ඉදානීන්තනයෙහි ආයුබෝවන් විමලාභය

rashi
By rashi
7 Min Read

ආයුබෝවන්

ස්වස්ති, සිද්ධම්, ස්වාගතං, ආයුබෝවන් යන ආදී සුබපැතුම්වලින් පටන් ගැනෙන ජීවන ගමන අතරමඟ වෙනත් නොයෙකුත් සුබාසිරිවාදයක් ලබ ලබා කෙසේ හෝ අවසානය දකියි. ඒ අතරතුර මිනිස් දිවියේ හා පුද්ගල චර්යාවෙහි හැසිරීම් රටාවල් තුළ ක්‍රියාත්මක වන කාර්ය පද්ධතිය විවිධ දර්ශනික කෝණයන් ගෙන් ද සාමාජික මානයන්ගෙන් ද විද්‍යාත්මක සිද්ධාන්තයන්ගෙන් ද පිරී පවත්නේ වෙයි. මානව චර්යාව විශ්ලේෂණය කිරීමේදී මනෝ විද්‍යාඥයෝ, මානව වංශ විද්‍යාඥයෝ, මානව විද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ ප්‍රමුඛත්වය ගනිති. ඔවුන් විසින් කරනු ලබන පර්යේෂණවලින් ඉදිරිපත් වන තර්ක ගෝචර වූ නිගමන සමාජයේ ඉදිරි ගමනට මහෝපකාරී වන්නේය.

ආයුබෝවන් සමාජ විද්‍යාඥයෙකුට නම් ගවේෂණ ක්ෂේත්‍රයෙකි. මානව විද්‍යාඥයෙකු ඒ තුළින් දකින්නේ ඈත ඉතිහාසයෙන් ගලා එන ආලෝක ප්‍රවාහයකි. මානව වංශ විද්‍යාඥයෙක් මිනිස් පරිණාමයෙහි එහි ශේෂ කළ නොයෙකුත් තොරතුරු උකහා විදහා දක්වන්නට පෙළඹෙයි. ඒ අතර, ආයුබෝවන් – කපුරාළ කෙනෙකුට යකැදුරෙකුට තොවිල් කරුවෙකුට යාතිකාවකි. පන්සලේ, කෝවිලේ මෙන්ම පල්ලියේ ද එම යාතිකාව ඇසිය හැකිය. කවර අතින් බැලුවත් මෙනම් සමාජ විද්‍යාත්මක සාරධර්මයකි.

ආයුබෝවන් ප්‍රභවය පෙරදිග සාහිත්‍යයෙහි නන් වැදෑරුම් අර්ථ නිරූපණවලින් විග්‍රහ කරනු ලබන්නකි. වේද කාලීන යුගයෙහි වායුවත් ප්‍රාණයත් සමාන කොට අභේදයෙන් විස්තර කොට ඇත්තේය. කිවිසුමක් පිටවනවිට ඒ හා සමග ප්‍රාණ වායුවක් බැහැර වෙතැයි වෛදික සංකල්පයක් පැවතුණේය. කිවිසුමක් පිටවනවිට ආයුබෝවන් කියා සුබ පැතීම අද පවා සමාජයේ දක්නට ලැබෙන සුලබ දර්ශනයකි. කිවිසුම් යනවිට ආයුබෝවන් පැතීමේ සමාජ චාරිත්‍රය වේදයෙන් පටන් ගන්නා ලද්දකැයි එම සංකල්පය තුළින් විග්‍රහ කරන්නෝ වෙති.

ආයුබෝවන් කීමේ සිරිත පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යයෙහි දැක්වෙන තොරතුරු රැසකි. එම තොරතුරු අතර බුදුරජාණන් වහන්සේට සුබ පැතීමේ කතා පුවත ඉතාම රසවත්ය. එසේම වැදගත්ය. වරක් ධර්ම සභා මණ්ඩපයෙහි ධර්ම දේශනා කරමින් වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේට හදිසියේම කිවිසුමක් ගියේය. ඇතැම් භික්ෂුන් වහන්සේ අප්‍රමාදව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙත්වා. භාග්‍යවත් සුගතයන් වහන්සේ දීර්ඝායුෂ ලබත්වා යැයි දීර්ඝායු ශ්‍රී ප්‍රාර්ථනා කළහ. එසේ කළේ සමාජය තුළ මුල්බැස ගෙන තිබුණු ගණාචාරයකට, ජන චර්යාවකට, ධර්මතාවකට එසේත් නැති නම් සාර ධර්මයකට අනුරූප වන පරිද්දෙනි. කිවිසුම් යෑමේදී දිගාසිරි පැතීමේ සුසිරිත එදත් පැවැති බව මෙයින් ව්‍යක්ත වෙයි.

බණ මඩුවේදී කිවිසුමක් පිටවීම සම්බන්ධයෙන් වෙනත් තොරතුරක් තවත් කතාවකින් කියැවෙයි. කිවිසුම පිටවුණේ බණ අසමින් සිටි භික්ෂුන් වහන්සේ නමක ගෙනි. එවිට ළඟ සිටි අනෙක් සබ්රම්සරුන් වහන්සේ බණ පිරිසේ නිහැඬියාවකට බාධා කළහයි නොසතුටින් දොස් නැඟූහ. එතැන දක්නට ලැබෙන්නේ ද වැදගත් සාරධර්මයකි. පොදු රැස්වීම්වලදී අනවශ්‍ය ශබ්ද කිරීම් නොකටයුතු බව ශික්ෂණයකින් ඉගැන් වීමේ සිරිතක් සමාජයේ සම්මතව පැවැති වගයි. ස්වාභාවිකව පිටවන කිවිසුම් යෑමකින් පවා නැඟෙන ශබ්දය පොදු පිරිසක් අතර පැවැතිය යුතු නිහැඬියාව කඩකිරීම නුසුදුස්සක් කොට සලකුණු බව වැඩිදුරටත් එයින් පැහැදිලි වන්නේය.

ඉඳුසල් ගුහාවේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දක්නට පැමිණි පන්සිළු දෙව්පුතු සක්‍රයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළවිට උන්වහන්සේ සක් දෙවිඳුට දීර්ඝායුෂ ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ සේක. එම දීර්ඝායුෂ ප්‍රාර්ථනය සක්‍රයාට දීර්ඝායුෂ ලබාගැනීමට හේතුවූවා යැයි දීඝනිකායේ සක්ක පඤ්හ සූත්‍රයෙහි දක්නට ලැබේ. අභිවාදනශීලී පුද්ගලයාට ආයු, වර්ණ, සුඛ බල ලැබෙන බව ධම්මපද පාඨයකින් කියැවේ.

වාග් භේදයෙන් යුතුව නැතිනම් වචන උච්චාරණය කිරීමෙන් කරනු ලබන සුබ පැතුමෙහි කිසියම් බලයක් පවතිනා බව ආදී කල්පිත යුගයේ පටන් පැවැත එන්නකි. මෙම මතය තහවුරු කිරීමට තුඩු දෙන කරුණු භාරතීය සංගීත සාහිත්‍යයෙහි සුලබය. ලෝකය නාදාත්මක යැයි මතංග මුනිවරයා වෘහද්දේශී ශික්ෂාවෙහි සඳහන් කොට ඇත්තේය. ඔහුගේ මතය හැටියට නාදයෙන් තොර ලෝකයක් නැත. නාදයෙහි උපත පිළිබඳව ඉගැන්වෙන සංගීත සිද්ධාන්තවලින් මෙම මතය සනාථ කිරීමට ප්‍රයත්න දරා ඇත්තේය. වෛදික සිද්ධාන්ත අනුව උදරයෙහි පිහිටි බ්‍රහ්ම ග්‍රන්ථිය තුළ නාද පනස්හතරක් තැන්පත්ව තිබේ. එම නාදයන්ගේ මූලය ‘ඕම්’ කාරයයි. එයින් බ්‍රහ්ම, විෂ්ණු, මහේශ යන ත්‍රීමූර්තිය මූර්තිමත් කරනු ලැබේ.

කුණ්ඩලනියෙහි උපදින අකුරු, ඉඩා, පිංගල, සුෂුම්නා යන නාඩි තුන පිහිට කොටගෙන නිකුත් වන්නේය. බ්‍රහ්ම ග්‍රන්ථියෙන් බැහැර වන නාදය පරා, පශ්‍යන්ති, මධ්‍යයන්ති යන අවස්ථා තුනකින් පසු කිරීමෙන් බාහිර ලෝකයට ඇතුළු වන්නේය. මෙසේ උත්පත්තිය ලබන නාදයෙහි කිසියම් ජීවමය ශක්තියක් ඇතැයි විශ්වාස කරති. යන්ත්‍ර මන්ත්‍ර ආදී භූත විද්‍යාවන්හි පෙන්නුම් කරන අක්ෂරයන්ගේ බලශක්තිය මත යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාත්මක වෙතැයි විශ්වාස කරති. ශාන්ති කර්ම, යාතු කර්ම, අභිචාර විදි ආදී භූත විද්‍යාත්මක ක්‍රියාවලියෙහි ප්‍රතික්‍රියා දන්වන්නේ අක්ෂරෝත්පත්තියත්, නාදෝත්පත්තියත්, උච්චාරණයත් බව පැවැසෙයි.

සම්භාව්‍ය භාරතීය සංගීතයෙහි ගායනා කරනු ලබන දීපන රාගය නිවැරදිව ගැයීමෙන් ගින්දර ඇවිළීමට පිළිවන් බවත්, මේඝ රාගය නිවැරදිව ගැයීමෙන් වැසි වැස්සීමට පිළිවන් බවත් ප්‍රකාශ කරන වෘත්තාන්ත දුලබ නොවේ. මෙම සිද්ධාන්තය නව පර්යේෂණවලින් ස්ඵුට කර ඇතැයි වාර්තාගතය. දකුණු ඉන්දියාවේ අන්නමලේ විශ්වවිද්‍යාලයෙහි උද්භිද විද්‍යාඥයෙකු සංගීතය උපයෝගී කරගැනීමෙන් කෙතක අස්වැන්න වැඩිකර ගත් අයුරු එයින් කියැවේ. නයි නටවන්නාගේ නාදයෙන් රඟ දක්වන නාගයෝ මඟ තොටදී වුව දැක්ක හැක්කාහ. පුණ්නාග වරාලි රාගය බොහෝ සෙයින් නාගයන් ප්‍රිය කරන්නකැයි කියති.

ප්‍රකෘතියෙන් නිකුත් වන ප්‍රභාසංස්ලේෂණය ජීව ලෝකය බාහිර වස්තූන් කෙරෙහි බලපවත්වතැයි නවීන විද්‍යාඥයෝ නිගමනය කරති. මෙම සියලු තොරතුරු සසඳා බැලීමෙන් එළැඹිය හැකි තීරණය වන්නේ කිසියම් නාද ශක්තියක් පුද්ගල චර්යාව කෙරෙහි බලපවත්නා බවත්, ඒ අනුව සුබ පැතුම් මිනිස් දිවිය කෙරෙහි කරන බලපෑමක් ඇති බවත්ය. නොසිස් සිතින් කරනු ලබන ඉටු සුබ පැතුම් සාර්ථක වන්නක් යැයි කාලිදාස මහා කවීහු රඝු වංශයෙහි වර්ණනා කළහ.

ආයුබෝවන් යන වචනය විග්‍රහ කරන නෛරුත්තිකාචාරවරු විවිධ අර්ථ නිරූපණය දක්වති. ආයු බොහෝ වේවා යන්න එකක් වන අතර, ආයි ඉබොහෝ වේවා යන්න තවත් එකකි. කෙසේ නමුත්, වාච්‍යාර්ථය මෙන්ම සමුදාර්ථය ද පළ කරන්නේ දීර්ඝායුෂ ලැබේවා යන අර්ථයයි. ආයු බොහෝ වේවා යන්න ද මෙයමය. මැටි පේ කිරීම් ආදිය ශාන්ති කර්මවලදී යකැදුරා ගිගිරි සලා ආයුබෝ වේවා යැයි කියූ වහාම ආතුරයා දෙපසවාඩි ගෙන සිටින දැරියන් දෙදෙනෙකු ආබෝ වේවා කියන්නේද එම පැතුමෙන් සංක්ෂිප්තයක් ලෙසිනි.

ජීවත්වන අතර තුර ආයුබෝවන් යැයි කෙනෙකුත් කීවද වරදෙක් නැත. එහෙත් ජීවිතය අවසානයේදී නම් එසේ කීම වැරදිය. නියමිත කාල සීමාව දක්වා සේවයක යෙදී සිටීමෙන් පසු විශ්‍රාම ලබන පුද්ගලයෙකුට ආයුබෝවන් යැයි කියන්නේ සමුගැනීමේ සාදයෙන් පසුවය. ඔහු විසින් කළ යුතු ප්‍රත්‍යභිනන්දනය ආයුබෝවන් විය යුතුද ප්‍රිය විප්පයෝගයෙන් ඇතිවන දුක් දොම්නස් දනවන්නාවූද, සුව සොම්නස් දනවන්නාවූද සංකීර්ණ හැඟීම් සමූහයක සංකලනයක් එබඳු තැනකදී මතුවීම ස්වාභාවිකය. කෙසේ නමුත් වියයුත්ත සිදුවන්නේමය. වෙන්වීමේදී පහළ වන ප්‍රතිසංවේදිතයෙහි පවා ආයුබෝවන් රැඳිය හැකිය. ඉතින් ආයුබෝවන්.

“ඉදානීන්තනයෙහි විමලාභය තදානීන්තනයෙහි උද්ධ චූලාභය, සේලාභය සිහියට නඟයි. වෙසෙසි යටගියාවක් ඇති හෙයිනි. ඉදානීන්තනය නම් මෙදාය. තදානීන්තනය නම් එදාය. එදා මියු ගුණය. මෙදා මියුගුණ ගමය. උද්ධ චූලාභය, සේලාභය, සංඝබෝධි ආදීහු මියුගුණ හා සබැඳි කුසල චරිතධරයෝ වූහ.”

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *