අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි
දෙවියන්වහන්සේ හෝ ශාස්තෘවරයා හෝ වෙනත් බලවතකු කී පමණින් යම් දෙයක් හොඳ ය කියා හෝ නරක ය කියා හෝ තීරණය කිරීම පරාධීන ක්‍රියාවලියකි. එහෙත් සෑම ආගමකම ශ්‍රද්ධාව හෝ භක්තිය මත පිහිටා සිටින අනුගාමිකයන් තුළ පවතින්නේ තමන්ගේ ශාස්තෘවරයා දේශනා කර ඇති නිසා හොඳ ය කියා හෝ නරක ය කියා හෝ සැලකීම ය. පරාධීන නොවී මෙම කරුණ තමන් විසින්ම නිගමනය කරගත යුතු බව බුදු හාමුදුරුවන්ගේ උපදේශයයි.
හොඳ සහ නරක යන වචන දෙකෙන් පැවැසෙන්නේ කෙනකුගේ මනසෙහි ඉතා වැඩි වාර ගණනක් පහළවන සිතුවිල්ලකි. අප කවර හෝ දෙයක් දුටුවිට අපගේ සිතට ඇතිවන්නේ එය හොඳ ය කියා හෝ නරක ය කියාය. පළමුව හොඳ ය කියා සිතුන දෙයක් පසුව නරක ය කියා හෝ පළමුව නරක ය කියා සිතුණ දෙයක් පසුව හොඳ ය කියා හෝ වැටෙහෙන්නට ද පුළුවන. කනට ඇසෙන දෙයක් හෝ නාසයට දැනෙන දෙයක් හෝ දිවට දැනෙන දෙයක් හෝ ශරීරයට හේත්තුවන දෙයක් හෝ පිළිබඳව ද මෙසේම ය. මෙසේ කෙනකුට ජිවිත කාලය මුළුල්ලෙහි ම සිතෙහි ඇතිවන හැඟීම බොහෝ විට කුඩාකල සිට ලැබූ පුරුද්දක් හෝ ඔහු උගත් දෙයක් හෝ ඇසුරු කරන සමාජයේ මුල්බැසගත් දෙයක් හෝ පදනම් කරගෙන පවතී. තවත් වරකදී ලත් අත්දැකීමක් මුල්කරගෙන ඇතිවන අවස්ථා ද තිබේ.
එකම දෙය පිළිබඳව දෙදෙනකු වෙනත් තීරණ ගන්නා අවස්ථා එමට ඇත. ගවමස් ටිකක් ආහාරය සඳහා පිළියෙල කර තිබුණොත් ඉස්ලාම් භක්තිකයා එය හොඳ ආහාරයක් සේ පිළිගෙන අනුභව කරයි. එහෙත් හින්දු භක්තිකයා එය තදින් පිළිකුල් කරයි. ඌරුමස් ටිකක් ආහාරය සඳහා පිළියෙල කොට තිබුණොත් ඉස්ලාම් භක්තිකයා එය තදින් ප්‍රතික්ෂේප කරන අතර ක්‍රිස්තියානි භක්තිකයකු එය සාමාන්‍ය සුදුසු ආහාරයක් ලෙස භුක්ති විඳී. මස් සඳහා සතුන් ඇතිකිරීම ඇතැම් ආගමිකයන් හොඳ ලෙස සලකන අතර වෙනත් ආගමිකයන් සලකන්නේ එය පාපයක් ලෙසය. මෙසේ රටින් රට, සමාජයෙන් සමාජය හා ආගමෙන් ආගම ප්‍රතිවිරුද්ධ අදහස් දරන සමාජයක හොඳ – නරක නිරවුල් කරගැනීම ගැටලු සහිත කාරණයකි. දෙවියන් වහන්සේ මිනිසුන් මැවූ බවත්, මිනිසුන්ගේ ආහාරය හා වෙනත් ප්‍රයෝජන සඳහා සතුන් මවා ඇති බවත්, පිළිගන්නා කෙනකුට සතුන් මරා කෑමෙහි වරදක් දැකිය නොහැක. මෙසේ තම තමන් දරා සිටින පිළිගැනීම්වලට හා තමන්ට ඉදිරිපත් කළ හැකි තර්කයන්ට අනුව වෙන වෙන පක්ෂ ඔවුනොවුන් සමග වාද විවාද කළ අවස්ථා කොතෙකුත් සාහිත්‍ය කෘතිවල දක්නට ලැබේ.
සාමාජික වශයෙන් ගත් කල වැඩිදෙනාගේ සිතට එකඟ වන දෙය හොඳ ය කියා සැලකීමට පුරුදු වී ඇත. කිසියම් ආගමක හෝ කිසියම් ජනවර්ගයක හෝ කිසියම් රටක හෝ වැඩිදෙනාගේ සිතට අනුකූල වන දෙය එම ජනකොටසට ‘හොඳ’ ලෙස සැලකීමට සමාජයේ බලකිරීමක් පවතී. එවැන්නක් සමාජයක සම්මතයක් පමණි. එම කොටස තුළ පමණක් එය හොඳ වන හෙයිනි. එය ලොවෙහි සැම තැනටම හොඳ වන දෙයක් නොවේ. රූබල්, යුවාන්, චොන් වැනි මුදල් නෝට්ටු මෙනි. ඒවා පිළිගන්නා රටෙහිදී පමණක් වටිනාකමක් ඇත. එහෙත් එයින් පිටත ගෙනගියාට පසුව ඒවායේ වටිනාකමක් නැත. සනීපයෙන් සිටින විට හොඳය කියන ආහාර ද්‍රව්‍යයක් අසනීපයක් ඇති කල නරකය කියා තීරණය කරනු ලැබෙයි. තරුණ කාලයේ දී මධුර ආහාරයක් හොඳ දෙයක් ලෙස සලකා සතුටින් වැළඳූ කෙනකු කලක් යනවිට දියවැඩියාව සැදුන පසු කලින් හොඳ වූ ආහාරය නරක ගොඩට දමයි. මෙසේ කලකදී හොඳය කී දෙයක් තව කලකදී නරක යැයි කියන අවස්ථා ද බොහෝය.
බොහෝ ආගමික හික්මීමක් ලැබූ අය සිතීමට පුරුදු වී සිටින්නේ තමන්ගේ ශාස්තෘවරයා දේශනා කළ නිසා එයට අනුව මෙය හොඳ ය, මෙය නරක ය කියා පිළිගැනීමට හා කතා කිරීමට ය. ස්වකීය ශාස්තෘවරයා පැවසූ දෙය ගැන ප්‍රශ්න කිරීමට කාටවත් බලයක් නැතැයි කියමින් දැඩි පාලනයක් පවත්වාගෙන යන ආගම්වලට අයත් බුද්ධිමත් අය, සිතින් පිළිනොගන්නා දේ වුව ද වචනයෙන් පිළිගනිති. එසේ කරන්නේ තමන්ගේ තත්ත්වය රැකගැනීම සඳහා ය. මෙය නොසලකා සිතට එකඟව කතා කිරීම නිසා මරණයට පවා ලක්වූ පුද්ගලයන් පිළිබඳ පුවත් ඉතිහාසයෙහි දක්නට ඇත. ක්‍රිස්තුස් වහන්සේ වැනි කාරුණික සත්පුරුෂයකු එතරම් දරුණු වධයකට පත්කරනු ලැබුවේ යුදෙව්වන්ගේ ආගමික පිළිගැනීම්වලට විරුද්ධව දේශනා කිරීම නිසා බව සඳහන් වෙයි. අතීතයේ එසේ දරුණු වධවලට පත්වූ අය ගැන කොතෙකුත් වාර්තා ඇත. අද දවසේ වුවත් කොහේ සිටියත් දුටු තැන මැරීමට නියම කරනු ලැබ පණ රැකගැනීමට සැඟවී සිටින පිරිමියකු හා කාන්තාවක පිළිබඳව ප්‍රසිද්ධව ඇත. තවද පූජකවරය අවලංගු කිරීම වැනි දඬුවම් ගැන ද අසන්නට ලැබේ. මෙලෙසින් දඬුවම් නොපැනවුවත් ආගමික වශයෙන් කලක් පුද්ගලයකුට දෙන ලද ශික්ෂාව ඔහුගේ චින්තනය කෙරෙහි බලපෑමක් ඇතිකරයි. ඒ අනුව යමකු ලත් ශික්ෂණය අනුවම ඔහුට යම් දෙයක් රුචි හෝ අරුචි විය හැක. එයින් ද සමහරු හොඳ – නරක දෙක හැඳිනීමට පුරුදු වෙති.
දෙවියන්වහන්සේ හෝ ශාස්තෘවරයා හෝ වෙනත් බලවතකු කී පමණින් යම් දෙයක් හොඳ ය කියා හෝ නරක ය කියා හෝ තීරණය කිරීම පරාධීන ක්‍රියාවලියකි. එහෙත් සෑම ආගමකම ශ්‍රද්ධාව හෝ භක්තිය මත පිහිටා සිටින අනුගාමිකයන් තුළ පවතින්නේ තමන්ගේ ශාස්තෘවරයා දේශනා කර ඇති නිසා හොඳ ය කියා හෝ නරක ය කියා හෝ සැලකීම ය. පරාධීන නොවී මෙම කරුණ තමන් විසින්ම නිගමනය කරගත යුතු බව බුදු හාමුදුරුවන්ගේ උපදේශයයි. ගතානුගතිකව තීරණ ගැනීම සැමවිටම උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත. හොඳ සහ නරක විනිශ්චය කරගැනීමේ මඟපෙන්වීම පැහැදිලිවම මජ්ඣිම නිකායේ අම්බලට්ඨීක රාහුලෝවාද සූත්‍රයෙහි දේශනා කර ඇත. මෙහිදී බුදුහාමුදුරුවන් රාහුල සාමණේරයන්ට කතා කොට, වදාළේ යමක හොඳ හෝ නරක තීරණය කළ යුත්තේ එයින් ඇතිකරන ප්‍රතිඵලය අනුව බවය. යමක් තමන්ගේ අයහපත පිණිස පවතී නම් එය හොඳ නැත, යමක් අනුන්ගේ අයහපත සඳහා පවතී නම් එයද හොඳ නැත. මෙම දෙපක්ෂයේම අයහපත සඳහා යමක් පවතී නම් එය ද හොඳ නැත. එබඳු දෙයින් වැළකී සිටීමට උන්වහන්සේ උපදෙස් දුන් සේක.
තමන්ගේ අයහපත සිදුවන සැටි තම තමන් තේරුම් කරගත යුතුය. තමන්ගේ අත්දැකීම් හෝ අත්දැකීම් ලබා සිටින වැඩිහිටියන්ගේ උපදෙස් මෙහිදී පුද්ගලයාට සහාය වෙයි. අනුන්ගේ අයහපත ඇති කරන දේ සහ අනුන්ට පීඩා පිණිස පවතින දේ ද තම තමන්ට වටහා ගත හැක. තමන් යමක් විඳීමට හෝ ලැබීමට අකැමැති නම් සෙස්සන් ද එයට අකැමැති බව සැලකීමෙන් මෙය බේරුම් කරගත හැක. හොඳ හා නරක යන දෙක වෙන්කොට හඳුනා ගැනීම සඳහා බුදුහාමුදුරුවන් පෙන්වා ඇති මෙම මිම්ම කවර ආගමකට හෝ විරුද්ධ නොවන්නකි. කවර ජනතාවකට වුව ද ගැළපෙයි. සෑමදෙනාම තමන්ගේ හෝ අනුන්ගේ අයහපතට හේතු වන දෙයින් වැළකී සිටිත් නම් මුළු සමාජයම සාමයෙන් පවතිනු ඇත. සියලුම ගැටුම් එතකින් නතර වෙයි.
පරිණාමය හෙවත් ඉදිරියේදී ඇති කෙරෙන ඵලය අනුවම හොඳ හෝ නරක යන තීරණය ගැනීම බුදුහාමුදුරුවන් සෑම තැනදීම පෙන්වා ඇති මග ය. “යමක් කිරීමෙන් පසුව පසුතැවිලි වීමට සිදු වේ නම් එය නොමැනවි. යමක ප්‍රතිඵලය සතුටු මුහුණින් යුතුව භුක්තිවින්ද හැකි නම් එය මැනවි” යනුවෙන් දේශනා කර ඇත්තේ ද එයම ය. කළ දෙය සිහිපත් වන අවස්ථාවේ හෝ එයින් උපන් ඵලය භුක්තිවිඳින අවස්ථාවේ ඇති විය හැකි දුක හෝ සතුට අනුව මෙහිදී හොඳ – නරක වෙන්කර ඇත. මෙහිදී ඉදිරිපත් වන ප්‍රශ්නය නම් ඉදිරියෙහි ඇතිවන ඵලය අනුමාන කරන්නේ කෙසේ ද යන්නය. මෙහිදී මාර්ගෝපදේශනය වශයෙන් ලොවෙහි ඇති පොදු ධර්මතාවක් පැහැදිලිව දැනගෙන බුදුහාමුදුරුවන් ජනතාවට එය හඳුන්වාදී ඇත. එනම් කළ ක්‍රියාවට සමානකම් ඇති ඵලයක් ඇති වන බවය. අබ ඇටයෙන් අබ පැලෑටියක් හා අඹ ඇටයෙන් ලොකු අඹ ගසක් ඇතිවන්නා සේය. මෙම න්‍යාය විශ්ව ධර්මතාවකි. “පැළ කළ බීජය යම් වර්ගයක් නම් ලැබෙන ඵලය ද එම වර්ගයේය” යනු පොදුවේ පිළිගත් න්‍යායයි.
මෙම න්‍යාය පදනම් කොට, නොකළ යුතු දේ ලෙසත්, නරක දේ ලෙසත් උන්වහන්සේ කිසියම් හැසිරීම් කොටසක් ලොවට පෙන්වා දී ඇත. මේවා උන්වහන්සේගේ බලකිරීම් නොවේ. දෙවියන්ගේ හෝ කාගේවත් බලකිරීම් නොවේ, ස්වභාව ධර්මයයි. මේවා කටුවකින් ඇන්න විට රිදෙන්නා සේ ද අතක් තුවාල කළ විට ලේ ගලන්නා සේ ද ස්වාභාවික සිදුවීම්ය. උදාහරණයක් ගතහොත්, ඔබ යම් කෙනකුට ද්වේෂ සහිතව ආයුධයකින් තුවාලයක් කළහොත් ඔහු හෝ ඔහු වෙනුවෙන් වෙනත් අය ඔබට ද එවැනි දෙයක් කරන්නට පුළුවන. එසේ නොවුවහොත් නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබ බන්ධනාගාර දඬුවම් පැමිණවිය හැක. පසුව එය සිහිපත් වන වේලාවේදී ද ඔබට කනගාටුවක් ඇති විය හැක. ඔබගේ නපුරු ක්‍රියාව කරන අවස්ථාවේ ඔබගේ මනසින් උපදවන ලද “කර්ම-අණු” විශ්වය පුරා පැතිර ඇති සන්නිවේදන ජාලයෙහි ඇතුළත් වෙයි. ඔබගේ ක්‍රියාවලින් උපදවනු ලබන චේතනා තරංග සමග විශ්ව සන්නිවේදන ජාලයට මෙලෙසින් ඇතුළත් කරනු ලබන කර්ම-අණු සමග, මෙය ද විශ්වයේ පාවෙමින් ඔබගේ උපාදානස්කන්ධ සංයුතිය කොහි පැවතුණත් එය සමග නොකඩවා සම්බන්ධය පවත්වයි. මෙම ස්වභාවය නිසා වෙනත් කෙනකුට තුවාල කිරීමෙන් ඔබ ඉපදවූ “කර්ම-අණු” ඔබ කොහි සිටියත් ඔබට ද තුවාලයක් සිදු කරයි. සමහර විට ඔබ තවත් කළ එබඳු දේ සමග එකතු වීමෙන් හා වැඩිදුර මෝරා යෑමෙන් මෙය තවත් දරුණු ප්‍රතිඵලයක් ද ඇති කළ හැක.
එමෙන්ම ඇතැම් විට ඔබ කළ දෙයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නිසා උපදවන ලද කර්ම-අණුවලින් නිපදවන ලද ප්‍රතිවිරුද්ධ බලයකින් මෙය දුර්වල වීමට ද ඉඩ ඇත. ඔබ අනුන්ගේ පණ නැසීමෙන් ජීවිත කාලය කෙටි කළා නම් එම ක්‍රියාව සමග පැවැති සිතුවිලි, චේතනා තරංග සමග අවකාශයට ඇතුළු වී සිටින අතර ඔබ පසුව ලබන කවර ජීවිතයකදී හෝ ඉඩ ලැබුණ විටක ඔබගේ ජීවිතය ද අනපේක්ෂිත වෙලාවකදී බිඳදැමීමට සමත් වෙයි. ඇතැම් විට ඒවා එකවාරයක් එසේ කොට අවසන් නොවී තවත් නොයෙක් වාරයන්හි ද එයම කරයි. අනුන්ට යම් බියක් දුන්නෙහි නම්, ඔබ එසේ කිරීමෙන් උපදවන ලද කර්ම-අණු කිසියම් පුද්ගලයන් හෝ වෙනත් සතුන් හෝ ද්‍රව්‍යයක් ක්‍රියාවෙහි යොදාගෙන ඔබට නොයෙක් වර එම බිය ඇතිකරනු ඇත. අනුන්ගේ සම්පත් සිතා මතා පැහැර ගැනීමෙන්, අනුන්ගේ පවුල්වලට මැදහත් වී ඒවායේ සාමයෙන් පැවැත්ම අවුල් කර දැමීමෙන් හෝ වෙනත් බොහෝ ආකාරවලින් අනුන්ට පීඩා ඇතිකිරීමෙන් මෙබඳු අයහපත් කර්ම-අණු ඔබ නිපදවුවහොත් ඒවා කොහේ හෝ උපතක් ලබා සිටින ඔබ සමග සම්බන්ධය පවත්වාගෙන යමින් සිට, ඉඩක් ලැබුන විට ඔබට ද එම කරදරය ඇතිවන ලෙසින් ක්‍රියාත්මක වෙයි. මෙලෙසින් නරක විපාකයන් උපදවන හැසිරීම්
සෑමදෙනාටම වටහා ගත හැකි වනු සඳහා පාපක්‍රියා වශයෙන් හඳුන්වා දී ඇත. කර්මය නමින් බුදුදහමේ හඳුන්වා ඇත්තේ මේවාය. කළ දෙයට සමාන විපාකයන් ඇතිවීමේ න්‍යාය අනුව අද අනුන්ටත් පසුව තමන්ටත් හානියක් සිදුවන බැවින් මේවා නරක ලෙස බුදුදහමෙහි දක්වා ඇත.
මෙලෙසින් ම මෙම වැරදිවලින් සිතාමතා වැළකී සිටීම සෙස්සන්ට අදත්, තමන්ට මත්තටත් සැනසිල්ලක් ලබාදෙන හෙයින්, හොඳ වශයෙන් හඳුන්වා ඇත. මෙහිදී පීඩාකාරී ක්‍රියාවලින් වෙන්වී සිටීමට අමතරව වෙනත් අයට පහසුවක් ලැබෙන පරිද්දෙන් තමන් සතු ධනය හෝ කාලය හෝ ශ්‍රමය හෝ බුද්ධිය හෝ පරිත්‍යාග කරන්නෙහි නම් එය ද අද දවසේ සෙස්සන්ට පහසුව පිණිස පවතින අතර, මත්තෙහි නොයෙක් අවස්ථාවල තමන්ට ද පහසුව සඳහා පවතී. ඔබ අද යමක් පරිත්‍යාග කළේ නම් එය මත්තෙහි දී ඔබට පහසුවෙන් ලබාගත හැකි වෙයි. නොදන්නා දෙයක් කරුණාවෙන් වටහා දීමෙන් බුද්ධිය පරිත්‍යාග කිරීම සිදුවෙයි. බියකට පත්වී සිටින්නකු එයින් ගැලවීම අභයදානයකි. තමන්ට ඉතිරි කළ හැකි ශ්‍රමය හෝ කාලය හෝ වෙනත් අගහිඟ වී සිටින කෙනකුට උපකාර වීම සඳහා පරිත්‍යාග කළ හැකි නම් අද ඔහුට පහසුවක් වනවා මෙන්ම මතුමත්තෙහි ඔබටත් නොයෙක්දෙනාගෙන් නොඉල්වාම එම පහසුව ලැබෙයි. මෙලෙස සෙස්සන්ට හා තමන්ටත් සැපත හා පහසුව සඳහා පවතින බැවින් මේවා ‘හොඳ’ ලෙස හඳුන්වා ඇත. මෙම දේවල් හොඳ හෝ නරක ලෙස හඳුන්වා ඇත්තේ යම් පදනමක් මත නම්, ස්වභාවික දෙයක් වූ එම පදනම අනුව සලකා බලා අපට ද හොඳ හෝ නරක පිළිබඳව තීරණය කරගත හැකි වෙයි.
මෙය විදුලිය බලයෙන් ක්‍රියා කෙරෙන යන්ත්‍රාගාරයක වැඩට ගිය විට මේ මේ තැන්වලට අත තැබුවොත් විදුලිය වැදී අනතුරු වෙතැයි ආධුනිකයන්ට උපදෙස් දෙන පුහුණු කාර්මිකයකුගේ ක්‍රියාවක් වැන්න. විදුලි සර වැදීමෙන් තමන්ටම දැනෙන දෙයක් කල්ඇතිව දැනගැනීමෙන් පීඩාවක් වළකා ගත හැක. මෙය පුහුණු විදුලි කාර්මිකයාගේ නියෝගයක් නොවේ. ඔහු කළේ එහි ඇති ස්වභාවය පිළිබඳව දැනුවත් කිරීම පමණි. බුදුදහමෙහි හොඳ-නරක වශයෙන් දක්වා ඇත්තේ ද එබඳු දැනුවත් කිරීමක් ලෙස පමණි.

