ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
අප බොහෝවිට ප්‍රාර්ථනා කරන්නේ බුදුවරයකු දැක උන්වහන්සේගෙන්ම දහම් අසා නිවන් දැකීමටය. ධර්මාවබෝධය සඳහා බුදුවරයකු මුණගැසීම අත්‍යවශ්‍යම නොවේ. අවශ්‍ය වන්නේ නිවැරදි ධර්මය ඇසීමට ලැබීම හා එයට අවධානය දී අවබෝධ කරගැනීමෙහි හැකියාව පැවතීමය. කාලි කුරරඝාරිකා උපාසිකාව, එයට කදිම නිදසුනකි. බුද්ධකාලිනව උපත ලැබුවත් එතුමිය ධර්මය අසා සෝවාන් පලයට පත් වූයේ බුදුරජාණන්වහන්සේ දැකීමට පෙර උන්වහන්සේ පිළිබඳව වෙනත් අය කරන සාකච්ඡාවක් ඇසීමෙනි. එම නිසාම කාලි කුරරඝාරිකා උපාසිකාවෝ ගෞතම බුදුසසුනෙහි ඇසීමෙන් උපන් පැහැදීමෙන් යුත් උපාසිකාවන් අතර අග තනතුර දරන්නෝය. එතුමිය එම තනතුර හිමි කරගන්නේ පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි එම තනතුර උවැසියකට ලබාදෙනු දැක එම තනතුර ප්‍රාර්ථනා කර කල්ප ලක්ෂයක් තිස්සේ එම තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් දෙව් මිනිස් ලොව සැරිසැරීමෙන් අනතුරුවය. එසේ කුසල් සම්පූර්ණ කළ ඇය, අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි රජගහනුවර කුලගෙයක කාලි යන නමින් උපත ලැබුවාය. නිසි වසසේදී අවන්තියෙහි කුරරඝර නුවර කුලයකට පතිකුලයට ගිය ඇය, ගර්භණී සමයෙහි අවසාන කාලයෙහි දරුවා ලැබීම සඳහා, රජගහනුවර සිය නිවසටම නැවත පැමිණියාය (මනෝරථපූරණි, සොණකුටිකණ්ණ වස්තුව හා කාලි කුරරඝාරිකා වස්තුව).
එම සමයෙහිම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පත්වීමෙන් අනතුරුව බරණැස මිගදායෙහිදී සිය ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සේක. එම ප්‍රථම ධර්ම දේශනය ඇසීමට දස දහසක් සක්වළ දෙවිවරු රැස්වූහ. විසි අටක් යක්ෂ සේනාධිපතිවරු ද එහි වූහ. මෙම යක්ෂ සේනාධිපතියන් අතර සිටි සාතාගිරි යක්ෂ සෙනවියන් ධර්ම දේශනය අවසන සෝවාන් පලයට පත්විය. අනතුරුව දහම් ඇසීමට පැමිණ සිටින යක්ෂ සේනාධිපතිවරු අතර සිය මිතුරු හේමවත යක් සෙනවියන් නැති බව හේමවත යක් සෙනවියන් දිටීය. එමනිසා එතුමන් සිය මිතුරා නොපැමිණියේ මන්ද යන්න සොයා බැලීමට පිටත්විය. හේමවත යක් සෙනවියන් ද හිමවත මල් පිපී තිබෙනු දැක සිය මිතුරාට ඒ බව දැන්වීමට පිටත් විය. මෙම දෙදෙනා රජගහනුවර කාලියගේ නිවස උඩදී මුණගැසී ආගිය තොරතුරු කථාව ඇරඹූහ. (ඛුද්දක නිකායෙහි සුත්තනිපාතයෙහි උරගවග්ගයෙහි හේමවත සුත්‍රයේ මෙම යක්ෂ සෙන්පතිවරු දෙදෙනාගේ සාකච්ඡාව දැක්වේ.) පළමුව මෙම සෙන්පතිවරු දෙදෙන තමන් දෙදෙනා එකිනෙකා මුණගැසීමට පැමිණීමට හේතු දැක්වූහ. එහිදී සාතාගිරි යක්ෂ සේනාධිපතියන්ගෙන් බුදුරජාණන් වහන්සේ පහළ වූ බව ඇසූ හේමවතයන් බුදුරජාණන් වහන්සේගේ කායික, වාචසික, හා මානසික සංවරය හා උන්වහන්සේගේ අවබෝධයෙහි ස්වභාවය පිළිබඳව පියවරින් පියවර ප්‍රශ්න විචාලේය. මෙසේ පියවරින් පියවර බුදුවරයකුගේ ගුණාංගයන් විමසීමට තරම් හේමවත යක්ෂ සේනාධිපතියන්ටද බුදුවරයකුගේ තිබිය යුතු ගුණාංග පිළිබඳ අවබෝධයක් පැවති බව පැහැදිලිය. අනතුරුව හේමවත යක්ෂ සේනාධිපතියන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය පිළිබඳව ප්‍රශ්න විචාලේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවෙහි කොටසකි.
හේමවත යක් සෙන්පති : “කවරක් උපන් කල්හි සත්ව සංස්කාර ලෝකය උපන්නේ වේද? දෘෂ්ටිය හා එක්වීමත් තෘෂ්ණාව හා එක්වීමත් කවර කලෙක්හි කෙරේද? කුමක් නිසා ලෝක නම් වේද? කුමක් ඇති කල්හි සත්ව තෙමේ පෙළනු ලබන්නෙ ද?
සාතාගිරි යක් සෙන්පති : “හෙමවතය සයක් උපන් කල්හි සත්ව ලෝකය ද, සංස්කාර ලෝකය ද උපන්නේ වෙයි. ඒ දෙවැදෑරුම් ආයතන සය කෙරෙහිම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳීම සත්ව ලෝකයා කරන්නේය. ඒ දෙවැදෑරුම් ෂඪායතනයන් නිසා ලෝකය පවත්නේය. ෂඪායතනයන් ඇති නිසා ලෝකය පෙළන්නෙයයි බුදුරජාණන්වහන්සේ වදාළහ.”
හේමවත යක් සෙන්පති : “යම් තැනක ලෝකය වැනසේ නම්, ඒ උපාදානය කවරේ ද? නික්මයන යන මාර්ගය විමසූ විට කෙසේ සසර දුකින් මිදේ යයි සර්වඥයන්වහන්සේ වදාළ සේක් ද?”
සාතාගිරි යක් සෙන්පති : “සත්ව ලෝකයෙහි මනස සවෙනි කොට ඇති රූපාදී පංචකාම ගුණයෝ ප්‍රකාශ කරන ලද්දහුය. මේ ආයතන දොළොසෙහි තෘෂ්ණාව සර්වප්‍රකාරයෙන්ම නසා දුකින් මිදිය හැකිය” (ඛුද්දක නිකාය, සුත්තනිපාතය, උරගවග්ගය, හෙමවත සුත්‍රය).
මේ ආකාරයෙන් සරල තත්වයෙහි සිට නිවන් අවබෝධය දක්වා ක්‍රමාණුකූලව මෙම යක්ෂ සෙන්පතියන් සිදු කරන සාකච්ඡාවට රාත්‍රියෙහි එම අවස්ථාවෙහි සිය නිවසෙහි උඩුමහලෙහි සිටි කාලියට අසන්නට ලැබුණි. බුදුරජාණන් වහන්සේගේ කායික, වාචසික, හා මානසික සංවරය හා උන්වහන්සේගේ අවබෝධයෙහි ස්වභාවය පිළිබඳව තමන් ඇසූ පැණයනට සාතාගිරි යක් සෙනවියන් දෙන පිළිතුරු ඇසූ හේමවත යක් සෙනවියන් සෝවාන් පලයට පත්විය. මෙම යක් සෙනවියන් දෙදෙනා කළ සාකච්ඡාවට අවධානය දුන් කාලිය ද සෝවාන් පලයට පත් වූවාය (මනෝරථපූරණි, සොණකුටිකණ්ණ වස්තුව හා කාලි කුරරඝාරිකා වස්තුව). අන් අය විසින් ඔවුනට හමුවූවකු පිළිබඳව කරන සාකච්ඡාවකට සවන් දී එය වටහා ගැනීමට තරම් පැහැදිලි අවබෝධයක් කාලිය සතුව පැවති බව පැහැදිලිය. හේමවත යක්ෂ සෙන්පතියන් සෝවාන් පලයට පත් වූයේ සිය දැනුම ප්‍රකාරව ක්‍රමාණුකූලව තමා තුළ පැවති ගැටලු විසදා ගැනීමෙනි. නමුත් කාලිය සෝවාන් පලයට පත් වූයේ තමනට පවතින ගැටලු පිළිබඳව විමසීමට සාකච්ඡාවට සම්බන්ධ වී නොවේ. හුදෙක්ම විචාරශීලීව විවෘත මනසකින් එම සාකච්ඡාවට සිත යොමු කිරීමෙනි. එමනිසා ගිහි සමාජයේ පළමුව මගපල අවබෝධ කර ගත් සාමාජිකයා වීමෙහි ගෞරවය ද කාලි කුරරඝාරිකා උපාසිකාව හිමි කර ගත්තාය. අප බොහෝ අවස්ථාවල අන් අයගේ සාකච්ඡාවන්ට කන් යොමන්නේ තොරතුරු රැස්කර ගැනීමෙහි අරමුණිනි. එහෙත් අප අන් අයගේ සාකච්ඡාවකට සවන් දෙන්නේ නම් ඒ අපව නිවන් මාර්ගයට යොමු කරවීමට උපකාර කරවන අවස්ථාවලදී මිස අපව ධර්ම මාර්ගයෙන් ඈත් කරන සාකච්ඡාවන්ට නොවන බව කාලි කුරරඝාරිකා උපාසිකාව, අපට පෙන්වා දෙයි. එසේම ප්‍රශ්න ඇසීම පමණක් නොව සක්‍රීය සවන්දීම ද අපව ධර්ම මාර්ගයට යොමු කිරීමට හේතු වන බව මෙම සිදුවීම අපට පැහැදිලි කර දෙයි.
මෙසේ යක් සෙන්පතිවරුන්ගේ සාකච්ඡාවකට සවන් යොමු කර සෝවාන් පලයට පත් වූ දිනම සිය දරුවා ප්‍රසූත කළ එතුමිය ඔහුට සෝණ යන නාමය තැබීය. පසුව බුදු සසුනෙහි පැවිදි වූ මෙම දරුවා නිවන් අවබෝධ කර සොණකුටිකණ්ණ මහරහතන් වසන්සේ නමින් ප්‍රකට විය. ගෞතම බුදු සසුනෙහි මිහිරි වදන් ඇත්තවුන් අතර අග තනතුර හිමි කරගත්තේ ද, සොණකුටිකණ්ණ මහරහතන් වහන්සේය (මනෝරථපූරණි, සොණකුටිකණ්ණ වස්තුව හා කාලි කුරරඝාරිකා වස්තුව). ඒ අනුව අග තනතුරු දරන මහා රහතන්වහන්සේලා ගෙන් කෙනකුගේ මව වීමෙහි ගෞරවය ද මෙතුමිය සතුය. මෙතුමිය මහාකච්චායන තෙරුන්වහන්සේ සමීපව ඇසුරු කරමින් උපස්ථාන කරන අතරතුර සිය දහම් ගැටලු විසඳා ගැනීමට ද උත්සුක වූවාය. අංගුත්තර නිකායේ, දසක නිපාතයේ, මහාවග්ගයේ, කාළි සුත්‍රය මෙයට කදිම නිදසුනකි. එහි බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයක් වඩාත් පැහැදිලි කරගන්නා ආකාරය දැක්වේ.
සිය පුතුණුවන් ධර්ම මාර්ගයට යොමු කරන පරිසරය නිර්මාණය කිරීමෙහි පදනම දැමීමට මුල් වන්නේ ද කාලි කුරරඝාරිකා උපාසිකාවමය. සිය දරුවා ලැබීමෙන් පසු ආපසු අවන්තියෙහි කුරරඝර නුවරටම ගිය කාලි කුරරඝාරිකා උපාසිකාව, පසු කලෙක මහාකච්චායන තෙරුන්වහන්සේ අවන්තියෙහි කුරරඝර නුවර අසල පැවති පර්වතයෙහි වාසය කරන සමයෙහි උන්වහන්සේට උවටැන් කළාය. එමනිසා මහාකච්චායන තෙරුන්වහන්සේව ඉතා සමීපව ඇසුරු කිරීමෙහි අවස්ථාව ලැබුණු සෝණ දරුවා උන්වහන්සේ කෙරෙහි පැහදී, මහාකච්චායන තෙරුන්වහන්සේ සමීපයෙහි පැවිදි උපසපන් විය. උපසම්පදා වූ සෝණ තෙරුන්වහන්සේ, කමටහන් ගෙන විදසුන් වඩා රහත් බවට පත්වූහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යාමට සිය ගුරුවරයාගෙන් අවසර ඉල්ලා සිටියහ. එසේ අවසර ගත් තෙරුන්වහන්සේ, ඒ බව සිය මෑණියන්ටද දන්වා සිටියහ. ඒ ඇසූ කාලි උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ගඳකිලියෙහි තැන්පත් කිරීමට සෝණ තෙරුන්වහන්සේට අගනා කම්බිලියක් ලබා දුන්නාය. එම කම්බිලිය බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් ගඳකිලියෙහි ඇතුළතම තැන්පත් කළ සෝණ මහාතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනයෙන් ධර්මය දේශනා කළ සේක. එම ධර්ම දේශනය අවසන බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්සේක. මෙම සිදුවීම සිය නිවසට අධිපති දෙවියන්ගෙන් දැනගත් කාලි කුරරඝාරිකා උපාසිකාව, සිය පුත්‍ර තෙරුන්වහන්සේ නැවත සිය නිවසට පිඬුසිගා වැඩම කළ අවස්ථාවෙහි ඒ පිළිබඳව විමසා සිටියාය. එසේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන් අවස්ථාවෙහි, සියලු දසදහසක් සක්වල දෙවියන් ද සාධුකාර දුන් බවත් තමන් දන්නා බව පැවසූ උපාසිකාව, තෙරුන්වහන්සේ කළ එම ධර්මදේශනය ඒ ආකාරයෙන් ම ඇසීමට තමන් කැමති බවත් පැවසූවාය. තෙරුන්වහන්සේ එම ඉල්ලීම පිළිගත් බව දැනගත් කාලිය, සිය දොරටුවෙහි මණ්ඩපයක් කරවා සෝණ මහාතෙරුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට කළ ධර්ම දේශනයට සවන් දුන්නාය (මනෝරථපූරණි, සොණකුටිකණ්ණ වස්තුව). සිය පුතුණුවන් බුදුරජාණන් වහන්සේගේ හා දසදහසක් සක්වල දෙවිවරුන්ගේ සාධුකාරයට ලක් වීමට වඩා එසේ සාදුකාරයට ලක්වීමට හේතු වූ ධර්මය ශ්‍රවණයට එතුමිය තුළ තිබූ උනන්දුව මෙම සිදුවීම ප්‍රකට කරයි. බුද්ධ අනුගාමිකයන් ලෙස අප අවධානය දිය යුත්තේ, සිත මෙහෙය විය යුත්තේ, කුමන කාරණා කෙරෙහිද යන්න කාලි කුරරඝාරිකා උපාසිකාවෝ අපට පැහැදිලි කර දෙති.

