නිහතමානය සහ අල්පේච්ඡතාව

rashi
By rashi
6 Min Read

රාණි සේනාරත්න රාජපක්ෂ

දෙවියා සර්වඥයන් වහන්සේට වැඳ අන්තර්ධාන විය. පසුවදා උන්වහන්සේ භික්‍ෂූන්ට ඒ සිද්ධිය ගැන පවසා, ඒ ගාථා පහ වදාළහ. ඉක්බිති වදාළ දෙය උන්වහන්සේගේ නිහතමානය මැනැවින් පෙන්වයි. “භික්ෂූනි, තායන ගාථා ඉගෙනගන්න. තායන ගාථා පිරිවහන්න. තායන ගාථා දරන්න. භික්ෂූනි, තායන ගාථා අර්ථ සහිතය. බ්‍රහ්මචර්යාවට මුල් වේ.”

(සං. නි. 1 – තායන සූත්‍රය) දේවාතිදේව වූ බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සර්වඥ වූ සියලු ප්‍රඥාවෙන් බුද්ධියෙන් අග්‍ර වූ සර්වඥයන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ පැවසුවේ දෙවියකුගේ උපදෙසකි. ඔහු පෙර තීර්ථයකු වීම මේ තත්ත්වය කූටප්‍රාප්ත කරයි.

සර්වඥයන් වහන්සේගේ නිහතමානය පිළිබිඹු වන තවත් සිදුවීමක්: එක් දෙවියෙක් මධ්‍යම රාත්‍රියේ එළැඹ වැදගත් ධර්මතාවක් පැවසීය. “ස්වාමීනි, භික්ෂූන්ගේ පරිහානියට ධර්මතා තුනක් ඇත. එනම් කම්මාරාමතා, භස්සාරාමතා, නිද්‍රාරාමතා වේ.” උන්වහන්සේ සමසිත් වූහ. දෙවියා “භාග්‍යවත්හු මගේ බස අනුදත්හ”යි වැඳ අන්තර්ධාන විය. උන්වහන්සේ පසුවදා සංඝයා අමතා ඒ සිද්ධිය දන්වා “භික්ෂූනි, ඔබ යම් කුශල ධර්මවලින් පිරිහෙන බව දෙවියන් පවා දනිත් නම් එය ඔබට අලාභය. නොමනාය”යි පැවසූහ. තවත් පරිහානීය ධර්ම තුනක් – සංගණීකාරාමතා, දොවචස්සතා හා පාපමිත්තතා – ඊට එක් කළහ. (අං.නි. 4 – සාමගාමක සූත්‍රය) සර්වඥයන් වහන්සේ දෙවියා කී කාරණය පිළිගත්තා පමණක් නොව එය වටිනා ප්‍රකාශයක් ලෙස භික්ෂූන්ට අවවාදය සඳහා ද යොදාගත් අයුරුයි. මේ අන්දමින්ම තවත් අවස්ථා දෙකකදී දෙවියකු බැගින් උන්වහන්සේ දැක්මට පැමිණ, භික්ෂුවගේ අපරිහානීය ධර්ම සය ගැන පවසා ගොස් ඇත. එහිදී ද උන්වහන්සේ පසුවදා භික්ෂූන්ට ඒ ගැන පැවසූහ. (අං. නි. 4 – පඨම හා දුතිය අපරිහාන සූත්‍ර)

උන්වහන්සේගේ නිහතමානය වරෙක ආනන්ද හිමියන්ට කළ ප්‍රකාශයකින් පැහැදිලිය. “ආනන්ද, තථාගත ධර්මයේ ආචාර්යමුෂ්ටි නැත… ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂු සංඝයා මා උදෙසා විසිය යුතුය’යි තථාගතයන්ට සිතක් නැත… ආනන්ද, යම් කලෙක තථාගත තෙමේ… අනිමිත්ත චෙතො සමාධියට පැමිණ වෙසේ නම් එය තථාගතයන්ට ඉතා පහසුය…”

(සං. නි. 5/ෂෂ – ගිලාන සූත්‍රය)

උන්වහන්සේගේ නිහතමානය දැක්වෙන තවත් සිදුවීමක්: වරෙක උන්වහන්සේ වෛශාලි පුරය අසල මහ වනයේ කූටාගාර ශාලාවේදී භික්ෂූන්ට අසුභ භාවනාවේ ගුණ විවිධ අයුරින් වදාළහ. ඉක්බිති “මම අඩමසක් තනිව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක හැර අන් කිසිවෙක් නොඑළඹෙන්නැ”යි උපදෙස් දුන්හ. භික්ෂූහු එතැන් පටන් අසුභ භාවනාවේ යෙදී මේ කයින් පීඩිත වී ලජ්ජිත වී පිළිකුල් උපදවා දිවි ගැලවීමට සමත් අවි සෙවූහ. දසදෙනා විසිදෙනා එක්දවසින් දිවි නසාගත්හ.

අඩමසින් පසු වැඩමකළ සර්වඥයන් වහන්සේ “ආනන්ද, කුමක් හෙයින් භික්ෂූන් තුනී වූවෝදැ”යි ඇසූහ. ආනන්ද හිමියෝ කරුණු පහදා දී “ස්වාමීනි, මේ භික්ෂු සංඝයා රහත් බැව්හි පිහිටා ධර්මයක් දේශනා කරන සේක්වා”යි ඉල්ලූහ. සර්වඥයන් වහන්සේ “එසේ නම් වෛශාලි පුරයේ සිටින සියලුම භික්ෂූන් එක්රැස් කරන්නැ”යි ආනන්ද හිමියන්ට උපදෙස් දී ඒ භික්ෂූන්ට “ආනාපානසති සමාධිය ශාන්ත ප්‍රණීත මිහිරි සුඛ විහරණයකි. උපන් අකුසල ධර්ම නැති කරයි.” ආදී වශයෙන් ආනාපානසති භාවනාවේ අනුසස් දේශනා කළහ. (සං. නි. 5/2 – අසුභ සූත්‍රය) සර්වඥයන් වහන්සේ මේ අයුරින් ආනන්ද හිමියන්ගේ අදහස අවිවාදයෙන්ම පිළිගත්හ.

පිණ්ඩපාතය සඳහා ආරාමයෙන් පිටත් වී, තවම කල් වැඩි යැයි සලකා පරිබ්‍රාජකාරාමයකට වැඩමකොට එහිදී ධර්ම කථාවක් කිරීම සර්වඥයන් වහන්සේගේ ඉමහත් නිහතමානී සිරිතක් වූහ. උන්වහන්සේ වරෙක රාජගෘහ පුරයේ කලන්දක නිවාපයේ සිට ඒ අයුරින් සකුලුදායී පරිබ්‍රාජක දැකීමට සුප්‍රසිද්ධ පරිබ්‍රාජකයන් විසූ මොරනිවාප ආරාමයට වැඩම කළහ. සකුලුදායි කරුණු 5 ක් නිසා තමා සර්වඥයන් වහන්සේ කෙරෙහි පැහැදී ඇතැයි කියයි: අල්පාහාර, අල්ප චීවර, අල්ප පිණ්ඩපාත, අල්ප සේනාසන, උපධි විවේකය. එහෙත් උන්වහන්සේ තම ශ්‍රාවකයන් තුළ ඒ ගුණ ඊට වඩා ඇතැයි පවසති.

“මගේ ශ්‍රාවකයෝ අඩ සරළුවක් තරම්,… අඩ බෙලි ගෙඩියක් තරම් වළඳන දවස් ඇත. මම ඇතැම් දවසක මේ පාත්‍රයේ යට කොන් සිට මුවවිට දක්වා ආහාර අධිකව වළඳමි. මගේ ශ්‍රාවකයෝ පාංශුකූල, රළු සිවුරු අඳිති… සොහොනින්, කසළ ගොඩින් දිරූ පිළි ගෙන සිවුරු කොට දරති. මම ඇතැම් දවසක දළ ගෘහපති සිවුරු අඳිමි. මගේ ශ්‍රාවකයෝ ගෙපිළිවෙළින් පිඩුසිඟා යති. ඇතුළු ගමට ගිය කල්හි ආසන පැවරුව ද නොඉවසති. මම ඇතැම් දවසක ආරාධනා ලබා, නොයෙක් ව්‍යංජන ඇති, නිවුඩු අස්කළ මිහිරි බත වළඳමි.

“මගේ ශ්‍රාවකයෝ රුක් මුල්හි වසති. අටමසක් කල් වහලක් යටට නොයති. මම ඇතැම් දවසක ඇතුළත පිටත පිරියම් කළ, මනාව අගුළු ඇති, පියන ලද වා කවුළු ඇති කූටාගාරවල වසමි. මගේ ශ්‍රාවකයෝ ආරණ්‍යකව වන සේනාසනවල – ඉතාම දුර සේනාසනවල වසති. අඩමසක් පාසා ප්‍රාතිමෝක්ෂ දේශනාවට අනෙක් භික්ෂූන් හා එක්වෙති. මම ඇතැම් දවසක භික්ෂු භික්ෂුණීන්… රජුන් ඇමැතියන් තීර්ථකයන් නිසා ආකූලව වසමි” මෙසේ සර්වඥයන් වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ ගුණ පවසන්නේ ද අන්නහාර, වරධර ආදී ඉතා ප්‍රසිද්ධ පරිබ්‍රාජක පිරිසක් ද ශ්‍රාවකයන් විශාල පිරිසක් ද සමග සිටි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයකුටය. (ම. නි. 2 – මහා සකුලුදායී සූත්‍රය) මෙසේ පරිබ්‍රාජකාරාමවලට වැඩම කළ තවත් අවස්ථා ගණනාවක් ගැන 24 පරිච්ඡේදයෙහි එයි. ඒ හැම විටම හිතමිතුරන් සේ සාකච්ඡා කිරීම ද උන්වහන්සේගේ නිහතමානය මනාකොට දක්වයි.

උන්වහන්සේගේ නිහතමානය දැක්වෙන තව කරුණක් නම්, උන්වහන්සේ සෑම විටම දෙපා සෝදාගැනීමයි. උන්වහන්සේ යම් තැනකට වැඩම කරන විට එහි සිටින්නෝ ආසනයක් පනවා ජලය භාජනයක් තබති. උන්වහන්සේ ආසනයේ වැඩහිඳ පා දොවාගනිති. නිද: වරෙක උන්වහන්සේ නාදිකා ගමේ වැඩවසද්දී ගෝසිංහ සාල වනයේ විසූ අනුරුද්ධ, කිම්බිල හා නන්දිය රහතන් වහන්සේලා දැකීමට එහි වැඩම කළහ.

එහිදී අසුනක් පනවා පා සේදීමට ජලය දුන් කළ උන්වහන්සේ අසුනෙහි වැඩහිද පා සෝදාගත්හ. නිස්සජ්ජ ඛො භගවා පාදෙහි පක්ඛාලෙසි. (ම.නි. 1 – චූල ගොසිංහ සූත්‍රය)

(මතුසම්බන්ධයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *