අපි ප්‍රඥාවන්තයෝ ද?

cmadurawala
2 Min Read

දර්ශන විශුද්ධිය පිණිස යෝනිසෝමනසිකාරය නමින් විශාල ග්‍රන්ථ දෙකක් කියවන්ට ලැබුණි. දයාරත්න කෝරළේගේ ලේඛකයා විසින් ලියන ලද්දකි.

බුද්ධ ඥාන තෙසැත්තෑවෙන් ශ්‍රාවකසාධාරණ ඥාන 67ක් ස්පර්ශ වන සේ සම්පාදිත කෘතියකි.

“කුමකට ද දර්ශන විශුද්ධිය කියලා කියන්නේ…? දර්ශන විශුද්ධිය කියලා කියන්නේ දැකීම පිරිසුදු වෙනවා. දැකීම නිවැරදි වෙනවා. එතැනට තමයි අපි සෝවාන් කියලා කියන්නේ… දිට්ඨියට සම්පන්නව කියලා කියන්නේ.

ලෞකික ධනය ඇති අය අනාර්ය (සම්මත) සමාජය තුළ ඉදිරියෙන් සිටින්නේ යම් සේද, ආර්ය විනයෙහි එන ශ්‍රද්ධාදි ධනයක් ඇති අය ආර්ය සමාජය තුළ මුල්තැනෙහි සිටින්නේ එලෙසිනි. එසේ මුල්තැනෙහි සිටින්නේ,

“ලෞකික ධනයට අනාර්ය සමාජය තුළ අගයක් ඇති ලෙසින්ම,

“ආර්ය ධනයට ආර්ය සමාජය තුළ අගයක් නැති නිසාය.

මුලු ජගත් සමාජයේ බහුතරයේ ගමන් මාර්ගය මංමුලා වැල් පෑගුණු බවක් පෙනේ. එබඳු ම දූපතක වැසියන් වන අපි අයාලේ වල්මත් වී ඇති සැටියකි. ධම්මපදයේ ගාථාවක් සිහිපත් වෙයි.

සාරංච සාරතො ඤත්වා
අසාරංච අසාරතො
තෙ සාරං අධි ගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් ගන්න.

බොහෝ විට අපි මේ රටේ පුරවැසියන් හැටියට නිසරු බොල් දැයම සරුසාර යැයි වැලඳ ගනිමු. අපට ආහාර මත්තඤ්ඤුතාව නැත. පමණ දැන තෝරාගෙන, පෝෂණීය, සමබල ආහාර වේලක් සකසා ගැනීම දැන් ගිලිහී ඇත. දිළිඳුකම ප්‍රධාන හේතුවක් යැයි කිසිවකුත් කියනු ඇත. එය පරම සත්‍යය නොවේ. මේ සැප්තැම්බරය සාහිත්‍ය මාසය යැයි කීවාට ලබන මාසේ කියවීමේ මාසය යැයි කීවාට කීදෙනකු පොත්පත්, සඟරා කියවනවා ද? වල්පල්, ඕපාදූපවලට ගොදුරු වී ඇත. ඝාතන, මත්ද්‍රව්‍ය පැතිරීම්, හොරකම්, දූෂණ, භීෂණ, නාස්තිය රට පුරා වියවුල් බවක් ඇති කර තිබේ. නිතර හදිසි අනතුරු, අපයෝජන, අපචාර, අපරාධ ගැන වාර්තා වේ. වාර්තා නොවන අපරාධ කොපමණ ඇති ද? අවිනීත, අධාර්මික, අසංස්කෘතික, අශිෂ්ට, සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික තත්ත්වය මුලිනුපුටා දැමිය යුතුය. එළැඹ සිටි සිහි නුවණින් ගුණ දහමින් අනෙකා ගැන සිතන සංවේදී පුරවැසියන් බිහි කිරීමේ අවශ්‍යතාව පිරිපුන් අධ්‍යාපනයයි. පසුගිය සතියේ නාඋයනේ සිදුවූ අනතුරින් භික්ෂුන් වහන්සේ අපවත්වීම බෞද්ධයන්ට මතු නොව අබෞද්ධයන්ටත් කම්පාවක් ඇති කළ බරපතළ සිදුවීමකි. අපි අපවත්වූ හිමිවරුන්ට නිවන් පතමු. රෝගීව සිටින හිමිවරුන්ට සෙත් පතමු. තමන්ටත් මුළු ලෝකයටත් සාමය සහජීවනය පතමු. මෙත් වඩමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *