පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
ඊළඟට අපි කථා කරන්නේ අසේඛ පුද්ගලයා ගැන. ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේ ගැන. රහතන් වහන්සේත් මේ මූලකාරණා විසිහතර අත්දකිනව. උන්වහන්සේ මේවායේ හේතු ප්‍රත්‍ය සම්බන්‍ධතාව දන්නව. වෙසෙසින් දන්නව. (අභිජානාති) රහතන් වහන්සේට මෙතැනදි හික්මෙන්න දෙයක් නෑ. හික්මිලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේ වෙසෙස් නුවණින් දක්නා මේ මූලකාරණා මම ය මගේ ය කියල හිතා ගන්නෙ ම නෑ. (න මඤ්ඤති) ඒ මූලකාරණාවන්හි මම වෙමියි කියල හිතාගන්නෙම නෑ. ඒවායින් බැහැරව මම වෙමියි කියල හිතාගන්නෙත් නෑ. ඒවා මගේ ය කියල හිතාගන්නෙත් නෑ. ඒවා මතු ලැබේවායි බලාපොරොත්තු වෙන්නෙත් නෑ. (නාභිනන්‍දති) මොක ද, ඒකට හේතුව? පිරිසිඳ දන්නා ලද නිසා ම යි. (පරිඤ්ඤාතං) අසේඛ වූ රහතන් වහන්සේ මේ විදියට වෙසෙස් නුවණින් දැනගෙන මඤ්ඤනා නො කරන්නේ අභිනන්‍දනය නො කරන්නෙ රාගය ක්‍ෂය වීමෙන් වීතරාගී වූ නිසා. (ඛයා රාගස්ස වීතරාගත්තා) ද්වේෂය ක්‍ෂය වීමෙන් වීතදෝස වූ නිසා. (ඛයා දොසස්ස වීතදෝසත්තා) මෝහය ක්‍ෂය වීමෙන් වීතමෝහ වූ නිසා. (ඛයා මෝහස්ස වීතමෝහත්තා) තථාගතයන් වහන්සේ පිළිබඳව දේශනා කරන්නෙත් මේ මේ අසේඛ පුද්ගලයාට සමානවයි. යට කී සක්කාය සමුදයට හේතු වන මූලකාරණා වෙසෙස් නුවණින් දක්නා තථාගතයන් වහන්සේ ඒවා පිරිසිඳ දත් බැවින් (පරිඤ්ඤාතං තං තථාගතස්ස) මඤ්ඤනා කරන්නෙත් නෑ. ඒ කියන්නෙ මම, මගේ වශයෙන් ගන්නෙත් නෑ. (නමඤ්ඤති) ඒවා මතු බලාපොරොත්තු වෙන්නෙත් නෑ. (නාභිනන්‍දති) ඊට හේතු කවරේ ද, යන්න දැක්වීමේ දී රහතන් වහන්සේට දැක් වූ වීතරාග, වීතදෝස, වීතමෝහ යන හේතු වලට එහා යමින් “නන්‍දිරාගය නම් වූ තණ්හාව දුකට මුල වේ. භවයෙන් ඉපදීම වෙයි. උපන් පුද්ගලයාට ජරාමරණ වේ. යයි දැන එහෙයින් මහණෙනි, තථාගතයන් වහන්සේ හැම අයුරින් තෘෂ්ණාවන් ක්‍ෂය කිරීමෙන්, මකා හැරීමෙන්, නිරෝධයෙන්, අතහැරීමෙන්, දුරලීමෙන් අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය මැනැවින් අවබෝධ කළ හෙයිනැ යි කියමි” යනුවෙන් තථාගතයන් වහන්සේ වදාරති. (නන්‍දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්‍වා, භවා ජාති, භූතස්ස ජරාමරණන්ති. තස්මාතිහ භික්ඛවෙ තථාගතො සබ්බසො තණ්හානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති වදාමි)
සළායතනික අත්දැකීම් ලැබීම පිළිබඳ පුහුදුන්, සේඛ, අසේඛ පුද්ගලයින් අතර වෙනස තේරුම් ගැනීම පිණිස උපකාරක සටහන අපේ සළායතනික අත්දැකීම් ලෝකය පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය අනුව තේරුම් ගන්නව නම් සංජානන මට්ටමේ රැඳෙන්නෙ නැතුව අභිජානාති කියන වෙසෙස් නුවණින් දකින්න පුළුවන් වෙනව. මේ මොහොතේ සමුදය වන අත්දැකීම් ක්‍රියාවලිය දකිනව නම් පටිච්චසමුප්පාදය දකිනව කියන්නෙ ඒකයි. මම ය, කියන අවිද්‍යාවෙනුත් මගේ ය, කියන තණ්හාවෙනුත් ගැනීම වෙනුවට හේතු ප්‍රත්‍ය සම්බන්‍ධතා වශයෙන් අත්දැකීම් තේරුම් ගන්නව නම් පටිච්චසමුප්පාදය දකිනව කියන්නෙ ඒකයි. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන සළායතනික නිමිති පිළිබඳ ඇලීම්, ගැටීම්, රැවටීම් ඇතිවීම වළකින්නේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායය අනුව බලනකොටයි. සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත් අවස්ථා හතරකින් සම්පූර්ණ වෙන්නෙ ඒ අවබෝධයයි.
ඒ නිසා නුවණින් දකින්න අවශ්‍ය කරන වැටහීම පිණිස තව ටිකක් කරුණු කථා කරමු. ඇස, කන, නැහැය, දිව, කය, මන කියන ආයතන හය පුරාණ කර්මයයි. සත්‍වයා අතීතෙ ආයතන හයෙන් නිමිති සකස් කෙරුව. (අභිසඞ්ඛතං) චේතනා වශයෙන් පිළියෙල කළා. (අභිසඤ්චෙතයිතං) ඒවට ඡන්‍දය රාගය ප්‍රේමය ඇති කරගත්ත. ඒ තමයි පුරාණ කර්මය. ඒක වේදනාවට කරුණක්. (වෙදනීයං) මතු මතුත් බලාපොරොත්තු වුණේ, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු රූප, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු ශබ්ද, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ, ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රස, කායවිඤ්ඤාණයෙන් දතයුතු ස්පර්ශ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ධර්ම. ‘විඳපං එහෙනම්’ කියල ඒ පුරාණ කර්මයේ ප්‍රතිවිපාක වශයෙන් ආයතන ප්‍රතිලාභය දැනුත් සිදුවෙනව. සළායතනික නිමිති පිළිබඳ ඡන්‍දයෙන් රාගයෙන් ප්‍රේමයෙන් යුතුව සිත, කය, වචනය මෙහෙයවනව. එතකොට නව කර්ම සකස් වෙනව. එහෙම ඉන්න කෙනෙක් මියයන්නෙ ආයතන හයේ නිමිති අත්දැකගන්න බලාපොරොත්තු තියාගෙන. ඉතින් සිත කය වචනය හසුරවපු හැටියට, ඒ කියන්නෙ කර්මයේ හැටියට ‘විඳෝපන්’ කියල නාමරූපයක විඤ්ඤාණය වැළඳගන්නව.
අතීත සකස් කරපු කර්ම නිසා දැන් ලැබෙනව. දැන් සකස් කරන කර්ම නිසා මතුත් ලැබෙනව. සසර නතර වෙන්නෙ නෑ. ඕකයි මේ පුහුදුන් සත්‍වයාට සකස් වෙලා තියෙන විපත. හැබැයි එහෙම විපතකට ගොදුරු වෙලයි, මම ඉන්නෙ කියන එක පුහුදුන් පුද්ගලයා දන්නෙ නෑ. සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමකගෙ දහම දැන ගැනීමෙන් ම යි, මේ කාරණේ දැන ගන්නෙ. ඒ ධර්මය දැන ගන්න කෙනාට හිතන්න තියෙන්නෙ කරන්න තියෙන්නෙ මෙච්චරයි. “අතීතෙ ආයතන හයේ නිමිතිවලට ඡන්‍දයෙන් රාගයෙන් ප්‍රේමයෙන් හිත කය වචනය හසුරවපු එක ගැන දැන් පසුතැවිලි වෙවී ඉඳල වැඩක් නෑ. මම දැන් ඉඳල සළායතන නිමිතිවලට ඡන්‍දයෙන් රාගයෙන් ප්‍රේමයෙන් සිත කය වචනය හසුරුවන එක අඩු වෙවී යන විදියට දහම් මග වඩන්න ඕන” කියල අදිටන් කරගෙන ඒ අනුව කටයුතු කරන එකයි.
මෙතැනදි අපි හිතල බලමු, හේමක මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි දෙයත්, උන්වහන්සේ දේශනා කළ දෙයත් ගැන. හේමක මෙහෙම කියනව. “මේ ගෞතම ශාසනය හැරෙන්නට, මට දේශනා කළ ගුරුවරු මට කිව්වෙ, ‘මෙසේ විය’ (ඉච්චාසි) කියල අතීතයක් ගැන. ‘මෙසේ වන්නේ ය’ (ඉති භවිස්සති) කියල අනාගතයක් ගැන. අතීතෙ ඉකුත් වෙලා. අනාගතය තව ම සිදුවුණ එකක් නො වෙයි. මේ දෙක ම පරිවිතර්ක වඩන කථාවක් විතරයි. ඒවා මගේ සිත් ගත්තෙ නෑ. (නාහං තත්‍ථ අභිරමිං) මුණිවරයන් වහන්ස, මට තණ්හාව නසන මාර්ගය කියා දෙන්න. ‘යම් ධර්මයක් තේරුම් අරගෙන සිහියෙන් යුක්තව හැසිරෙන්නේ, ඇලෙන සුලු තණ්හාවෙන් එතෙර වන්නේ ය’ කියල කියන්න පුළුවන් දහමක් මට දේශනා කරන්න.”
ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතැනදි ඉතාම පැහැදිලි කෙටි දේශනාවක් කරනව.
ඉධ දිට්ඨ සුත මුත විඤ්ඤාතෙසු පියරූපෙසු හෙමක, ඡන්‍දරාගවිනොදනං නිබ්බානපදමච්චුතං”
“හේමක, මේ ලෝකයේ ප්‍රිය ස්වරූප වූ ඇසින් පෙනුන,, කණින් ඇහුණ, නැහැයෙන් දිවෙන් කයෙන් දැනුණ, මනසින්, දැනගත් දේවල ඡන්‍දරාගය දුරුකිරීම නො ගිලිහෙන නිවනයි.”
“එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, උපසන්තා ච යෙසතා තිණ්ණා ලොකෙ විසත්තිකං”
“මේ කරුණ දැනගෙන සිහියෙන් යුක්තව යම් කෙනෙක් මේ අත්බැව්හි දී ම නිවුණා නම් ඒ අය හැම කල්හි ම උපශාන්තයි. ලෝකයේ ඇලෙන සුලු තණ්හාවෙන් එතෙර වූ අයයි.”
දැන් අපට තේරෙනව, අතීතෙ ගැන පසුතැවිලි වෙවී ඉඳල වැඩක් නෑ. අනාගත පැතුම් ගොඩ නගමින් ඉඳලත් වැඩක් නෑ. වැදගත් වෙන්නේ මේ හොහොතේ අවදිමත් බවයි, කියන එක. පුහුදුන් හැඳිනීම් මට්ටමේ රැඳී ඉන්නෙ නැතිව පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයෙන් සළායතනික ලෝකය තේරුම් ගැනීමයි කළ යුත්තෙ. සළායතනික අත්දැකීම් ලෝකය පිළිබඳව ඡන්‍දරාගය බැහැර වීම ම නිවන නම් ඒ පිළිබඳව මම ය, මගේ ය කියල කල්පනයක් ඇතිකර ගැනීම වැරදියි. මේ කරුණු කාරණා කොයිවත් අපට තනි හිතින් හිතා ගන්නට බෑ. තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයකුගෙන් අහල දැන ගන්නට වෙනව. ඒ පිණිසයි, අපි බණ අහන්නෙ. මේ මූලපරියාය සූත්‍රයත් වචනවල ව්‍යාකරණ සීමාවෙන් විතරක් අපට එක පාරට තේරුම් යන්නෙ නෑ. පටිච්චසමුප්පාද දැක්මෙන් යුතුව, සම්මාදිට්ඨියෙන් යුතුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව තේරුම් ගන්න කොට තමයි, තේරෙන්න පටන් ගන්නෙ. සසරට ම නැඹුරු වුණ සංකල්පනා රටාවෙන් මිදෙන පමණටයි තේරෙන්නෙ. මේ මූලපරියාය සූත්‍රයේ අන්තිමට සඳහන් වෙන්නෙ, ඒ දේශනාව අහල ඒ අවස්ථාවේ හිටපු භික්‍ෂූන් වහන්සේලා සතුටු වුණේ නෑ, කියල. තුන් ලෝකෙට ම අයිති ඔක්කොමත් අතහැරල බලාපොරොත්තු වෙච්ච නිවන ගැනත් මම මගේ කියල හිතාගන්න එපා කියපු එකට, ඒ භික්‍ෂූන් වහන්සේලා අකැමති වුණ බවයි, පේන්නෙ. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නෙ ඉපදිලා ඉන්න අයට කොහේ හරි සැප පමණක් ඇති තැනක සදාකාලික වෙන්න නෙවෙයි. උපන්නොත් මැරෙන්න වෙනව ම යි. ඒ නිසා නො උපදින ලෙස, යළි උපදින්නට නාමරූප නො මවන ලෙස සියලු කෙලෙස් අනුසය සහිතව ම ප්‍රහාණය කරන්නටයි. මේ සූත්‍රයේ ඇතුළත් කරුණු අපි දැන ගන්නෙ, දැන ගත්ත ගමන් නිවන් ලැබෙයි කියල නොවෙයි. නිවන් මගට යොමු වීමට තරම් නුවණැසක් සකස් වීමටයි.