂ්ඨාන කළ කල්හි විශේෂයෙන් පෙනී ගියේ ය. මේ ආදි මහ පෙළහර පවත්වා උතුරුකුරු දිවයින මෙරගලින් මුවා කොට ලා යළි පෙනෙන්නට සැලැස්වී ය. එයින් ගොස් සක්වළ මුවා ව යළි සක්වළ ගලින් විනිවිද පෙනුණ දෑ ය. එවිට ද සාධු නාද පූජා වී ය.

අහස්කුස පෙනී සිට “තුන්ලෝ වැසියනි, මේ මාගේ බලයක් නො වෙයි. මා පුතු ගෞතම බුදුන්වහන්සේගේ සසුන් වන් සියලු ස්ත්‍රීන්ගේ ම මෙබඳු වූ පෙළහර ඇත්තේ ම ය. එසේ හෙයින් මෙය ද බුදුන්වහන්සේගේ ම ගුණ මහිමයක් ය යි හඬගෑ ය.

දැන් දැන් කෙබඳු පෙළහරක් දක්වා දැ යි මහා පිරිස සිත සිතා සිටිය දී අසුරු සැණෙකින් අහසින් බැස පොළොවෙහි කිමිද ඇසිල්ලෙකින් දක්‍ෂිණ සාගරයෙන් පැන නැඟුණ සේක. සතර මහා සාගරයෙන් ම යොදුන් ගණන් කිමිද යළි මතු ව අහස් කුසෙහි සිටි සේක. එවිට ද මහා සාධු නාද විය. නැවත ද සතර මහා සාගරය සිසාරා සිටි සේක. එවිට ද සාධු නාද පැවැත්වී ය. බලා සිටින්නන් යළි කුමන විස්මයක් කරන්නේ දැ යි විස්මයට පත් ව සිටිය දී ශරීරය මහත් කොට මව මවා, උස් උස් ව දෙව්ලොව බඹලොව දක්වා සිරස තබාගෙන පූර්ව පශ්චිම චක්‍රාවාටයෙහි දෙදණ මඬුලු තබාගෙන බලා උන්නා සේ පෙනී “මම දෙවියෙක්, බඹෙක් නො වෙමි. බුදුන්වහන්සේට කිරිමවුකම් කළා වූ එක් ස්ත්‍රියක්මි. බුදුන්වහන්සේ ගෙන් මා ලද කිසියම් ගුණලවයක බල බලව යි කී සේක. ඒ වේලෙහි ද සාධු නාද පැවැත්වී ය.

තුන් ලොව ම එක ම එක මෙහෙණි රුවින් වැසී ගියා සේ පෙනී ගිය ද ගෝතමීන් වහන්සේගේ ස්වභාව වූ ශරීරයෙන් එක අඟලක් පමණ මහත් වූවේ වත් උස් වූවේ වත් නැත. එය එතුමින් වහන්සේ පෑ මහත් වූ ඍද්ධියක් ම ය. ඍද්ධි විෂය අචින්ත්‍ය වූ ලොව්තුරා බුදුවරුන්ට පමණක් සාධාරණ ධර්මතාවයකි. (ගෝතමීන් වහන්සේ පෑ සියලු ඍද්ධීන් මෙහි ලියා ලීම අසීරු බැවින් පූජාවලිය පොත් වහන්සේ කියවත්වා යි යෝජනා කරමි.)

ඍද්ධීන් පා අවසන අහස් කුසින් බැස බුදුසිරිපා වැඳ “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ පෙළහර කළා වූ මම දෙව්, බඹු කෙනෙකුන්ගේ ආනුභාවයෙන් හෝ අනෙක් කෙනෙකුගේ උපදෙසකින් නො කෙළෙමි. නුඹ වහන්සේ උගන්නා ලූ උපදෙස් ඒ පරිද්දෙන් ම කළෙමි. නුඹ වහන්සේගේ සසුන් වන් කුලස්ත්‍රීන්ගේ බල දක්වමි. නුඹගේ ද බල දක්වමි. මම නුඹගේ කුඩා මෑණියෙමි. ප්‍රජාපතී ගෝතමී නම් මම ය” යනාදීන් කිය කියා බුදුන් සිරිපා වැඳ එකත් පසෙක හුන් හ.

එවිට මේ පෙළහරින් පහන් සිත් ඇති වූ සියලු ස්ත්‍රී පුරුෂයෝ යුගාන්ත වාතයෙන් එක විට නැමුණා වූ මහා සල්වනයක් සේ උන් වහන්සේගේ පාද මූලයෙහි වැඳ වැටුණා හ.

“මෙතෙක් දවස් බුදුන් වහන්සේ ම බුදුන් ය යි සිතුවෙමු. නුඹත් බුදු වූ බැව් නො දත්තෙමු. පුතණුවන් වහන්සේ පළමුව බුදු කොට දෙවනුව නුඹ වහන්සේ බුදු වූයේ ද යනුවෙන් සියක් දහස් වර ස්තූති පූජා කොට මෙතරම් ආනුභාවයක් ලබන්නට කෙබඳු පිනක් කළෝ දැ යි විමසූ හ.

පෙර මේ කපයේ දී ම ඇය කසී රට එක් කුලයක උපන්නා ය. (617 පිටුව) එකල පියුමෙන් උපන් පද්මාවතී නම් බිසොවුන් කුසින් එක දා උපන් පන් සියයක් කුමරහු වැඩී පසේ බුදු ව ලෝ සතුනට පින් උපදවා දෙන පින්බර වස්සාන සමයෙක පිඬු සිඟා වඩිනු දැක ඒ පන් සියයක් දෙනා වහන්සේ නිමන්ත්‍රණය කොට ගම්වැසි පන් සියයක් ස්ත්‍රීන් හා එම පුරුෂයන් සමාදන් කරවාගෙන පන් සියයක් ආරාම කුටි තනවා, පන් සියයක් දෙනා වහන්සේ ම වස්වසවා පන් සියයක් අටපිරිකර ද පූජා කළා ය. ඒ පන් සියයක් කුලස්ත්‍රීන් නම් මේ පන් සියයක් මෙහෙණිවරු වෙති. පන් සියයක් පුරුෂයන් නම් ශාක්‍ය කුලයෙන් පැවිදි වූ කුමාරවරුන් පන් සිය දෙනා ය. එකල ඇයගේ ස්වාමි පුරුෂයා නම් සුද්ධෝදන මහ රජතුමන් වහන්සේ ම වෙති යි පැවසුවා ය.

එතැන්හි රැස් ව සිටි සමහරෙක් මේ පන් සියයක් මෙහෙණිවරුන් මුන් වහන්සේ හා එක් ව පින් කළ බව කියති. මේ අයටත් මෙබඳු පෙළහර ශක්තියක් ඇද්ද නැද්දැ යි සැක සිතූ හ. එවිට ගෝතමීන් වහන්සේ එම සත්ත්වයන්ගේ සිත් දැන මෙහෙණි පිරිස අමතා “දරුවෙනි, සත්ත්වයන්ගේ සැක දුරු කරවා තෙපි ද වෙන වෙන ම පෙළහර දක්වා ඔබ සැමට මේ සා මහත් වූ අමා නිවන් සුව දුන් මාපුතු ගෞතම බුදුන්ට සාධුකාර පූජා කරව” යි කී සේක.

ඒ සමග ම සියලු මෙහෙණිවරුන් බුදුන් වහන්සේටත්, ගෝතමීන් වහන්සේටත්, නමස්කාර කොට අවසර ගෙන ආකාශයට පැන නැඟී සිය දහස් ලක්‍ෂ කෝටි ගණන් මෙහෙණි රූ මව මවා නොයෙක් පෙළහර පෑවාහු ය. දක්‍ෂ රන්කරුවකු ඒකඝන රන් පිඬක් ගෙන නොයෙක් ආකාර ඇති අලංකාර රූ මව මවා දක්වන්නා සේ එක් එක් දෙන ශත සහශ්‍ර ගණන් රූ මව මවා නොයෙක් පෙළහර පෑ හ. නොයෙක් වාරයෙහි ආකාශයෙහි පෙනි පෙනී යළි නො පෙනී අතුරුදහන් වෙමින් ස්තූති පූජා පවත්වා ආකාශයෙන් බැස බුදුනුත් රහතන් වහන්සේත් වැඳ, ගෝතමීන් වහන්සේටත් වැඳ, නුඹ වහන්සේගේ සහායයෙන් දෙව් මිනිස් සුවය ද ලැබුවෙමු. දැන් ද නුඹගේ ම බලයෙන් සසුන්හි මහණ ව අමා මහ නිවන් දැක සංසාර සාගරයෙනුත් එගොඩ වීමු යි කිය කියා ස්තූති පූජා කළ හ.

මෙසේ අවසර ගෙන හුණස්නෙන් නැඟී බුදුන් දෙස වැඳ වැඳ ඒ මහා ප්‍රජාපතී ගෝතමී නම් බුද්ධ මාතාවෝ සහපිරිවරින් මෙහෙණවර බලා නික්මුණා හ. එකෙණෙහි මහ පොළොව කම්පිත ව ගියෙන් දෙව් මිනිස් වග ද කම්පා වූ හ.

ඒ වේලෙහි බුදුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ දෙස බලා “මහණෙනි, බුද්ධ මාතාවෝ උත්තමයන් ගෙන් පවා ගරු උපහාර ලැබිය යුත්තා හ. ඔවුනට පසු ගමන් කරමි” යි තමන් වහන්සේගේ මඟුල් ලකුණින් දිලිසෙන ශ්‍රී පාද පද්ම තබ තබා පසුගමන් පූජා කළ හ. අනන්තාපරියන්ත වූ සංසාරය පුරාවට ලද මවු සෙනෙහසට දැක්වූ සංග්‍රහයක් ලෙස වෙහෙර දොරටුව දක්වා පසුගමන් කළ හ.

සසුන බබළවන්නා වූ විනෙය්‍යජන උතුමන්ට පෙර ගමන් කළ නොයෙක් තැන් ඇතත් (මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනේපිඬු සිටුතුමා) පසුගමන් පූජාවක් ලද අන් කිසි ම කෙනෙක් නැත්තේ ම ය.

මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ මෙහෙණි පිරිස සමග මෙහෙණවරට ගොස් අර්ධපර්යංකයෙන් වැඩහිඳ පිළිවෙළින් සතර මහා ධ්‍යානයන්ට සමවැදී ආකාසානඤ්චායතනාදී ධ්‍යානයන්ට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සත සහශ්‍ර වාරයෙහි සමවැදී තෙල් ද වැටි ද සිඳී ගිය පහනක් නිවී යන්නා සේ චේතනාව නිරුද්ධ කොට පිරිනිවන් පා වදාරා රන් ප්‍රතිමා රුවක් සේ වැඩහුන් සේක. එසේ ම සියලු මෙහෙණින් වහන්සේ ද තම තමන්ගේ සයන මතුයෙහි අර්ධ පර්යන්කයෙන් ම හිඳ එම ක්‍රමයෙන් ම එකෙණෙහි ම චේතනාව නිරුද්ධ කොට පිරිනිවන් පා ප්‍රතිබිම්බ සේ වැඩහුන් හ.

එකෙණෙහි මිහිකත් මාතාව ද සිය දහස් වාරයෙහි මහ හඬින් ගගුරා කම්පා වූවා ය. අහස් කුස ද සත සහස් වාරයක් අකුණු සෙන ද මේඝ නද ද පතුරුවා ගුගුරුවා පැන නැංගේ ය. “අහෝ ඛේදයකි, අහෝ ඛේදයකි” තුන්ලොව පුරා හඬ නැඟුණි. මහ මුහුද ද ඇලලී ගියේ ය. ආකාශයෙන් මල් වරුසා වැස්සේ ය.

එකල්හි සමහර දෙවියෝ වහ වහා පැමිණ බුදුන් වැඳ “බුදුන් මවු වූ මහා ප්‍රජාපතී ගෝතමි නමැති පුන්සඳ සසුනඹරින් ගිලිහී බිම පතිත විය. පන් සියයක් ශාක්‍ය මෙහෙණ තරු සමූහය ද ගිලිහී ගියේ ය. ඔබ වහන්සේගේ පිරුණු සාසනය ඌණත්වයට පත් වී යැ” යි බුදුරදුන්ට දැන්වූ හ.

ඒ වේලෙහි බුදු හිමියන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතා “ආනන්දය, සියලු ශ්‍රාවක සංඝයාට බුද්ධ මාතාවන් නිවන් පුර ගිය බව කියව. ඔවුන්ගේ ලොවට අද්භූත වූ ද බුදු කෙනෙකුට ද ලබාගත නොහැක්කා වූ ද ආදාහන පූජා මංගල්‍ය කාලය ය” යි වදාළ හ. ආනන්ද තෙරුන් වහන්සේ කඳුළු පිරි දෑසින් සෝ දුක් ඉවස ඉවසා සියලු භික්‍ෂුන් කරා ගොස් ඒ පුවත දැන්වූ හ.

ඒවේලෙහි බුදුරදුන්ගේ අදහස දත් දෙවියෝ දස දහසක් යොදුන් දඹදිව මුළුල්ලෙහි වසන තෙරුවනෙහි පැහැද සිටි සියලු ස්ත්‍රී පුරුෂයන්ට ද, සංඝයා වහන්සේට ද විස්තර පවසා විසාලා මහ නුවරට රැස් වෙව යි සැළ කළහ. දස දහසක් සක්වළෙහි දෙව් බඹුන්ට ද සැණෙකින් සැළ කළ හ.

ඒ වේලෙහි දෙව්ලොව බඹලොව, නාලොව ගොස් ධ්‍යාන සුවයෙන් වැඩ හුන්නා වූ සියලු රහතන් වහන්සේ ඇසිල්ලෙකින් බුදුන් පෙරට වැඩි සේක. දස දෙස වැඩහුන් පෘතග්ජන භික්‍ෂූහු බුද්ධානුභාවයෙන් පැමිණ වැඩ හුන් හ. ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයෝ ද දරුවන් වඩාගෙන කිසි වෙහෙසක් නැති ව ම පැමිණ සිටියෝ ය. ඒ සා මහ විසල් සෙනඟක් බුද්ධානුභාවයෙන් ම එක් ව පීඩා නැති ව ම සිටියහ.

එහි දී තවත් ආශ්චර්යයක් විය. යම් කිසිවෙකුට යමෙකුගේ දැකීම ප්‍රිය වන්නේ නම් ඒ අය දැක්කේ ය. අමනාප වූ කිසිවෙකුත් නුදුටුවෝ ය. නැත හොත් සියලු දෙනා ම සියලු දෙනාට ම ප්‍රියශ්‍රීලී වූවෝ ය. මෙය ද අචින්ත්‍ය වූ බුද්ධ මහිමයයි. දිව්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණ, භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන අටපිරිසෙහි මෙහි රැස්වීම ඇසිල්ලෙකින් සිදු වූවේ ද බුද්ධානුභාවයෙන් මයි. මේසා අනූන වූ සමාගමයක් බුදුන් වැඩ සිටි පන්සාළිස් වසර මුළුල්ලෙහි කිසි කලෙකත් නුවූවේ ය.

විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා අසුරු සැණෙකින් පන් සියයක් රන්සිවි ගෙවල් ශෝභමාන ව මවාගෙන නුවර ඒකාලෝක කොටගෙන පැමිණියේ ය. එසේ ම හත් දහස් හත් සිය දෙනෙකුන් වන ලිච්ඡවී බිසෝවරු උරෙනුර ගැටෙමින් පැමිණ හඬා මුසපත් ව පසුව සන්හිඳී පන් සියයක් මෙහෙණිවරුන් සිය හස්තයෙන් වඩා රන් සිවි ගෙවලට වැඩූ හ.

දස දහසක් සක්වළ හතළිස් දහසක් වරම් රජදරුවන් බුද්ධ මාතාවන් වහන්සේට “අපි ම මෙහෙ කරම්හ” යි පැමිණ පන් සියයක් රුවන් මඬු තමන් තමන් කරින් ඔසවාගෙන ගිය හ. සදෙව් ලොව සත් දහසක් දෙව් රජදරුවෝ තමන්ට අවකාශ නැති බැවින් සියුම් අත් මවා අත් දීගෙන ගිය හ.

එකල බුදුන් වහන්සේ ශ්‍රාවක පිරිස පිරිවරා පසුපස්සෙහි වඩිනා සේක. එය ද එක පූජාවෙක. දෙවියන්ගේ දිව්‍ය ඍද්ධීන් ද, බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ඍද්ධීන් ද, නාගයන් ගරුඬයෝ, ගාන්ධර්වයෝ ද, සෙසු දෙවියයෝ ද තම තමන්ගේ ඍද්ධීන් පෑ හ. හිරු සඳු තාරකා ද අහසෙහි එකවර පෙනෙන්නට ගත්තේ ය.

රන්සිවි ගෙවල් උසුලාගෙන යන දෙවිවරුන් මනුෂ්‍යයන්ට නො පෙනේ. උසුලාගෙන යන මනුෂ්‍යයකුදු නැත. පන් සියයක් සඳ මඬුලු ආකාශයෙන් යන්නා සේ රන් සිවි ගෙවල් තෙමේ ම යෙති. ලක්‍ෂ ගණන් කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍ය සේනා සමඟ ආදාහන භූමියට වැඩි බුදුපියාණන් වහන්සේ “මහණෙනි මෙසේ වූ අසිරිමත් ආදාහන පුජාවක් සිදු කෙරෙන වෙනත් තැනක් නො වේ. බුදු කෙනෙකුන් ද එහි පූජා කළ හ. ඒ ඒ අයුරින් මේ ආදාහන පූජාව අද්භූත ම ය, අසදෘස ම ය, අසිරිමත් ම ය” යි වදාරන සේක් මහ පිරිස සාධුකාර දුන් හ.

ලිච්ඡවී රජදරුවෝ පන් සියයක් සඳුන් දර සෑ බැඳ එහි දේහයන් වඩා හිඳුවා, සුවඳ තෙල් ද සුණු ද ඉස ඉස මහ පෙළහරින් ආදාහන පූජා කළ හ. පන් සියයක් භික්‍ෂුණීන්ගේ ධාතු කිසිවක් ම ශේෂ නො වී ආදාහනය විය. බුද්ධ මාතාවන්ගේ ධාතු මුතු රැසක් සේ නො දා ම ශේෂ ව තිබුණේ ය.

අනඳ මහතෙරුන් වහන්සේ විසින් බුදුන් වහන්සේ දන් වළඳන පාත්‍රා ධාතුවට ම එම ධාතුන් ගෙන බුදුන් ශ්‍රී හස්තයට දුන් සේක. බුදුරදුන් ඒ ධාතූන් බලා ධර්ම සංවේගයට පැමිණ මහා ශ්‍රාවකයන් ඇතුළු මහ සෙනඟට දක්වා වදාළ හ.

“මහණෙනි, මේ ප්‍රජාපතී ගෝතමී මහ මුහුද සේ, ගැඹුරු වූ ආකාශය සේ විශාරද වූ ඤාණ ඇත්තී ය. මාගේ ශාසනයෙහි සියලු භික්‍ෂුණීන් අතර චිරරාත්‍රඥයන් ගෙන් අග්‍ර වන්නී ය. අසාධාරණ ඍද්ධි ප්‍රාතිහාර්ය බල ඇත්තී ය. ඉතා සියුම් වූ දිව්‍ය කන් ඇත්තී ය. විශේෂ වූ ජාතිස්මරණ ඤාණ ඇත්තී ය. මහණෙනි, තෙපි ද අප්‍රමාදී ව භාවනාවෙහි යෙදී සංසාර සාගරයෙන් ගොඩනැඟී නිවන් අවබෝධ කොට ගනිත්වා යි ධර්මය දේශනා කොට ලිච්ඡවී රජදරුවන් ලවා එනුවර ම මහා චෛත්‍යයක් කරවා, එහි දී ද අප්‍රමාණ පූජා කරවා, දවස්පතා සත්කාර කරන සේ නියෝග කොට වදාළ හ.

තමන් වහන්සේ ද ඒ සෑය මලින් ගඳින් පූජා කොට සිසාරා ප්‍රදක්‍ෂිණ කොට ලෝවැඩ සාදා දෙව්රම් වෙහෙරට වැඩි සේක.

මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් ජිවමාන බුදුන් දුටුවා සේ අපගේ සිත් ද සන්තෝෂ කරවා පූජාවලිය නම් මහා ධර්ම ග්‍රන්ථය ලියා රැස් කොට ගත් මහා අසිරිමත් පින් බලයෙන් උන් වහන්සේ ප්‍රාර්ථනා කළ ලොව්තුරා බුදු බව ම සුවසේ ම සාදාගෙන ලොවට මහත් සෙත සලසා දෙත් වාෟ අප අපට ද ඉක්මන් භවයක දී සුන්දර වූ අමා නිවන් සුවය ම ලැබේ වා!

සැමට තෙරුවන් සරණ වේ වා!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *