ඔබට දුක් දොම්නස් හදන කෙලෙස් ගින්නට කළ යුතු දේ

cmadurawala
9 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ විසින් ‘භික්ඛවෙ’ මහණෙනි යනුවෙන් ආමන්ත්‍රණය කළ ද, මෙම ඉගැන්වීම් සියලුදෙනා වෙනුවෙන්මය. එනම් ගිහි – පැවිදි දෙපාර්ශ්වයටම ය. බුදුදහමෙහි ඉගැන්වෙන සියලු දුකින් නිදහස්වීම සිදුවන්නේ තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමෙනි. පළමු ධර්ම දේශනාවේදීම එම අදහස මතුකොට දැක්විණි. යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති උනාලයො’ කාම, භව, විභව නම් වූ තුන්වැදෑරුම් තෘෂ්ණාව ශේෂයක් නැතිවම නොඇලී නැසීමක් වේද, දීමක්, අත්හැරීමක් වේද මිදීමක් වේද, නොඇලීමක් වේද, එනම් වූ තෘෂ්ණාවගේ නැතිකිරීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වන්නේය.

මෙම ධර්ම පර්යායට කිසිදු වෙනසක් හෝ විශේෂයක් නැතිවම සියලුදෙනාම යටත්විය යුතු බව පැහැදිලිය. ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් අනුව තෘෂ්ණාවේ ස්වභාවය ද වෙනස්විය හැකිය. එනමුත්, ඒ සියලු තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු වන්නේ ඉහත දැක්වූ ආකාරයෙනි.

සසර දුකින් යුතුව දීර්ඝ වන්නේ අභාවිත සිත් මුල් කොටගෙන ඇස, කන ආදී ඉන්‍ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණු කෙරේ කෙලෙස් උපදවා ගැනීම බව පැහැදිලිය. භාවිත සිතක් ඇත්තා, එනම් රූපාදී අරමුණු අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‍ෂණයට යටත් කොට රාග, ද්වේෂ ආදී කෙලෙස් රහිතව විඳිද්දී, අභාවිත සිත් ඇත්තා එම අරමුණම කෙලෙස් සහිතව විඳියි. මෙහි ප්‍රතිඵලය වන්නේ දුක් සහිතව, එනම් සතර අපායේ ඉපිද සසර භවය දීර්ඝ වීමය.

අභාවිත සිත් ඇතිව යන තේරුම් ගැනීම පිණිස තවත් වචන කීපයක් එකතු කරගනිමු. ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගේ අසංවරයයි. මනාව නොරැක්මයි. ඉන්‍ද්‍රියයන්ගේ දොරටු කෙලෙස්වලට අවබෝධයෙන් හෝ පාලනයකින් තොරව විවෘත කොට තැබීමයි. මෙසේ සිදුවීමේ අති භයානක බව සංයුත්ත නිකායේ ආදිත්තපරියාය නම් වූ ගිනිගත් හෙවත් ගිනි ඇවිළගත් ක්‍රමය ගැන වදාළ දෙසුමේ පැහැදිලි වෙයි. එහි ඇතුළත් අදහස් පෙළ විමසා බලමු.

ගිනිගත්, හාත්පසින්ම දිලිසෙන, ගිනිදැල් සහිත රත්වූ යකඩ ආයුධයකින් ඇස නමැති ඉන්‍ද්‍රිය පිරිමදින ලද්දේ මැනවි. නමුත්, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු රූපයන්හි නිමිති, සටහන් ගැනීම නොමැනවි. රූපයන්හි නිමිතිවල ආස්වාදයෙන් බැඳුණු හෝ ටිකකවත් ආස්වාදයෙන් බැඳුණා වූ කර්ම විඤ්ඤාණයක් පවතින විට කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යන ගති දෙකෙන් එක්තරා ගතියක උපදින්නේය. මෙය සිදුවිය හැකි දෙයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් එම දෝෂය හෙවත් වරද දැක වදාරන ලදහ.

ඇවිළගත්, හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත ගිනියම් වූ තියුණු යකඩ හුලකින් කන නම් වූ ඉන්‍ද්‍රිය පිරිමදින ලද්දේ මැනවි. නමුත් කනින් දතයුතු ශබ්දයන්හි රස ලෙසින් නිමිති ගැනීම නොමැනවි. ශබ්දයෙහි නිමිති ලෙසින් හෝ ටිකක්වත් ආස්වාදයක් පවතින විට කර්ම විඤ්ඤාණය සකස් වන්නේය. එවැනි අවස්ථාවකදී කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකෙන් එක්තරා ගතියකට පැමිණෙන්නේය යන කරුණ විය හැකිය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම වරද, ආදීනවය දැක මහා කරුණාවෙන් වදාරන ලදහ.

ඇවිළගත් මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන, ගිනියම් වූ තියුණු නියනකින් නාසය නමැති ඉන්‍ද්‍රිය අතුල්ලන්නේ හෝ ගලවා දමන්නේ නම් මැනවි. නමුත් නාසයෙන් දත යුතු ගන්ධයන්හි නිමිති, රස ලෙසින් නොගැනීම මැනවි. එසේ නිමිති ගන්නා විට එම නිමිත්තෙහි ආස්වාදයෙන් බැඳුණා වූ, කර්ම විඤ්ඤාණය පිහිටන්නේය. එවැනි අවස්ථාවකදී කලුරිය කරන්නේ නම් නිරයත්, තිරිසන් යෝනියත් යන ගති දෙකෙන් එකකට පැමිණිය හැකි වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම වරද, ආදීනවය දැක වදාරන ලදහ.

ඇවිළගත් මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන ගිනියම් වූ තියුණු දැලි පිහියකින් දිව නමැති ඉන්‍ද්‍රිය කපන ලද්දේ මැනවි. දිවෙන් දත යුතු රසයන්හි රස වශයෙන් නිමිති නොගැනීම මැනවි. ආස්වාදයෙන් බැඳුණා හෝ රස නිමිත්තෙහි සොම්නසින බැඳෙන කර්ම විඥානය පිහිටා සිටින්නේය. එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකෙන් එක් ගතියකට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම වරද දැක වදාරණ ලදහ.

ඇවිළගත් මුළුමනින්ම ගින්නෙන් දිලිසෙන ගිනියම් තියුණු සැතකින් කය නමැති ඉන්‍ද්‍රිය අතුල්ලන ලද්දේ මැනවි. කයෙන් දත යුතු ස්පර්ශය කෙරේ නිමිති සටහන් ගැනීම නොමැනවි. නිමිති ආස්වාදයෙන් බැඳුනා වූ හෝ රස ආස්වාදයෙන් බැඳුනා වූ කර්ම විඤ්ඤාණය පිහිටා සිටින්නේය. එම අවස්ථාවෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකින් එක් ගතියකට පැමිණෙන්නේය. මෙම දෝෂය දැක භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.

පරමාර්ථ ධර්ම මාර්ගයේදී විදර්ශනා නුවණින් බලන ආකාරය මෙසේයි. සියලු සංඛත සංඛාර වස්තූන් අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත්කොට දකින ගිහි වූ හෝ පැවිදි ශ්‍රාවකයා, ආර්ය ශ්‍රාවකයෙක් ලෙසින් මෙසේ සිතයි. ඇවිලගත් හාත්පසින් දිලිසෙන රත් වූ ආයුධයකින් ඇස නමැති ඉන්‍ද්‍රිය ඇතිල්ලීම තිබේවා. ඒකාන්තයෙන්ම මම මෙසේ ඇස අනිත්‍යයි. රූප අනිත්‍යයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය නිසා සැප වූ හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ හෝ යම් විඳීමක් වේ නම් එයද අනිත්‍යයි. යනුවෙන් මෙනෙහි කරමි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් මෙසේ සිහිපත් කරයි. මුළුමනින්ම දිලිසෙන ගිනිදැල් සහිත තියුණු යකඩ හුලකින් කණ ඇතිල්ලීම තිබේවා. ඒකාන්තයෙන්ම මම, කන අනිත්‍යයි. ආඝ්‍රහණය අනිත්‍යයි. කනේ විඤ්ඤාණය අනිත්‍යයි. කනේ ස්පර්ශය අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් යම් විඳීමක් වේ නම් එය ද අනිත්‍යයි. යනුවෙන් මෙනෙහි කරමි.

ඇවිලගත් හාත්පසින් දිලිසෙන තියුණු නියනකින් නාසය ඇතිල්ලීම තිබේවා. ඒකාන්තයෙන්ම මම නාසය අනිත්‍යයි. ආඝ්‍රහණය අනිත්‍යයි. නාසයේ විඤ්ඤාණය අනිත්‍යයි. නාසයේ ස්පර්ශය අනිත්‍යයි. නාසයේ ස්පර්ශය නිසා උපදින්නා වූ සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ යම් විඳීමක් වේනම් එය ද අනිත්‍යයි. යනුවෙන් මෙනෙහි කරමි.

ඇවිළගත් හාත්පසින් දිලිසෙන තියුණු දැලිපිහියකින් දිව නමැති ඉන්‍ද්‍රිය ඇතිල්ලීම තිබේවා. ඒකාන්තයෙන්ම දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවේ විඤ්ඤාණය අනිත්‍යයි. දිවේ ස්පර්ශය අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ යම් විඳීමක් වේ නම් එය ද අනිත්‍යයි. මෙයම පරම සත්‍ය වශයෙන් මෙනෙහි කරමි.

ඇවිළගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු වූ සැතකින් කය නමැති ඉන්‍ද්‍රිය ඇතිල්ලීම තිබේවා. ඒකාන්තයෙන්ම මම මෙසේ කය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. කයේ විඤ්ඤානය අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සුව වූ හෝ දුක් වූ හෝ මැදිහත් වූ හෝ යම් විඳීමක් වේ නම් එයද අනිත්‍යයි. මෙසේ මෙයම මෙනෙහි කරමි.

නින්දට වැටීම තිබේවා. ඒකාන්තයෙන්ම මම මෙසේ මනස අනිත්‍යයි. මනසට අරමුණු වන සිතුවිලි අනිත්‍යයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයි. මනසේ ස්පර්ශය අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ යම් විඳීමක් වේ නම් එයද අනිත්‍යයි. මෙයම මෙසේ මෙනෙහි කරමි.

මෙම බුද්ධ දේශනාවෙහි සඳහන් අදහස් පෙළ ඔබත් විදසුන් නුවණින් මෙනෙහි කළ යුතුය. එසේ නොවුණොත් මෙය ජීවිතයම ප්‍රායෝගික නොවන බවට සිතුවිලි පහළ විය හැකිය. එයට හේතුව නම්, පෘථග්ජනයාට සිතෙන්නේ ඇස තිබෙන්නේ ‘ලස්සන’ ‘ප්‍රිය’ ‘මනහර’ රූප බලන්නත් ඒ අනුව කාම සිතුවිලි පහළ කරගෙන විඳිමින් සිටින්නට බවය. රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, සිතුවිල්ලක ඇති ආස්වාදය හඳුනාගත යුතුය. එනමුත් එය ස්ථිර නැති බවටත් වෙනස් වන බවටත් උරුමය නම් වූ සත්‍ය පිළිගැනීමට සිත පුරුදු පුහුණු කොට තැබිය යුතුය. එසේ නොමැති වුණොත් අස්ථිර ලෝකයේ අස්ථිර වස්තු වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතුවිලි ස්ථිර බවට සිතින් දැඩිව අල්ලා ගැනේ. එනමුත් එහි ගැබ්ව ඇති පරම සත්‍ය අනුව ඒවා වෙනස් වන විට ශෝක, සන්තාප, දුක්, දොම්නස් පහළ වෙයි. කැමති අරමුණෙහි තදින් අල්ලා ගැනීම නිසා යම් අවස්ථාවක සිතෙහි පාලනයකින් තොරව රාග, ද්වේෂ ආදී කෙලෙස් ආවේග ලෙස මතුවී ප්‍රාණඝාත, සොරකම, කාම අපචාර ආදී මෙලොව පරලොව නම් වූ දොලොවම පිරිහවන මගකට යොමුවිය හැකිය. රූපයේ, ශබ්දයේ ආදී වශයෙන් ආස්වාදය හඳුනා ගෙන ඔබ සතුටින්, ප්‍රීතියෙන් කටයුතු කළත්, ඒවායේ වෙනස්වීමේදී ශෝක කරන්නේ නැත. හඬන්නේ නැත. එමෙන්ම තමාට අකමැති යමක් සිදුවන විට තරහවට, ක්‍රෝධයට, වෛරයට පැමිණෙන්නේ ද නැත. මෙම කිසිවක තදින් ඇලෙන්නටත්, ගැටෙන්නටවත් යමක් නැත. යමක් හටගත්තේ නම් ඒ හැම නැසී යෑම ස්වභාවයයි.

මෙම අවබෝධයෙන් තොරව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පරිහරණය කිරීමෙන්, මනුෂ්‍යයන් විසින් තමාටම කරගන්නා වූ සහ අන්‍යන්ටත් සිදුකරන්නා වූ අපරාධ, විනාශ, සණ්ඩු, දබර, කෝලාහල, මිනීමැරුම්, යුද්ධ අපමණය. දුර්ලභව ලැබූ මිනිසත් බව නසාගෙන නැවතත් දුගතියම උරුම යමක් ඇසින්, කනින් සිදුකරනවාට වඩා, ඉහත සඳහන් කළ අයුරින් ගිනියම් වූ යකඩ ආයුධයකින්, හුලකින්, නියනකින්, දැලිපිහියකින්, සැතකින් ස්පර්ශ කර ගැනීම හෙවත් අතුල්ලා ගැනීම හොඳය. අසත්පුරුෂ ලෝකයේ මිනිසුන් දකින, අසන සත්පුරුෂ ලෝකයේ මිනිසුන් පවසන්නේ මේවා දකින්නට, අසන්නට තරම් අපට ඇස් කන් ලැබුණේ ඇයිද කියාය.

අභාවිත සිත් ඇතිව, ඇසින්, කනින් ආදී වශයෙන් අතීතයේත් සිදුවූ වර්තමානයේත් සිදුවන, අනාගතයේත් සිදුවිය හැකි මෙම සංසාර විපත නුවණින් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසෙහි කලකිරෙයි. එනම් යථා අවබෝධයට පැමිණෙයි. රූපයෙහිත්, චක්ඛු විඤ්ඤාණයේත්, ස්පර්ශයෙත්, සැප, දුක, මධ්‍යස්ථ විඳීම්වලත් කලකිරෙයි. යථාවබෝධයට නුවණින් පැමිණෙයි. අනෙකුත් ඉන්‍ද්‍රියන්ගේත් එසේමයි. අවබෝධයට පැමිණ පරමාර්ථ ලෙසින් නොඇලෙයි. නොඇලුනේ උපාදානයෙන් මිදෙයි. ඒ සිත සන්සුන්ය. සමාහිතය. පරම සුවයෙන් යුක්තය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *