ගුණපාල කාරියවසම්
බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගලාව නමැති ගමට වැඩම කළේ සදහම් පිපාසාවෙන් සිටින එගම සැදැහැවතුන්ගේ පිපාසාව සංසිඳුවීම පිණිසය. බුදුන් වහන්සේ තම ගමට වැඩම කළ ආරංචිය විශාල පිරිසක් ඇති එගමේ පැතිර ගියේ ළැව් ගින්නක් ලෙසිනි. විශාල පිරිසක් රැස් වූහ.
බුදුන් වහන්සේ එදින එගම වැසියන්ට අමුතු දහමක් දේශනා කළහ. ‘ජීවිතය අනියත බවත් මරණය පොදු ධර්මතාව’ බවත් දේශනා කළ බුදුන් වහන්සේ ඔවුනට ‘මරණ සතිය’ වඩන අයුරු දෙසූහ. මරණ සතිය වඩන ආකාරය ගැන මනා වැටහීමක් ඇතිකර ගත් බොහෝ දෙනා සතුටට පත්වූහ. සමහර දෙනා මරණානුස්මෘතිය ජීවිතාන්තය තෙක් වැඩීමට ඉටා ගත්හ. මේ අගනා දහම ඇසූ පිරිස අතර ගැහැනු, පිරිමි, බාල, මහලු, තරුණ, ගිහි පිරිස් ද සිටියහ. පෙර පින්කර ඇති පිරිස් ද මේ අතර වූහ. බුදුන් වහන්සේ මේ අගනා දහම දේශනා කළේ ඔවුන් අරමුණු කරගෙනය.
මේ විශාල පිරිස අතර පෙර පින් ඇති සොළොස් හැවිරිදි (දහසය වියැති) තරුණියක්ද වූවාය. ඇය රෙදි වියන ගෙදරක පේෂකාර්මික තරුණියකි. තම පියාගේ රෙදි විවීමේ කටයුතුවලට හා ඒවා අලෙවි කිරීමේ කටයුතුවලටද ඇය සහාය දැක්වූවාය. ඇය බුද්ධිමත්ය, අනතිමානීය. නමින් ‘කාංචනමාලා’ නම් වූවාය. බුදුන් වහන්සේ දෙසූ දහම හොඳින් ශ්‍රවණය කළ ඇය එදිනෙන් පසු දිනපතාම මරණ සතිය වැඩුවාය. පුරුදු කළාය. වසර තුනක් තිස්සේම ‘මරණ සතිය’ වැඩූ ඇය දැන් එකුන් විසි හැවිරිදි හෙවත් දහනව හැවිරිදි තරුණියකි. වයසින් මෙන්ම නුවණින්ද දැන් ඇය මුහුකුරා ගොස් ඇත. ඇයගේ සිත සැහැල්ලුය. නිතරම දවස ගතකළේ සතුටිනි. තම පියාගේ වැඩවලට වැඩි වැඩියෙන් උදව් කළාය.
බුදුරජාණන් වහන්සේ වසර තුනකට පසු නැවත වරක් මුලින් සඳහන් කළ අලව් නුවර ‘අග්ගලා’ නම් ගමේ පෙර දහම් දෙසූ ස්ථානයටම වැඩම කළහ. වසර තුනකට ඉහතදී තමන් වහන්සේ විසින් දේශනා කළ දහමේ ප්‍රතිඵල කවරේ දැයි දැනගැනීමට විය හැකිය. බුදුන් වහන්සේගේ වැඩම කරවීම අසා දැනසිටි බොහෝ පිරිසක් රැස්ව ඇත. පෙර දිනයට වඩා වැඩි පිරිසකි. එහෙත් බුදුන් වහන්සේ තවමත් ධර්මය දේශනා නොකරන්නේ මන්දැයි කිසිවකුට තේරුම්ගත නොහැකිය. කෙතරම් පිරිසක් රැස්ව සිටිය ද තමන් වහන්සේ අරමුණු කරගෙන තිබෙන චරිතය ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන තෙක් දේශනාව ආරම්භ නොකිරීම උන්වහන්සේගේ සිරිතකි.
මෙදින කාංචනමාලාව ඇමැතූ තම පියා වියාදීමට භාරගත් සළුවක් ඒ තැනැත්තාගේ නිවස වෙත ගොස් භාරදෙන ලෙස නියම කළාය. බැහැයි නොකියා එය භාරගත්තේ ඉමහත් සතුටිනි. පියා විසින් භාරදුන් සළුව අයත් පුද්ගලයාගේ නිවසට බුදුන් වහන්සේ දහම් දෙසන ශාලාව පසුකර යා යුතු බව ඇය දනී. එවිට බුදුන් වහන්සේගේ ධර්මයත් ඇසීමට අවස්ථාව ලැබෙන හෙයින් ඉතා සතුටින් එම වගකීම භාර ගත්තාය. ඒ නිසා බණ ඇසීමට පළමු අවස්ථාව තබාගෙන සළුව භාර දීම දෙවෙනි අවස්ථාව ලෙස ඇය තෝරාගත්තාය. පියා දුන් සළුවද රැගෙන ඇය ඉක්මනින් පියමං කළාය.
බණ මඩුවේ රැස්ව සිටි විශාල පිරිස පීරාගෙන ඇය බුදුන් වහන්සේ ඉදිරියටම පියමං කළාය. රැස්ව සිටි පිරිස මුවින් කිසිවක් පිට නොකළ ද තුෂ්ණිම්භූතව බලාගෙන සිටියහ. කිසිදු ලැජ්ජාවක් හා බියක් නොමැතිව තමන් වහන්සේ ඉදිරියට කංචනමාලා පියමං කරන අයුරු බලා සිටි බුදුන් වහන්සේ ඇය ඉදිරියට එනවාත් සමගම ඇයගෙන් මෙසේ ප්‍රශ්න කළහ.
“ඔබ කොහි සිට එන්නේද දියණියනි”
“මම නොදනිමි ස්වාමීනි” යි ඇය කීවාය.
එසේ නම් ඔබ කොහි යන්නේද? දියණියනි”
“ස්වාමීනි මම නොදනිමි”යි ඇය කීවාය.
“තොප නොදන්නේද? දියණිය”
“අනේ ස්වාමීනි මම දනිමි”
“තොප දන්නේද දියණිය”
“අනේ ස්වාමීනි මම නොදනිමි”
බුදුන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නවලට මේ තරුණිය පිළිතුරු දුන් ආකාරය ගැන බණ මඩුවේ රැස්ව සිටි පිරිස මහත් නොසන්සුන්තාවයකට පත්වූහ. වැඩිහිටි පිරිස විවිධ මත පළ කළහ.
“පිස්සු කෙල්ලක්” අයෙක් පැවසූහ.
“කිසි ගරුසරුකමක් දන්නෙ නැති මෝඩ කෙල්ලක්” කාන්තාවක් පැවසුවාය.
“ගණිකාවක් වෙන්න ඇති” තරුණියක් කීවාය.
අම්ම තාත්තලගෙ වැරැද්ද’ තරුණයෙක් එසේ කීවේය.
මෙසේ විවිධ චෝදනා නඟමින් බණ මඩුවේ සිටි පිරිස කෝපයට පත්වූහ.
බුදුන් වහන්සේ පිරිස සන්සුන් කළහ. සියලු පිරිස එයට අවනත වූහ. මීයට පිම්බාක් මෙන් ශාලාව නිශ්ශබ්දය. ‘කාංචනමාලාගේ මේ ප්‍රහේලිකාව ඇයටම විසඳා දෙන ලෙස බුදුන් වහන්සේ ඉල්ලීමක් කළෙන් ඇය එයට එකඟ වූවාය.
‘දියණියනි, මම ඔබගෙන් මුලින්ම ඇසුවේ ‘ඔබ කොහි සිට එන්නේද? කියායි. එයට ඔබ නොදනිමියි කීවේ කවර කාරණයක් නිසාද?”
ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම මෙතැනට ආවේ මාගේ නිවසේ සිට බව ඔබ වහන්සේ මනාකොට දැනගෙනත් මගෙන් එම පැනය ඇසුවේ ඊට වඩා ගැඹුරු පිළිතුරක් බලාපොරොත්තුවෙන් බව මම දනිමි. ඒ බව මේ ශාලාවේ සිටින පිරිස නොදන්නවා විය හැකිය. මම එම පැනයට ‘නොදනිමියි’ කීවේ කොතැනකින් චුතවී මෙලොවට ආ බව මම නොදන්නා නිසයි ස්වාමීනි”
“සාධු, සාධු, සාධු දියණියනි”
“දෙවෙනි පැනය ලෙස කොහි යන්නේ දැයි ඇසූවිට නොදනිමියි කීවේ ඇයි දියණිය.”
“ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, බණ අවසන්වූ පසු මාගේ පියාගේ නිවසට මා යන බව ඔබවහන්සේ මනාකොට දැනගෙනත් එම ප්‍රශ්නය මාගෙන් ඇසුවේ මේ ආත්ම භාවයෙන් පසු කවර භවයෙක මා උපදී දැයි දැනගැනීමටයි. එය මම කෙසේවත් නොදන්නා නිසයි නොදනිමියි කීවේ.
“සාධු සාධු, සාධු, දියණියනි. ඔබ හරිම බුද්ධිමත්. තුන්වෙනුව ඔබ නොදන්නේ දැයි ඇසූවිට ‘දනිමියි’ කීවේ කවර කාරණයක් නිසාද?”
“මාගේ අමා මෑණි බුදුරජාණන් වහන්ස, කවදා හෝ මාත් මරණයට පත්වෙන බව හොඳාකාරවම ස්ථිරවම දන්නා නිසයි මම ඔබ වහන්සේගේ එම පැනයට දනිමියි කීවේ” යනුවෙන් කාංචනමාලා පිළිතුරු දුන්නාය.
“සාධු, සාධු, සාධු දියණියනි. ඔබ හරිම ප්‍රඥාවන්තයි.’ හතර වෙනුව දන්නේ දැයි මා ඇසූ ප්‍රශ්නයට නොදනිමියි කීවේ කවර අරුතක් නිසාද?”
“භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, කවදා හෝ මා මැරුණ ද මැරෙන දිනය, මැරෙන වේලාව, මැරෙන ආකාරය හා ඉන්පසු සිදුවන දේ මම කොහෙත්ම නොදනිමි. ඒ නිසා ඒ පැනයට මම නොදනිමියි කීවේ.”
“සාධු, සාධු, සාධු, දියණියනි” යි බුදුන් වහන්සේ සිව් වතාවක්ම සාධුකාර දුන්හ. රැස්ව සිටි මහ පිරිස ද සාධුකාර දුන්හ. බණ මඩුව ගිඟුම් දුන්හ. ඔවුහු ප්‍රීති ඝෝෂා කළහ. දැන් ඔවුන්ගේ මනසද වෙනස්වී ඇත. කලින් ආඩපාලි කී පිරිස බැණ වැදුණු පිරිස දක්‍ෂ කෙල්ලක්, පිං ඇති කෙල්ලක්, උගත් කෙල්ලක් ආදී වශයෙන් තොල් මතුළාහ. ශාලාවේ ඇතිවූ සාධු නාදය දෙව්ලොව දෙවියන්ට ද ඇසුණි. දෙවියෝ ද සාධුකාර දුන්හ.
අනතුරුව බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළහ. දේශනාව අවසානයේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බණ මඩුවට අන්තිමට පැමිණි කංචනමාලා සෝවාන් ඵලයට පත්වූවාය. බණ මඩුවට විශාල පිරිසක් පැමිණ සිටිය ද කාංචනමාලාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් ධර්මය දේශනා නොකළහ. වසර තුනකට පසුව එම ස්ථානයට බුදුන් වහන්සේ වැඩම කළේ ඇය නිසාමය.
බුදුරජාණන් වහන්සේ එදා ඇය අරමුණු කරගෙන දේශනා කළ ගාථාව මෙසේය. එම ගාථාව බෞද්ධයාගේ අත්පොත ලෙස අප අතර ප්‍රචලිත ධම්ම පදය නමැති ග්‍රන්ථයේ ලෝක වර්ගයේ සඳහන්ය.
අන්ධභූතෝ අයං ලෝකෝ
තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝච
අප්පෝ සග්ගාය ගච්ඡති
ලිපිය දිග වැඩිවන නිසා මේ ගාථාවේ අර්ථය ද කෙටියෙන් විමසා බලමු.
‘මේ ලෝකයේ ජනයා අන්ධභූතව වාසය කරත. ස්වල්ප දෙනෙක් පමණක් නියම ආකාරයෙන් ලෝකය දකිත්. ඔවුහු දැලෙන් මිදුණු කුරුල්ලන් සේ ස්වර්ගය කරා යති යනු කෙටි තේරුමයි.’ පොතපත කියවා බලා ධර්ම දේශනාවන්ට සවන්දී ඔබගේ දැනුම තවත් වර්ධනය කරගන්න.
තම අභිප්‍රාය සපුරාගෙන සෝවාන් ඵලයට පත් කාංචනමාලා තම නිවස වෙත පියනැඟුවේ ඉතාමත් සන්තෝෂයෙනි. ඇය කපු කටිමින් සිටි පියාට උදව් කළාය. පියාගේ කිසියම් ප්‍රමාදයකින් රෙදි කටින යන්ත්‍රයේ ලීයක් (පොල්ලක්) ඇයගේ ළය මත වැදීමෙන් ඇය මරණයට පත්වූවාය. තම දියණියගේ හදිසි මරණයෙන් ඉමහත් සිත් තැවුලට පත් පියා බුදුන් වහන්සේ වෙත ගොස් සියලු පවත් කියා බුදුන්ගෙන් බණ අසා පැහැදී මහණ වූහ.
මේ ලිපිය හොඳින් කියවා බලන්න. නැති නම් අන් අයටත් ලබාදෙන්න. මේ ලිපියේ ඇති බුදුරජාණන් වහන්සේ අසා ඇති ප්‍රශ්නත් ඒවාට කාංචනමාලා ලබාදී ඇති පිළිතුරු නොව ඒවායේ යටි අරුත හෙවත් ගැඹුරු අරුත හොඳින් වටහාගන්න.
ප්‍රශ්න අසා ඒවාට පිළිතුරු ලබාගෙන ඒ තුළින් ගැඹුරු දහමක් සරල ලෙස වටහා ගැනීමට අවස්ථාව සැලසීම බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ එක් දේශන සම්ප්‍රදායකි. මෙවැනි අවස්ථා බොහෝ තිබේ. අප රටට බුදු දහම හඳුන්වා දීමට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ අප රටේ රාජ්‍ය නායකයා වූ දේවානම් පියතිස්ස රජතුමාගෙන් අඹ පැනය හා නෑ පැනය තුළින් රජතුමාගේ බුද්ධිය වටහාගත් අයුරු ඔබ හොඳින් දක්නා බව මම විශ්වාස කරමි.
ඔබ කලණ මිතුරන් ආශ්‍රය කර ජීවිතය ජයගැනීමට උත්සාහ ගන්න. ඔබේ හොඳම කලණ මිතුරා ඔබේ පන්සල තුළ වැඩවාසය කරති. ඔවුන් ඇසුරු කරන්න.
ඔබට තෙරුවන් සරණයි.

