විහාරාරාම කළමනාකරණය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්

rashi
By rashi
12 Min Read

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

වර්තමානයේ විවිධ නූතන විෂයයන් හා සලකා බලමින් බෞද්ධ සංකල්ප එම විෂයනට සමගාමීව ඉදිරිපත් වේ දැයි ආර්ථික, දේශපාලන, නීතිය, සෞන්දර්ය හා විද්‍යාව ආදිය සමග ගලපා කෙරෙන ශාස්ත්‍රීය පර්යේෂණ හා ලිපි ඉතා සුලභ ය. ඒ අතරින් බොහෝමයක් පොදු ප්‍රසිද්ධ පාලි වාක්‍ය සමුදායක් පදනම් කොටගෙන කෙරෙන විෂයගත සාහිත්‍ය පිළිබඳ විමර්ශනයක් (Literature Survery) බව පැහැදිලි ය. මෙහිලා අපගේ අරමුණු වනුයේ එසේ චිරසම්මත කළමනාකරණ ක්‍රමවේදයක් බෞද්ධ සාහිත්‍ය තුළින් සපයා ගත හැකි බව විවරණය කිරීම නොව, ප්‍රායෝගික ආයතන පාලනයේ දී ඒවා කොතෙක් දුරට භාවිත මට්ටමට ගත හැකි දැයි විමසා බැලීම යි.

යම්කිසි ආයතනයක හෝ ව්‍යාපාරයක කටයුතු මෙහෙයවීම, සංවිධානය හා පාලනය, එම ශාස්ත්‍රය කළමනාකරණය (Managment) යනුවෙන් හඳුනා ගැනේ. එසේ විධිමත් කළමනාකරණ ක්‍රමයක් තුළින් ක්‍රමානුකූලව ඇතිවන සංවර්ධනය ආයතනයක තිරසාර බව (Sustainability) සදා සුරකියි. රටක් ආයතනයක් නිවසක් පමණක් නොව පුද්ගලයෙක් පවා මනා කළමනාකරණයෙන් තොර වූයේ නම් පරිහානියට යයි. ශ්‍රී ලංකාද්වීපය වුව ද සාහිත්‍යයෙන්, කලාවෙන්, ආර්ථිකයෙන් හා සාමයෙන් සුරක්‍ෂිත වූයේ මනා කළමනාකරණ ශක්තියකින් හෙබි රජුන් පාලකයන්ව සිටි යුගයන්හි ය. මහා විහාරය, අභයගිරිය ආදී ආයතනයන් ජාත්‍යන්තර සම්භාවනාවට පැමිණියේ නායකත්වය යටතේ ය. වර්තමාන බෞද්ධ විහාරාරාමයන් විෂයෙහි භාවිත කළ හැකි එවන් ආරාමික ක්‍රමවේදයක් පිළිබඳ අංශුමාත්‍ර හැඟීමක් මෙමගින් ඇතිකර ගැනීමට හැකි නම් මෙම කුඩා ලිපියේ අරමුණ සඵල වූයේ වෙයි. කිසියම් ආයතනයක මනා පැවැත්ම හා දියුණුව පිණිස,

පිරිස් කළමනාකරණය

කාල කළමනාකරණය

සම්පත් කළමනාකරණය

අවකාශ කළමනාකරණය

අවශ්‍යතා කළමනාකරණය

ආදී කරුණු රැසක් ඒකාබද්ධ වීම ඉතා වැදගත් ය. එක් ආයතනයකට න්‍යායපත්‍ර එකක් විය යුතු ය. ප්‍රාතිමෝක්ෂය අඩමසකට වරක් එක්ව දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදත් ක්‍රමය යථෝක්ත න්‍යායපත්‍රය විටින් විට භික්‍ෂූන් වෙත සිහි ගැන්වීමකි. විටින් විට සාමාජිකයන් වෙත සංවිධානයේ ව්‍යවස්ථාව සිහි නොකොට ඔවුන්ගෙන් සිදුවන දුර්වලතාවයන් පමණක් විවේචනය කිරීම ආයතනයක් පරිහානියට පත්වීමට බලපාන ප්‍රබල සාධකයකි. කිසියම් භික්‍ෂුවක් අවම වශයෙන් දෙවරක්වත් පොහොය කර්මයට සම්බන්ධ වී නම් ඔහු ශික්‍ෂාපද නොදන්නේ යැයි ඇවතින් ගැලවීමට සුදුසුකම් නොලබන බව විනයෙහි සඳහන්ව තිබීම අවම වශයෙන් මසක කාලයක් වත් ආයතනයේ ස්වභාවය හඳුනා ගැනීමට භික්‍ෂූන් වහන්සේට කල් තිබිය යුතු බව අනියමින් ප්‍රකාශ කිරීමකි. මේ අනුව ආයතනයක සැඟවුණු න්‍යායපත්‍රයක් හා වැඩපිළිවෙළක් නොව සියල්ලන් විසින් එකඟතාවට පැමිණි පොදු පැහැදිලි වැඩපිළිවෙළක අවශ්‍යතාව තහවුරු වෙයි.

බෞද්ධ ආරාමික සංවිධාන තුළ තත්ත්වයන් හෝ උගත්කම සැලකිල්ලට ගන්නේ වී නමුත් මූලිකත්වය සැපයෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයට ය. එය සංවිධානයේ මනා පැවැත්ම සඳහා උපදෙස් හා ආදර්ශයන් ගත හැකි අත්දැකීම් සපිරි ප්‍රධාන මූලාශ්‍රයයි.

කිසියම් නිශ්චිත කාර්යයක දස්කම් දක්වන සාමාජිකයන් ආරාමයක් තුළ සිටිය හැකි ය. අයෙක් සවිස්තරව ධර්මය පැහැදිලි කිරීමට සමත් වන අතර අයෙක් මිහිරි ලෙස දේශනා කිරීමට සමතෙක් විය හැකි ය. තවත් කෙනෙක් සිවුරු ගෙත්තම් කිරීම්, පාත්‍ර සැකසීම් ආදියෙහි සමතෙක් විය හැකි ය. මෙසේ ඔවුන්ගේ දස්කම් හා පළපුරුද්දට අමතරව රුචි අරුචිකම් හඳුනාගෙන ඔවුන් වෙත ආයතනයක කාර්යභාරයන් පැවරීම එහි දියුණුව පිණිස විශාල බලපෑමක් ඇති කරයි. මෙම ක්‍රමවේදය බුදුරජාණන්වහන්සේ ද ඉතා මැනවින් ක්‍රියාත්මක කළ බව අංගුත්තර නිකායේ ඒකදග්ගපාළිය තුළින් මොනවට පැහැදිලි වෙයි. එහිදී එවකට සසුන්ගතව සිටි විශේෂ දස්කම් සහිත ශ්‍රාවකයන් අසූනමක් තෝරා උන්වහන්සේලා වෙත දස්කම් අනුව තනතුරු ප්‍රදානය කොට ඇත. මෙසේ හැකියාවන් හඳුනාගෙන ඔවුන් ආරාමික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම ඉතා වැදගත් ය. සාමාජිකයන්ගේ දුබලතාවයන් නොව ශක්‍යතාවයන් අවබෝධ කොටගෙන වගකීම් පැවරීම වඩාත් ඵලදායී වෙයි.

ස්වාධීනත්වය ආයතනයේ අනිවාර්යයෙන්ම පැවතිය යුතු ගුණාංගයකි. තවත් කිසියම් දියුණුවට පත් ආයතනයක් අනුකරණය කිරීමෙන් ආයතනයේ ස්වාධීනත්වය බිඳ වැටේ. සිය ආයතනයට අනන්‍ය වූ වැඩපිළිවෙළක් ඇතිවාක් මෙන්ම ආයතනික පෞරුෂය ද ඒ හරහා ගොඩනගා ගත හැකි ය. වර්තමානයේ බොහෝ ආයතන ශීඝ්‍ර දියුණුවකින් අනතුරුව අනපේක්‍ෂිත පරිහානියට ලක්වනුයේ යථෝක්ත කරුණ පිළිබඳ අවබෝධය නොමැති කමිනි. සමාජයේ කලින් කලට මතුවන උත්තරංගයන් විසින් ඔසවනු ලබන ආයතන සැනෙකින් බිඳවැටෙනුයේ ආයතනයට අදාළ දීර්ඝ කාලීන අරමුණු පසෙකලා තාවකාලික ජනකාන්ත ලක්‍ෂණයන් වෙත පමණක් අවධානය යොමු කිරීම හේතුවෙනි. ජනතාව දිනාගැනීම යනු ආගමික වටිනාකමක් ඇති දෙයක් නොව දේශපාලනික ව්‍යාපාරයකි. එය බාලයන්ගේ මෝහය සඳහා නම් වටනේ ය.

ආරාමයක්, ආයතනයක් හෝ සංවිධානයක් හුදු පෞද්ගලික දෘෂ්ටියකින් ක්‍රියාත්මක වන්නක් නො විය යුතු ය. ප්‍රධානියාගේ සිට සුළු නිලය දක්වාම පුද්ගල දායකත්වය විවිධ මට්ටමින් එයට සැපයුන ද එහි ක්‍රියාත්මක විය යුත්තේ පොදු සම්මත ක්‍රියාවලියකි. පොදු ආයතනයක් තුළ පුද්ගලිකත්වය ක්‍රියාත්මක වීම ආරම්භ වනුයේ යම් විටක ද එම ආයතනයේ පරිහානිය ද එතැනින්ම ආරම්භ වෙයි. බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පෙන්වා දී ඇත්තේ පොදු ආකල්පයකින් ක්‍රියාත්මකවීමේ (අඤ්ඤො මෙ ආකප්පො කරණීයෝති සබ්බජිතේන අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං) ඇති අවශයතාවය යි. එසේම හිතවත්කම්, ඥාතිත්වය, ලිංගභේදය ආදී කරුණු පදනම් කොටගෙන යම් ප්‍රධානියෙක් ආයතනය තුළ තීරණ ගනී නම් එය සංවිධානයට මරු පහරකි. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන් කටයුතු කිරීම අවපස සඳ මෙන් යසස හීනවීමට බලපාන සාධකයකි.

ආරාමයක් පරිපාලනයේ දී ඊට පුද්ගලයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වූවකි. එහෙත් එය පාලනය විය යුත්තේ පුද්ගල අභිමතය අනුව නොව සම්මත කරගත් ප්‍රතිපත්ති සමුදායක් තුළ ය. නායකත්වය යනු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමේ මානුෂීය මූර්තිය යි. එම මානුෂීය මූර්තියේ වගකීම විය යුත්තේ ප්‍රතිපත්ති නිසියාකාරව පැවැත්වීම යි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව තමන් වහන්සේ වෙත ගුරුවරයකු පත්කර ගැනීමේ දී ධර්මය ගුරුතන්හි තබා ගැනීමෙන් පැහැදිලි වන්නේ බුදු කෙනකු වුව ප්‍රතිපත්ති මත මිස ස්ව අභිමතය පරිදි ක්‍රියාත්මක නොවන බවයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙහි තමන් වහන්සේගේ අභාවයෙන් අනතුරුව ශාස්තෘන් වහන්සේ වනුයේ ධර්මය බව ප්‍රකාශ කිරීමෙන් පුද්ගලයා නොව ප්‍රතිපත්ති ආයතනයක නායකත්වයට පත්විය යුතු බව අවාධාරණය කළහ.

ආයතනයක මනාපැවැත්ම සඳහා නායකත්වය තරම් උපයෝගී ධර්මතාවයක් තවත් නැත. නායකයා වැරදි මග යේ ද සෙස්සන් ද ඉන් වැළැක්වීම නොකට හැක්කකි. ගවරැළක නායක ගවයා ඍජුව යේ නම් අන් ගවයෝ ද ඍජුව යෙති. නායකයා වක්වයේ නම් අන් ගවයෝ ද එසේම වෙති. එබැවින් නායකත්වය ඍජු ප්‍රතිපත්තීන්ගෙන් සමන්විත විය යුතු ය. එහෙත් ඍජු ප්‍රතිපත්තීන් යනු අන්‍ය අදහස් ගරු නොකරන හිතුවක්කාර පාලනය නොවේ. මෘදු ගුණය යනු ඍජු ගුණයට ප්‍රතිපක්‍ෂ ධර්මයක් නො වන බැවිනි. එසේම නායකත්වය මත පමණක් ආයතනයක සාර්ථකත්වය රඳා නො පවතී. නායකයා මාර්ග දර්ශකයෙකි. සෙස්සන්ගේ දායකත්වයකින් තොරව එහි දියුණුවක් අපේක්‍ෂා කළ නො හැකිය. බලහත්කාරයෙන් සිදුකරන පරිපාලනයේ දී බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙති. එබැවින් ආයතනික ප්‍රතිපත්තීන් ගරුකරමින් එහි යාන්ත්‍රණය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට තම ශක්තිය හා කාලය කැපකිරීම සියලු සාමාජිකයන්ගේ වගකීමකි.

භික්‍ෂුව යනු පරපටිබද්ධ ජීවිතයක් ගෙවන අයෙකි. එබැවින් පරූපවාදයෙන් තොරව කටයුතු කිරීමට උන්වහන්සේ වගබලා ගත යුතුය. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුනවුන්ගේ ප්‍රසාද බාහුල්‍යය පිණිසත් කටයුතු කිරීම ආරාමයක මනා පැවැත්ම විෂයෙහි ඉතා වැදගත් ය.

ඒ සඳහා ක්‍රමානුකූල බව, පිරිසිදු බව ආදී කරුණු කෙරෙහි මෙන්ම සුහදශීලී බව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකිරීම අනිවාර්ය වූවකි.

ආරාමයක මහා විහාරාරාම ගොඩනැගිලි අවශ්‍ය වෙතත් දායකයන් වෙහෙසවා අසීමිත ධනස්කන්ධයක් වියදම් කරවීම සඳහා ආධාර සොයා ගිහියන් වෙත යාමෙන් ඇති වූ සමාජ අපවාදය මෙහිදී අවධානයට ගැනීම ඉතා සුදුසු ය.

බුදුරජාණන්වහන්සේ කාලවාදියහ. කිසියම් දෙයක් කීමේදී මෙන්ම ක්‍රියාවට නැගීමේදී කාලය දන්නා සේක. එසේම ආරාමයක කටයුතුවලදී ද අදාළ කාලය තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය. ප්‍රමුඛතා අනුපිළිවෙළකට අනුව කාලය කළමනාකරණය කළ යුතුය. මුලින් කළ යුක්ත මුලිනුත් පසුව කළ යුත්ත පසුවත් කළ යුතුය. යමෙක් එසේ පෙරපසු කළ යුතු දේ වටහා නොගෙන ක්‍රියා කිරීමෙන් වරණ දර බිඳීමෙන් විපතට පත් පුද්ගලයා සේ ශෝක කරන බව ජාතකපාළිය පෙන්වා දෙයි. යමක් ක්‍රියාවට නැගීමට සුදුසු කාලය මෙන්ම එය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ කාල කළමනාකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වූවකි. ඇතැම් විහාරස්ථානයන්හි පරම්පරා කිහිපයක් විසිනුදු අවසන් කළ නොහැකි ඉදිකිරීම් ආදිය සැලසුම් කොට අතරමග නවතා දමා තිබෙනු දැකිය හැකිය.

එය ආයතනයේ මුළුමහත් ප්‍රගතියට බාධාවකි. එසේම අනුප්‍රාප්තිකයනට ඔහුගේ ශක්‍යතාවන් ප්‍රයෝජනයට ගැනීම නොව පුරෝගාමියාගේ නොනිමි කටයුතු කිරීම හැර අන් කිසිවක් කිරීමට කාලය ඉතිරි නොවනු ඇත. එබැවින් නිමාවට පත්කළ හැකි ඉලක්කයන් වෙත ක්‍රමානුකූලව ආයතනයක් ගෙනයාම හා එතැනින් පසු දෙවන ඉලක්කයක් වෙත අදියරෙන් අදියර යන ආකාරයට සැලසුම් සකස් කිරීම අතිශය වැදගත්ය. එහෙත් කිසි දිනක නිමා නොවන ඉදිකරමින් කඩා දමන කඩාදමමින් ඉදිකරන ස්වභාවයේ සැලසුම් මත ක්‍රමානුකූලව අභිවෘද්ධියක් කරා මෙහෙයවීම ඉතා වැදගත්ය.

තරගකාරී බව යනු බුදුදහම අගය කරන දෙයක් නොවේ. එකිනෙකා අභිබවා යාම බුදුසමය ප්‍රතික්ෂේප කරයි. එබැවින් ආයතනික දියුණුව යනු තවත් ආයතනයක් බිඳදමා නැගී සිටීම නොවේ. එකිනෙකා සහයෝගයෙන් අත්වැල් බැඳ නැගී සිටීමයි. ජයග්‍රහණය යනු සතුරන් වැඩිකරන සාධකයකි. පරාජය දුක සේ විසීමට හේතු වන්නකි. එබැවින් ජය පරාජය දෙකම අත්හැර විසීම බෞද්ධ ප්‍රතිපදාවයි. එබැවින් සාර්ථකත්වය යනු අනුන් අභිබවා සිටීම නොවන බව තේරුම් ගැනීම ආයතන පැවැත්වීමේ දී තරයේ සිතට ගත යුත්තකි.

භික්ෂුවගේ ජීවිත පැවැත්ම සිවුපසය පමණ කොට ඇත්තකි. එබැවින් පැවැත්මට අදාළ පරිභෝජන රටාවකට ආගමික ජිවිතය නතු විය යුතුය. අවමයෙන් තෘප්තිමත්ව උපරිමය අතිරේකයක් කොට සැලකීමට හුරුවීම ඉතා වැදගත්ය. එසේ නොවූ කල්හි සුහරබව බිඳී තමා පෝෂණය කිරීම තමා විෂයෙහිම මහත් හිසරදයක් බවට පත්වනු වැළැක්විය නොහැකිය.

මීට අමතරව දැරිය නොහැකි තරම් කටයුතු සමූහයක් පැවතීම ආයතනයකට හෝ පුද්ගලයෙකුට හිතකර නොවේ. අල්පකෘත්‍යතාව ගුණාත්මක බව නංවන අතර ගුණාත්මක බවින් සංඛ්‍යාත්මක දියුණුව කරා පියනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. බෞද්ධ ආරාමයක නම් නොයෙක් අයුරින් සිදු කෙරෙන සාමාජික කටයුතු කොතෙක් පැවතියද දිනපතා කෙරෙන වතාවත් එසේම සිදුකිරීම අනිවාර්ය වූවකි. උදෑසන මළුපෙත්මං ඇමදීම, ත්‍රිවිධ චෛත්‍යයන්ට කෙරෙන වතාවත්, තෙරුවන් නැමදීම, වතපිරිත කීම ආදී කටයුතු පස්විකා කෙරෙන සිවුපස පරිභෝජනයත් අන් කිසිදු කරුණක් නිසාවත් අත්සිටුවිය නොහැකිය. එබැවින් බෞද්ධ ආරාමයක කටයුතු සංවිධානයේ දී දන් වළදන වත්පිළිවෙත් කරන කාලසටහන නොමැඩ සෙසු බාහිර කරුණු සැලසුම් කිරීම කළ යුතුය. බොහෝ සේ වූ පරාර්ථය වෙනුවෙන් වත් තමාගේ ආත්ම විමුක්තිය නොනසා ගන්නා ලෙස බුදුරජාණන්වහන්සේ උපදෙස් දී ඇත්තේ එබැවිනි.

බොහෝ ගිහියෝ දරුවන් තැනීමේ දී සැලසුම් සහගත වෙති. එසේම ක්‍රමානුකූල ශික්ෂණයක් මත පමණක් දරුවන් සසුන් ගත කිරීම ආරාමික සංස්ථාවෙහි චිරස්ථිතිය පිණිස පවතී. බුදුරජාණන් වහන්සේ ද දුටු සැනින් කිසිවෙක් ප්‍රවෘජ්‍යාවට ඇතුළත් කර නොගත් බව තිත්ථියපරිවාසය ආදිය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පෙනී යයි. එසේම පැවිදි කිරීමෙන් අනතුරුව ද මනා ගුරු ආශ්‍රයක් තුළින් භික්ෂුවට අදාළ ශික්ෂණය ලබාදිය යුතුය. ඒ සඳහා වන ඓතිහාසික කතිකාවත තරයේ ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතු ය. එනම් සෙනසුන් වත් ආචාර්යෝපාධ්‍යාය වත් සහිත විනය පිටකය යි. මක්නිසා ද යත් එයින් පිට භික්‍ෂූත්වයක් නො මැති බැවිනි.

ආයතන කළමනාකරණයේ දී තවත් අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් අධික සංවර්ධනය පාලනය කිරීමයි. පිළිකාවක් යනු සිරුරේ ශෛලයන්හි අධික සංවර්ධනයයි. පාලනයකින් තොර වූ ආයතනික සංවර්ධනය ද එවැන්නකි. සංස්ථාවක් තිරසාර දියුණුව (Sustainable Development) යනු ක්‍රමානුකූලව සිදුවන්නකි. එම දියුණුව ඊට සමගාමී පරිසර පද්ධතිය ද රැකගනිමින් සිදුවන්නක් විය යුතු ය.

ආයතනයක් තුළ සදා නො වෙනස් වන නීති පැවතීමේ අවශ්‍යතාවයක් නැත. කාලීනව ඇතිවන අවශයතා පදනම් කොට ගෙන නීති හඳුන්වා දීම හා අනවශ්‍ය නීති පොදු එකඟතාවක් මත වෙනස් කිරීමට සාමාජිකයන් තුළ ස්වාධීන ඇසක් තිබිය යුතු ය. බුදුරජාණන්වහන්සේ ද බුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙනස් කර ගැනීමට අවශ්‍ය අවසරය දී ඇත්තේ මෙම සිද්ධාන්තය වෙත අවධානය යොමු කිරීමෙනි. ආයතනික නීති පද්ධතිය යනු ආයතනයේ ප්‍රගමනයට බාධා පමුණුවන කඩුල්ලක් නො විය යුතු ය.

ගිහියන්ගේ ආරාධනා භාර ගැනීමේ දී අනුගමනය කළ යුතු වත් සමුදායක් ශාසනික වශයෙන් සම්මතව ඇත. කිසියම් දායකයෙක් මුලින් කරන ලද ආරාධනාවක් වෙනත් කිසියම් නො වැළැක්විය හැකි කරුණක් මත මිස දෙවැනියාට ආරාධනය සිදුකරන දායකයාගේ තත්ත්වය සලකා වෙනස් නො කළ යුතු ය. වරක් බුදුරදුන් වෙත අම්බපාලි ගණිකාව විසින් කරන ලද ආරාධනය රජ දරුවන්ගේ ඇවටිල්ලක් මත වුව වෙනස් නො කළ ප්‍රවෘත්තියක් මහාවග්ගපාළියේ හමුවෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *