සනාථ සහ අනාථ

rashi
By rashi
9 Min Read

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ ෂෂ්ඨ භාගයේ දසක නිපාතයේ එන ප්‍රථම නාථකරණ සහ ද්විතීය නාථකරණ යන සූත්‍ර දෙක මූලාශ්‍රය කොට ගනිමින් මෙම ලිපිය ලියැවෙයි. එහි කියැවෙන පරිදි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරන්නේ සනාථව සිටින ලෙසයි. අනාථව නොවසන ලෙසයි. මන්ද අනාථ වූයේ දුකට පත්වන බැවිනි.

“සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති”

අනතුරුව බුදුන් වහන්සේ ජීවිත සනාථ භාවයට පත්වීමට හේතුවන නාථකරණ ධර්ම දහයක් දේශනා කරති. භික්ෂූන් වහන්සේලා විසින් මතු නොව ජීවිතය සනාථ භාවයට පත්කරගනු කැමැති ගිහියන් විසිනුදු සිය ජීවිතවලට ළං කොට ගත යුතු කාරණා දහයකි. ඒ මේ කරුණු අපට පහත සඳහන් පරිදි කෙටියෙන් පැහැදිලි කොටගත හැකිය.

  1. සීලවා – සිල්වත් භාවය
  2. සුතධරො – ඇසූ දෙය දරාගන්නා ගුණය
  3. කල්‍යාණමිත්තො – කල්‍යාණ මිත්‍රත්වය
  4. සුවචො – හොඳ වචන ඇති බව
  5. දක්ඛො – දක්ෂභාවය
  6. ධම්මකාමො – ධර්මයට කැමැති බව
  7. ආරද්ධවිරියො – වීර්යය ඇති බව
  8. සන්තුට්ඨො – සතුටින් වෙසෙන ගුණය
  9. සතිමා – සිහියෙන් යුක්ත වීම.
  10. පඤ්ඤවා – ප්‍රඥාවන්ත ස්වභාවය

යටකී සූත්‍ර දෙකේ මෙම කරුණු දහය එකින් එක පැහැදිලිව විග්‍රහ කොට ඇත. අප විසින් වටහාගන්නා ලද ප්‍රමාණයේ තරමට ඒ එකින් එක කරුණු ගිහි ජීවිතයට අදාළ කොට ගනිමින් සාකච්ඡා කිරීම අපගේ අරමුණයි. ඒ අප දැන් ජීවත්වනවාට වඩා යහපත් ගිහි ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා පදනමක් – අත්තිවාරමක් ඒ තුළ ඇති බැවිනි.

ප්‍රථම නාථකරණ ධර්මය වන සිල්වත් බව ඇති භික්ෂුව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව ස්වල්පමාත්‍ර වූ වරදක් කිරීමට පවා බියව ශික්ෂාපදවල හික්මෙයි. මේ බිය වන්නේ අන් කිසිවකට නොව වරද කිරීමටයි. මෙබඳු චින්තාවක් වරදින් තොර ජීවිතයක් වෙතට මනුෂ්‍යයා යොමු කරවයි.

ද්විතීය නාථකරණ ධර්මය වන සුතධර භාවය ඇති කොටගත් චරිතය බහුශ්‍රැතයෙක් වෙයි. එහෙත් ඒ බහුශ්‍රැත භාවය තිබිය යුත්තේ මුල – මැද – අග යන තුනම යහපත් වූ අර්ථවත් දේ සම්බන්ධයෙනි. එය පමණක් ප්‍රමාණවත් නොවේ. එබඳු ඇසූ යහපත් ධර්ම දරා ගැන්මට, ඒවා තුළ හැසිරෙන්නට කෙනෙකුට හැකි විය යුතුය. එසේම ඒවා මනැසින් අනුප්‍රේක්ෂණය හෙවත් අනුව දකින්නට හැකි විය යුතුය; ප්‍රඥාවෙන් අවබෝධ කොට ගැන්මටද හැකි විය යුතුය.

පැවිදි වේවා, ගිහි වේවා ජීවිතයක් වඩාත් සුන්දර සේම අර්ථ සම්පන්න වීමට බලපාන ප්‍රධාන දෙයක් වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි. බුදුන් වහන්සේ සමස්ත බ්‍රහ්මචාරි ජීවිතයම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට සම කරති. උන්වහන්සේට මහා කාශ්‍යප, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදි කොට ඇති උත්තම භික්ෂු චරිත රාශියක කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නොමඳව ලැබිණ. එසේම උන්වහන්සේලාද ගෞතම බුදුන් වහන්සේ නමැති මහා කල්‍යාණ මිත්‍රයාගේ සදාශ්‍රය ලැබ මේ සාංසාරික ජීවිතයේ අවසානය සලකුණු කරන්නට සමත් වූහ. මේ කවර නම් භාග්‍යයක්ද? එහෙයින් අප හැම කෙනා විසින්ම ලෝකයෙන් අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අපේක්ෂා කරන අතරම අපෙන් ලෝකයට කල්‍යාණ මිත්‍රත්වය ලබාදීමට කටයුතු කළ යුතුය. ඒ වූ කලී තෘතීය නාථකරණ ධර්මය අපගේම ජීවිතවලින් ප්‍රකාශයට පත් කිරීමකි.

දුර්වචන හෙවත් අයහපත් වදන් ඇසීමට කිසිවෙක් ප්‍රිය නොකරති. එහෙත් සුවච භාවය හෙවත් යහපත් වදන් ඇසීමට කවුරුත් ප්‍රිය කරති. මේ සිව්වන නාථකරණ ධර්මයද අප කාටත් පිළිපැදිය හැකි එකකි. එහෙත් සංවේගජනක කාරණය වන්නේ මෙසේ පහසුවෙන් කළ හැකි දෙය ඇතැම් දෙනා විසින් නොතකා හැර තිබීමය. අප ගත යුත්තේ ඒ මඟ නොව ප්‍රචණ්ඩ අංගුලිමාල, ප්‍රශාන්ත රහතන් වහන්සේ නමක් බවට පත් කළ සුවච භාවයේ මාර්ගයයි; චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කළ සුවච භාවයේ මාර්ගයයි.

සබ්‍රහ්මචාරීන්ගේ යම් බඳු වූ කාර්යයන්හිලා දක්ෂ වීම, අලස නොවීම, විමංශනශීලි වීම හා සංවිධානයෙහිලා සමත් වීම පස්වන නාථකරණ ධර්මයයි. දක්ෂ විය යුත්තේ කුමන හෝ දෙයක් සම්බන්ධයෙන් නොවේ; යහපත් දේ කිරීමටය. අලස නොවය යුත්තේ අසත් ක්‍රියාකාරකම්වල නිරත වීමට නොව යහපත කිරීමටය. විමර්ශනශීලි භාවය මෙන්ම සංවිධාන ශක්තිය තිබිය යුත්තේද සදර්ථ සාධනය හෙවත් යහපත් අර්ථ සිදු කිරීමට මිස අසත්භාව හෙවත් අයහපත් දේ සිදු කිරීමට නොවේ.

සයවන නාථකරණ ධර්මය වන්නේ ‘ධම්මකාමො’ හෙවත් ධර්මයට කැමැති වීමයි. යට කී සූත්‍රවල සඳහන් වන්නේ ධර්මකාමී භික්ෂුව අනුනට දම් දෙසීමෙහිලා කැමැති වන බවයි. අභිධර්මයෙහි මෙන්ම අභිවිනයෙහිද මහත් ප්‍රමුදිත භාවයකින් යුතුව කටයුතු කරන බවයි. හොඳ ගිහියකු වනු කැමැති ධර්මයට කැමැති ගිහියාටද සිය ගිහි ජීවිතයේ චර්යා අතරට මෙකී නාථ ධර්මය සමීප කොටගත හැකිය. ඔහුට තමා උගත් – දැනගත් ධර්මය සිය ශක්ති පමණින් ලෝකයට දීම සඳහා කටයුතු කළ හැකිය. සැබැවින්ම හොඳ ගිහියා කැමැති වන්නේද ධර්මයට මිස අධර්මයට නම් නොවේ.

ආරද්ධවිරිය හෙවත් ආරම්භ කරන ලද වීර්ය ඇති බව සත්වන නාථකරණ ධර්මයයි. නාථකරණ සූත්‍රයනට අනුව වීර්ය තිබිය යුත්තේ අකුසල දහම් ප්‍රහාණය පිණිසයි; කුසල දහම් කිරීම පිණිසයි. යහපත් ගිහියකු විසින් කටයුතු කළ යුත්තේද ඒ ආකාරයටයි. ඒ මිස අකුසල – අයහපත වර්ධනය පිණිස වීර්යය වැඩීම නම් නාථකරණ ධර්මයක් ලෙස සැලකිය හැකි නොවේ.

යථෝක්ත සූත්‍ර දේශනාවනට අනුව සන්තුට්ඨිය – සන්තුෂ්ටිය හෙවත් සතුට, අටවන නාථකරණ ධර්මයයි. යතිවරයා, චීවර – පිණ්ඩපාත – සේනාසන – ග්ලාන ප්‍රත්‍යය ලද පමණින් සතුටු වෙයි. ගිහියකු සම්බන්ධයෙන් මේවා ඇඳුම් – ආහාර – නිවාස – බෙහෙත් යන මූලික අවශ්‍යතා ලෙස සැලකිය හැකි වෙයි. මේවා තිබිය යුත්තේ ප්‍රමාණයකටයි. යට කී සම්පත් ප්‍රමාණය ඉක්මවා පවතින විට ජීවිතය සංකීර්ණ වෙයි. එවිට ජීවිතයක තිබිය යුතු සරලත්වය අප නොදැනුවත්වම අපට අහිමි වෙයි. එබඳු ජීවිත වෙතින් සන්තුට්ඨිය හෙවත් සතුට ඈතට පලා යයි. බුදුන් වහන්සේ ‘සන්තුට්ඨි පරමං ධනං’ එනම් ‘සතුට පරම ධනය’ ලෙස අවධාරණ කෙළේද ඒ නිසා යැයි සිතිය හැකිය.

සතිමා හෙවත් සිහියෙන් යුක්තව ජීවත්වීම නව වන නාථකරණ ධර්මයයි. අතීත සමාජයටත් වඩා වර්තමාන සමාජය බඳු සංකීර්ණ සමාජයක සැබෑ සතුටින් ජීවත් වීමට සතිය හෙවත් සිහිය අත්‍යවශ්‍ය ය. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක් අපට මුහුණ දීමට සිදුවන්නේ සිහිය රැකදෙන දෙයට නොව සිහිය අවුල් කරවන දේටයි. අපට ඇසීමට වැඩි වශයෙන්ම ලැබෙන්නේද එබඳු දෙයයි. බොහෝදුරට ජනමාධ්‍ය ක්‍රියාත්මක වන්නේද හොඳ සිහියෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් සකස් කොට දීමට නොව තිබෙන සිහියත් නැති කරවන ක්‍රියාවලියකයි. එහෙයින් අප එකිනෙකා තනි තනිව වුව කළ යුත්තේ සතිමා හෙවත් සිහිය නම් නාථකරණ ධර්මය සිය ජීවිත සමඟ අත්‍යන්තයෙන්ම සමීප කොට ගැනීමයි.

ඥානය එකකි; ප්‍රඥාව තවෙකකි. සෑම ඥානවන්තයෙක්ම ප්‍රඥාවන්තයෙක් වන්නේ නැත. එසේම සමාජ සම්මතයට අනුව ඥානවන්තයන් අතුරෙහිලා නොගැනෙන ඇතැම් චරිතයක් ප්‍රඥාවන්තයකු විය හැකිය. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා පෙන්වා දෙන පරිදි සතර පෙර නිමිති මොනවාදැයි ඇසූ විට අප ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් හා පැවිදි රූපයක් ලෙස වහා දෙන පිළිතුරින් ප්‍රකාශයට පත් වන්නේ අපගේ ඥානය මිස ප්‍රඥාව නොවේ. තරුණ සිද්ධාර්ථ කුමරා, ලෝකයා විසින් භෞතික රූප වශයෙන් දුටු සතර පෙරනිමිති, එක්තරා දවසකදී දුටුවේ ඥානයෙන් නොව සිය ප්‍රඥාවෙනි. එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එදා ප්‍රඥාවෙන් දුටු සතර පෙරනිමිති දර්ශනයයි. ඒ වූ කලි විජ්ජා හෙවත් විද්‍යාවේ උදාවීමයි; ආලෝකය දර්ශනය වීමයි.

ප්‍රඥාව ඒ සා වැදගත්ය. නාථකරණ සූත්‍ර දෙකම දසවන නාථකරණ ධර්මය ලෙස දක්වන්නේ ප්‍රඥාවයි. එහෙත් අභාග්‍යයකට මෙන් පාසල් – සරසවි ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන ශිෂ්‍යයා යොමු කොට ඇත්තේ ඥාන පරිචය හෙවත් සැමතින්ම ඥානය රැස් කිරීම වෙත මිස ඔවුන් තුළ ප්‍රඥාව විකසිත කරවීමට නොවේ.

භාරතයේ පහළ වූ උපනිෂද් ගුරුවරු සිය ශිෂ්‍ය ප්‍රජාව සමඟ ඥාන ගවේෂණයෙහි නොව ප්‍රඥා අන්වේෂණයෙහිලා යොමු වූහ. භාරත භූමියෙන්ම බිහි වූ ගෞතම බුදුන් වහන්සේ භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා යන නම්වලින් හැඳින්විය හැකි සිය ශිෂ්‍ය ප්‍රජාව යොමු කෙළේද ප්‍රඥාවෙන් ලබන ජීවිතාවබෝධය වෙතය. එහි අවසන් ඉගෙනුම් ඵලය වූයේ කිසියම් විභාගයක් සමත්වීම හෝ උපාධියක් ලැබීම නොව අර්හත් භාවයයි.

යට කී නාථකරණ සූත්‍ර දෙකම අවසන් නාථකරණ ධර්මය යටතේ දක්වන්නේ ප්‍රඥාවන්ත වූ භික්ෂුව උතුම් වූද ක්ලේශ විනාශයට හිත වූද සියලු දුක් ක්‍ෂය කරන්නා වූ උදයාස්ත ගාමිණී ප්‍රඥාවෙන් සමන්විත බවය; එ ද නාථකරණ ධර්මයක් බවය.

අප කා විසිනුදු සොයා යා යුත්තේ ජීවිත අනාථ කරවන ධර්ම නොව ජීවිත සනාථ කරවන ධර්මයයි. එහෙයින් යට කී සූත්‍ර අවසානයේ සඳහන් වන පාලි පාඨයත් එහි සදර්ථයත් නිබඳ මෙනෙහි කරමින් ඒ අනුව කටයුතු කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා පමණක් නොවේ. ගිහි අප විසිනුදු, අපගේ ජීවිතවලින් ප්‍රකාශයට පත්වන චරණ ධර්ම බවට ඒවා පත්කොට ගත යුතුය.

“සනාථා භික්ඛවේ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති, ඉමෙ ඛො භික්ඛවෙ දස නාථකරණ ධම්මාති.”

(මහණෙනි, සනාථ වූවෝ වසවු, අනාථ නොවවු. මහණෙනි, අනාථ වූවෝ දුකසේ වාසය කරති. මහණෙනි, මේ දස නාථකරණ ධර්මයි.)

බුදුමග යමින්, අනාථ නොව සනාථ වනු කැමති සොඳුරු ගිහියනි, අපිදු අපේ හැකි පමණින් නැණ පමණින් පැණ පමණින් දශනාථකරණ ධර්ම, ජීවිතයට සම්බන්ධ කොට ගනිමු. ඒ අනුව අපිදු සිල්වත් වෙමු; සුතධර වෙමු. කල්‍යාණ මිත් වෙමු; සුවච වෙමු; දක්ෂ වෙමු; ධර්මකාමී වෙමු; වීර්යවන්ත වෙමු; සතුටු වෙමු; සතිමත් වෙමු; ප්‍රඥාවන්ත වෙමු.

අපි අනාථයන් නොව සනාථයෝ වෙමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *