දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැ කී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙ කී
නිවනට සපැමිණි සඟ සැට නම කී
පෙර, පූර්වයෙහි; දහමට සරිකොට, ධර්මයට අනුරූප කොට හෙවත් ධර්මානුකූලව; එළුවෙන්, සිංහල භාෂාවෙන්; කී, කීවා වූ; කවියට, කාව්‍යයට; නිසැකි, නිශග්ංකීව හෙවත් සැක රහිතව; සිත පහදා සිට, චිත්ත ප්‍රශන්න කොටගෙණ; නොයෙකී අනෙක්කාරණයෙන්, කඳපිළිවෙළ දොස්, ස්කන්‍ධ පටිපාටියෙහි දෝෂයන්; සිහිකොට ස්මරණයකොට; නිවණට සපැමිණි, නිර්වාණයට සමප්‍රාප්තවූ; සඟසැටනමකි. සංඝයා සැට නමක්ය, (හෙවත් සැට නමක්. නිවණට සම්ප්‍රාප්ත වූවෝය.)
කඳ පිළිවෙළ – ස්කන්‍ධයන්ගේ පිළිවෙළ (සංක්‍ෂේපයෙන් මෙහි දක්වනු ලැබේ) මෙහි සඳහන් සංක්‍ෂේපය පිටු 20කි. එම පිටු විස්ස තව වරක් (සංක්‍ෂේපයෙන් දක්වන්නේ දීර්ඝ වැඩි නිසාය)
සත්‍වයා රාශි හෙවත් කොටස් පසකට බෙදා තිබේ.
එනම්:-I. රූප, II. වේදනා III.සඤ්ඤා IV. සංකාර V.විඤ්ඤාණ යන මේ ස්කන්‍ධයෝ පස්දෙනා වෙති. මේ පඤචස්කන්‍ධයෝම එක එක සත්‍වයෙකු විසින් “මමය මාගේ ය‘යි තෘෂ්ණ විසින් අල්ලාගනු ලබන බැවින් ඒ ඒ සත්‍වයා අයත් ස්කන්‍ධ පඤචකයම ඕහට “උපාදාන ස්කන්‍ධ ලෝකය” නම් වේ. ඒ මේ පක්‍චස්කන්‍ධය “නාමය රූපය’‘ යි විප්‍රකාරවේ. එයින් රූප ස්කන්‍ධය රූප නම් වේ. වේදනා, සඤ්ඤා, සංකාර, විඤ්ඤාණ යන සතර ස්කන්‍ධය නාම (හෙවත් අරූපස්කන්‍ධ නම් වේ.) කවර හෙයින් නාම නම් වීදයත්? රූපය තමා වෙත නමාගන්නා අර්ථයෙන් නාම නම් වේ (හේ මෙසේ දත යුතු:- යමි, සිටිමි, හිඳිමි හෝ නිදමි ක්‍රියා සිත උපන් කල්හී මේ ශරීරයද ඒ ඒ ක්‍රියාවෙහි නැමෙන්නේය. සිත උප උපන් ලෙසම රූපය ඒ ඒ ක්‍රියාවට නැමි නැමී පවත්නේය.
රූප ස්කන්‍ධය – “සීත ඌෂ්ණාදී විරුද්ධ හේතූන් කරණ කොටගෙන නැසෙන බිඳෙන ස්වභාව ධර්ම රාශිය” යන අර්ථයෙන් රූපස්කන්‍ධ නම් වූ මෙම ශරීරයෙහි භූතරූප සතරක් හා ඒ භූත රූප සතර නිසා පවත්නා උපාදාය රූප විසි සතරක් දැයි රූප ධර්ම විසි අටක් වෙත්. මේ හැර අහේතුක සප්පච්චයාදී, වශයෙන් ද, අජඣත්තික බාහිරාදී වශයෙන් ද රූපකලාපාදි වශයෙන්ද රූප ස්කන්‍ධයෙහි ප්‍රභේදයෝ අනේක ප්‍රකාර වෙත්.
භූත රූපයෝ I. පඨවි II. ආපො III. තේජෝ IV. වායො යන මේ සතරයි.
I. පඨවි ධාතු රූපය :- ශරීරය පිළිබඳවූ තද රළු ගුණය ඇති දැඩි දේ, සියල්ල පඨවි ධාතු රූපයෙහි අන්තර්ගතවේ. එබැවින් හිසකේ; ලොම්; නිය; දත්; සම්; මස්; නහර; ඇට; ඇටමිදුලු; වකුගඩුව; හෘදය; අක්මාව; දලඹුව; බඩදිව; පපුව; බඩවැල; අතුනුබහන; උදර පටල; මල; හිස්මෙළ යන මේ කොටස් 20ක්. පඨවිධාතු රූපයයි දත යුතු.
II. ආපො ධාතු රූපය:- ශරීරයෙහි පවත්නා වැගිරීම් ලක්ෂණ වූ ද්‍රව්‍ය සමූහය ආපො ධාතු රූපයෙහි ඇතුළත් වේ. එබැවින් පිත්; සෙම්; සොටු; සැරව; ලේ; දහඩිය; මෙද තෙල්; කඳුළු; වුරුණුතෙල්; කෙළ; සොටු; සඳමිදුළු; මුත්‍ර යන මේ කුණුප කොටස් දොළොස ආපො ධාතු රූපයයි දත යුතු.
III. තේජො ධාතු රූපය:- ශරීරය පිළිබඳ උණුසුම් ගුණය හා පැසවන ලක්ෂණ ඇති යම් ද්‍රව්‍ය සමූහයක් ඇද්ද එය තේජා ධාතු රූප නම් වේ. යම් තේජො ගුණයකින් ශරීරය සොත පරි දේවාදීය ඇති කල්හී තැවේද යම් තේදෝ ගුණයකින් මේ ශරීරය දවාද යම් තේජෝ ගුණයකින් ශරීරය ජරාවට පමුණුවාද; යම් තේජෝ ගුණයකින් අනුභව කළ ආහාර පැසවීමට යෙයිද; ඒ මේ සතර ආකාර උණුසුම් ගුණය තේජෝ ධාතු රූපයයි දත යුතු.
IV. වායො ධාතු රූපය:- යාම් ඊම් ආදී සතර ඉරියව්වෙහි යොදවන්නා වූද, කෑම් බීම් ආදී ඒ ඒ ක්‍රියාවන් කරවන්නා වූද, ශරීරය පිළිබඳව පවත්නා යම් වායු කොට්ඨාසයක් ඇද්ද එය එය වායො ධාතු රූපය නම් වේ. උඬංගම, අධොගම, කුච්ජිසය, කොට්ඨාසය, අංගමංගානුසාරී, ආශ්වාස – ප්‍රශ්වාස යයි මෙය සය වැදෑරුම්ය.
I. උඬංගම වාතය – දෙපතුළ සිට සිරස දක්වා පවත්නා උඩුකුරුව ගමන් කරන්නා වූ වාතය
II. අධො ගම වාතය:- සිරස පටන් දෙප තුළ දක්වා පවත්නා යටිකුරුව ගමන් කරන වාතය
III. කුචජිසය වාතය:- බඩ වැල පිට හැසිරෙන වාතය
IV. කොට්ඨාසය වාතය:- බඩවැල ඇතුළත හැසිරෙන වාතය
V. අංගමංගානුසාරී වාතය:- හස්තපාදාදී ශරීරයේ සියලු අංගප්‍රත්‍යංගයන් ආශ්‍රිතව පවත්නා වාතය. මේ වායු කොට්ඨාසයේ බලයෙන් ශරීර අවයවයන් අකුලන්ටත් දිග හරින්ටත් යාම්, ඊම් ආදී සතර ඊර්යපථයෙහිම සත්‍වයා යොදවන්ටත් පුළුවන.
VI. ආශ්වාස ප්‍රශ්වාස වාතය:- හුස්ම ගැනීම හෙළීමේදී ශරීරයට ඇතුල් කරණ ශරීරයෙන් පිටකරණ වායු කොට්ඨාස මේ නම්,
“ඇත්ත ඇති සැටියෙන් නොදක්වා වෙනස් කොට දක්වමින් අස්ථිර අර්ථ ශුන්‍ය මහාභූත ක්‍රියා කරණ බැවින් භූත රූපයන්ට සතර මහා භූතයෝ යයි නම්කර තිබේ…. මනුෂ්‍යයන් මෙන් ද; තිරිසනුන් මෙන්ද; දිව්‍යරාජයන් මෙන්ද; දිව්‍යාංගනාවන් මෙන්ද; මේ ආදී සියලු ස්වභාව රූපවලින් ඒ ඒ දේ ඇති සැටිය වසන අනික් අනික් විධියකින් පෙන්නුම් කරණු ලබන්නේ මේ චතුර්විධ ධාතූන්ගේ සංයෝගවීමෙනි. ලුහුඬින්ම මෙම ධාතු සතරේ අනුසාරයෙන් රූප ස්කන්‍ධ සියල්ලක්ම සත්‍වාකාරයෙන් දක්වමි. කර්මාදීන්ගේ බලයෙන් එසේ සත්‍වාකාරයෙන් දක්වන රූපස්කන්‍ධ ස්ත්‍රී පුර්ෂාදී වශයෙන් වෙන්කොට පෙන්නුම් කරයි. කැමති සත්‍වයෙක් කෙරෙහි අන්තර්ගත මෙම ධාතු සතර වෙනස් කොට කැබලි කොට ලිහා බැළුවොත් එම රූපස්කන්‍ධය කෙරෙහි පූර්වකත පඨවි, ආපො, තේජො, වායො යන ධාතු සතරම මුත් සත්‍වයාය කියා ගිණිය හැකි යමක් අවිiමාන බව පෙණේ.”
“සතර මහා භූතයන්ගෙන් එකක්වත් සදාකාලික නොවේ… ඒවා… අනිත්‍යයි… මේ නයින් ශරීරයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කොට සසර ආලය දුරු කිරීමෙහි වීර්ය වැඩිය යුතුයි.
මෙතැන් සිට සතර භූත රූපනියා පවත්නා සූවිසි උපාදා රූපයන් ලුහුඬින් විස්තර කරණු ලැබේ.
I. යම් ද්‍රව්‍යයක පවත්නා නීල පීතාදී වූ වර්ණය, වටකුරු පැතැලි ආදී වූ හැඩ හුරුකම ආදී වූ වර්ණය, වටකුරු පැතලි ආදී වූ හැඩවුරුකම ආදී වූ ඒ ඒ දේ තත්ත්‍වාකාරයෙන් දර්ශනය කරන්නාවූ ඇස පිළිබඳව පවත්නා චක්‍ෂු ප්‍රසාද රූපයද;
II. භෙරිවීණා මේඝ ගර්ජනාදී ශබ්දයන් ශ්‍රවණය කරවන්නා වූ කන ආශ්‍රිතව පවත්නා ශ්‍රොත ප්‍රසාද රූපයද
III. මේ සුගඳ, දුගඳ යයි ආඝ්‍රාණ කළ ක්ෂණයකින් ම දැන ගැනීමට හැකි වන්නා වූ නාසය ආශ්‍රය කොට පවත්නා වූ ඝ්‍රාණ ප්‍රසාද රූපය ද;
IV. කටුක නික්තාදී රසයක් දැන ගැනීමෙහි අතිශය උපකාරී වූ දිව හා බැඳී පවත්නා ජිව්හා ප්‍රසාද රූපයද;
V. ශරීරයේ ඒ ඒ ස්ථානයන් පිළිබඳව පවත්නා හැඟීම්, රිදීම් ස්පර්ශාදීන් මේ මේ යයි වෙන් වශයෙන් දැන ගැනීම කරවන්නාවූ ශරීරය සම්බන්‍ධව පවත්නා කාය ප්‍රසාද රූපය දැයි;
මෙසේ චක්‍ෂු, ශ්‍රොත, ඝ්‍රාණ, ජීව්හා, කාය යන පfක්‍දචන්‍ද්‍රියන් ඇසුරු කොට ඒ ඒ ස්ථාන හා බැඳී ප්‍රසාද රූපයෝ පස් දෙනෙක් වෙත්.
VI. ඇසට (පෙනෙන්නාවූ) ගෝචරවූ රූපාලම්බනයද;
VII. කනට ගොදුරුවූ (ඇසෙන්නාවූ) ශබ්දාලම්බනයද;
VIII. නාසයට විෂය වූ (දැනෙන්නා වූ) ගන්‍ධාලම්බනයද;
IX. දිවට විෂයවූ රසාලම්බනය දැයි විෂයරූප (ගෝචරරූප) සතරෙක් වේ.
ගෝචරරූපයක් සම්පූර්ණවන්නේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන ධාතු සතරම ළංවීමෙනි. ආපෝ ධාතුව හැර අනිකුත් පඨවි, තේජෝ, වායො යන ධාතු තුන පමණක් ස්පර්ශවන හෙයින් ශරීරයට විෂයවූ ස්පර්ශාලම්බනය වෙන් වෙන් වශයෙන් ගිණිය යුතු නොවේ.
X. ස්ත්‍රීභාවය
XI. පුරුෂ භාවයයි භාවරූප විවිධ වේ.
“බලවත් කුසල කර්මයෙහි විපාක වශයෙන් පුරුෂ භාවයක් දුර්වල කුසල කර්මයෙහි විපාක වශයෙන් ස්ත්‍රී භවයක් සිදුවන බැවින්…සත්‍වයාගේ භාවරූපයන්ගේ වෙනස් ස්වභාව ප්‍රභේද මොනවට ප්‍රත්‍යක්‍ෂවේ.”
XII. රත්පියුම් පෙත්තක පිටබඳු පැහැ ඇති පිටපෙති හැර යට බලා තැබූ පියුම් කැකුලකට බඳු සටහණින්යුත්, පිටතින් සිලුටුවූ ඇතුළ වැටකොළු ඵලයක් සමානවූ නුවණැත්තන්ට මදක් විදහා සිටි,
මතුසම්බන්ධයි

