අජාන් චා හිමියන් වදාළ උපමා බණ

rashi
By rashi
6 Min Read

මිනිස්සු මගේ පුහුණුව පිළිබඳව විමසති. මා මගේ මනස භාවනාව සඳහා සකස් කරගන්නේ කෙසේ ද? එහි විශේෂ කිසිවක් නොමැත. මා කරන්නේ එය සෑම විට ම තිබෙන තැන තැබීම පමණි. “එසේ නම් ඔබවහන්සේ රහතන්වහන්සේ නමක් දැ?” යි ඔවුහු විමසති. ඒ බැව් මා දන්නවා ද? මා, වනයේ ඇති කොළ මල් ගෙඩි පිරි ගසක් වැනි ය. කුරුල්ලෝ එහි ඵල බුදීමට, කැදැලි තැනීමට එති. සත්තු එහි සෙවණේ ඉසුඹුලති. එනමුත් ගස එය නො හඳුනයි. එය එහි ස්වභාවය ම අනුගමනය කරයි. එය, එය ලෙස ම පවතී.

පරිවර්තනය: කසුන් හේමතිලක

හැකරැල්ලා සහ කුකුළු පැටවා

යුරෝපීය ජාතිකයෝ ඉතා “දක්ෂ” වෙති; එහෙත් බොහෝ මූලික දහම් කරුණු භාරගැනීමට අපොහොසත් වෙති. වරෙක මම උගත් පුද්ගලයන් කිහිප දෙනකු ගෙන් ඔවුන් කෙදිනක හෝ හැකරැල්ලකු දැක ඇත් දැ යි විමසුවෙමි. ඌට බොහෝ පාද ඇති නමුත් ඌට කෙතරම් වේගයකින් දිව යා හැකි ද? ඌට කුකුළු පැටවකුට වඩා වේගයෙන් දිව යා හැකි ද? නො හැකියි! එහෙත් කුකුළු පැටවකුට ඇත්තේ කකුල් දෙකක් පමණකි. මෙතරම් කකුල් ගණනක් ඇති මේ සත්ත්වයාට කුකුළු පැටවකු තරම් වත් වේගයෙන් යා නො හැක්කේ මන්ද?

මුදල්, ඉටි හා කුකුළු බෙටි

නීති සහ සම්මුතීන් ස්ථාපිත ව ඇත්තේ දේවල් වඩා පහසු කරගැනීමට ය; ඉන් ඔබ්බට කිසිවක් එහි නැත. අපි උදාහරණයක් ලෙස මුදල් ගනිමු. අතීතයේ දී මිනිස්සු ද්‍රව්‍ය සහ භාණ්ඩ මුදල් සේ හුවමාරු කිරීම සඳහා භාවිත කළ හ. එහෙත් ඒවා තබාගැනීම අපහසු විය. එනිසා ඔවුහු කාසි සහ නෝට්ටු භාවිතය ඇරඹූ හ. ඇතැම් විට අනාගතයේ දිනක මුදල් ලෙස කුකුළු බෙටි හෝ ඉටි ගුලි පමණක් භාවිත කළ හැකි යැ යි පවසා රාජකීය ආඥාවක් අපට පනවනු ඇති! එවිට මිනිසුන් ඉටි හෝ කුකුළු බෙටි සම්බන්ධයෙන් එකිනෙකා හා දබර කරගැනීම සහ මරාගැනීම අරඹනු ඇති. යථා ස්වභාවය යනු මෙයයි. අප මුදල් සඳහා භාවිත කරන දෑ හුදෙක් අප ගොඩනඟාගත් සම්මුතියකි. එය මුදල් වන්නේ, එය එසේ වීම අප විසින් තීන්දු කරනු ලැබ ඇති බැවිනි. එහෙත් යථාර්ථයක් ලෙස ගත් විට මුදල් යනු කුමක් ද? කිසිවකුට එය කිව නො හැකියි. කිසිවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් පවතී නම්, එවිට එකී අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සම්මුතියක් ඇති වෙයි. ලෝකය යනු හුදෙක් සම්මුතීන් ය.

එහෙත් සාමාන්‍ය ජනතාවට මෙය අවබෝධ කර දීම දුෂ්කර ය. අපේ මුදල්, ගෙවල්, පවුල්, අපේ දරුවන් සහ ඥාතීන් යනු හුදෙක් අප තනාගත් සම්මුතීන් වන අතර, ඒ සියල්ල සැබැවින් අපගේ යැ යි අප විශ්වාස කරන නමුත් දහමේ ආලෝකය තුළින් බලන කල්හි ඒවා අපට අයත් නො වෙයි. අප දුකට පත් වනුයේ එවා අපට අයත් වේ යැ යි සිතන විට ය.

වඳුරා

මනසේ ස්වභාවය නම් නිරතුරු ව වෙනස් වීම බව අප දන්නා විට, අප මනස ගැන වටහාගනු ඇත. මනස හොඳ සහ නරක ලෙස සිතන්නේ, එනම් මානසික තත්ත්වය වෙනස් වන සෑම විට ම එසේ වන්නේ කුමන වේලාවේ දැ යි අප දත යුතු ය. අප මෙය අවබෝධ කරගත් විට, අප සිතමින් සිටින විට පවා අපට සාමයෙන් සිටිය හැකි ය. උදාහරණයක් ලෙස, ඔබේ නිවසෙහි සුරතල් වඳුරකු සිටිතැ යි උපකල්පනය කරන්න. වඳුරෝ බොහෝ වේලා නිසොල්මන් ව නො සිටිති. ඔවුහු තැන තැන පැනීමට සහ යම් යම් දෑ අල්ලා ගැනීමට ප්‍රිය කරති. ඒ වඳුරන්ගේ ස්වභාවයයි. ඔබ මේ ආරාමයට වුවත් පැමිණ මෙහි සිටින වඳුරන් දකියි. මේ වඳුරා ද නිසොල්මන් ව සිටින්නේ නැහැ නේ ද? ඌ ද තැන තැන පනියි; එහෙත් ඌ ඔබට කරදර කරන්නේ නැහැ නේ ද? ඌ ඔබට කරදර නො කරන්නේ මන් ද? ඒ ඔබ විසින් ම වඳුරකු ඇති දැඩි කරන ලදින් ඔබ ඔවුන්ගේ ස්වභාවය කිනම් ආකාරයක දැ යි දන්නා බැවිනි. ඔබ එක් වඳුරකු ගැන පමණක් දනී නම්, ඔබ කිනම් පළාතකට ගිය ද ඔබ කෙතරම් වඳුරන් දුටුව ද ඔවුන් නිසා ඔබ කරදරයට පත් නො වෙයි; ඒ ඔබ වඳුරන් පිළිබඳ අවබෝධයක් ඇති අයකු බැවිනි.

අප වඳුරන් ගැන දනී නම්, අප වඳුරන් මෙන් නො වනු ඇත. අප වඳුරන් ගැන නො දනී නම්, අප විසින් ම වඳුරකුට සමාන තත්ත්වයකට පත් වනු ඇත. ඌ ඒ මේ දෙය කරා අත පොවන විට, අපි “ඒයි!” යැයි කෑ ගසමු. අපි කෝපයට පත් වෙමු. එහෙත් අප වඳුරන්ගේ ස්වභාවය පිළිබඳ දනී නම්, එවිට ගෙදර වඳුරා සහ ආරාමයේ වඳුරා හුදෙක් එකකු බව දකිනු ඇත. උන් නිසා අප තරහ උපදවා ගන්නේ මන්ද? අප වඳුරන්ගේ ස්වභාවය දකී නම්, එය ප්‍රමාණවත් ය. එවිට අපට සාමයෙන් සිටිය හැකි වනු ඇත.

දිමි ගොටුව

කාමය, දිමියන් ගෙන් පිරී ගිය දිමිගොටුවක් වැනි ය. දිමියන් වේගයෙන් පිටතට විත්, කෝටුව දිගේ පහළට බඩගා අපේ මුහුණු මතට පැන, අපේ ඇස් සහ කන්වලට දෂ්ට කරන තෙක් අපි කෝටු කැබැල්ලක් ගෙන දිමි ගොටුවට අනිමු. එසේ වුව ද අප පත් ව සිටින අපහසුතාව අපි නො දකිමු. කිසියම් දෙයක අනර්ථකාරී බව අප තුළින් ම දැක ඇත්තම්, මතුපිටින් එය කොතරම් යහපත් ලෙස පෙනුණ ද අප එය අනර්ථකාරී ලෙස දකින බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි කියැවේ. තව ම අප අනර්ථකාරී බව දැක නැති ඕනෑ ම දෙයක් යහපත් යැ යි අපි සිතමු. අප තව ම අනර්ථකාරී බව දැක නැති කිසියම් දෙයකින් අපට මිදීමට ද නො හැකියි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *