අයි.බී.හෝනර්
එකම ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ මුවින් පහළ වී එන්නා සේද, දැනට ගණන් බලා තිබෙන අයුරින් වර්ෂ 2500කට වඩා ස්වල්ප කාලයක් තුළ පැවැතුණා සේද සලකනු ලබන අති විශාල ධර්ම ස්කන්ධයට බටහිර ජාතීන් මෑත කාලයෙහි දුන් නාමය Buddhism යනුයි. මේ ධර්මස්කන්ධය පාලි පිටකයෙහි අන්තර්ගත යි; ඒ පිටකය පිළිබඳව විමසමු. අද පවතින සාධක අනුව අවිච්ඡින්නවද, අංග සම්පූර්ණව ද පැවැතුණු එකම බෞද්ධ පිටකය සේ, සලකනු ලබන්නේ මේ පාලි පිටකය යි. එහි ඇතුළත් සූත්‍ර ධර්මය අතුරින් බොහෝමයක් බුද්ධ භාෂිතය සේද, වඩා ස්වල්ප කොටසක් උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් ගේත් සමකාලීන ස්ත්‍රී ීපුරුෂයන්ගේත් භාෂිතය සේද හඟිති. මොවුන්ගේ ප්‍රකාශන, ශාස්තෲන් වහන්සේ වදාළ දැය හා වෙනසක් නොදක්වයි. අන්ධ භක්තියෙකින් හෝ හුදු වාච්‍යාර්ථයෙන් හෝ ඒ ධර්මය දැරීමෙහි අවශ්‍යතාවක් නොදැරූ ඒ ශ්‍රාවකයන් ද බුද්ධ භාෂිතයෙහි තර්කානුකූලභාවය වටහාගත් බව දැක්වීමට මේ කරුණ පිහිට වෙතැ‘යි මම සිතමි. ඔවුන් සැබැවින්ම ලද්දේ එයට ඉඳුරා විරුද්ධ උපදේශයි. සියල්ල අත්හදා බලා එහි සත්‍යතාව පරීක්ෂා කර ගැනීමට දිරි ගන්වන උපදේශයි.
රාජකීය ශාක්‍ය කුලයෙහි ජනිත වූ ගෞතම බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේ ජීවමානව වැඩ විසූ කල්හි දීම, ශාක්‍යමුණි යන නාමය ලැබිණි. මෙය, උන්වහන්සේට යෙදුණු විරුදාවලි රැසෙන් එකක් පමණි. ඒවා තවම සම්පූර්ණයෙන් රැස්කොට නැත්තේය. අසූ තුන් වසරක් ජීවත් වුණු උන්වහන්සේ 45 වසරක් පමණ කල් උතුරු ඉන්දියානු ගංගා නිම්නයේ ධර්මය ප්‍රචාරයෙහි යෙදුණු සේක. අනුක්‍රමයෙන් ඒ ධර්මය අන් රටවලට ද පැතිරී ගියේය. ලංකාව, බුරුමය, තායිලන්තය, කාම්බෝජය සහ ලාවෝස් යන රටවල වැස්සන් පවසන පරිදි, බුද්ධ භාෂිතය පුරාතනයෙහි යම් පාරිශුද්ධියක් දැරුවේ ද, ඒ ස්වරූපයෙන්ම මේ රටවල දැනුදු පවතී. එහෙත් විනය, ජපානය සහ තිබ්බතය යන රටවල චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නිර්වාණය යන මූලික අංග නොවෙනස්ව පැවැතුණ ද, අවශේෂ ධර්මය බලවත් විපර්යාසවලට පාත්‍ර විය. ඒවා සමූහයක් සේ ගත් කල,‘මහායාන’ යනුවෙන් හැඳින්වෙයි. බුදුසමයේ මේ පශ්චාත් ස්වරූපයෝ ද තම ශාස්තෲන් වහන්සේට භක්ති ප්‍රණාමය පුද කරන්නාහු සාමූහික වශයෙන් ‘මහායාන’ නමින් හඳුන්වනු ලබති. ඒ අතර ලංකාව සහ බුරුමය ආදී රටවල අදහනු ලබන දහම ස්ථවිරයන්ගේ “වාදය” නොහොත් “ප්‍රකාශනය” යන අරුතින් “ථෙරවාද” යනුවෙන් හැඳින්වෙයි. ඇතැම් විට, අවිවාරයෙන් මෙන් එය “හීනයාන” යනුවෙන් ද හැඳින්වෙයි. ඉතින්, මේ ලිපියෙහි දී අප සලකා බලන්නේ එහි ස්වරූප කිහිපයක් පමණි. ඒ ථෙරවාදය ප්‍රමාණයෙන් ඉතා විශාල බැවිනි.
බුද්ධ ධර්මය පැතුරුණේ යම් රටෙක ද, එය එහි වැස්සන්ගේ හදවතට තරයේ කා වැදුණේය; ජයග්‍රාහී ව එය ඔවුන්ගේ සිත් පැහැර ගත්තේය. එහි අනුගාමිකයෝ ප්‍රධාන වශයෙන් ගිනිකොණ ආසියාවේ වසන්නෝ, ක්‍රිස්තු භක්තිකයනට, ඉස්ලාම් භක්තිකයනට හෝ වෙන අන් ආගමිකයනට හෝ වඩා සංඛ්‍යාවෙන් වැඩි වෙති‘යි සිතනු ලබති. දෘශ්‍ය- කලා නිර්මාණයෙහි ලා එය මහත් බලවේගයක් වූ බව ස්ථීර ව පෙනෙයි. විහාර, දාගැබ්, ප්‍රතිමා, ආලෙඛ්‍ය චිත්‍ර සහ බදාම චිත්‍ර අති විශාල ගණනෙකි. බෞද්ධ රටවල් පුරා වර්තමාන “සංස්කෘතිය” තෙරැපෙමින් පැතිරෙන මේ කාලයෙහි එය එරට වැසියනට මහත් ආශිර්වාදයක්ව පවතින බව ද පෙනෙතත්, එය තවත් කොතරම් කල් එසේ පිහිටා සිටී දැයි මම නොදනිමි.
කවර හෙයින්ද? ආරම්භයෙහි පටන් අද දක්වා ම බුදු දහම, අභ්‍යන්තර සහ බාහිර සාමය පිළිබඳව ශාරීරික සහ එෛතසික සන්සුන් බව පිළිබඳව, අසල්වැසියන් හා හොඳ හිත පිළිබඳව “මා යම් සේද, ඔවුහු ද එසේ වෙති. ඔවුහු යම් සේද, මම ද එසේ වෙමි” (සූ.නි. 705)- මුළුමහත් මනුෂ්‍යත්වය හා මෛත්‍රිය පිළිබඳ (“වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම සන්සිඳේ, මේ සනාතන ධර්මය යි”: ධ.ප.5)- ධර්මයෙක් විය. එය අනුව, කිසිවක් අත්‍යන්තය දක්වා නොකළ යුතුය. ශාරීරික, සදාචාරාත්මක සහ දාර්ශනික අතින් බලන කල ශූන්‍ය භූමි සේ පෙනෙන සියලු අන්ත අතුරෙන් පවත්නා මධ්‍යම ප්‍රතිපදාව පරම මාර්ගයද ශ්‍රේෂ්ඨතම ක්‍රියා කලාපය ද සේ ඉදිරිපත් කරනු ලැබිණි.
අවිද්‍යාවෙන් මිදී පරම අවබෝධය ලබා ගැනීමට පෙර සිද්ධාර්ථ බෝධිසත්ත්ව තුමාණෝ සිය තරුණ වියෙහි දී කාම සුඛල්ලිකානුයෝගයෙන් ද, එසේ ගෙවූ අධික කාම සුඛ විහරණයෙන් අභිනිෂ්ක්‍රමණය කොට සාවුරුද්දක් කල් අත්තකිලමථානුයෝගයෙන් ද කල් ගෙවූහ. මේ දෙවැනි අවස්ථාවෙහි දී උන්වහන්සේ සිය සිරුරට දුන් වධ කොතරම් දරුණු ද‘යි කිවහොත් උන්වහන්සේ මරණින් ගැලවුණේ යන්තමිනි. එහෙත්, ඒ උභය යෝගයම නියම සාමයටත් සැපතටත් මඟ නොවීය. උන්වහන්සේ වටහාගත් පරිදි ම, ඒකාන්ත වශයෙන් අන්මඟක් තිබිය යුතුම විය.
බුද්ධ ධර්මය සර්වාශුභවාදී දර්ශනයෙකැ’යි පිළිගන්නෝ තවමත් වෙසෙත් දැ’යි, නොහොත්, ඒ හැඟුම සදහටම අත්හැර සිටිත් දැ’යි මම ඉඳුරා නොදනිමි. මේ කල නැඟෙනහිර රටවලට කඩිමුඩියේ පැමිණ හැරී යන්නන් එසේ නිගමනය කළ හැකි බව නම් සිතමි. බුද්ධ ධර්මය සර්වාශුභවාදී හෝ සර්වශුභවාදී හෝ නොවේ. ඒ සංස්ථා දෙක අතර පවත්නා දර්ශනයකි. ථෙරවාදය තථ්‍යතාව- සියල්ල පවත්නා ස්වභාවය- මත ගොඩනැඟුණු ධර්මයක් සේ පිළිගනු ලැබේ. එය තථ්‍යතාවට මුහුණ දෙයි. එයට පසුපස හරවා ඈත් වී දිවයෑමට මාන නොබලයි. ඒ අපහසුය. යම් ස්ථානයක, යම් කාලයක් තුළදී පවත්නා නියම තත්ත්වය පුද්ගලයා ගේ සියලු අදහස් උදහස් වැඩ කටයුතු පාලනය කොට, මෙහෙයවන්නක් සේ සලකතොත් පමණකි. සියලු සංසාරයෙහි තථ්‍යතාව අතික්‍රාන්ත කළ හැකි වන්නේ. මහා ශික්ෂණයෙන් යුත් භාවනානුයෝගීහු එසේ කිරීමට පොහොසත් වෙති. මේ ශික්ෂණය
නිබඳ වද, දැඩිවද ක්‍රියාවේ යෙදවුවහොත්, අනුක්‍රමයෙන් නිවනට පැමිණිය හැකි වේ. (A.V.2.) ඒ පරම මඟෙහි පා නැඟිය යුත්තේ පුද්ගලයාම ය; ඒ සඳහා ආත්ම දමනය සහ ආත්ම ශික්ෂණය කළ යුත්තේ පුද්ගලයා මය. බුදුන් විසින් මඟ දක්වනු ලැබීය. එහෙත්, රජගහ නුවරට මඟ දන්නාවූ ද, එහි වරක් ගිය හෙයින් යළිත් යෑමට රිසියක් නොනැත්තා වූ ද තැනැත්තකු, එනුවරට මඟ අසන්නකුට එය දක්වන්නා සේ, මඟ පෙන්වන බුදුන්ගේ කාර්යය එපමණකින් කෙළවර වෙයි. “ධර්මයේ විස්තර කොට ඇති පරිදි හරි මඟ ගෙන, වැරදි මංසන්ධියෙකින් නොහැරී (M.iii.6) ප්‍රතිපත්ති පූරණයෙහි වෙහෙසීම දැන් ඔබේ යුතු කමයි.” (Dhp. 276)
බුදුන් මිනිස් සිරුරෙකින් යුක්ත වූවකු බවත්, දිවමන්ව සිටියදී පියෙවි මිනිස් ඇසින් නොසැඟවී සිටි බවත්, දෙවියකු හෝ ආශ්චර්යවත් අවතාරයක් හෝ නොවූ බවත් ථෙරවාද ධර්මයේ පදනමෙහි මූලාංගයෙකි. සර්වඥතා- ඥානය ලැබූ බුදුවරයකු විය හැක්කේ මනුෂ්‍යයකුට පමණි. ධර්මය අනුව මනුෂ්‍යයා පරමෝත්තම යි; ඔහුට අවශ්‍යතාව තිබේ නම්, ඒ සමඟම, පූර්ව ආත්මභාවයන්හි දී ශක්තිමත් කර්ම බලයක් ලබා සිටිමින් මේ ජන්මයෙහි ද එයට තවත් බලවේගයක් එක්කොට ගනී නම්, මේ ආත්මභාවයේදී නොවේ නම් මතු ආත්මභාවයෙක දී හෝ ඔහුට බුද්ධ ඥානය කරා බොහෝදුරට ළං විය හැකියි. බුද්ධත්වයටම පත්විය හැකියි. “තමාට පිහිට තමා මය; වෙන කවරෙක් තමාට පිහිට වේද?” (ධම්මපදය. 160) නිර්මාපකයකුට, දෙවියකුට, උපනිෂද්හි දැක්වෙන අර්ථයෙන් කියතොත් ඊශ්වරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ කිසිදු තැනක් නොදෙන බුද්ධ ධර්මය “ආගමක්” සේ හැඳින්වීම, එනිසා අනුවිත වේ. එනිසාම, බුද්ධ ධර්මයෙහි යාච්ඤා ද, කපුවකු ලවා කරන කන්නලව් ද නැති; බුදුපිළිමයක් ඉදිරි පිට මල් පිදීම, පහන් දැල්වීම, ගාථා කීම, වැඳ වැටීම ආදිය “පූජා සත්කාර” ය’යි සිතන්නේ නම්, ඒ මුළාවෙකි. මල් සහ පහන්, සියලු සංස්කාරවල ලක්ෂණයක් ව පවත්නා අනිත්‍යයේ සංකේතයි; වැඳ වැටීම, බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ගුණාංග වටහා ගැනුම පිළිබිඹු කරන ක්‍රියාවක් වන අතර ම, ඒ මගින් සියලු ප්‍රාණීන් කෙරෙහි පතළ මෛත්‍රිය, සත්‍යවාදී භාවය, ප්‍රඥාව, සියලු දේශනය ක්‍රියාවෙන් අර්ථවත් කිරීමේ බලය ආදී සමහරක් අනුගමනය කිරීම සුදුසු බව සිහියට නංවන ක්‍රියාවෙකි.
“තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධිය දිනූ රැයෙහි පටන්, නිරුපධිශේෂ නිර්වාණ ධාතුව අවබෝධ කරගත් රැය දක්වාම- ඒ අතරතුරෙහි- උන්වහන්සේ පැවැසූ, හෙළිදරව් කළ, විස්තර කළ සියල්ල එසේ මය. නොඑසේ නොවේ. එහෙයින් උන්වහන්සේ තථාගත වෙති.