පූජ්‍යපාද තලල්ලේ චන්ද්‍රකිත්ති හිමිපාණෝ
ඉතා දුක් සහගත වූ, භයංකර වූ දීර්ඝ වූ සංසාර ගමනක යෙදී ඉන් බෙහෙවින්ම පීඩාවට, වෙහෙසට පත්වූ සත්ත්වයාට සැනසුම් සුසුම නියමාකාරයෙන්ම හෙළිය හැක්කේ සෝතාපත්ති ඵලයට පත්වීමෙන් අනතුරුවය.
සෝතාපත්ති ඵලයට පත්වීමෙන් ලැබෙන සැනසීම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. සසර ගමන නතර කරන්නට ආරම්භක පියවර තැබීම ඉන් එකක්. ප්‍රධානම සුවය වනුයේ දෘෂ්ටිය පිරිසිදුවීම තුළ සිට අභ්‍යන්තරයෙහි ඇතිවන මානසික සුවයයි. ඒ සුවය ලැබෙනුයේ තෙරුවනට සමීපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපන්නවීම යන සෝතාපත්ති අංග ප්‍රගුණ කිරීම නිසා දෘෂ්ටිය පිරිසිදු වීම තුළ සත්‍යාවබෝධය ආරම්භ කරන ආර්ය ශ්‍රාවකයා සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම ප්‍රහාණයත් සමගම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි නොසෙල්වෙන විශ්වාසයකින්, පැහැදීමකින් කටයුතු කරනවා. තමන් සමාදන් වන ශීලය ද ඉතා හොඳින් රකිනවා. මේ තමයි සෝතාපත්ති ඵලයට පත්වූවෙකුගේ ස්වභාවය. ඒ පිළිබඳව සංයුක්ත නිකායේ බ්‍රහ්මචාරියෝගද සූත්‍රයෙහි විස්තර කරනවා. මේ සෝතාපත්ති ඵලයට පත් වූ උතුම් ආර්ය ශ්‍රාවකයෙකු සතුවන ලක්‍ෂණ හතර සෝතාපත්ති අංග වශයෙනුයි බොහෝ සූත්‍රවල දක්වා තිබෙන්නේ. එහිදී එම අංග මාර්ගඵලාවබෝධයට පත් තැනැත්තාගේ ලක්‍ෂණ බව අපි තේරුම් ගත යුතුයි.
චතූහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ සෝතාපන්නෝ හෝති, අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ, කතමේහි චතූහි? ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ ආවෙච්ජප්පසාදේන සමන්නාගතෝ හෝති, පෙ… ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. පෙ… සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති පේ… අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අඛණාඩේහි, අචිජිද්දේහි, අසඛලේහි, අකම්මාසේහි, භූජිස්සෙහි, විඤ්ඤුප්පසfත්‍ථහි අපරාමට්ඨේහි සමාධිසංවත්තනිකේහි, ඉමේහි බෝ භික්ඛවේ, චතූහි ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ සෝතාපන්නෝ හෝති, අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති
(-බ්‍රහ්මචරියෝගධ සූත්‍රය – සංයුක්ත නිකාය-)
මහණෙනි, ධර්ම හතරකින් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා සෝවන් වූයේ, නොමගට නොවැටෙන සුලු වූයේ, ඒකාන්තයෙන්ම නිවනම ඉලක්ක කර ගමන් කරන්නේ වෙයි. මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවෙයි. මහණෙනි, මේ ධර්ම හතරින් සමන්විත වන ආර්ය ශ්‍රාවකයා සෝවන් වූයේ, නොමඟට නොවැටෙන සුලු වූයේ, ඒකාන්තයෙන්ම නිවනම ඉලක්ක කරගෙන ගමන් කරන්නේ වෙයි.
මේ සඳහාන් වූයේ සෝතාපත්ති ඵලයටත් පත් වූ කෙනෙකුගේ ආධ්‍යාත්මික ස්වභාවය විස්තර කෙරෙන ප්‍රධානතම ලක්‍ෂණ හතරයි.
1.අරියසාවකෝ බුද්ධේ ආවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති
සෝවන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වන්නේ කරුණු අවබෝධයෙන් ඇතිවන නොවෙනස් වෙන පැහැදීමක්. ඒ පැහැදීම කිසිදු බාහිර බලපෑමකින් වෙනස් වන්නේ නැහැ.
ඉතා දීර්ඝ කාලයක් දරුණු රෝගයකින් පීඩා විඳින රෝගියෙකුගේ රෝගය හඳුනාගෙන, ප්‍රතිකාර කොට සුවපත් කළ පසු ඒ රෝගය සුව කළ වෛද්‍යවරයා කෙරෙහි රෝගියාගේ සිත තුළ යම් බඳු පැහැදීමක්, ගෞරවයක් හා කෘතඥතාවක් ඇති වේද, එයට සිය දහස් ගුණයකටත් වඩා වැඩි ගුණයකින් ඇතිවන පැහැදීමකුයි සෝවාන් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වන්නේ. සසර දුක ලෝකයේ තිබෙන අතිභයානකම දුකයි. ඉපදි ඉපදි මැරි මැරී යන මේ ගමනේ අපි කෙතරම් දුක් විඳින්නට ඇද්ද? ඉතින් යමෙක් ඒ මහා දුකෙන් මිදීමේ මග පෙන්වා දෙනවා නම් ඒ උත්තමයා කෙරෙහි කෙතරම් පැහැදීමක් ඇති වෙන්න ඕනෑ ද? සසර දුක බව දැනෙන තරමටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව වන ප්‍රසාදයත් වැඩියි.
බොහෝ දෙනා අන් අයට පැහැදීම ඇති කර ගන්නේ ඔවුන්ගේ බාහිර රූප ශෝභාවෙන්. එහෙම පැහැදීම ස්ථීර නැහැ. රූපය වෙනස් වෙන කොට පැහැදීමත් වෙනස් වෙන්නේ පුළුවන්. බුදුරජාණන් වහන්සේ අගය කළේ දැක පැහැදීම නොවෙයි. බුදුරජාණන් වහන්සේ හැමවිට අගය කළේ දැන පැහැදීමයි. ‘අවෙච්චපසාද’ කියන්නේ ඒකටයි. ගුණ දැන පැහැදීමයි. ලොව්තුරා බුද්ධත්වයට පත් උත්තමයෙකුගේ ගුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගුණ දැන යමෙක් ඒ ගුණයන්ගෙන් හෙබි උත්තමයා කෙරෙහි කිසියම් ප්‍රසාදයක් ඇති කර ගන්නේ නම් ඒ ප්‍රසාදය වෙනත් කිසිම බාහිර බලපෑමකින් වෙනස් වන්නේ ද නැහැ. අචල ප්‍රසාදය කියන්නේ ඒකටයි.
බුදුරජාණන් වහන්සේ කියන්නේ අනන්ත බුදුගුණ සමුදායක් ඇති උත්තමයෙක්. ඒ උතුම් බුදුගුණ නවයකට කැටි කරගෙන ඈත අතීතයේ සිට අය බුදුගුණ ගායනා කර තිබෙනවා. ඒවාට තමයි නව අරහාදී බුදුගුණ කියන්නේ. ඉතින් සෝවාන් ඵලයට පත් වූ කෙනා මේ නව අරහාදී බුදුගුණ හොඳින් දැනගන්නවා. ඒවා ඒ තැනැත්තාට වැටහෙනවා. ඒ බුදුගුණ මනා ලෙස දැනගෙන වටහා ගෙන පැහැදීම ඇති කරගන්නා නිසා එය නොවෙනස්ව පවතිනවා. ලෝකයේ ස්වභාවය මනා ලෙස තේරුම් යනවිට එය තේරුම් ගැනීමට මග පෙන්වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ප්‍රසාදයක් සිත තුළ ඇති වෙනවා. ඒ පැහැදීම කිසිවෙකුටවත් නැති කළ නොහැකියි.
දවසක් සූරම්බට්ඨ කියා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගියා. බණ ඇසූ ඔහු සෝවාන් වුණා. ඔහුට බුදුපියාණන් වහන්සේ පිළිබඳව තිබුණේ පුදුමාකාර ගෞරවයක් හා විශ්වාසයක්. මොහුගේ විශ්වාසය මැන බලන්නට දිනක් මාර දිව්‍ය පුත්‍රයා කටයුතු කළා. එක දවසක් සූරම්බට්ඨ පන්සලට ගොස් බණ අසා ගෙදර පැමිණි පසු මාරයා බුදුරජාණන් වහන්සේට සමාන රූපයක් මවාගෙන ඒ ගෙදරට පැමිණියා. පැමිණ කියනවා, “අනේ මම කලින් කියූ බණ වැරදියි කියලා මට දැන් තේරෙනවා. ඒ මම කියපු දේවල් එසේ වෙනවාය කියා පිළිගන්න එපා” කියා. ඉතින් සූරබට්ඨ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට එසේ කවදාවත් වරදින්නේ නැහැ. මේ නම් මාරයාම විය හැකියි. එසේ සිතා ඔබ මාරයා නේදැයි විමසුවා. එවිට මාරයා බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන් සිටින්නේ තමන් බව පිළිගත්තා.
ඉතින් සූරම්බට්ඨ අහනවා ඇයි මෙහෙම බුදුහාමුදුරුවන්ගේ ස්වරූපයක්ම මවාගෙන අවේ කියලා. මාරයා කියනවා ඔබගේ ශ්‍රද්ධාව සොළවන්නටයි එසේ ආවේ කියලා. එවිට සූරම්බට්ඨ මාරයාට “මාරය, ඔබ පමණක් නොව තවත් මාරයන් සිය දහසක් වුවත් මේ විදියට ආවත් මගේ ශ්‍රද්ධාව සොළවන්නට හැකිවන්නේ නැහැ. සෝවන් මාර්ග ඤාණය සමග ඇති වන ශ්‍රද්ධාව මහාමේරු පර්වතය සේ සෙළවිය නොහැකි එකක්” යැයි පැවසුවා. මාරයා කිසිවක් කරගත නොහැකිව අතුරුදහන් වූවා. “කණ්හ පාපිම, ත්‍වං තාව ඒකෝ තිට්ඨ, තාදිසානං මාරානං සතම්පි සහස්සම්පි මම සද්ධං චාලේතුං අසමත්‍ථං, මග්ගේන ආගතා සද්ධා නාම සිලාපඨවියං පතිට්ඨිතසිනේරු විය අචලා හොති” – පපඤ්ච සූදනී – මජ්ඣිම නිකායට්ඨ කථා – වීමංසක සූත්‍ර වර්ණනාව-
අටුවාවෙහි එන මේ කතාවෙන් අපට වැටහෙන්නේ යථාභූත ඤාණ දර්ශනය පහළ කරගත් සෝවන් වූ ආර්ය පුද්ගලයාගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම වෙනත් බුදුරජාණන් වහන්සේ නමකට පවා වෙනස් කළ නොහැකි බවයි. පරම සත්‍යය කිසිදා වෙනස් වන්නේ නැහැ. ඒ සත්‍යය වටහා ගත් කෙනා එබඳු නොවෙනස් සත්‍යයක් දේශනා කළ උතුමා කෙරෙහි වන ප්‍රසාදය ද කිසිදු ලෙසකින් වෙනස් කර ගන්නේ නැහැ. මේ සෝතාපත්ති ඵලයට පත් වූ කෙනෙකුගේ ප්‍රධානම ලක්‍ෂණයක්.
2.අරියසාවකෝ ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු කෙනා ධර්මය කෙරෙහි පැහැදීම අරුමයක් නොවේ. සෝවන් වෙනවා කියන්නේම ලෝකය පිළිබඳ ධර්මතාව නිවැරදිව තේරුම් ගැනීමයි. ධර්මය වටහා ගැනීමයි. නිවනට මග කියන ශ්‍රී සද්ධර්මය පිළිබඳ මහත් වූ ගෞරවයකින් කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව දකිනවා. නියම විදියට බුදුන් දකිනවා කියන්නේ බුදුරුව දැකීමට නොවෙයි. යමෙක් ධර්මය දකිනවා ද, ඔහු තමන් දකින බවයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ. (යෝ ධම්මං පස්සති. සෝ මං පස්සති.)
ධර්මය කෙරෙහි පැහැදෙන්නට නම් දහම් ගුණ දැනගත යුතුයි. ස්වාක්ඛාත ආදී සදහම් ගුණ භය මනා ලෙස දැන, තේරුම් ගත් කෙනාට ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිවීම නවතාලීමට හැකියාවක් නැහැ. එසේම ඒ ප්‍රසාදය වෙනස් වන්නේ ද නැහැ.
ධර්මය කියන්නේ දැනගන්න, දැනගන්නම පුදුම මිහිරියාවක් ඇති දෙයකටයි. ධර්මය නිවැරදිව වටහා ගන්නා තැනැත්තා ඒ මිහිරියාව අත හරින්නේ නැහැ. ඒ නිසයි සෝවන් ඵලයට පත්වෙන කෙනා වෙනත් මාවත්වල නොයා මේ ශ්‍රී සද්ධර්මයම අනුගමනය කරන්නේ. නියම විමුක්ති රසය තිබෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය තුළ යැයි තේරුම් ගන්නා තැනැත්තා වෙනත් බාල රසයන් සොයා යන්නේ නැහැ. ඝණ අඳුරු කාමරයක ඇති රන් බඳුනක් සොයන කෙනාට ඒ කාමරය තුළ තිබෙන එම භාජනය විදුලිය එළියකින් හෝ ක්‍ෂණිකව දැක ගන්නට හැකි වුණාට පස්සේ එම රන් භාජනය සොයා වෙනත් කාමරවලට යා යුතු නැහැ. අන්න ඒ වගේ මේ තථාගත ශ්‍රී සද්ධර්මය තුළින් නිවනට මාවත දුටුවාට පසු වෙනත් මාවත්වල ගමන් කිරීම අවශ්‍ය නැහැ. එය අනුවණ ක්‍රියාවක්.

