පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමිපාණෝ
උභො සද්ධා වදඤ්ඤු ච – සඤ්ඤත්තා ධම්මජීවිනො
තෙ හොන්ති ජානිපතයො – අඤ්ඤමඤ්ඤං පියංවදා
බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙහි පිහිටි අඹු – සැමි දෙදෙනකු වන නකුලමාතා හා නකුලපිතා යන දෙදෙනා පිළිබඳව සඳහන් වන සමජීවි සූත්‍රයෙහි දැක්වෙන ගාථා තුනෙන් එක් ගාථාවක් ඉහතින් දක්වා ඇත. මේ දෙදෙනා සද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ සද්ධා ගුණයෙන් ඔවුන්ගේ ධර්මානුකූල පදනම කියැවේ. ඒ පදනම නොමැතිව කොතරම් මිල මුදල් තිබුණ නමුත් ඉන් ජීවිතය සාර්ථක වන්නේ නැත. අඹු – සැමි දෙදෙනා සද්ධා සම්පත්තියෙන් යුක්තව සිටිය යුතුයි.
වදඤ්ඤු: මෙයින් අදහස් කරනු ලබන්නේ වචනය හඳුනා ගැනීමයි. වචනය හඳුනා ගැනීම යනුවෙන් මෙහිදී තේරුම් දෙකක් ඇතුළත් වේ. එනම්:
- එකිනෙකාගේ වචනය හඳුනා ගැනීම හා
- ‘වදඤ්ඤු චිත මච්ඡරා’ යනුවෙන් වෙනත් සූත්‍රවල දැක්වෙන පරිදි මසුරු බව බැහැර වීම නිසා තමාගෙන් ඵල ප්‍රයෝජනයක් ඉල්ලා සිටින අයගේ වචනය හඳුනා ගැනීමය.
සඤ්ඤත්තා: මෙයින් අදහස් වනුයේ ආත්ම සංයමය යි. යුග දිවියක සදාචාරය සම්බන්ධයෙන් මෙය ඉතාම වැදගත්ය.
ධම්මජිචුනො: දිවි පැවැත්ම ධර්මානුකූල විය යුතුයි. එවැනි අඹු – සැමි යුවළක් වෙත් නම් ඒ අය ‘තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා යැයි කියැවෙන පරිදි එකිනෙකාට ප්‍රිය වූ අඹු – සැමි යුවළක් වෙති. එකිනෙකට ප්‍රියශීලි නොවන වචන ඇති ගෘහ ජීවිතයක අමිහිරිතාව කාටත් හොඳ හැටි වටහාගත හැකිය.
සමජීවී සූත්‍රයේ සෙසු ගාථාවල තවදුරටත් මෙසේ සඳහන් වේ:
අත්ථා සම්පවුරා හොන්ති: ඉහත කී ගුණ ඇති අඹු – සැමි යුවළකගේ ලෞකික පැවැත්මට අවශ්‍ය කරන සමෘද්ධිය බහුලව වර්ධනය වෙයි.
ඵාසත්තං උපජායති: මේ දෙදෙනා එකිනෙකාට පහසුව සලසමින් එකිනෙකාට අනුකූලතාව දක්වමින් දිවි පවත්වති.
අමිත්තා දුම්මනා හොන්ති: මේ අන්‍යොන්‍ය සම්බන්ධතාවේ ප්‍රසන්න බව දකින අමිත්‍රයන්ගේ සිත්වල නොසතුට ඇති වේ.
උභින්නං සමසීලිනං: මේ දෙදෙනා ශීලයෙන් සමාන වෙති. මෙයින් අදහස් වන්නේ දශ කුසලයෙන් යුතු වීමයි.
මෙසේ සමසීලි වන දෙදෙනා මෙලොව ධර්මයෙහි හැසිරී තමන් කැමති සම්පත්වල සතුටු වෙමින් දිව්‍ය සැපතට පත්වෙති. යුග දිවිය යහපත්ව පැවැත්වීම මතු දිව සැපතට යොමු කරවන පින්කමකි.
යුග දිවියේ විධිමත් භාවය:
යුග ජීවිතය හා අදාළ වැදගත් කරුණු කීපයක් නකුලමාතූ මනාපකායික සූත්‍රයෙහි දක්වා තිබේ. ධර්මානුකූල පදනමකින් යුතු යුග ජීවිතයක විධිමත් භාවය මෙහි ප්‍රකාශ වේ. බිරිඳ කෙරෙහි විශේෂ අවධානය යොමු කොට වදාළ කරුණු රැසක් මෙහි ඇතුළත් ය.
(1) යම් බිරිඳක් සැමට පෙර අවදි වන්නී නම් (පුබ්බුට්ඨායි), සැමට පසුව නින්දට යන්නී නම් (පච්ජානිපාතී), විමසා බලා කුමක් කළ යුතු ද යන්න දැන කටයුතු කරන්නී නම් (කිංකාර පටිස්සාවිනී), මනාප ලෙස හැසිරෙන්නී නම් (මනාපචාරී), ප්‍රියශීලි වචන කතා කරන්නි නම් (පියවාදිනි) ඒ බිරිඳ යහපත් තැනැත්තියකි. ඇය මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපත ලබන්නියක ලෙස දක්වා ඇත. ඒ හැරත් ඉහත කී කරුණු කෙබඳු සමාජමය වටිනාකමකින් යුතු ද යන්න වටහා ගැනීම අපහසු නොවේ.
(2) ‘යෙ තෙ භත්තුගරුනො හොන්ති මාතා’ති වා පිතා’ති වා සමණබ්‍රාහ්මණානි වා තෙ සත්කරොති ගරුකරොති මානෙති පූජෙති අබ්භාගතෙ ච ආසනොදකෙන පටිපුජේති”
ස්වාමියා යම්කිසි අයකුට (මව, පියා, මහණ බමුණන් ආදී වශයෙන්) ගරු කරන්නේ නම් බිරිඳ ද ඒ අයට ගරු කළ යුතුය. ඒ අයුරින් ම බිරිඳ ගරු කරන අයට ස්වාමියාගේ ගරුත්වය ද හිමි විය යුතුය. මේ ගුණය නොමැති ගෙවල එක් අයකු ගේ නෑදෑ පිරිස පැමිණ ගිය පසු ඇති වන කතා බහ, සිත් අමනාපකම් කෙබඳුදැයි අපි දනිමු. බිරිඳ විසින් ස්වාමියාගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් ලෙසත්, ස්වාමියා විසින් බිරිඳගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් ලෙසත් සැලකීම අපේ සමාජයේ සිරිත වේ. නීතියෙන් මව, නීතියෙන් පියා, (Mother in Law, Farther in Law) ලෙස ගැනීමට වඩා එය ගෞරවනීය වේ. නැන්දම්මා, මාමණ්ඩිය කීමේ වරදක් නැත. එහෙත් මව – පියා කීම ඉතා ගෞරවනීය වේ. එබඳු ගෞරවයට ලක් වූ අය නිවසට පැමිණි පසු පය සේදීමට ජලය තැබීමෙන්, අසුන් පැනවීමෙන්, පුද සත්කාර කිරීම යහපත් ලක්ෂණයකි.
(3) යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්ථ දක්ඛා හොති අනලසා තත්‍රැපාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුං
ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්ත ආදියෙක් වෙයි නම් ඒවා පිළිබඳ දක්ෂ වූ ද, නොමැළිව කටයුතු කරන්නා වූ ද, උපාය වීමංසනයෙන් යුතුව ක්‍රියාකරනසුලු වූ ද, සුදුසු කෘත්‍යයක් තෝරා කරන්නා වූ ද, තෝරා ගත් කටයුතු පිළිබඳව මැනැවින් කෘත්‍ය සංවිධානය කරනසුලු වූ ද බිරිඳ යහපත් වේ.
(4) දැසි දස් කම්කරු වශයෙන් පවුල හා සම්බන්ධ යම් පිරිසක් වෙත් නම් ඔවුන් කෙරෙහි කාරුණික ව පිළිපැදීම ඉතා වැදගත් ය. යම් කාර්යයක් ඔවුනට පැවරුණොත් ඒ කටයුතු කරන්නට නිසි කාලය ලබාදිය යුතුය. “කතක්‍ද්ච කතතො ජානාති අකතඤ්ච අකතතො ජානාති” යනුවෙන් කළ කටයුත්ත කළ ලෙසත්, නොකළ කටයුත්ත නොකළ ලෙසත් දැනගත යුතුය. ඔවුන් අතරින් යමෙක් රෝගාතුර ව සිටී නම් ඔහුගේ බල දුබලතා දැන ක්‍රියකළ යුතුය. (ගිලානඤ්ච බලාබලං ජානාති) ආහාර පාන ආදිය එකිනෙකා අතර බෙදා හදා දීම වැදගත් ය. (භොජනියක්‍ද්චස්ස පච්චංසෙන සංචිභජති) ගෙදර උපකාරයට සිටින අය ද පවුලේ සාමාජික රාමුවටම ඇතුළත් කර දැක්වීම බුදුසමයේ පිළිවෙළ යි. පුත්ත දාර දාස කම්මකර පොරිසෙ’ යනුවෙන් දරුවන්, බිරිඳ හා දාසයන් එකටම ගෙන ඇත.
(5) බිරිඳගේ යුතුකම් අතර ඉතා වැදගත් වන කරුණක් නම් ගෙදර සියලු සම්පත් ආරක්ෂා කිරීමයි. ඒ සම්පත්වලින් ධූර්ත ක්‍රියා නොකරන, ඒවා සොරකම් නොකරන, පහත් ආශාවන්ට ලොල් වී ක්‍රියා නොකරන ධනය නොනසන තැනැත්තියක විය යුතුයි. (අධුත්ති, අථෙනි, අසොණ්ඩි, අවිනාසිකා)
(6) බිරිඳක ඉහත කී ගුණාංග සහිතව කටයුතු කරන්නේ-
ඇය බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසිකාවක වූ විටය. (බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සංඝං සරණං ගතා)
පංචශීලය රකින තැනැත්තියක වූ විටය (සීලවතී)
මසුරු මලින් තොරව ගෘහ වාසය පවත්වන,
ත්‍යාගය සඳහා යොමු වුණ, ත්‍යාගය සඳහා පිරිසිදු කොට ගත් දෑතක් ඇති, තම සන්තකයක් අන් අයගේ අවශ්‍යතා උදෙසා පිරිනැමීමෙහි සමත්, ජීවන අවශ්‍යතාවක් ඉල්ලා සිටීමට යෝග්‍ය බෙදා හදා පරිහරණය කරන තැනැන්තියක වූ විටය.
බුදුපියාණන් වහන්සේ විසින් සමාජය අලළා දේශනා කරන ලද මෙබඳු කරුණු බොහෝ දෙනා නොදැන සිටීම හේතු කොට ගෙන වැරදි නිගමනවලට එළඹ සිටිති. බුද්ධ ධර්මය සමාජයට විරුද්ධ, ලෝකයේ පැවැත්මට විරුද්ධ, දේශපාලන ක්‍රියාවලියට විරුද්ධ දහමක් බවත්, එය උග්‍ර තාපසචාරී පැවිද්දන් උදෙසා පමණක් සීමා වූ දහමක් බවත් සමහරුන් පවසන්නේ මෙවැනි අවබෝධයක් ඔවුන් තුළ නොමැති බැවිනි.
මෙලොව දිනීම
යුග ජීවිතය හා සම්බන්ධ කරුණු දේශනා කොට ඇති තවත් වැදගත් සූත්‍රයක් නම් පඨම ලෝකවිජය සූත්‍රය යි. බෞද්ධ උපාසිකාවක වන බිරිඳක මෙලොව ජය ගන්නා කරුණු හතරක් ද පරලොව ජය ගන්නා කරුණු හතරක් ද එහි දක්වා තිබේ.
එනම්-
(1) කර්මාන්ත කටයුතු මැනවින් සංවිධානය කිරීම (සුසංවිහිත කම්මන්තා)
(2) පරිවාර ජනයාට සංග්‍රහ කිරීම (සුසංගහිත පරිජනා)
(3) ස්වාමියාට මනාපව හැසිරීම (භත්තු මනාපං චරති)
(4) සම්පත් ආරක්ෂා කරගැනීම (සම්භතං අනුරක්ඛති)
යුග දිවියක ප්‍රසන්න භාවය සඳහා මේවායේ වටිනාකම හොඳින් සලකා බැලිය යුතුවේ.
පරිලොව දිනීම
මෙලොව ජය ගන්නා ඉහත සඳහන් කරුණු නිසැකවම ඇතිවන්නේ පරලොව ජය ගන්නා පහත සඳහන් කරුණු පිබිදී ඇති විටය.
සද්ධා : බුදුපියාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් හා උන්වහන්සේගේ ශාස්තෘත්වය තමාට පිළිගත හැකි තරමට ධර්මය වටහා ගැනීමෙන් මේ ප්‍රසාදය ඇති වේ. ධර්මය මත පදනම් වන ප්‍රසාදය පුද්ගල ජීවිතයේ සුවිශේෂ පරිවර්තනයකට හේතු වෙයි.
මතු සම්බන්ධයි….

