ගාමිණී සුමනසේකර
(බුදුමඟ පුවත්පතෙහි ආරම්භක සංස්කාරක)
‘දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහය’ට පහළොස් වසරක් සපිරේ. බුදුමඟ සමාරම්භයේ සිට ම බොදුනුවන්ගේ පමණක් නො ව, කිතුනුවන් හා වෙනත් ආගමික ජන කොටස්වල ද අවධානය ඒ පුවත්පතට හිමි වීම පිළිබඳව අපි උපේක්ෂාසහගත සතුටක් ලබන්නෙමු. මුල් යුගයේ සිට ම බුදුමඟ ජාතික සංස්කෘතික ප්‍රබෝධයත්, සාරධර්ම සුරැකෙන සත් සමාජයක් මෙරටේ ස්ථාපිත වනු දැකීම උදෙසාත් අනලස් ව මැදිහත්වීම් ද කර තිබේ. එහි ලා බුදුමහිමයත්, අප්‍රමාණ දහම් සයුරෙන් බිඳක් නැණ පමණින් විදහා දැක්වීමට මෙරටේ ගිහි-පැවිදි විද්වත්හු ද විවිධ සමාජ දාර්ශනික හැදෑරීම් කළ ශාස්ත්‍රාලීය පර්ෂදයන්හි නිරත ප්‍රාමාණික උගත්හු ද අපට දායක වූ හ.
මේ එදා, එනම් 2009 ජුනි 07 වැනි දා (බුද්ධ වර්ෂ 2553 පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය) ‘බුදුමඟ ගැන වචනයක්’ යන හිසින් ලියැවුණු පළමු කතුවැකියෙන් උපුටාගත් කොටසකි.
සිංහල සභ්‍යත්වයෙහි මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සමාරම්භය ලෙස මහින්දාගමනය හැඳින්වීම කිසිසේත් ම අතිශයෝක්තියක් නො වේ. මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට රැගෙන එන ලද බුදු දහම සිංහල ජන සමාජය පෙර නො වූ ආඪ්‍යත්වයකින් ද ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකින් ද පුබුදු කරවීමට හේතු විය. අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් විහිද ගිය ජාතියක යශෝරාවයේ ඔද තෙද ගී අදත් අහස් ගැබ තුළ ගිගුම් දෙන්නාක් මෙනි.
බුදුමඟ ඒ ජාතික, සංස්කෘතික, අධ්‍යාත්මය සුපුෂ්පිත කරවීමේ සද්චේතනාවෙන් ම ඔබ අතට පත් වන ධර්ම සංග්‍රහයකි. අද අප ජීවත් වන්නේ වල්මත් වූ සමාජයක ය. අපගේ ඇවතුම් පැවතුම් මෙන්ම අපගේ අපේක්‍ෂාවන් හා අභිලාෂයන් අප අධ්‍යාත්මය සුපුබුදු කළ බුදුමඟ සමග කිසිසේත් නො සැසඳෙන, නො ගැළපෙන, නො පෑහෙන ඒවා බව අමුතුවෙන් කිව යුතු ද?
බුදුමඟ නිදහස් මඟකි. ‘ඒහි පස්සිකෝ’ යනු, බුද්ධ වචන විය. බුදුමඟ අනුදත් අයට මෙන්ම අනෙක් අයට ද ඉන් ලද හැකි ඵලය, සුවය අපමණ ය. පන්සිල් පිළිවෙත කවර ශිෂ්ට සමාජයකට වුව ද අදාළ ය. නීතියෙන් බැඳුණු දණ්ඩනයෙන් පීඩාවට පත් වුණු සමාජයකට පන්සිල් නො බිඳ සුරැකිය හැකි නම් ඒ නීති හෝ දඬුවම් අනවැසි නො වන්නේ ද?
අප ජීවත් වන්නේ හිස ගිනිගත් සමාජයක ය. උනුන් පරයා දිව යන සමාජයක මී පොරයක හිර වී සිටින අපට තිබෙන සතුට කුමක් ද? අඳුරින් වට වී සිටින අපි පහන හැර ආලෝකය සොයා යන්නෙමු. එහෙත් අපට සතුටක්, සැනසීමක්, ශාන්තියක් තිබේ ද? ඇලීම්, ගැලීම්, බැඳීම් ගිහි අපට උරුම වුව ද, ඉන් ඈත්වන තරමට ම අපට අපගේ සැනසීම උදා කරගත හැකි ය.
බුදුමඟ අපේ සුමඟ බවට පත් කර ගනිමු. නොමඟ යන සැමට නිසිමඟ පෙන්වන්නේ බුදුමඟ ය. කෙලෙස් සියල්ල නසා සසරෙන් එතෙර වන තෙක් ම අපේ ගමන නො නවතින බව සැබෑ ය. එහෙත් ඒ ගමන දැන යන ගමනක් බවට පත් කර ගැනීමට වුවමනා නැණ නුවණ අපට දෙන එක ම මඟ බුදුමඟ පමණි. බුදුමඟ පහන් කිරීමට අපි, ඔබ සමග එක් වෙමු. මේ ඒ සඳහා පින් සිතින්ම කරනු ලබන දැහැමි වෑයමක් පමණි.
බුදු සිරිත හා බුදු බණ යනු, සිංහල බෞද්ධ ජනජීවිතය සමග බැඳුණු ආත්මීය සබඳතාවකැ යි අපි අදත් පිළිගන්නෙමු. අපේ සාහිත්‍ය, කලාව, සෞන්දර්ය පමණක් නො ව ඇතැම් ජීවන වෘත්තීන් කෙරෙහි ද බුදුමඟෙහි බලපෑම්, ඉන් විහිදෙන ආලෝක ධාරාවන් ගැබ් වන බව ද කිව යුතු ය.
සිංහල සාහිත්‍යයේ සමාරම්භය දෙස බලන සාමාන්‍ය පාඨකයකුට වුව ද ඒ බැඳියාවන් හා ළැදියාවන් වෙන වෙන ම පසක් කරගත හැකි ය. සිංහලයේ පළමු ගද්‍ය කෘතිය වන ගුරුළුගෝමීන්ගේ ‘අමාවතුර’ අපගේ සාහිත්‍යයේ ප්‍රථම කෘතිය ලෙස ද පිළිගනු ලැබේ. (ගුරුළුගෝමීහු ඊට පෙර ධර්මප්‍රදීපිකා නමින් පරිකතා ග්‍රන්ථයක් ද ලියූ හ). අමාවතුර ආරම්භ වන්නේ එය නො වියත් හුදී ජනයා සඳහා සැකෙවින් කළ ග්‍රන්ථයක් ලෙස ය. බුදුසිරිත පිරිසුදු හෙළ බසින් පෑමක් ලෙස ද අමාවතුර හැඳින්වේ. අමාවතුරෙන් ඇරඹුණු සිංහල ගද්‍ය විචිත්‍ර රීතියකින් බුදු මහිමය කීමට උචිත ලෙස සකසා ගත් විදුසක්විති බුත්සරණ රචනා කළ හ. බුත්සරණ පොදු ජනතාව වඩාත් ප්‍රිය කළේ එහි එන ධර්ම දේශනා විලාසය නිසා ය. නාලාගිරි හා අංගුලිමාල දමනයන් ගැන බොදු උපාසක උපාසිකාවන්ට නාට්‍යමය ස්වරූපයකින් විස්තර කළේ ද බුත්සරණ කතුවරයායි. ‘අමෘතාවග බුත්සරණ’ ලෙස එය හඳුන්වා තිබීමෙන් පෙනී යන්නේ ද බුදුගුණ අමෘතය හෙවත් අමා දහරක් ලෙස ජනතා දෙසවන් තුළට වත් කිරීමට හෙවත් හදට දැනවීමට ගත් ප්‍රයත්නයක් ලෙස ය.
මේ හැරුණු විට බුදුමහිමය පොදු ජන පහන් සංවේගය දනවන ලෙස රචිත සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය හා පන්සිය පනස් ජාතක පොත ද මෙහි දී සිහිපත් කළ යුතු ම ය. බුදුන් වහන්සේට විශේෂ වූ ‘අරහං’ බුදු ගුණය වර්ණනා කිරීමට උචිත කතා පුවත් රැසක් ද පූජාවලියෙහි ඇතුළත් වේ. සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙහි සුවිශිෂ්ට නිර්මාණ ලෙස ද ප්‍රසාදයට ලක් වූ අමාවතුර, බුත්සරණ, පූජාවලිය ඇතුළු බොහෝ කෘතිවල බුදුසිරිත හා බැඳුණු එක ම පුවත් වෙන වෙන වර්ණනා ලෙස දැක්වූ ආකාරය පිළිබඳ විවිධ විමර්ශන ද සිදු ව තිබේ. මේ සියල්ල ම බෞද්ධ සාහිත්‍යය ලෙස පොදුවේ හැඳින්වූවත් ඒවායේ එන චරිත – අවස්ථා නිරූපණ ආදිය නූතන සමාජ දෘෂ්ටීන් සමග සැසඳෙන බව ද පිළිගනු ලැබේ.
පොදු ජනතාව උදෙසා බිහි වූ මෙම නිර්මාණ සාක්ෂරතාවක් නොමැති ජනතාවට කියවා තේරුම් කරදීමේ සම්ප්‍රදායක් ද මෙරටේ විය. මේ හැර බුදුසිරිත ඇසුරෙන් ලියැවුණු පද්‍ය සාහිත්‍යයක් ද අපට තිබේ. ‘පෙදෙන් බුදු සිරිත’ යන සම්මුතියක් ද එකල තිබුණු අතර කව්සිළුමිණ, මුවදෙව්දාවත හා සසදාවත වැනි ගී කාව්‍ය එහි අග්‍රඵල සේ දැක්විය හැකි ය. මේ සමග පොදු ජනතාවට බුදුගුණ සරල ව දැක්වූ බුදුගුණ අලංකාරය, ගුත්තිලය මෙන්ම අගනා උපදේශ කාව්‍යයක් වන ලෝවැඩ සඟරාව ද සිහිපත් කළ යුතු ය. මෙහි දී අපට දීර්ඝ ව කරුණු දැක්වීමට ඉඩක් නැති වුව ද සිංහල බෞද්ධ ජන මනස සකසාලීමටත් ඔවුන්ගේ දහම් පිපාසය සංසිඳවාලීමටත් මේ ගද්‍ය – පද්‍ය හේතු වූ බව සඳහන් කළ යුතු ය.
සියවස් ගණනක් මුළුල්ලේ සිංහල සභ්‍යත්වය, සංස්කෘතිය සුපෝෂණය වූ ප්‍රමුඛ ධාරාව බුදු දහම බව නිසැක ය. සිංහල බෞද්ධයාට ධර්මාවබෝධයට අමතර ව භෞතික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය බුද්ධිය, සමාජ ඥානය ලබා දුන්නේත් බුදු දහම ය. ශ්‍රද්ධාව හා භක්තිය නිරවුල් ව වටහාගත් අදීන චින්තන සම්ප්‍රදායක උරුමය අපගේ ආධ්‍යාත්මික ශක්තිය බවට පත් ව තිබේ. ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවත් ලොව සෙසු ප්‍රබල රටවල් සමග අභිමානවත් ලෙස නැඟී සිටියේ ද බුදු දහමින් වැඩුණු විවේක බුද්ධියත් ප්‍රඥාවත් නිසා ය.
ලොව විශිෂ්ට කලා නිර්මාණ අතරට වැටෙන සමාධි පිළිමය මෙන්ම අවුකන බුදුරුව වුව ද ඒ ආගමික හා සංස්කෘතික උල්පත්වලින් සුපෝෂණය වූ බව ප්‍රකට ය. මහා කළු ගලකට බුදු මහිමය කැවූ ඒ විස්මිත කලාකරුවන්ට ලොව ම හිස නමන බව පමණක් සඳහන් කරමු. අපට මේ බොදු උරුමය හා බොදු මනස පිළිබඳ තවත් නිදසුන් දැක්විය හැකි ය. එය මේ ලිපියෙහි සීමාව ඉක්මවන්නකි. සැබැවින් ම අපගේ උත්සාහය වූයේ ‘බුදුමඟ’ වැනි බොදු පුවත්පතක් කුමක් සඳහා දැ යි කීමට වඩා ඒ බුදු සිරිත සමග අපගේ සංස්කෘතිය හා අධ්‍යාත්මය ද අවියෝජනීය ලෙස බැඳී ඇති බව සිහිපත් කරලීමට ය. නූතන සමාජ ආර්ථික හා භෞතික වටිනාකම් කෙබඳු වුව ද ඒ කිසිවක් බුදුමඟටත් ඒ සංස්කෘතික වටිනාකම් සමුදායටත් අභියෝගයක් නො වන බව තහවුරු කිරීමට ය. බුදුමඟ බොදුනු නොබුදුනු සියලු පාඨකයන් අතර ප්‍රසාදයටත් පහන් සංවේග දැනවීමටත් හේතු වේ වා යි ද අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමු.