තණ්හා දැලෙන් මිදෙමු

cmadurawala
7 Min Read

සෑම නිමේෂයක දී ම අප උත්සාහ ගන්නේ මේ කය සැපයෙන් තබාගන්න. නමුත් ඒ සෑම උත්සාහයක් ම තවත් මොහොතක දී නිරර්ථක ව යනවා.

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව
ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද
උඩදුම්බර කාශ්‍යප හිමි

විසින් පවත්වන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සකස් කළ ලිපි මාලාවක දෙවැනි කොටස.

එම අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.

තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං

තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම බිය උපදනේ ය. තෘෂ්ණාවෙන් මිදුණහුට ශෝකයක් නැත. බියක් කොයින් ද?

පින්වත්නි, ධම්මපදයෙහි පිය වග්ගයේ එන මෙම ගාථා රත්නය තුළ තිබෙනවා අප විසින් අවබෝධ කරගත යුතු කොටස් දෙකක්; තණ්හාව ශෝකය, බිය උපදවනවා. “තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං” මෙයින් කියැවෙන්නේ නැහැ තණ්හාව පමණක් මයි සෝක බිය උපදවන්නේ ය කියා; නමුත් තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාව තුළින් සියලු ම දෙයට තණ්හාව හේතු වන බව අර්ථ ගන්වන්නේ අපූරු ආකාරයකිනුයි. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් දේශනා කොට වදාරා සිටිනවා “තණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතො භයං” තණ්හාව නොමැති තැන කුමන ශෝකයක් ද? බියක් ද? ශෝකය බිය උපදවන එක ම හේතුව තණ්හාව පමණක් බව මෙයින් තථාගතයන් වහන්සේ වදාරා සිටිනවා.

මෙය සරල නිදසුනකින් පැහැදිලි කරනවා නම් අපි උපකල්පනයක් ලෙස ගනිමු යම් ටින් ඇසුරුම් නිපදවන කර්මාන්ත ශාලාවක්. ඔවුන් ප්‍රකාශ කරනවා “අපි ටින් ඇසුරුම් නිපදවනවා” යනුවෙන්. මෙයින් අදහස් වෙන්නේ ඔවුන් පමණක් නො වෙයි, තවත් එවැනි ටින් ඇසුරුම් නිපදවන අය ඇති ය යන්නයි. පසුව ඔවුන් මෙවැනි ප්‍රකාශයක් කරනවාථ “අපි නැත්නම් ටින් ඇසුරුම් නැත” යනුවෙන්. එයින් අරුත් ගැන්වෙන්නේ ටින් ඇසුරුම් නිපදවන්නේ ඔවුන් පමණක් ම බවයි.

එසේ නම් පින්වත්නි, සෝක, බිය, දුක් ඇති වන්නට එක ම හේතුව තණ්හාවයි. තණ්හාව උපදින්නේත්, දුක උපදින්නේත් සිතේ. එසේ නම් දැන් අපි දුක් උපදවන එක ම හේතුව තණ්හාව බව සොයාගත්තා. ඔබ අප සිත් තුළ යම් දුකක් හටගත්තේ නම් එයට එක ම හේතුව තණ්හාව බව දැන් අප අවබෝධ කොටගත යුතු වෙනවා. කායික දුකක් වේ වා, මානසික දුකක් වේ වා එම දුක් උපදින්නට එක ම හේතුව මේ තණ්හාවයි.

කායික දුක් ඇති වන්නට මෙම තණ්හාව හේතු වුණේ කෙසේ ද යන්න විමසා බැලුව හොත් පින්වත්නි, මෙවැනි වූ කයක් නිර්මාණය වන්නට පෙර භවයේ මේ ජීවිතය විනාශ වන නැත්නම් මියැදෙන මොහොතේ තණ්හාවක් තිබුණේ ද, ඒ තණ්හාවයි හේතුව වුණේ මේ කය නැවත උපද්දවන්නට. එසේ නැත්නම් නැවත මෙලොව උත්පත්තියකට රැගෙන ඒමට හේතුව වූයේ මේ තණ්හාවයි. “යායං තණ්හා පෝනෝභවිකා” පුනර්භවය නැවත නැවත ඇති කළේ මේ තණ්හාවයි. අතීතයේ කුමන හෝ සතෙකු ලෙස මරණාසන්න මොහොතේ සන්තානයේ ඇති වූ තණ්හාවයි මෙලෙසින් මේ දුකට පත් වන කය නිර්මාණය කළේ.

කායික දුක් ඇති කරවන මේ ශරීරය පිළිබඳව වඩාත් විමසිලිමත් වුව හොත් ඔබට වැටහේ වි මේ කය කෙතරම් පුදුමාකාර ලෙස කරදර උපද්දවන්නක් ද යන බව. ඇයි මා එසේ පවසන්නේ? අපට මතුපිටින් නො තේරුණත් ඔබ මොහොතක් ඉතා විමසිල්ලෙන් අවධානය යොමු කර දකින්නථ සෑම නිමේෂයක දී ම අප උත්සාහ ගන්නේ මේ කය සැපයෙන් තබාගන්න. නමුත් ඒ සෑම උත්සාහයක් ම තවත් මොහොතක දී නිරර්ථක ව යනවා. කෙතරම් සැප තැනෙක, පහසු ඉරියව්වෙක තැබුවත් එය නැවත නැවත වේදනාවට, අපහසුවට පමුණුවනවා. ඉතා ම අපහසුවෙන් නඩත්තු කරගනිමින්, ශරීර ඉරියව් විටින් විට වෙනස් කරගනිමින්, කායික දුක් වේදනාවන් නැති කරගැනීමේ නිරර්ථක උත්සාහයක නිරන්තරයෙන් නියැළෙමින් සිටිින බව ඔබට වැටහේ වි. තණ්හාව නිසා උපන් කයයි මේ දුක් වේදනා උසුලාගනිමින් අපි විසින් නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබන්නේ.

දැන් අප නැවතත් අපේ සිත දෙසට අවධානය යොමු කළ හොත්, වර්තමානයේ දී අපේ සිත් තුළ බොහෝ දුක් ඇති වනවා. දරාගත නොහැකි තරම් දුක් වේදනාවන්ට අප මුහුණ දෙනවා. දෝමනස්සයන් පහළ වෙනවා. එසේ පහළ වන දුක් දොම්නස් සඳහා හේතු සොයා බැලුව හොත් පින්වත්නි, මේ මොහොතේ මේ වෙලාවේ උපදින තණ්හාවයි ක්‍රියාත්මක වන්නේ එම දුක් වේදනාවන් ඇති වීමට. මොනයම් හෝ කරුණක් නිසා දුකක් දොම්නසක් ඇති වන බව අප හඳුනාගත හොත් ඒ තුළ ඇති හරය තණ්හාවයි. මෙතෙක් ඔබ හඳුනාගැනීමට උත්සාහයක නිරත නො වූ මෙන්න මේ වැදගත් අවස්ථා සම්බන්ධතාවය – දුක සහ තණ්හාව අතර ඇති අවස්ථා සම්බන්ධය අපේ මනසට දැනෙනවා ද? ඒ පිළිබඳව මේ මොහොත වන තෙක් අවධානය යොමු නො කළේ මන්ද?

මෙය අප විසින් පැහැදිලි කරගත යුතු ඉතා ම වටිනා සහ වැදගත් කථාවක් පින්වත්නි. භාග්‍යවතුන්වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කරමින් වදාරා සිටිනවා “ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි; මෙනෙහි නො කළ යුතු දේ මෙනෙහි නො කරයි; කුමක් මෙනෙහි කරයි ද කාමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍යාශ්‍රව ධර්ම වැඩි වන දෑ මෙනෙහි නො කරයි; එම ආශ්‍රව ධර්ම අඩු වන දෑ මෙනෙහි කරයි” වශයෙන් එම උතුම් තථාගත දේශනාවෙහි සඳහන් ව තිබෙන බව සාරාංශයක් වශයෙන් ඔබට පැහැදිලි කර දිය හැකියි.

මෙහි දී මෙම “ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි” යන්න විමසීමේ දී පින්වත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරනුයේ දුක සහ දුකට හේතුවත්; දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයත් යන කාරණාවන් පිළිබඳව ය යන්න තවදුරටත් පැහැදිලි කර තිබෙනවා.

මෙය තමයි පින්වත්නි සබ්බාසව සූත්‍රය මඟින් පෙන්වා දෙනු ලබන සෝවාන් ඵලස්ථ පුද්ගලයකු බවට පත් වීමට අවශ්‍ය කෙරෙන මනසිකාරය වශයෙන් දේශනාවෙහි සඳහන් වන්නේ. මෙම ආකාරයෙන් මෙනෙහි කරන පුද්ගලයා දුක සහ දුකට හේතුවත්, දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගයත් වශයෙන් තම ජීවිතය ඇසුරින් දුක හඳුනාගත් අයෙකු වනවා. මෙම තැනැත්තා ධර්මයේ හඳුන්වනවා පින්වත්නි සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන් සංයෝජන ධර්මයන්ගේ අභාවයෙන් නැත හොත් ප්‍රහාණයෙන් සෝතාපත්ති ඵලයට පත්වන්නා වූ පුද්ගලයා, දර්ශන භූමියට සපැමිණෙන්නා ලෙස.

සුතවා ච ඛෝ භික්ඛවේ අරියසාවකෝ අරියානං දස්සාවී අරිය ධම්මස්ස…

කතමේ ච භික්ඛවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ න මනසි කරෝති…” සහ

කතමේ ච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසි කරෝති…

වශයෙන් ආරම්භ වන සබ්බාසව සූත්‍රයෙහි සඳහන් එකොළොස් වැනි, දොළොස් වැනි හා තෙළෙස් වැනි ඡේදයන්හි අරුතයි ඉහත සැකෙවින් විස්තර කරනු ලැබුවේ.

පින්වතුනි, මෙම දේශනාව තුළ දී මා සඳහන් කළා ධර්ම කාරණාවන් පරිශීලනය කිරීමට විමසා බැලීමට ශ්‍රාවකයා යොමු කිරීම ද එක් අරමුණක් බව. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයෙහි එන සබ්බාසව සූත්‍රය පිළිබඳවත් අවධානය යොමු කර හොඳින් හදාරන ලෙස ද ඉල්ලීමක් කරනවා.

එසේ නම් ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වත්නි, මේ මනසිකාරය අප තුළින් නිර්මාණය කරගතයුතු ගොඩනඟා ගතයුතු එකක් වෙනවා. අපේ ම තුළින් මෙම මනසිකාරය තැනීමට නම් දුක සහ තණ්හාව පිළිබඳ ඇති අන්තර් සම්බන්ධතාවය අපේ මනසට දැනෙනසුලු විය යුතු වෙනවා. අපි ඒ පිළිබඳ වත් ඉදිරියේ දී විස්තර සහිත ව පැහැදිලි කර ගනිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *