මේ මොහොත දහම පිබිදෙන්නට නම්… – (පළමු කොටස)

rashi
By rashi
8 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

දැනට තමන්ට නැති, නමුත් තමන්ට ඕනෑ යි කියල හිතන දේවල් සතු කරගන්න අපි මමත්වය ඉස්සරහට දාගෙන උත්සාහ කරනව. ‘සසර දුකයි, නිවනයි සැනසීම’ කියල බුදුහාමුදුරුවෝ දේශනා කරන කොට අපටත් ඕන කරනව නිවන ලබාගන්න. වෙළෙඳ දැන්වීම්වල කියනව වාගේ ‘නිවනේ සාඩම්බර හිමිකරුවකු වෙන්න’ නිවන පිණිසත් ඡන්දය, වායාමය අවශ්‍යයි. හැබැයි මමත්වය වෙනුවට ප්‍රඥාව ඉදිරියට ගන්න ඕන. කෙලෙස්වලට විරෝධය පෑමෙන් වැඩක් නෑ. අවබෝධයට අවශ්‍ය ප්‍රත්‍ය ධර්ම සකස් වන ආකාරයට ක්‍රියා කිරීමයි කළ යුත්තෙ. නිවන විතරක් නො වෙයි, දහම් මඟට අවශ්‍ය ප්‍රත්‍යයන් පුබුදින්නෙත් ධර්මය විසින් ම බව අපි දැනගන්න ඕන.

මේ ගැන දැනගන්න හොඳ දේශනාවක් තමයි චේතනා කරණීය සූත්‍රය. ඒ සූත්‍රය අනුව දුසිල් කෙනාගේ හිත ඇලීම්, තැවීම්, රැවටීම් නිසා විපිළිසරයි. සීලසම්පන්නයාගේ හිතේ පසුතැවිලි නෑ. පසුතැවිලි නො වේ වා කියල අමුතුවෙන් හිතන්න ඕන නෑ. පසුතැවිලි නැත්නම් ප්‍රමෝදය ලැබේ වා කියල හිතන්න දෙයක් නෑ, ප්‍රමෝදය තියෙනවා. ප්‍රමෝදය ඇති කෙනාට ප්‍රීතිය උපදීවා යි හිතන්න දෙයක් නෑ, ප්‍රීතිය උපදිනව. මේ ක්‍රමයෙන් වටහා ගන්න. ප්‍රීතිය ඇති කෙනාට ස්වභාවයෙන් ම කය සංසිඳෙනව. කය සංසිඳුණ කෙනාට සැපය ඇති වෙනව. සැපය ඇති කෙනාට චිත්තසමාධිය ඇති වෙනවා. චිත්තසමාධිය ඇති කෙනාට ඇති සැටිය පිළිබඳ දැනුම, දැකුම (යථාභූතඤාණදස්සනය) ඇති වෙනවා. ඇති සැටිය දන්න, දකින කෙනාට ප්‍රඥාවෙන් යුක්ත කලකිරීම ඇති වෙනව. කලකිරුණ කෙනාට විමුක්ති ඥානදර්ශනය ඇති වෙනව. සූත්‍රයේ අන්තිමට සඳහන් වෙන්නෙ ‘මහණෙනි, මේ ආකාරයෙන් භවත්‍රය සංඛ්‍යාත මෙතෙරින්, නිර්වාණය වූ එතෙරට යෑම සඳහා ධර්මයෝ ම ධර්මයන් පවත්වන්නා හ. ධර්මයෝම ධර්මයන් පුරන්නා හ’ කියලයි. (ඉති ඛො භිකඛවෙ ධමමාවධමෙම අභිසන්‍දනති, ධමමාවධමෙම පරිපූරෙනති අපාරා පාරං ගමනාය) අං: නි: 6, චේතනාකරණීය සූත්‍රය, 06 පිට) මේ ස්වභාවයන් තේරුම් ගන්න කොට ප්‍රතිපදාව වඩන එක අමාරු වෙන්නෙ නෑ පහසු වෙනව. මෙතැන දී අවශ්‍ය වෙන්නෙ තමන්ගේ මැදිහත් වීම කොයි විදියෙන් කළොත් ඇද්ද කියල තේරුම් ගැනීමයි.

අපි සසර ඇදී ආවේ ඇයි? අකුසල් මුල් නිසා. ලෝභය හින්ද ඇලුණ. ද්වේෂය හින්ද තැවුණ. මෝහය හින්ද මුළා වුණා. සුභ නිමිති මමයි, මගෙයි කියල ගත්ත නිසා රාගානුසය වැඩුණා. පටිඝානුසය වැඩුණ. ඇලීම් ගැටීම් නැති වුණත් විඤ්ඤාණයේ පිළිබිඹු වන නාමරූප මමයි, මගෙයි කියල ගත්ත නිසා අවිජ්ජානුසය වැඩුණ. රාගානුසය වැඩුණෙත් අවිජ්ජානුසයත් එක්කමයි, පටිඝානුසය වැඩුණෙත් අවිජ්ජානුසයත් එක්කමයි, කියන එක අමතක කරන්න එපා. එහෙනම් මේ තුනෙන් බලගතු ම අකුසල මූලය තමයි, අවිජ්ජාව, මෝහය. වරද වශයෙනුත් බලගතුයි. (මහාසාවජෙජා) බැහැර කිරීමත් අමාරුයි. (දන්‍ධවිරාගී)

තත්ත්වය මෙහෙම නම් පුද්ගලයාට සිල්වත් වෙන එකත් ලේසි නෑ. නීවරණ බලගතු නිසා. සාමාන්‍යයෙන් කෙනකුගෙ කැමැත්ත පංචකාමයටයි. (කාමචඡනද) ගැටෙන තැවෙන ගතියෙන් යුක්තයි. (ව්‍යාපාද) අලසයි. (ථීනමිදධ) නොසන්සුන්කම්, පසුතැවිලි, විසිරිලි සහිතයි. (උදධචචකුකකුචච) දෙගිඩියා, සැකමුසුකම් සහිතයි. (විචිකිචඡා) එබඳු සිතක් ඇති ව සිල්වත් වෙන්න හිතුවට ඒක ලේසි නෑ කියන එක අමුතුවෙන් කියන්න දේකුත් නො වෙයි. ඒ හින්ද ආගමික ජීවිතය තමාට ම පීඩා කර ගැනීමක් කියල කෙනකුට හිතෙන්නත් පුළුවන්. අපි මුලින් කථා කරපු චේතනාකරණීය සූත්‍රයේ කතා කරන්න පටන් ගත්තෙ සීලසම්පන්නයාගේ ඉඳල. විපිළිසර නො වීම ශීලයේ ආනිශංසයයි කියල. එහෙනම් ශීලය පිබිදෙන්නෙ කොහොම ද කියල සොයල බලමු.

අං:නි: 6, (204/208 පිටු) අවිජ්ජා සූත්‍රය මෙතැන දී ප්‍රයෝජනවත්. එහි සඳහන් වෙනව, ඉහළ කඳුකරයට වැසි වැස්සොත් ස්වභාවයෙන් ම වැව් පොකුණු, ඇළ දොළ ගංගා පුරවමින් මහ මුහුදත් පිරෙනව. අන්න ඒ වගේ ඒ කියන්නෙ ඉහළ කඳුකරයට වහිනව වගේ අවශ්‍ය කරන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීමට ලැබීම. (සපපුරිසංසෙවො) ඒක තමයි දහම්මඟ වැඩෙන්න අවශ්‍ය මූලික ම ප්‍රත්‍යය. ඒ මූලික ප්‍රත්‍යය සම්පූර්ණ වුණා කියන්නෙ බුදුරජාණන් වහන්සේ වැනි ආර්ය උතුමන් ඇසුරින් හරි වෙනත් කිසියම් සත්පුරුෂයකු ගෙන් හරි සද්ධර්මය අසන්නට ලැබීමයි. (සදධමමසවනං) හරියට ධර්මය අසන්න ලැබෙන විටයි පුද්ගලයකුගේ නුවණ පිබිදෙන්න පටන් ගන්නෙ. මෙච්චර කලක් තිබුණ අයෝනිසෝමනසිකාරය වෙනුවට යෝනිසෝමනසිකාරය පිබිදෙන්න පටන් ගන්නව. (යොනිසොමනසිකාරො) නුවණින් බලනව කියන්නෙ මෙච්චර කලක් විඤ්ඤාණයේ මැවෙන නාමරූපයට නේ ද රැවටිලා තියෙන්නෙ කියන බව දැනගෙන ඒ අනුව අත්දැකීම් තේරුම් ගන්නව කියන එකයි. මේ මොහොතේ සකස් වන අත්දැකීම් බව දකිනව කියන එකයි. අත්දැකීම් මැවෙන හේතු ප්‍රත්‍යයන් දකිනව කියන එකයි. දිගු කලක් තිස්සේ මේ සිත විසින් නේ ද මම රවටනු ලැබුවේ කියල තේරුම් ගන්නව කියන එකයි. මේ විදියට යෝනිසෝමනසිකාරය වැඩකරන කොට සිහිනුවණ සපිරෙන්න පටන් ගන්නව. (සතිසමපජඤෙඤා)

මෙච්චර කාලයක් හිතා හිටියේ ඇහැ තියෙනව, වර්ණ රූපත් තියෙනව. තියන හින්ද බලනව කියලයි. සාමාන්‍ය සංජානන මට්ටම අනුව නම් ඒකත් ඇත්ත වගේ තමයි. ඒත් වෙසෙස් නුවණින් (අභිජානනයෙන්) සලකනකොට වැටහෙනව බැලුව හින්දයි පෙනුණෙ කියල. මුලින් වෙන්නෙ පෙනෙන එක. ඒ එක්ක ම බලන්න පටන් ගන්නව. විඳීම්, හැඳිනීම්, චේතනා ඔස්සේ විඤ්ඤාණය විසින් මවල දුන්න, රූප සංඥාවක් බව දන්නෙ නෑ. ඉතින් ඇහැ මෙතන. රූපෙ එතන. විඤ්ඤාණය විසින් වෙන් කරල දුන්න කියල දන්නෙ වත් නෑ. තණ්හාවට වැහිල හින්ද විඤ්ඤාණය ගැන දන්නෙ වත් නෑ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි තුන් පොළක තියෙනව වගෙ හිතුණට මේ තුන සමුදය වෙන්නෙ එකට මයි. බාහිර ලෝකෙ මොනව තිබණත් චක්ඛුප්‍රසාදයයි, විෂය රූපයයි, චක්ඛුවිඤ්ඤාණයයි සමුදය වුණේ මේ මොහොතෙ. ආයතන හයෙන් ම කෙරෙන වැඩේ ඕකයි.

ඉතින්, සතිසම්පජඤ්ඤය නැත්නම් මොකද වෙන්නෙ? බාහිර දේවල් හොය හොය සතුටු වෙන්න බලනව. මේ ධර්මතා යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරමින් වටහා ගන්න මහන්සි ගන්න කොට සතිසම්පජඤ්ඤය සපිරෙනව. ඉතින් මේ සිහිනුවණ නිසා සපිරෙන්නෙ මොකක් ද? ඉන්ද්‍රිය සංවරය. (ඉනද්‍රියසංවරං) ඉන්ද්‍රියසංවරය තියෙනව නම් සපිරෙන්නෙ මොකක් ද? කායසුචරිතය. වාක්සුචරිතය. මනෝ සුචරිතය. (තීණි සුචරිතානි) කයේ, වචනයේ, සිතේ හැදියාව තමයි සීලය කියන්නෙ. මෙතෙන්ට එන්න සත්පුරුෂ සංසේවනයෙ ඉඳන් කොච්චර දේවල් සකස් වෙන්න ඕන ද? දැන් ආපස්සට ටිකක් හිතල බලන්න. මේ විදියට සුචරිතය සකස් වෙනව කියන්නෙ සතරසතිපට්ඨානයත් පිරිපුන් වෙනව. ඒ නිසා සප්ත බෝධ්‍යඞ්ග ධර්මත් පිරිපුන් වෙනව. ඒ හින්ද ම විද්‍යා විමුක්තිය පිරිපුන් වෙනව.

ධර්මයෝ ම ධර්මයන් පුබුදුවනව කියන්නෙ ඕකයි. එතකොට නිවන් දකිනව කියන එක කෙනකුගෙ වැඩක් නො වෙයි. ධර්මයන්ගේ පිරිපුන් වීමක්. ධර්මයන් පිරිපුන් වීමේ තත්ත්වය ඒක නම් ‘මම සිල්වත් වෙමි’, ‘මම සමාධිමත් වෙමි’, ‘මම ප්‍රඥාවන්ත වෙමි’, ‘මම නිවන් දකිමි’ කියල මමත්වය ඉදිරියට ගන්නව නම් ඒකෙන් පෙනෙන්නේ ‘මට කිසියම් තත්ත්වයකට පත් වෙන්න වුවමනා කරනව’ කියන එකයි. එය තමන්ගෙ ම අනන්‍යතාවක් ගොඩනඟාගැනීම පිළිබඳ අපේක්‍ෂාවකට වැඩි දෙයක් නො වෙයි. අපි හිතල බලමු සීලය ගැන. සීලයට අවශ්‍ය පසුබිම සකස් වෙල තියෙනව නම් ඒ සමග ම සීලය පිබිදෙනවා ඇති.

ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයට අනුව නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි ආජීවය කියන්නෙ සීලය බව අපි දන්නව. කෙනකුගෙ කය වචනය හැසිරවෙන්නෙ ඒ තැනැත්තාගේ කල්පනාවලට අනුව. ඒ කියන්නෙ හිතන විදියට. ඒක තේරෙනව නේ. එතකොට කල්පනා කරන්නේ, දෘෂ්ටිවලට, පිළිගැනීම්වලට අනුව. සංකල්ප විතර්ක ගොඩනැඟෙන්නෙ හිතේ. සංසාරෙ අපි හුරු පුරුදු වුණේ, පංචකාම ගුණය පිළිබඳ කාමවිතර්ක ගොඩනඟන්න. ව්‍යාපාද , විහිංසා, විතර්ක ගොඩනඟන්න. එහෙම නම් වචනයෙන් කයින් සිතින් දුසිරිත් ක්‍රියාත්මක වෙන්නෙ ඒ පුරුදු පුහුණු වෙච්ච විතර්කවලට අනුව. ‘මම’ ඇත්තෙක්. ‘දේවල්’ ඇත්තයි කියන සක්කායදිට්ඨිය නිසා තමයි, කාම, ව්‍යාපාද, විහිංසා, විතර්ක ගොඩනැඟුවේ. ඒ විතර්කවලට අනුව තමයි, හැසිරුණේ. දැනුත් ඒ දේ ම නම් කෙරෙන්නේ, මතුත් එය ම කරනවා ඇති. සසරත් නිම නො වෙනවා ඇති. මෙන්න මේ සත්‍යය දැනගෙන අපි කළ යුත්තේ නිවරදි දැක්මට පැමිණීමයි. සම්මාදිට්ඨිය හරියන කොට තමයි කල්පනා නිවැරදි වෙන්නෙ. කල්පනා නිවැරදි වුණොත් තමයි සීලය පිබිදෙන්නෙ. අපි සම්මාදිට්ඨිය පිණිස දැනගන්න ඕන ප්‍රධාන ම කාරණය තමයි, ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයට අනුව සළායතනික අත්දැකීම් ලෝකය සකස් වන ආකාරය තේරුම් ගැනීම.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *