ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අපේ අත්තම්මා සහ අම්මා අප කැටුව බාලවියේ කැලණිය විහාරයට වන්දනා ගමනක් ගිය සැටි මතක ය. ඒ දශක හයකට පෙරාතුව ය. අප ගියේ කැලණි ගඟ හරහා පාරුවකිනි. 2024 නත්තල් දිනයේ කැලණිය විහාරය වන්දනා කළෙමි. දහස් ගණනක් උවැසු උවැසියෝ බෝමළුවේ, සෑමළුවේ, බුදු මැඳුරේ ගාථා කියති. පිරිත් කියති. භාවනා කරති. මල් පහන් පුදති. කුමන අසිරියක්ද? අමරදේවයන් ගැයූ “වරක් ගොසින් අපි වැන්දොත් කැලණි විහාරේ…. උපන්දා පටන් කළ පව් නැතිවී යන්නේ…” ගීය මතක් විය. ඒ ගීය රචනා කළේ ධර්මසිරි ගමගේ කවියා ය.
කල්‍යාණිතො ගගනතො මුනියත්ථ ගනිත්වා
දස්සෙසි චක්ක වර ලක්ඛණ පාද ලාංඡණං
ලංකා මහී වරවධූ මකුටෝප මානං
වන්දා මහං සුමනකූට සිලුච්චයන්තං
ඉහත සඳහන් ප්‍රසිද්ධ පාලි ගාථාව මට ඉගැන්වූයේ ද කැලණි විහාරය ගැන දැනුම ලබාදුන්නේ ද ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක හිමියන් විසිනි. එහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙකි. කැලණිය විහාරවාසීහු ය. දහම් පාසලේ ප්‍රධානාචාර්යවර හිමිපාණෝ ය.
මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපී චෙතිංච මුතියංගණං
තිස්ස මහා විහාරංච බොධිං මරිචවට්ටියං
සොණ්ණමාලි මහා චෙතියං ථූපාරාම භයාගිරිං
ජේතවනං සේල චේතියං තථාකාචර ගාමකං
ඒතේ සෝළසඨානානි අහං වන්දාමි සබ්බදා
ජනශ්‍රැතියේ හා ලංකා ශාසන වංස කතාවේ ජන ඉතිහාසයේ සඳහන් පරිදි බුදුරජාණෝ තෙවරක් ලංකාදීපයට වැඩම කළහ. මියුගුණ සහ නාගදීප ගමන් දෙකම නොසන්සුන් කාල වකවානුවක් තුළ සිදු විය.

දීපවංසය, මහාවංසය හා සමන්තපාසාදිකාව, විනය අට්ඨ කතාව වැනි මූලාශ්‍රය ඊට දෙස් දෙයි. මුල්වරට බුදුපියාණන් වහන්සේ ලක්බිමට වැඩම කළේ මහියංගණ (බිංතැන්න පෙදෙසේ) බිම් පෙදෙසේ යක්ෂ දෙපිරිසක් අතර ඇතිවූ එම ආරාවුල සමනය කිරීමට ය. මහවැලි නදිය අසබඩ පිහිටි මහානාග වන උයනේදී පැවැති යක්ෂ ගෝත්‍රික කැරැල්ල බුදුරදුන් විසින් සංසිඳ වූයේ අහසේ ඵලසක් බැඳගෙන ය. එහි සිට යක්ෂ දෙපිරිසට සදහම් දෙසූහ. බුදුරදුන් දෙසූ දහම් අසා සුමනකූට වාසී සුමන දෙව් රජු සෝවාන් ඵලයට පත්විණැයි මහාවංසයේ සඳහන් ය. එම උද්වේගකර අවස්ථාවේ සර්වඥයන් වහන්සේ වෙතින් වැඳුම් පිදුම් කිරීමට යමක් ඉල්ලා සිටි සුමන දෙව්රදුට බුදුහු තම සිරස පිරිමැද කේශධාතුන් ස්වල්පයක් ප්‍රදානය කළහ. එය ගරු බුහුමනින් යුතුව පිළිගත් සුමන දෙව් රජ මහියංගණ ස්තූපය සත් රියන් උසට කරවා මිණි කරඬුවක කේශ ධාතු තැන්පත් කොට එම කරඬුව සත්රියන් උසට කැරැවූ දාගැබෙහි තැන්පත් කළ බැව් මහාවංසය පවසයි. එහිදී සුමන දෙව් රජ තම වාසභවනය වන සුමන කූටයට වඩින ලෙස බුදුරජුන්ට ඇරැයුම් කළ බවද මහාවංසය කියයි.
බුද්ධත්වයෙන් පස්වැනි වස, බුදුරජාණෝ දෙවැනි වර ලක්දිව නාගදීපයට වැඩම කොට චූලෝදර -මහෝදර කලහය සංසිඳුවා ලූහ. තෙවැනි වර ලංකාගමනය සිදුවුණේ බුදු බවින් අටවැනි වසරේදී ය. එම පුණ්‍ය භූමිය කැලණියයි. කැලණියට වැඩම කළේ රහතන් වහන්සේ 500 දෙනා සමග වෙසක් පෝය දිනකදී ය. එම රහතන් වහන්සේලා සමග දහවල් දන් වළඳා සිටි අවස්ථාවේ කැලණියේ සිට බැලූ කල, නැඟෙනහිර දිසාවේ පිහිටි සමන් ගිරි පව්වේ පිහිටි සුමන දෙව් රජුගේ වාසභවනයට වැඩම කළහ. සමන් කුළු පව්වෙහි වම් සිරිපා ලකුණ පිහිටුවා වදාළ බවත්, පසුව සමන් ගිරි පාදයේ පිහිටි දික් වූ ලෙනක (දිවා ගුහාව – භගවා ලෙන යැයි කියති) දිවා විහරණය කොට සිරිලක සොළොස්මස් තැන්හි මොහොතක් සමවත් සුවෙන් වැඩ සිට නැවත දෙව්රම් වෙහෙර බලා වැඩම කළ බවයි, මහාවංසයේ සඳහන් වන්නේ.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සන්දේශයේ 25 පද්‍යය කදිම නිදසුනක් ගෙන හැර පායි.
සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැරැ පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙන හිර
කැලණියේ විහාර සීමාවෙන් ඔබ්බේ පිහිටියේ ශ්‍රී විභීෂණ දේව මන්දිරයයි. කෝට්ටේ සවැනි පැරකුම් රජුගේ බිසව උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දෙන්නැයි විභීෂණ දෙවිඳුන්ට කළ ඇරැයුම් බාරය ගෙන එන්නේ සැළලිහිණියා ය. එම ගමන් මාර්ගයේ වූ ගම් අදත් එම නම්වලින්ම හැඳින්වෙයි. කැලණිය වෙහෙර උස් බිමේ අහස පැහැදිලි වේලාවන්ට පෙරදිග බලන විට සමනොළ ගිර දිස්වෙයි.
යන්නම් මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡණ මහං සිරසා නමාමි
සමනොළ ගිර සම්බුදු පියාණන්ගේ සිරිපා පිහිටුවීමට අමතරව බුදුරජුන්ගේ ශ්‍රී පාද ලාංඡනය තවත් පින්බිම් තුනක පිහිටුවා ඇතැයි මේ ගාථාවේ කියැවේ. එනම් නර්මදා නදී තීරය, යෝනක පුරය, සච්චබද්ධ පර්වතයයි. බෞද්ධයෝ මේ ගාථාව කියමින් සිරිපා වඳිති.

මුලින් කියූ පරිදි බුදුරජහු කැලණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජුගේ ඇරැයුම පිළිගෙන ය. බුදුරජාණෝ වැඩසිටි මැණික් ආසනය සහ පුදනු ලැබූ පිරිකර ගොඩගැසූ විට ධාන්‍ය ගොඩක් සේ දිස් විය. ධාන්‍යාකාර චෛත්‍යයක් කැලණියේ ගොඩනැඟුණි. එබැවින් කැලණිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් පුණ්‍ය භූමියකි. වසර දහස් ගණනක් පැරැණි ඉතිහාසයක් ඇති කැලණි විහාරයේ කැලණිතිස්ස රජු කල, විශාල භික්ෂු පිරිසක් වාසය කළහ. මේ ගමනේදී බුදුරදුහු කැලණි නදියෙන් ජලස්නාන කළහයි කියති. එම තෙත බුදු සිවුර වියැළීමට එළා තිබූ අතර එය තැන්පත් කළ ස්ථානයේ සාදා ඇති දාගැබ සිවුරු දාගැබ ලෙස හැඳින්වුණි. ක්‍රි.ව. 164 – 192 කාලයේ සිටි කනිෂ්ක තිස්ස රජු විසින් භික්ෂු විනය කර්ම කිරීමට පෝය ගෙයක් සාදවන ලදී. ක්‍රි.ව. 214 – 236 රජ කළ වෝහාර තිස්ස රජ චෛත්‍යයට වස්ත්‍ර පූජා කළේය. පුලතිසි පුරයේ මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජවරු කැලණි විහාරයේ දියුණුවට විශාල සේවයක් කළහ. කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව කැලණිය විහාරය ද පරිහානියට පත් විය. 3 විජයබාහු රජ සමයේ පිරිහුණු කැලණි විහාරය නැවත ගොඩනැඟුණි. දෙවන පරාක්‍රමබාහු, සවැනි පැරකුම්බා රජවර කැලණිය විහාරය දියුණු කිරීමට කටයුතු කළහ.

1505 පෘතුගීසි ආක්‍රමණයේදී කෝට්ටේ රාජධානියේ පුරාවස්තු කොල්ලකන ලදී. 1575 දී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැලණි විහාරය කොල්ලකෑවෝය. ආගමික වතාවත් පවා තහනම් කරන ලදී.
මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන් කැලණි විහාරය නැවත ගොඩනැංවීමට ක්‍රියා කළහ. නරේන්ද්‍රසිංහ රජු ද කෙත් වතු පූජා කළේ කැලණිය විහාරය දියුණු කිරීමටයි. ධාතු පූජා, බුද්ධ පූජා, පෙරහැර පූජා යනුවෙන් සෙල් ලිපි, පුවරු ලිපි, ටැම් ලිපිවල රාජානුග්‍රහය ගැන සඳහන් වේ. මුතුරාජවෙල එක් ප්‍රධාන ගෝචර භූමියකි. රජමහ කැලණිය, කිත්සිරි මෙවන්, විභීෂණ දේවාල ගැන නම්, පොතේ ද සඳහන් ය. රජ කාලයේ පොල්වත්තක් ද පූජා කර තිබේ.
පරිහානියට පත්ව තිබූ කැලණිය විහාරය නැවත ගොඩනංවන්නට වූයේ 1888 මැයි මස වෙසක් පුර පසළොස්වක පොහෝදා ය. සේදවත්තේ වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාතැනී ඊට මුල් වූවාය. එතුමියගේ පුත් වෝල්ටර් විජයවර්ධන මහතා 1927 දී බුද්ධ පූජාව – ධාතු පූජාව වශයෙන් දුරුතු පෙරහැර පූජාව ආරම්භ කිරීමට මුල් විය.


ලෝක පූජිත සොයිලියස් මැන්ඩිස් චිත්‍ර හා මූර්ති ශිල්පි කලාකරුවාට එහි නිර්මාණ ව්‍යාපෘතිය භාරදී තිබේ. අනුරාධපුර යුගයේ චිත්‍ර මූර්ති ද ගෘහ නිර්මාණ ද ඉන්දියාවේ අජන්තා එල්ලෝරා චිත්‍ර සම්ප්‍රදාය ද අධ්‍යයනය කළ කලාගුරු ඉතා අගනා නිර්මාණ රාශියක් කළේ ය. දළ සිතුවම් සටහන් ද අද පවා දැකගත හැකි ය. ඔහුගේ අභ්‍යාස වෘද්ධභාවය පරීක්ෂා කිරීමට කැලණියට අයත් මල්වාන, ලෙනගම්පළ විහාරයේ චිත්‍ර ඇඳීමට ඔහුට මුලින්ම භාරදී ඇත. එම සිතුවම් අදටත් දැකගත හැකි ය.
වෝල්ටර් විජයවර්ධන මහතාගේ පුත් උපාලි විජයවර්ධන මහතා කැලණි විහාරයේ බස්නායක නිලමේ පදවිය දැරීය. ඒ මහතා පසු කාලයක කැලණිය විහාරයේ අභිවෘද්ධියට විශාල මෙහෙවරක් කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද හොබවා කැලණිය රජමහ විහාරයේ නායකත්වය දරමින් දුරුතු පෙරහැර ද විශාල සුබසාධන සේවා, දහම් පාසල්, ශාසනික මෙහෙවර මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ නූතනයේ සුවිශාල මෙහෙවරක් ඉටු කරති. ධම්මික ආටිගල මහතා වර්තමාන බස්නායක නිලමේවරයා ලෙස ක්‍රියා කරයි.

උඳුවප් පොහොයෙන් ඇරඹි දුරුතුපුර පොහොය දක්වා ශාසනික, ආගමික, ආධ්‍යාත්මික වැඩසටහනක් කැලණිය විහාරයේ ක්‍රියාත්මකවෙයි. ධර්ම දේශනා මාලාවක්, බුද්ධ පූජා, දන්වැට පැවැත්වීම් සහ සති පිරිතත් දොරකඩ අස්න පූජාවන් පවත්වමින් අලුත් වර්ෂයේ ආරම්භක දුරුතු පොහොයට පැවැත්වෙන දුරුතු මහ පෙරහැර සපුරාම සම්බුද්ධ පූජාවක් ලෙස පැවැත්වේ. රටටත් ලොවටත් ආසිරි පතමින් පැවැත්වෙන මේ අලංකාර දුරුතු පෙරහැර නැරඹීමටත් කැලණිය විහාරය වන්දනා කිරීමටත් දැකබලා ගැනීමටත් දස දහස් ගණනින් දේශීය මෙන්ම විදේශීය භික්ෂු භික්ෂුණීන්, මෙහෙණින් වහන්සේ, උපාසක උපාසිකාවන් ද සංචාරකයන් ද පැමිණෙන්නේ අලංකාර, චිත්තාකර්ෂණීය නිරාමිස සුවයක් ද නිවන් මඟට පිවිසෙන සැදැහැ ගුණ නුවණ පුබුදුවා ගැනීමට ඉඩ ලැබෙන කදිම ආශීර්වාදයක් වන හෙයිනි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ලාංකික පුස්කොළ පොත් එකතුවේ කැලණිය පුදබිම පිළිබඳ ඉතිහාසය දීපංකර බුද්ධ කාලය තෙක් දිවෙන බව සඳහන් කර ඇත. එම මූලාශ්‍රය ග්‍රන්ථය අපට කියැවීමට නොබෝ දිනකින් ලැබෙනු ඇත.
මේ ලිපිය සැකැසීමේදී වසන්ත සිල්වා හා උපේන්ද්‍ර අබේසුන්දර මහත්වරු උපකාර කළහ.

