බෞද්ධ ශික්ෂාවේ අනූපූර්ව ලක්ෂණ

cmadurawala
11 Min Read

එච්. එම්. මොරටුවගම

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අනුත්පාදිත මාර්ගයේ උත්පාදකයාණෝය. අසංජාත මාර්ගයේ ජනේතෘවරයාණෝය. අනක්ඛ්‍යාත මාර්ගයේ වක්තෘවරයාණෝය. එතුමෝ නව මඟක් ලොවට හෙළි කළහ. උන්වහන්සේ අනුව යමින් ලොව කවර කෙනකුට වුව එතුමන් පසක් කළ විමුක්ති සුවය අත්දැකිය හැකිය; වෙත ළඟා කරගත හැකිය. ඒ නිසා බෞද්ධ දර්ශනය ‘ශුද්ධ’ දාර්ශනිකයාගේ කාර්යයෙන් බැහැර යෙයි, ශුද්ධ තාර්කිකයාගේ කාර්යයෙන් බැහැර යෙයි: සෙසු සමය සම්ප්‍රදායයන්ගෙන් බැහැර යෙයි.

“සෝ හි බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජානේතා. අනක්ඛාතස්ස මගගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝ විදෝ මග්ගානුගාව පන ඒතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති”

බුදුන් වදාළ යථාභූත ඥාන දර්ශනය සාක්ෂාත් කර ගැනීමට බ්‍රහ්මචරිය වාසය අත්‍යවශ්‍යය. ඒ නිසා බුදුදහම ආචාර විද්‍යාත්මක පදනමක පිහිටා මනෝ විද්‍යාවිශ්ලේෂණය ගරු කරමින් දර්ශනය ඉදිරිපත් කරයි.

සිද්ධාර්ථ තවුසාණෝ ඒකාකී ව අදුතිය ව රහෝගත ව නිෂ්පරිග්‍රහ ජීවිතයක් ගෙවමින් ප්‍රත්‍යාත්ම වශයෙන් චතුරාර්ය සත්‍යය පසක් කළ බව අපි දනිමු. උන්වහන්සේ ආත්මීය වශයෙන් (පෞද්ගලික) වශයෙන් පසක් කළ ඒ ගැඹුරු දහම කරුණා පෙරදැරි වූ සිතින් යුතුව ලෝවැස්සා වෙත ඉදිරිපත් කළහ. පුළුල් ජන කොටස්හි අවශ්‍යතා සපුරාලමින් පරාර්ථචර්යාවෙහි යෙදුණු එතුමෝ පුද්ගල විමුක්තිය සාදාලනු පිණිස සමාජශීලි ධර්ම සමාජයක් බිහිකළහ. අධ්‍යාත්මික ශාන්තිය (අජ්ඣත්තසන්ති) සලසාගනු පිණිස පුද්ගලයාත් සමාජයත් අතර අන්‍යොන්‍ය සාපේක්ෂතා ධර්ම ප්‍රගුණ කළ යුතු බව අවධාරණය කළහ. ප්‍රාග් බෞද්ධ චින්තකයන්ගේ ආකල්පයට ඉඳුරා පටහැනි වූ ධර්මය සමාජගත කිරීමෙහි හේතුව නිසා ශීලාදි ගුණධර්ම පිළිබඳව සමාජයට දේශනා කිරීමට බුදුරදුන්ට සිදුවිය.

ආදි බෞද්ධ චින්තනය ආත්මවාදී සංකල්පය බැහැරලා මනසට අධිපතිත්වය ප්‍රදානය කොට මනෝ විග්‍රහයට මුල් තැනදී දුක හා දුකේ ස්වභාවය, දුඃඛ නිරෝධය ආදිය විවරණය කොට දක්වයි. දුඃඛ නිවෘත්ති ක්‍රියා මාර්ගයෙහි දී බුදුරදුන්ට නානාධිමුක්ත පුද්ගලයන් පිළිබඳව අනුපමේය අවබෝධයක් වූයේය. උන්වහන්සේට පෙරාතුව වාසය කළ චින්තකයන්ට එවන් අවබෝධයක් නොවු විරූය. නානාධිමුක්තික සමාජයක් කළ බුද්ධියට ම ඊශ්වරත්වය ප්‍රදානය කළ නොහැකිය. පුද්ගල වේමත්තතාව (පුද්ගල විවිධතාව) මනාව පසක් කළ බුදුන් වහන්සේ විනේය ජනයන් හික්මවීමෙහිලා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ඒ ඒ පුද්ගල නානත්වයට අනුරූප පරිදි සම්භාවිත විය.

පුද්ගල සන්තානයෙහි සමාධිය ජනිත කිරීමට ඊට පෙර ‘සීලය’ ආවශ්‍යක ප්‍රත්‍යයක් වෙයි. පුද්ගලයාගේ සංවරත්වය ඇතිකරලීමට ඉන්ද්‍රිය සංවරත්වය අවශ්‍යය. ඉන්ද්‍රිය සංවරය නොමැති විට සිත සමාහිත කළ නොහැකිය. එම නිසා මූලික වශයෙන් සංවරය ජනිත කරලනු වස් ශීලය අවශ්‍ය වන බව බුදුහු උගැන්වූහ. බුදුසමය ලෝකය තුළ සනාතනික වශයෙන් ප්‍රවර්තමාන දුක විවරණය කරයි. මේ දුක පිළිබඳ විවරණයෙහිදී බුදුරදුන්ගේ ධර්ම දේශනය අභ්‍යන්තර විසුද්ධිය සලසන විශුද්ධි මාර්ගයක් වශයෙන් දක්වා ඇත. ‘ඒ සමග්ගෝ විසුද්ධියා’ යන්නෙන් ඒ බව ප්‍රකට වෙයි. සමාජගත හා සන්තානගත දුක නැති කර දැමීම සඳහා ප්‍රඥාව හෙවත් විද්‍යාව අවශ්‍යයි. භක්තිය, විශ්වාසය අධිකරණය කොටගෙන විද්‍යාව උත්පාදනය කළ නොහැකිය. එසේම අවිද්‍යාව නසා විද්‍යාව ජනිත කර ගැනීම ආකස්මිකව කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය පරිසරයක් හා සුදුසු ක්ෂේත්‍රයක් සකසා ගත යුතු වෙයි. බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව දෙස විචාරපූර්වකව බලන කල මේ තත්ත්වය පැහැදිලි වෙයි. අවිද්‍යා ව නසා විද්‍යාව උත්පාදනය කරගැනීමට කිසියම් මාර්ගයෙක් අවශ්‍ය වූ නිසා බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලි අනුපූර්ව ශික්ෂා ක්‍රමයක් දැක්වූහ. මුල් බුදුසමයෙහි අධිසීල සික්ඛා, අධිචිත්ත සික්ඛා හා අධි පඤ්ඤා සික්ඛා යනුවෙන් එම ශික්ෂාව දක්වා ඇත.

බුද්ධ ධර්මය ආචාර විද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟුණු දර්ශනයක් ලෙස ඉහත දී සඳහන් කළෙමු. එම නිසා බුදුසමය විද්‍යාව මෙන්ම චරණය (විජ්ජාචරණ සම්පන්නෝ) අවධාරණය කරනු ලබයි. විද්‍යාවත් චරණයත් සමතුලිතතාවෙන් යුතුව වර්ධනය කළ යුතු බව උගන්වා ඇත්තේ එහෙයිනි. බෞද්ධ ප්‍රතිපදාවෙහි ප්‍රධානතම පරමාර්ථය චතුරාර්ය සතයාවබෝධයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ද විමුක්තිය ද සාදා ගැනීම බව දැක්විය හැකිය. බාහිර වූත් ආධ්‍යාත්මික වූත් පාරිශුද්ධිය ද විමුක්තිය ද නිරායාසයෙන්, ආකස්මික වශයෙන් ලබාගත නොහැකිය. සත්‍යාවබෝධය සඳහා ප්‍රඥාව අවශ්‍ය වෙයි. පෘථග්ජන පුද්ගලයාට විශුද්ධ වූ ප්‍රඥාව නොමැතිය. එම නිසා පෘථග්ජනයා විසින් සත්‍යාවබෝධය සඳහා ප්‍රඥාව වැඩිය යුතුය; අභිවෘද්ධියට පත් කළ යුතුය. පෙළපොත්වල ‘පඤ්ඤා භාවෙතබ්බා’ යි නිරතුරුව සඳහන් කරන්නේ එහෙයිනි. ප්‍රඥාව වැඩිය හැකි එකම මාර්ගය ශීලයෙහි පිහිටා, ඉන්ද්‍රිය සංවරය ඇති කොටගෙන, සමාධිය උපදවා ගැනීමෙන් පමණි.

දිනක් එක්තරා දෙවියකු බුදුරදුන් වෙත එළැඹ අභ්‍යන්තරික වූත් බාහිර වූත් ක්ලේශ ජටාව නැති කළ යුත්තේ කෙසේ දැයි විචාරා ඇත. ඒ සඳහා බුදුරදුන් වදාළ පිළිතුරෙන් බෞද්ධ විමුක්ති සාධන මාර්ගයෙහි ශීලයට හිමිවන අද්විතීය ස්ථානය ඉතා පැහැදිලිව දැකගත හැකිය. සදාචාර ධර්ම මාර්ගය විමුක්තිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වන භික්ෂුවගේ මූලික කාර්යය ලෙස උගන්වා ඇත.

බුදුන් වහන්සේ තත්කාලීන සමයවාදීන් විසින් අභ්‍යන්තරික පාරිශුද්ධිය අපේක්ෂාවෙන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය කෙසේවත් අනුදැන නොවදාළ බව පාලි නිකායාගත විවිධ සූත්‍රාන්ත ධර්මවලත් ප්‍රකට වෙයි. ප්‍රඥාව උත්පාදනය කර ගැනීම සඳහා චෛතසික පාරිශුද්ධිය අත්‍යවශ්‍යය. බුදුසමයෙහි ඉගැන්වෙන උසස්ම ඥාන තත්ත්වයන් වන පූර්වේනිවාසානුස්මෘති, චුතූපපාත ආදී විශිෂ්ටතර ඥානාදිය ද ලබාගත හැකි වන්නේ සදාචාර ධර්ම පරිපූර්ණයෙන් චිත්ත පාරිශුද්ධිය ලබාගතහොත් පමණි. රූපාවචර, අරූපාවචරාදී ධ්‍යානලාභිත්වය සඳහා ද අභ්‍යන්තර පාරිශුද්ධිය නොමැතිව නොහැකිය. මෙයින් ප්‍රකට වන එක් කරුණක් නම් බෞද්ධ සදාචාර ධර්ම අනිවාර්ය වශයෙන්ම මනෝවිද්‍යාව හා සම්බන්ධ වන්නක් බවයි. එම නිසා බුදුන් වහන්සේ මනෝවිද්‍යාත්මක පදනමක් මත පිහිටා ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් ඉදිරිපත් කරන ලද්දේ යැයි නිගමනය කිරීම උචිත වෙයි. විමුක්ති මාර්ගයට පිළිපන් ශ්‍රාවකයකු විසින් සමාදන්ව පිළිපැදිය යුතු ශීලය පිළිබඳ දීර්ඝ විස්තරයක් සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා ඇත. එම සූත්‍රයෙහි චූල සීල-මජ්ඣිම සීල-මහා සීල වශයෙන් ශීලය කොටස් තුනකට බෙදා දක්වයි. බෞද්ධ විමුක්ති මාර්ගය වූ අධිසීල සික්ඛා-අධිචිත්ත සික්ඛා-අධි පඤ්ඤා සික්ඛා යනුවෙන් ත්‍රිවිධ වූ ශික්ෂා සමාදානය ශ්‍රමණ කරණීය ධර්ම වශයෙන් ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි ද සාමඤ්ඤඵල සූත්‍රයෙහි ද දක්වයි. බෞද්ධ දර්ශනයට අනුව පරමාර්ථ සත්‍යය තර්කානුසාරයෙන් හෝ අනු ශ්‍රවණානුසාරයෙන් හෝ ලබාගත නොහැකිය. පරමාර්ථ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. පරමාර්ථ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ ප්‍රඥාවෙනි. විමුක්තියට ප්‍රධාන වන්නේ ආර්‍ය්‍ය ප්‍රඥාවයි. එහෙත් එම ප්‍රඥාව නිරායාසයෙන් ජනිත නොවේ.

ශීලය විමුක්තිය සොයන්නාගේ ආදි ප්‍රතිෂ්ඨාව ලෙස දක්වන්නේ මේ හෙයිනි. ප්‍රඥාලාභිත්වය සඳහා අවශ්‍ය වූ සතර සතිපට්ඨානය වැඩීම පිණිස ද ශීලය අවශ්‍ය ප්‍රත්‍යක්ෂ ලෙස දක්වා ඇත්තේ ද මේ නිසයි. බෞද්ධ දර්ශනයෙන් නිර්දිෂ්ට විමුක්තිය සාධනය කළ යුත්තේ අනුපූර්ව වූ ප්‍රතිපදාවකිනි, අනුපූර්ව වූ ශික්ෂාවකිනි. යම් සේ ගණකයන් හික්මවන පුද්ගලයා අනුපූර්ව වශයෙන් එකේ සිට උපරිම සංඛ්‍යාව දක්වා යේ ද, එසේම පැවිදි වීමට පිළිපන් ආර්‍ය්‍ය ශ්‍රාවකයා ද අනුපූර්ව වූ පිළිවෙළකට බුදුන් විසින් හික්මවනු ලබන බව ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි ඉතාමත් පැහැදිලිව දක්වා ඇත. තථාගතවරයා දමනය කළ යුතු පුරුෂයකු ලැබ ප්‍රථමයෙන්ම හික්ම වන්නේ ශීලයෙහිය. සප්ත විශුද්ධි නිර්දේශයෙහි දී ද ශීල විශුද්ධිය පළමුව උගන්වයි.

සාමඤ්ඤඵල සූත්‍රයෙහි හා ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි ද දැක්වෙන පරිදි විමුක්ති සාක්ෂාත්කරණයෙහි දී භික්ෂුව ප්‍රථමයෙන් ම ශීලසම්පන්න විය යුතුය. ඊට පසුව ඉන්ද්‍රිය සංවරය ද සතිසම්පජඤ්ඤය ද සන්තුට්ඨිය ද වැඩිය යුතුය. මේ අංගයන්ගෙන් සැදුම්ලත් භික්ෂුව භාවනා වැඩීමට යෝග්‍ය වූ ස්ථානයක් කරා ගොස් සිත තව තවත් පිරිසිදු කිරීමට උත්සාහ ගත යුතු වෙයි. ඒ අවස්ථාවෙහි චිත්ත නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය සිදුවෙයි. මෙසේ සිත තුළ පවත්වා පඤ්ච නීවරණ ධර්මයන් ප්‍රහීණ වූ කල ස්වකීය ආධ්‍යාත්මය දෙස බලන භික්ෂුවට ප්‍රමෝදයක් උපදී. ප්‍රමෝදයට පත් භාවනානුයෝගියාට ප්‍රීතිය පහළ වෙයි.

ප්‍රීතිමත් මනසක් ඇති ඔහුට කාය පස්සද්ධිය උපදී. සන්සුන් වූ ශරීරයක් ඇති භික්ෂුව ආධ්‍යාත්මික වශයෙන් සුවයක් විඳියි. සුවය විඳින ඔහුගේ සිත සමාධිගත වෙයි. බුදුරදුන් විසින් දක්වා ඇති චිත්ත දියුණුව මේ මූලධර්මය මත පිහිටා ඇත.

භෞතික වශයෙන් සිරුර සන්සුන් නොවුණේ නම් සිත සමාධිගත නොවෙයි. එහෙයින් ශීලය මූල ප්‍රතිෂ්ඨාව කොටගෙන පඤ්ච නීවරණ ප්‍රහාණයෙන් ඇතිවන ප්‍රමෝදය – ප්‍රීතිය – කාය පස්සද්ධිය ආදිය හේතු කොටගෙන උපදින ආධ්‍යාත්මික සුවය, සමාධිය වර්ධනය කරමින් ධ්‍යාන වැඩීමට උගන්වා ඇත. ප්‍රථමාදී ධ්‍යාන වැඩීමෙන් පසු සිත මුළුමනින්ම කර්මණ්‍ය තත්ත්වයට පත්වෙයි. එවිට සිත ආර්‍ය්‍ය ප්‍රඥාව වෙත යොමු කළ හැකිය. මෙහෙයවිය හැකිය. පූර්වේනිවාසානුස්මෘති, චුතූපපාත හා ආසවක්ඛ්‍ය යන ඥාන නිවන් පසක් කිරීමට අවශ්‍ය ත්‍රිවිද්‍යා ප්‍රතිලාභිත්වය පිණිස සිත යොමු කළ හැක්කේ ධ්‍යාන වැඩීමෙන් සිත සම්පූර්ණයෙන්ම පරිශුද්ධ වූ පරියෝදාත වූ අනංගණ වූ තත්ත්වයට පැමිණීමෙන් පසුවයි.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණෝ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජිප්පත්තේ ඤාණ දස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.

නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමට පෙරාතුව පුනර්භවය හා කර්මය යන සත්‍යයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් අවශ්‍ය වන බව බෞද්ධ ඉගැන්වීම් තුළින් ප්‍රකට වෙයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතූපපාත ඤාණය ද වඩනා තෙක් ශ්‍රාවකයා මේ සත්‍යයන් පිළිගන්නේ හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් (සද්ධාමත්තේන) පමණකි. පූර්වාත්මයන් දැකීමේ ඤාණය පහළවීමෙන් පසුව පුනර්භවය පිළිබඳව සත්‍යය ද, චුතූපපාත ඤාණය පහළවීමෙන් පසුව යථා කර්මෝපග වූ සත්ත්වයන් දැකීමෙන් කර්ම ශක්තිය ද ප්‍රත්‍යක්ෂ කරයි. එයින් පසු ප්‍රත්‍යක්ෂ වශයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය කොට ආසවක්ඛය ඤාණයෙන් සියලු කෙලෙසුන් නසා අවසාන විමුක්තිය සාදා ගනියි.

“සෝ එවං සමාහිතේ චිත්තේ… ආසවානං ඛය ඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමේති සෝ ඉධං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිනි පටිපදාති යථාභූතං පජානාති. ඉමේ ආසවාති යථාභූතං පජානාති… අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තස්ස එවං ජානතො එවං පස්සතෝ කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති ඛීණාජාති වුසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තාඨාති පජානාති”

බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා කෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු දැයි මේ කෙටි විග්‍රහයෙන් පැහැදිලි වෙයි. අධි සීල – අධි චිත්ත – අධි පඤ්ඤා සංඛ්‍යාත අනුපූර්ව ශික්ෂාවෙහි අර්ථ ක්‍රියාකාරිත්වය කවරක් දැයි මෙයින් ප්‍රකට වෙයි. හුදෙක් ශිලයෙන් ද හුදෙක් සමාධියෙන් ද පරමාර්ථ සත්‍යාගමනය කළ නොහැකිය. පුළුල් ජන සමාජයකට තථාගත දේශනය ඉදිරිපත් කළ නිසා මෙබඳු අනුපූර්ව මාර්ගයක් උපයුක්ත කරගැනීමට ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට සිදුවිය. ප්‍රඥාවෙන් කෝටිප්‍රාප්ත පුද්ගලයන්ට ගැඹුරු එක් දහම් පදයක් සවන් පත් සැණින් නිවන් ලද හැකි වුව ද සාමාන්‍ය පොදු මහජනතාවට එය කළ නොහැකි වෙයි. එම නිසා මෙබඳු අනුපූර්ව මගක් දෙසීමට බුදුරදුන්ට සිදුවිය.

ප්‍රාථමික වශයෙන් ශීලයෙන් පුද්ගලයා සංවරත්වයට පත්කොට සමාධියෙන් චිත්ත දියුණුව ඇතිකොට සිතෙහි පවත්නා කෙලෙස් දහම් සිඳ බිඳ දමා සියලු බැඳුම්වලින් මිදී විෂය ලෝකය දෙස බැලීමට බුදුහු අනුදැන වදාළහ. අප වසනා ලෝකය සරාගික වෙයි. එම සරාගී ලෝකය දෙස විරාගී චිත්තාකල්පයකින් බැලිය හැක්කේ ආර්‍ය්‍ය ප්‍රඥාව ඇති විටය. සරාගී ලොව ඉන්ද්‍රිය සංවරත්වය ඇතිකොට චිත්ත සංවර්ධනයෙහිදී ප්‍රබුද්ධ මනසින් ලොව දෙස බලනවිට ලොව යථා තත්ත්වය පසක් වෙයි. විෂය ලෝකය ශුන්‍ය වශයෙන් බැලීමට තරම් ප්‍රඥාවෙහි පරිපක්ෂභාවය ලද යුතු වෙයි. ආර්‍ය්‍ය ප්‍රඥාලාභිත්වයන් සමග භෞතික මෙන්ම අභෞතික සියලු බැඳුම් නසා නිවන් පසක් කළ හැකි වෙයි. මේ නිසා බුදුරදුන් විසින් බෞද්ධ විමුක්ති සාධනයෙහිලා ඉතාමත් පැහැදිලිව හා ක්‍රමානුකූලව අනුපූර්ව ශික්ෂා මාර්ගයක් නිර්දේශ කරන ලදී.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *