විමල් අභයසුන්දර
සිහිලල තිසා වැව් ඉවුරෙන් හමන නල
සිහිතල ගෙනෙයි හෙළ දැයටම කවන බල
සිරි මහ බෝධියට පුද දෙන තඹුරු පෙළ
ගන්වයි සුවඳ අනුරාපුර උපුල විල
සුළඟට ලෙලෙන බෝ පත්වල සිලි සිලිය
ලොව්තුරු පෙළහරක හඬ බව පැහැ දිලිය
අරඹන බෝ මැඬෙහි මහ පින් සැණ කෙළිය
පැහැබර කරයි සිරිමත් අනුරා නිළිය
අනුරාපුරයත් මිහිඳු ගිරත් කිසිකලෙක එකින් එක වෙන්කොට නො හැක්කේය. සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් එකිනෙක වෙන් නොකළ හැක්කාක් මෙනි.
අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්කෘතියේ මධ්‍ය මණ්ඩලයයි. මිහිඳු ගිර ලංකා සම්බුද්ධ ශාසනයේ ජය ස්ථම්භයයි. ලක්දිව සද්ධර්මාලෝකය උදා වූයේ මිහිඳු ගිර, අඹතලය, මිහින්තලාව, මිහින්තලය, අම්භස්ථලය, සෑ ගිර, චේතිය ගිරි ආදී නම්වලින් හැඳින්වෙන කඳු මුදුනෙනි. පරම පවිත්‍ර බෞද්ධ සංස්කෘතිය ලංකාව පුරා පැතිර ගියේ අනුරාධපුර ශුද්ධ නගරය මධ්‍ය මණ්ඩලය කොට ගෙනය.
මහ මෙවුනාව මහ හිම් වැට පරිදි මැන
අනුරාපුරය කිනිහිරි මල් වැලඳ ගෙන
හොබවන බිමක් වුණ අද මෙන් දවස එන
හෙළ බිම වුණා මුනි සසුනට නියම තැන
අනුරාධපුරය ලංකා ඉතිහාසයෙහි සඳහන් වන වැදගත්ම නගරයයි. උසස්ම නගරයයි. උතුම්ම නගරයයි. අවුරුදු එක්දහස් තුන්සියයකට වැඩි කාලයක් මුළුල්ලේ ථෙරවාද බුදුසමය ප්‍රගුණ කළවුන් ඇදී යන්නට වූයේ අනුරාධපුර නගරයට ය. අනුරාධපුරය නගරයක් වශයෙන් සකස් කිරීමේ ගෞරවය හිමි වනුයේ පඬු අබා මහ රජතුමාටය.

අනුරාධපුරය මහ නගරයක් වශයෙන් සංවර්ධනය වන්නට කලින් එහි අනුරාධ ග්‍රාම නමින් ගමක් ද පසුව ජනපදයක් ද වූ බව පුරාවෘත්ත සටහන්වලින් පැහැදිලි වෙයි. ටොලමිගේ ලංකා සිතියමෙහි මෙම නගරය හැඳින්වනුයේ අනුරො ග්‍රමෙන් යන නමිනි. පණ්ඩුකාභය රජතුමා අභිෂේකය ලබන්නටත් කලින් මෙහි වැවක් විය. අභිෂේකය සිදු කෙරුණේ එම වැවින් ගත් ජලයෙනි. රාජ ලාංඡනය වූ සේසත සෝදා ගන්නා ලද්දේ ද එම වැවේ ජලයෙනි. පසුව විශාල කළ මෙම වැව ජය වැව නමින් හැඳින්විණ.
නගර නිර්මාණයෙහි සහජ දක්ෂතාවක් ඇතිව සිටි පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය විධිමත් නගරයක් පරිද්දෙන් සංවර්ධනය කළේය. එය ක්‍රමයෙන් දියුණු විය. මුටසීව රජතුමාගේ දවස දී අනුරාධපුරය අතිශයින් දර්ශනීය නගරයක්ව පැවතිණ. මහාමේඝ වනය පිහිටුවන ලද්දේ එම රජතුමා විසිනි. මහාවිහාරය හා ඊට සම්බන්ධ ගොඩනැඟිලි ද, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද අනෙක් බෞද්ධාගමික විශේෂ ස්ථානයන්ගෙන් ද සමන්විත වූ මහමෙවුනාව දකුණින් වෙස්සගිරිය දක්වා පැතිර තිබිණි.
“අලුත සුනුවම් කිරීමෙන් ධවල වූ නොයෙක් ප්‍රාසාදයෙන් කෛලාසකූට පර්වත සමූහයක් බඳු වූ සඳුන් කළු වැල් දෙව්දුරු තුවරලා කපුරු ආදී වූ සුවඳ සල් පෙළින් ගන්ධමාදන පර්වත ප්‍රාන්තයක වැනි වූ අවුල උපුල රත් නෙළුම් ඵල නෙළුම් සීනිද්ද, බෝලිද්ද, දෑසමන්, සපු මල් ආදී වූ මල් සල්පිලින් හැම කල්හිම වසන්තයක් වැනි වූ චීන පට දෙවාග දුහුල් පිළි තිහිරි පිළි ආදී වූ පිළි සල්පිල් කල්ප වෘක්ෂයක් හා සමාන වූ රන් රිදී මුතු මැණික් ආදී වූ රුවන් මල් පිළින් රත්නාකර වූ ගජ, අශ්ව, සෝධ නර විලාසිනීන්ගේ අවිච්චින්න සංචාර ඇති පුණ්‍ය නමැති ජලයෙන් පිරිසිදු කරන ලද පාප සංඛ්‍යාත කළ ඇති පිරිසිදු සිත් සතන් ඇති ජනයා විසින් සෙවුනා ලද විචිත්‍ර වූ තොරණින් හා ධ්‍රවජයෙන් හා කෙහෙල් ගසින් හා පුන්කලස් පන්තියෙන් හා සරසන ලද්දා වූ නිර්මල වූ පැහැසරවත් වූ වැල්ලෙන් ධවල වූ අනෙක ප්‍රකාර වීථියෙන් හෙබියා වූ මන්ථ පර්වතයෙන් ලළන ලද්දා වූ ක්ෂීර සාගරය සේ ඇලළී ගියා වූ ඇතුළු නුවරට”
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩි දෙවැනි දවසෙහි අනුරාධපුර නගරයේ ඇතුළු නුවරට වැඩම කොට ගෙන ගිය අයුරු සිංහල බෝධි වංශයෙහි සඳහන් වන්නේ ඉහත දැක්වූ න්‍යායෙනි.
එම අවධියෙහි අනුරාධපුර නුවරට ඇතුළු නගරයෙක් විය. නුවර සිවු කොණ සිවු දොරටුවෙක් විය. මෙම සිවු දොරටුවෙන් මඟුල් දොරටුව නොහොත් ප්‍රධාන දොරටුව සේ සැලකුණේ නැඟෙනහිරි පස දොරටුවයි. මිහිඳු මහ රහතන් වහන්සේ පළමු වැනි වරට අනුරාධපුර නගරයට වැඩම කළ සේක් මේ මඟුල් මහ දොරටුවෙනි. කෙසේ වුවද අනුරාධපුර නගරයෙහි ඇතුළු නුවර පිටි නුවර වශයෙන් දෙනුවරක් වෙන් වෙන් විසින් හඳුන්වන්නට වූයේ කවර අවධියක පටන්දැයි නිශ්චය වශයෙන් කීම උගහටය. එසේ වුවත් ඉලනාග රජුගේ කාලයේදී මේ වෙන්වීම පැහැදිලිව හැඳින්වුණු බව මහාවංශය කියයි.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ අවධියෙහි අනුරාධපුර නුවරට දකුණු දිගින් පිහිටා සිටියේ නයන නන්දනීය නන්දන වනයයි. එවක මෙය හැඳින්වූයේ ජෝතිය උයන නමිනි. මිහිඳු මාහිමියන් වහන්සේ මෙහිදී ධර්ම දේශනා කළ සේක.
ලෝ සිතියමෙහි අබැටක් වැනි සිහල බිම
දුතිමත් තරළ මිණි කොට මිහි ලියගෙ ළැම
බුදු දම වගා කළ දැහැ මොහො අවිදු හැම
අමතක නොවේ මැයි පියතිස් කියන නම
අනුරාධපුර නගරය කලින් කල නොයෙක් රජවරුන් අතින් විවිධ නගරාංගයන් එක්වෙමින් සංවර්ධනය වූ ඓතිහාසික මහා පුර ප්‍රවරයකි. අදත් සිංහල ජාතියේ පරම ගර්වයට හේතුව පවත්නා ථෙරවාද බුද්ධාගම ආරක්ෂා වූයේ අනුරාධපුරය නිසාය. හීනයාන ඉතිහාසය හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් බෙහෙවින්ම බලපැවැත්වූයේ අනුරාධපුර නගරයයි. ඒ මහා විහාරය අනුරාධපුරයේ පිහිටා තිබුණු බැවිනි. අනුරාධපුර නගරය මහා විහාරික භික්ෂුන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් බෞද්ධ ඉතිහාසයෙහි දිනාගන්නේ අද්විතීය ස්ථානයකි. දසවැනි සියවසේදී පමණ බිඳවැටී යනතුරු අනුරාධපුරය බෞද්ධාගමික අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය විය.
පුරාණ ලංකාවේ විශාලතම නගරය වූ අනුරාධපුරය ලෝකයේ අන්කිසි ද බෞද්ධ නගරයකට දෙවැනි නොවීය. අදත් එහි දක්නට ලැබෙන සිද්ධස්ථානවලින් මේ බව පසක් වෙයි. මෙම නගරය අවුරුදු දහසකට පමණ ඉහත කාලයේදී වනාන්තරයෙන් වැසී යෑමට පෙර එහි තිබූ සෞභාග්‍යයත් ශ්‍රී විභූතියත් කෙනකුගේ මනැසෙහි මවා ගැනීමට උදව් දෙන ස්ථාන අද ද අනුරාධපුරයේ විද්‍යාමාන වෙයි. එම වස්තූන් අතුරෙන් අභයගිරිය, ජේතවනය, රත්නමාලී යන තුන් මහා ථූපයන් ගලින් නිමවුණු සුවිසල් නාන පොකුණත් ඉතාම පැරණි සෙල්මුවා හිටි බුදු පිළිමත් භික්ෂු නේවාසිකාගාරත් මේ අතින් විශේෂ තැනක් ගනී. අනුරාධපුරය පැරණි සිංහල බෞද්ධයාගේ අත්‍යන්තයෙන් උත්කෘෂ්ට කලා ක්ෂේත්‍රයයි.
අනුරාධපුරය පැරණි සිංහල මහ රජදරුවන්ගේ රජ මාලිගාවලින් පරිශෝභිත වූ බවට සැකයෙක් නැති. එහෙත් ඒ රාජ නිවේශනයන්ගේ පිහිටීම නිගමනය කිරීම අපහසුය. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මෙහි මාලිගයක් වූ බවට ලකුණු ලැබෙතත්, එය පිහිටි තැන අවිනිශ්චිතය. රාජ මාලිගා සඳහා විශේෂ ස්ථානයක් වූ බවක් නොපෙනේ. රජ මාලිගය හැරුණු විට තවත් නොයෙක් විශාල ගොඩනැඟිලි තිබුණු බවට සාධක තිබේ. එම ගොඩනැඟිලි අතර බෞද්ධාගමික ගොඩනැඟිලි මුල් තැන ගත්තේය. සාමාන්‍යයෙන් දළදා මාලිගාව මහා පාලි දාන ශාලාව ඇතුළු නුවර පිහිටා තිබුණේය.

