බණ දෙසුම් හා ඇසුම්

rashi
By rashi
15 Min Read

අතිපූජ්‍ය පැළෑණේ ශ්‍රී වජ්‍රඥාන මහනාහිමි

වර්ෂ 1878 දී දකුණු ලක පැළෑණේ උපන් ගුණවර්ධන කුලකුමරුවා, වර්ෂ 1893 දී පැවිදි වූයේත් වර්ෂ 1900 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූයේත් පැළෑණේ වජිරඤාණ නමිනි. විද්‍යෝදය පිරිවෙනෙන් ශාස්ත්‍රාලෝකය ලබා, ‘ධර්ම භාණ්ඩාගාරයක්’ වශයෙන් පොදු සමාජය තුළ ප්‍රකට වූ උන්වහන්සේ, පසු කලෙක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක ධුරයෙන් බුහුමන් ලැබූ හ. දැනට ඇති පැයකට සීමා වූ ධර්මදේශනා සම්ප්‍රදායය ප්‍රචලිත වන්නේ, ධර්ම සන්නිවේදනයෙහි නිපුණ අතිපූජ්‍ය වජ්‍රඥාන මහනාහිමියන් විසින් පවත්වන ලද මෙරට ප්‍රථම ගුවන්විදුලි ධර්මදේශනයෙන් පසු ව බව කියැවේ. උන්වහන්සේ ගොඩනැඟූ බම්බලපිටියේ වජිරාරාමය මෙරට බෞද්ධාගමික සහ සමාජ මෙහෙවරෙහි කේන්ද්‍රස්ථානයක් විය. වජිරාරාමයෙන් ශාසනභාරධාරී නාහිමිවරු ද වජිරඤාණ දහම් පාසලෙන් රාජ්‍ය නායකයෝ ද බිහි වූ හ.

දශක ගණනක් ශාසනාලයෙන් මහණදම් පිරූ අතිපූජ්‍ය පැළෑණේ ශ්‍රී වජ්‍රඥාන මහනාහිමියෝ 1955 සැප්තැම්බර් 21 වැනි දා මනා සිහි නුවණින් අපවත් වී වදාළ සේක. පසුගිය දා යෙදුණු උන්වහන්සේගේ 68 වැනි ගුණසමරුව නිමිත්තෙන්, උන්වහන්සේ අපවත් වීමට ඉතා ආසන්න දිනෙක දී රචනා කළ අවසන් නිබන්ධනය මෙසේ පළ කෙරේ. මෙය උපුටාගන්නේ, ඩේවිඩ් කරුණාරත්න විසින් සංග්‍රහ කරන ලදුව වර්ෂ 1955 දී මුද්‍රිත ‘ශ්‍රී වජ්‍රඥාන චරිතය’ නමැති අනුස්මරණ ග්‍රන්ථයෙනි.

බුද්ධ ධර්මය දේශනා කිරීම ලෝකයාට දෙලොවින් ම වැඩ සැලැසියැ හැකි මහා පරෝපකාරයක් වූ උසස් පිංකමෙකි. එහෙයින් මේ බණ දෙසුම් ඇසුම් දෙක්හි ම ගිහි පැවිදි පින්වතුන් ගෞරවයෙන් භක්තියෙන් යෙදිය යුතු ය. මේ දෙක ම “සබ්බ දානං ධම්ම දානං ජිනාති” “කාලේන ධම්ම සවණං – ඒතං මංගල මුත්තමං” (ධර්මදානය තෙමේ වෙන හැම දන් පරදවා ජය ගත්තේ ය. සුදුසු කල්හි නිසි සේ බණ ඇසීම ය යන මෙය උතුම් මඟුලෙකි හෙවත් දෙලොව දියුණුව සලසන උසස් කරුණෙකි.) යන ආදීන් බුදුන් වහන්සේ විසින් නොයෙත් තැනැ නොයෙක් ලෙසින් පසස්නා ලද හ. මේ කාලයෙහි ලෝකයාගේ ශ්‍රද්ධාදී ගුණාංගයන් හා සත්ප්‍රතිපත්තීනුත් පිරිහී ගෙන යන හෙයින් මෙකලට අපේ රටට මේ දෙක ම අත්‍යවශ්‍යක යැ. ගුවන් විදුලිය මඟිනුත් බණ දෙසීමට හා ඇසීමට මං යෙදී තිබෙන හෙයින් බෞද්ධයන්ට පමණක් නො වැ අබෞද්ධයන්ට ද බුදු බණ රස විඳින්නට ඉඩ ප්‍රස්තාවය දැන් සැලැසී තිබේ.

බුදුන් වහන්සේ පන්සාළිස් (45) වසක් මුළුල්ලේ දිවා රෑ නො තකා තුන්ලොව පුරා නොයෙක් තැනැ සැරිසරා නොයෙක් චණ්ඩාතිචණ්ඩ වූ අදාන්ත දුර්දාන්ත සත්ත්වයන් දමනය කොට ලොවී ලොව්තුරා සැපත් සලසාදී ලොවට සෙත් කළේ මේ බණ දෙසුමෙන් ම ය. බොහෝ පෙර සිට පැවැතැ ආ වහල් වෙළෙඳාම් – කුලභේද – ස්ත්‍රී වර්ගයාගේ නිදහස දියුණුව අවහිර කරන සිරිත් විරිත් ආදිය බිඳ හෙළා දමා, කාහටත් නිදහස සහ දියුණුව සම සේ සලසා ගත හැකි වන පරිදි විප්ලවයක් ඇති කළේත් මේ බණ දෙසුමෙන් ම ය. ඒ බව හොඳින් සලකා ගත් දඹදිව ධර්මාශෝකාදී මහරජවරු ද, මෙරට දුටුගැමුණු ආදි නරවීරයෝ ද මේ ධර්ම ප්‍රචාරය රට සෙමෙහි පැවැත්වීමට ද උපායයක් කර ගත් හ යි සිතන්නට කරුණු තිබේ. එබැවින් මෙකල ද පරලොව අතින් පමණක් නො වැ මෙලොව අතිනුත් ජනයා සුඛිත මුදිත කිරීමට ද, දියුණුවෙහි උද්‍යෝගී කිරීමට ද, කලහ විවාද විග්‍රහයන් නැති ව සමගියෙන් අන්‍යෝන්‍යෝපකාරී ව කල් යැවීමට ද, ප්‍රඥාව, වීර්යය, නො සැලෙන ධෛර්යය හා අධිෂ්ඨානය, ඉවසීම හා මතු බලාපොරොත්තුව තම හට පිහිට තමා ම මිස, දෙවියෙක් බඹෙක් නො වේ ය යි තීරණයට පැමිණ දෙවියකුට වත් යාච්ඤා නො කොට කිසිවක් අනුන් ගෙන් නො ඉල්ලා ස්වශක්තියෙන් ම සියල්ල පිරිමසා ගන්නට පුරුදු පුහුණු වීමට ද බණ දෙසීමෙන් මඟ යෙදේ. මේ ධර්මද්වීපවාසී පින්වතුන් මෙවැනි උතුම් බණ සපුරා ඇති පෙදෙසෙකැ ඉපිදත් එය අසා විමසා රස විඳිනු තබා, හඬ පමණින් නිකම් ඉවැ බලනු පමණ වත් ලබන්නේ යමකු එය දෙසුවැ හොත් පමණෙකි. එබැවින් අනුන් හට හිය මඟ කියා දී අවැඩින් මුදා වැඩෙහි යොදන අදහසින් අනුන් කෙරෙහි අනුකම්පායෙන් නිසි සේ බණ දෙසනු නම් මහ වැඩෙකි. උදාර වූ පරෝපකාරයෙකි. එහෙත් එය කිරීම එතරම් පහසු නො වේ.

පළමු කොට ම, එය දෙසන්නා විසින් ඉතා හොඳින් ඉගෙන, සිතා බලා විමසා වටහාගෙන, තීරණයට පැමිණ, ඒ දෙසන බණ කෙරෙහි තමාගේ මහත් විශ්වාසයක් භක්තියක් ඇති වැ තමා එයින් දැක්වෙන ගුණයන්හි පිහිටා නුගුණ දක්වන දොස්වලින් ඉවත් වැ “මේ දෙසන්නේ බුදුන් වහන්සේගේ බණ යැ” යි සිතා තමාගේ යම් යම් හැඟීම් බුදු බණට මුසු නො කොට “මේ කරන්නේ බුදු කෙනකුත් වහන්සේට අයත් මෙහෙයකැ” යන ගෞරවයෙන් උගත්කම් පානා අභිමානයෙන් තොර වැ, කීර්ති ප්‍රශංසා ලාභ සත්කාරාදියක් නො තකා, අසනුවන් කෙරෙහි කුළුණු මෙත් පෙරදැරි ව හුදු පින් සිතින් බණ දෙසිය යුතු ය. අභිධර්මයෙහි ආ නියෙන් නාමරූප ධර්මයන් විභාග කොට දක්වන්නට තරම් බණක් නො දතුවනට බණ දෙසන්නට සමු (සම්මුතිය – අනුදැනීම – අවසර) නො දිය යුතු බව දඹදෙණි කතිකාවත්හි දැක්වුණේ එකලත් අභිමානයෙන් තමන් නො දන්නා බණ දෙසන්නට යනුවන් තුනීමතින් වත් සිටි බැවිනැ යි සිතිය හැකි ය. ධර්මාසනය බුද්ධාසනයක් මිසැ රඟමඩලෙකැ යි විහිළු පානා කරලියක් නො වන බව සලකා උසුළු විසුළු වත් පෞද්ගලික ව ඇනෙන ඇනුම්පද වත් නැති ව ප්‍රසාද කරවූ සභ්‍ය වචනයෙන් මෙත් කුළුණු බර මෙළෙක් අයුරින් දෙසිය යුතු ය. අසනුවන් හට සසුන විසාහි හෝ ගුණදහම් විසාහි ප්‍රසාදයක් හෝ සසර කෙරෙහි හෝ දුසිරිත් කෙරෙහි සංවේගයක් පහළ වන පරිදි ඒ ඒ බණ පිරිසේ කාටත් වැටහෙන ලිහිල් වූ ශිෂ්ට වචනයෙන් දෙසිය යුතු වේ. එසේ නො ව, මෙකලට සරිලන සැටියැ යි සිතා, බණකට නො ගැළපෙන දැයත් මාතෘකා කොටගෙන, ධර්ම කථිකයකුගේ ශාන්ත සුශීල වේෂයට නොහොබවනා අත් පා හිස් සැලීම් නැටැවීම් ආදී අනාකල්පයෙන් කෙළි කවට සිනා දැඩි ඇනුම්පද වැඩි වැනුම් පද මුසු කොට නොසැබි බසින් කර සැඬ ගොර හඬින් හෝ පිරිස් පමණටත් නො ඇසෙන කෙඳිරියෙන් කටට ආවක් දෙසා බෑම බණ කීමෙක් නො වේ. එබඳු දෙසුමෙකින් අසනුවට ප්‍රසාදයෙක් හෝ සංවේගයෙක් නො උපදී. ධර්මාසනයෙකින් නොසැබි බස් පිටත් වීම සොමි සඳ මඬලින් ගිනි හෙණ නිකුත් වීමක් වැන්න.

එබැවින් ගුවන් මඟින් හෝ පියෙවි මඟින් හෝ රාත්‍රී ධර්ම දේශනා වශයෙන් හෝ, ආදාහන ස්ථානයන්හි මතක බණ ලෙසින් හෝ පිංකම් කළ තන්හි අනුමෙවෙනි ලෙසින් හෝ කැරෙන හැම දෙසුන් ම මහමණසරුප්පෙවෙතින්, ශිෂ්ට ශිථිල කෝමල මෛත්‍රී කරුණා ගුණෝම්භිත භාෂායෙන් ඇසුවන් සිත් සැදී පැහැදී ඇදී බැඳී එන සේ කල් යල් දැන, දික් නො ගස්වා බස් වැඩි නො කොට අර්ථය ම වැඩෙන සේ, කීවක් ම නැවැත පෙරෙළ පෙරෙළා ආපසු ඇදැ නො බා හිතමිත්‍රවාදී ව පවත්වත හොත් ඉතා මැනවි.

මිහිරි කටහඬ නැතත්, උඩ නඟන පහත හෙළන ඇද පැද ලෙලවන තාල විශේෂයන් නැතත්, අත්පත් ගැසුම් දැඟලුම් නැතත්, අලංකාර වර්ණනා නැතත්, ශාන්ත ව සුපේශල ලීලායෙන් අකුරක් පාසා නො පැටලී ඇසෙන සේ කියවෙන්නට, හැකිතාක් කොටින් කීවාම නුවණැත්තෝ පහදිති. “අත්ථේනෙ’ව මේ අත්ථෝ, අත්ථඤ්ඤේව මේ බ්‍රෑහි කිං කාහසි බ්‍යඤ්ජනං බහුං” – මට ප්‍රයෝජන වන්නේ වැඩදා බසෙකින් ම ය. එබැවින් මට වැඩදා බසක් ම වදාරන්නෟ අක්ෂර පද වැඩි කරන්නේ කුමට දැ යි අස්සජි හිමියන් ගෙන් සාරිපුත්ත පරිබ්බාජකයන් ඇසූ සැටි සිහි කටයුතු ය.

බුදුන් වහන්සේ විසින් ම විනයෙහි “න භික්ඛවේ! ආයතකේන ගීතස්සරේන ධම්මෝ භාසිතබ්බෝ” මහණෙනි! දික් වූ ගී හඬින් නොයෙක් තාලෙන් ඇද ඇද උස් කොට නඟන පහත් කොට හෙළන හඬින් ලෙලව ලෙලවා බණ නො කිව යුතු යැ යි වදාළ බැවින්, දේශකයන් ඇවැතින් කෙලෙසෙන්නට පමණක් නො ව, නොයෙක් බිහිසුණු ලෙඩවලට ගොදුරු වන්නටත්, මූඪයන් මැනවැ යි පැසසූවත් නුවණැති අබෞද්ධයන් පවා විහිළු යැ යි කළකිරී ගරහන්නටත් හේතු වන මේ ගී හඬින් බණ පිරිත් ගැයීම සුදුසු නො වේ.

අනුන් හට බණ දෙසන්නහු විසින් තමා ධර්මාථයෙන් හෙළි කොට දැක්වීමෙහින් වුවමනා කෙණෙහි පෙළ දහම් පෙදෙස් ගෙන හැරැ දැක්වීමෙගිත් මුල අග සමත්වා පරස්පර විරෝධී නොවන සේ කීමෙහිත් දක්‍ෂවැ මෙකල්හි මෙතෙක් කිවමනා යැයි කල් පමණ දන්නකුව අකුරු හෝ පද හෝ වැකි පෙදෙස් හෝ නොනසා හෙවත් ඉක්මන් කමින් ගිලිහිය නොදී පෙර පසු පෙරෙළීමෙන් වියරු නොකොට මහණසරුප් පෙවෙතින් යුතුව එකවර ඇසීමෙන් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි පැහැදිලි හඬින්, සෙම් නොපටලුණු අසනුවන් කනට සුව දෙන – නොගොර හඬින් (පෞර-ශිෂ්ට) වචනයෙන් ජින්තසවර භින්නස්වර නොවූ පිරිමඩුලු පියෙවි ඇති කඩතොලු නැති හැසුණු හඬින් ඉතා ලැසිත් නොව ඉතා යුහුත් නොව නොඋස් නො පහත සම පමණින් පැවැති හඬින් බණ පිරිස කළම්බා නිදි ගැට හරවා පුබුදුවා අහස් ගඟ ඇද බස්වන්නකු මෙන් අතුරුමඟ ඇන නොසිටුවා වාක් ප්‍රවාහය ගලා බස්වමින් නොයෙක් උපමා හේතු උදාහරණයන්ගෙන් ධර්මාර්ථයෙන් කොට ගැල් යන මහ මගෙකැ නොහැකිළ නොපැකිළ යන්නකු මෙන් විශාරද වැ කඳ හිස අත් පා අඟපසඟ සෙලවුම් නැටුම් නැතිව බුදු කෙනෙකුත්ගේ විලාසයෙන් දෙසන්නකු මෙන් නිර්වාණය ප්‍රධාන කොට සැලකීමෙහි පිහිටා අනුන්හට බණ දෙසියැ යුතු යැයි දක්වා තිබේ.

මේ ආදී කරුණුත් සලකා බලා, මේ කාලයේ මිනිසුන්ගේ අදහස් උදහස් ගැනත් සිතා, කාලානුරූපව ප්‍රස්තාවානුකූලව බණ දෙසිය යුතු වේ. මේ කාලයෙහි මිනිස්නට බණ අසන්නටවත්ත වැඩි කාලයක් ගෙවන්නට ඉඩක් නැති බැවින් පැයකට වඩා දික් දෙසුම් මෙකලට මෙරටට නොගැළපෙති. එක දිනක දෙතුන් පැයක් දෙසීමට වඩා දෙතුන් දිනකට වරක් මිනිත්තු 15 ක් ඇසීම ප්‍රයෝජනවත් වේ. පැයක් වත් නිසලව ඉඳීම පවා දැන් අයට අපහසුය. දෙසන යමක් බණ පිරිසේ කුඩාම ළමයාට පවා තේරෙන ලිහිල් බසන්ම දෙසිය යුතු වේ. එසේම පහසුවෙන් සිත්හි කා වැදෙන පරිදි හොඳින් වැටහෙන උපමා හේතු උදාහරණයන්ගෙන් කාරණය පැහැදිලි කර දිය යුතු වේ. නැවත නැවතත් ආශාවෙන් අවුත් අහන්නට රිසි ඉපදෙන පරිදි උගත මනා නොයෙක් දෙයින් සපුරා දෙසිය යුතු වේ. බණ පිරිසෙහි “සම්මාදම් වට්ටි මල් වට්ටි වෙන්දේසි – නැටුම් ගැයුම් ගාලගෝට්ටි” හැසිරෙන්නට ඉඩ නොදිය යුතු වේ. මඳක්වත් හඬක් කලබලයක් නැති ඉතාම ශාන්ත තත්ත්වයකින්ම බණ දෙසන තැන පැවතිය යුතු වේ. බණ දෙසන්නේ පින් පව් මේ මේ යැයි උගන්වා ගුණ නැණ දියුණු කරවීමට මිස ගිනිකෙලි නැටුම් පිනුම් දක්වා, මඟුල් බෙර දවුල්මුර, තූර්ය සංගීතයන් හා බණ ආරාධනා අස්වා, බණ පිරිස කලම්බා: වෙන යම් දේවලට සම්මාදම් එකතු කිරීමට නොවේ. යම් යම් අයට පෞද්ගලික වශයෙන් නැති ගුණ වැනුම හෝ ඇති නැති වරදට මර කැඩෙන ඇනුම්පද හෝ ධර්මාසනය වෙතින් නොනික්මිය යුතුය. මේ කරුණු අතින් ගුවන්විදුලිය බණ දෙසුම් කීප ලෙසකින් නිදහස්ය. මේ කරුණු බණ දෙසන ගිහි පැවිදි හැම පින්වතුන් විසින් හැම මොහොතෙහිම මතක තබා ගත යුතුය. බණ දෙසන්නෙත් අසන්නෙත් චාරිත්‍ර මාත්‍රයක් පිරවීමට නොව යහපත් පිළිවෙත් නිසිසේ ඉගෙන ගුණ නැණ වැඩිමට බව දෙපසම විසින් නිතර මෙනෙහි කළ යුතුය. එසේ බණ දෙසෙතොත් ඇසෙතොත් බොහෝ දුරට ගම්වල දුසිරිත් අඩු වේ. කලබල සංසිඳේ. කොලහල හොර මැර සැහැසිකම් හා නොසමගිත් සමත් වේ. හැම මිනිසුන් අතරම හොඳ නොහොඳ යුතු අයුතු පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති වේ.

උසස්ම ඇසීම

“ලොව ඇතිතාක් ඇසුම් අතුරෙන් හැමට උතුම් ඇසුම බණ ඇසුම” යැයි ‘ජානුත්තරිය’ සූත්‍රයෙහි සිරිමුවින්ම වදාළේ. එයින් දුසිරිත් වැරෙන්නට – සුසිරිත් පිරෙන්නට ගුණ නැණ වැඩෙන්නට මොළකම් මැඩෙන්නට මඟ සැලැසෙන හෙයිනි. “සුස්සුතා ලභතෙ පංඤං” (බණ අසුනු කැමති බව හේතුකොට ගෙන නුවණ ලැබේ යැයි අලව්යකුට පිළිතුරු වදාළෙත් නැණ වැඩුමට මෙයම මුල් මග වන හෙයිනි. වෙන ලෞකික ශාස්ත්‍රඥනාදිය ලැබීමටත් මුල් මඟ වනුයේ ඒ ඒ විද්‍යාචාර්වයන්ගෙන් අසන්නට රිසිවීම මැයි, සුභාෂීත වචනයක් අසන්නට නොපෙළඹෙන්නේත් අසා එයින් නොපිබිදෙන්නේත් ගොනෙකි. ඉතින්, සකළ සුභාෂිතයන් අතුරින් පරම සුභාෂිත වූ බුද්ධ භාෂිතය (සව්නේ දත් බුදුන් වහන්සේග් වචනය) අසන්නට නො රිසියෙන්නේ කොතරම් සතෙක් විය යුතුද? බුදුන් වහන්සේ හැම දහම් අවබෝධ කර ගත් නමුදු, බුදු වූ ඉක්බිති ඒ ධර්මයම ගුරු තන්හි තබා පිදූ සේක. නොයෙක් වියැ සිය සව්වන් දෙසූ බණ අසා සාදුකාර දුන් සැටිත් සැරියුත් මුගලන් සිවු පිළි සැඹියා පත් තෙවළා දර අගසවු මහසවු මහරහත් උතුමනුදු සාධුකාර දෙමින් බණ ඇසූ සැටිත් එක රෑ බණක් ඇසීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට පයින් ගිය සැටිත් අටුවා පොත්හි සඳහන්ව තිබේ.

මේ ධර්මයෙහි කිසිවකු පෙළීමෙක් වැනසීමෙක් නැත්තේය. පක්ෂග්‍රාහීව අගතියට යෑමෙක් නැත්තේය. අසස් පහන් සිය පර නෑ නොනෑ කහටත් සාධාරණ සමානාත්මතාවෙන් ලොවෙත් නො පෙළා තමාත් නොපෙළී හැකි පමණින් පරොපකාරීන් වෙමින් අත්වැඩ පරවැඩ දෙකම සලසන සැටි මේ ධර්මයෙන් උගන්වනු ලැබේ. “ මේ සිය සමය ගැත්තෝය. මේ පරසමය ගැත්තෝය. මේ සිය කුලෙහි ඇත්තෝය. මේ පරකුලෙහි ඇත්තෝය. මේ සිය රටෙහි වැස්සෝය. මේ පර දෙසෙහි වැස්සෝය. මේ පිරිමිහුය. මේ ගැහැනුය” යන ආදී හෙද චින්තාවක් නැතිවැ, සැමදෙනට සමසිතින් සෙත් පතන සෙත් වඩන සැටිම මේ බණෙන් ඉගැන්වේ. මෙයින් නිවන් සුව පමණක් වත් පරලොව සුගීසුව පමණක්වත් සැලසෙන්නේ නොවේ. මෙය ඒ සිය්ලලටත් මඟ පෙන්වමින් මෙලොව හැම සැපතටත් නිදහසටත් මඟ යෙදෙන්නේය. එබැවින් හැම සමයෙහිම හැම රටෙහිම හැමද කුල වෙසෙසෙහිම ගැහැනු පිරිමි හැම දෙනටම සාධාරණ වූ මේ බුදු බණ කවුරුන් විසිනුත් සාදරයෙන් ඇසිය යුත්තේය.

ඒ අසනුවන් විසින් ද බණට හෝ දෙසුනවන් හට හෝ දෙසූ ලෙසට හෝ කටහඬට හෝ වාග් විලාසයට හෝ දොස් නඟන රන්ධ්‍රගවෙෂී (සිදුරු සොයන) අදහසින් වත් “මේ බණ ඉගෙන මහා කථකයෙක් (වාදිභ සිංහයෙක්ව සබයට බැස වාද විවාද කරන අටියෙන් වත් නොයෙක් කූට තර්කානුසාරයෙන් නොවියතුන් මැදයෙහි බණ බොරු කර දිනන අටියෙන් වත් නොඇසිය යුතු වේ. “හුදු සැදෑ සිතින් මේ බණ උගත්තෙමි. උගත් උගත් බණ ක්‍රියායෙහි ලා පිළිපදිනෙමි. දාන කථා අසා දන් දෙමි. ශීල කතා අසා සිල් රකිමි. ඒ ඒ ඇසූ ඇසූ යහපතෙහි යෙදෙමි. අයහපතින් මිදෙමි.” ආදී වශයෙන් සිතා (යහ) කලණ අදහසින්ම ඇසය යුතුය. නොහැග-ුණු ගැටලු තැන පසුව එම ධර්ම විමසා දැන ගත්නෙමැ යි සිතා මහත් වූ ගෞරවයෙන් මහත් වූ ආදරයෙන් මහත් වූ භක්තියෙන් බණ ඇසිය යුතුය. “අට්ඨිකත්‍වා මනසිකත්‍වා සබ්බචෙතසා සමන් නාහරිත්‍වා ඔහිතසොතො සක්කච්චං ධම්මංසුණාති” යි වදාළ පරිදි කෙසේවත් මෙය උගන්නෙමයි බලවත් අටියක් (ඕනෑකමක්) ඇති කරගෙන සිත් සතන්හි අන් අරමුණක් අසන වේලෙහි පැවැති මුළු සිත් සතනු වෙනතෙක නොයාදී ඒ අසන බණ නම් වූ එකම අරමුණෙහි යොමු කෙරෙමින් ඒ දෙසන බණ දෙසටම නැමු කන් ඇතිව ආදර ගෞරවයෙන් සකසා බණ ඇසිය යුතු වේ. කනින් ඇසූ බණ සිතට ගෙන සිතින් කටට ගෙන හෙවත් වන පොත් කරගෙන, එසේ කටපාඩම් වූ බණ ක්‍රියායෙහිලා පැවැත්වීමෙන් කටයට හා වචනයට ගෙන පිළිපැදිය යුත්තේය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *