මානසික රෝග දෙස මානුෂික බැල්මක්

cmadurawala
7 Min Read

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය තෙරිපැහැ මේධංකර හිමිපාණෝ

කායික රෝගවලට වඩා මානසික රෝග පිළිබඳව අප සමාජයේ ඇත්තේ බියජනක ප්‍රතිරූපයකි.

  1. මානසික රෝග හඳුනා ගැනීම ප්‍රමාද වීම.
  2. හඳුනා ගත් පසුව ද නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාදවීම.
  3. ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවන්ගේ ව්‍යාප්තිය අඩුවීම.
  4. මානසික රෝග පිළිබඳ සමාජයේ ඇති වැරදි වැටහීම.

ආදී කරුණු නිසා මානසික රෝගීන් පිළිබඳ මිථ්‍යා මත සමාජයේ මුල් බැසගෙන ඇත. ඒ අතර,

  1. මානසික රෝග සුව කළ නොහැකි භයානක රෝගයකි.
  2. මානසික රෝග පුද්ගලයින් අතර බෝ විය හැකි ය.
  3. මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී පිරිසකි.
  4. මානසික රෝග පරම්පරාවෙන් පරම්පරාවට පැතිරී යයි.

යන කරුණු ඔස්සේ සාමාන්‍ය ජනතාව එම රෝගීන් දෙස බලන්නේ භයානක රෞද්‍ර සතකු දෙස බලන ආකාරයෙනි. මානසික රෝගයට ලක් වූ තැනැත්තා ‘පිස්සා’ යන නින්දා සහගත වචනයෙන් හංවඩු ගසයි. එය කොතරම් සමාජයට කාවැදී ඇත්දැයි කිවහොත් සුළු හෝ මානසික ආබාධයක් තිබෙන කෙනකු පවුලක සිටී නම් එය රහසක් ලෙස සෙසු පිරිසගෙන් වසන් කරගෙන සිටින්නට පවුලේ අය උත්සාහ ගනිති. මානසික රෝගියකු සිටීම මුළු පවුලටම නින්දාසහගත දෙයක් ලෙස සලකයි. එම රෝගීන් රෝහල් වෙත භාර දීමේදී ඥාතීන් විසින් ව්‍යාජ ලිපිනයක් ඉදිරිපත් කරනුයේ ද මේ හේතුවෙනි.

යථාර්ථවත්ව සලකා බැලීමේදී මානසික රෝග පිළිබඳව බිය විය යුත්තේ හෝ මානසික රෝගීන් අපවාදයට හා කොන් කිරීමට ලක් කළ යුත්තේ හෝ නොවේ. මානසික රෝගියා යනු කවරෙකු දැයි හරිහැටි දැන ගැනීම ඊට අවශ්‍ය වේ.

මානසික රෝගියා යනු කවරෙක්ද?

පුද්ගල චර්යාවේ අන්තගාමී වූ අසාමාන්‍ය තත්ත්වය හෝ සමාජ සම්මතයන්ට පිටින් වැඩ කිරීමක් හෝ, හැසිරීමෙන් තමාටත් අනුන්ටත් අපහසුතා ඇති වන හෝ, දෛනික ක්‍රියාකාරකම් කරගෙන යෑමට නොහැකි ආකූල තත්ත්වයක් හෝ පුද්ගලයකු තුළ තිබේ නම් ඔහු මානසික රෝගියෙක් ලෙස සරලව හැඳින්විය හැකි ය.

මානසික රෝග පිළිබඳ බෞද්ධ විග්‍රහය

බෞද්ධ දෘෂ්ටිකෝණයට අනුව මිනිසාට මානසික ප්‍රශ්න ඇති වන්නේ

ලෝභ – ඇලීම, දෝස – ගැටීම, මෝහ – අනවබෝධය

යන අකුසල මූල චෛතසිකයන් (යථාර්ථය සඟවා වැරදි අවබෝධය ඇති කරන සිතිවිලි) නිසා ය.

බුදු දහමට අනුව මනුෂ්‍යයා ඇතුළු සියලු ජීවීන් සැකසී ඇත්තේ කායික හා මානසික ලෙස බෙදිය හැකි ගොඩවල් පහක එකතුවෙනි. (පඤ්චස්කන්ධය) එයින් ගොඩවල් හතරක් ම මානසික ය. කායිකව ඇත්තේ එක් ගොඩකි.

  1. රූප 2. වේදනා කායික
  2. සඤ්ඤා
  3. සංඛාර මානසික
  4. විඤ්ඤාණ

බුදු දහමේ එන මේ විග්‍රහය නූතන විද්‍යානුකූලව ද සත්‍ය බව පැහැදිලි වන්නේ මිනිසාගේ රෝගවලට 80%ක් මනස බලපාන බව පෙන්වා දී තිබීමෙනි. කායික රෝග අතරින් 80%ක් ම මානසික ප්‍රශ්න නිසා ඇති වන බව ඉන් පැහැදිලි වේ. රෝග ඇති වීම සඳහා කයේ බලපෑම 20% කි.

යම් කෙනකු ශාරීරික ආබාධයක් නොමැතිව වියපත් වනතුරු ජීවත් විය හැකි ය. නමුත් සෑම දෙනෙක් ම උපතේ සිට මරණය දක්වා විවිධ අවධිවල විවිධ මානසික අර්බුදවලට මුහුණ දෙති. ඒ සඳහා කාලයක්, පරිසරයක්, ස්ථානයක්, අවස්ථාවක්, ගැහැනු පිරිමි බවක්, ලොකු කුඩා බවක් නැත. මේ මොහොතේ අප තුළ ක්‍රියාත්මක වන මානසිකත්වය තව මොහොතකින් අප තුළ නොමැති විය හැකි ය. එනම් ශාරීරික ක්‍රියාකාරිත්වයට වඩා වේගයෙන් අපගේ මානසික ක්‍රියාකාරිත්වය වෙනස් වේ. යමෙක් දිවා කාලයේ කෙතරම් හොඳින් සිය කටයුතු කරගෙන විනෝදයෙන් කාලය ගත කළ ද, රාත්‍රියේ දී එම තත්ත්වය මුළුමනින් ම වෙනස් විය හැකි ය.

. නින්ද නො ලැබීම.

. කිසියම් අප්‍රසන්න දෙයකින් මානසිකව පීඩා විඳීම.

ආදිය නිසා ක්ලමතය, කාංසාව ආදී අසාමාන්‍ය චර්යාවන් අපේ ජීවිතයේ වරින් වර ඇති විය හැකි ය. සමහරුන්ට එය කෙටිකාලීන වන අතර තවත් සමහරුන්ට එය දිගු කාලීන විය හැකි ය. තවත් සමහරු ජීවිත කාලය ම භීතිකාව වැනි ප්‍රශ්නවලින් කල් ගෙවයි.

“සබ්බේ පුථජ්ජනා උම්මත්තකයා යන වියහි…” විභංග අටුවා පාඨයෙහි පැහැදිලි කර ඇත්තේ සෑම පෘථග්ජන මිනිසකු ම එක්තරා පරිසරයක උමතු මිනිසකු විය හැකි බව යි. ඒ අනුව මානසික රෝගීන් අපවාදයට ලක් කිරීමට හෝ කොන් කිරීමට මානසික සුවයක් ඇති කෙනකු මිනිසුන් අතර දුර්ලභ ය. බෞද්ධ විග්‍රහයට අනුව මානසික රෝගීන්ට අපවාද කිරීම ද මානසික රෝගී ලක්ෂණයකි.

මානසික රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය

වෛද්‍ය විද්‍යාවට අනුව මානසික රෝගයක් යනු මොළයේ ගැටලුකාරී තත්ත්වයකි. මොළයේ සිදුවන රසායනික වෙනසකි. ස්නායුවල ආවේග ඇතිවීම හා බෙදාහැරීම පිළිබඳ ගැටලුවකි. මොළයක් තිබෙන ඕනෑ ම කෙනකුට මේ රෝගය වැලඳිය හැකි ය. හෘදය ඇතුළු සියලු ඉන්ද්‍රියයන් පාලනය කරන්නේ මොළයෙනි. මොළයේ අක්‍රමතාව නිසා,

  1. සිතුවිලි 2. චිත්තවේග 3. සංජානනය
  2. සංවේදනය 5. ක්‍රියාකාරිත්වය

යන මේවායේ වෙනසක් ඇතිවිය හැකි ය. ඒ අනුව පුද්ගල චර්යාවේ අසාමාන්‍යතා abnorma behaviour දක්නට ලැබේ.

මොළයේ අක්‍රමිකතාව හේතුවෙන් ශරීරයේ රසායනික සමතුලිතතාව බිඳ වැටුණු විට මිනිසා අසාමාන්‍ය ලක්ෂණ පෙන්වයි. රසායනික සමතුලිතතාවේ බිඳ වැටීම සඳහා හේතු වන භෞතික කරුණු අතර,

  1. මන්දපෝෂණය 2. ශරීරයේ ඉන්ද්‍රියන් තුළ ඇති වන ආසාදන 3. විවිධ රෝගී තත්ත්වයන් යන කරුණු ද,

මානසික හේතු අතර,

  1. ආතතිය 2. ක්ලමතය

වැනි කරුණු ද දායක බව කිව හැකි ය. ශරීරයේ ඇති ඩොපමයින් රසායනිකය, ඇසිටයිල්කෝලින් රසායනිකය, විටමින් ආදිය අඩු වැඩි වීමෙන් මිනිස් චර්යාවේ වෙනස්කම් සිදු වේ.

මානසික රෝග කොතරම් සුලබ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 171ක් ඇසුරින් කරන ලද සමීක්ෂණයකට අනුව සෑම පවුල් 04කට ම එක් මානසික රෝගියෙක් බැගින් සිටියි. ලෝකයේ ජනගහනය අතර මානසික රෝගයෙන් පෙළෙන අයගේ ප්‍රමාණය මිලියන 450කි. එයින්,

  1. මිලියන 150ක් විශාදයෙන් ද
  2. මිලියන 50ක් අපස්මාරයෙන්ද,
  3. මිලියන 24 උන්මාදයෙන් ද,
  4. මිලියන 01ක් සියදිවි නසා ගැනීම් ද,
  5. මිලියන 10 – 20 දක්වා සියදිවි නසා ගැනීමට තැත් කිරීම ද

වශයෙන් මානසික රෝගවල ව්‍යාප්තිය පිළිබඳ වාර්තාවක් එළිදක්වා ඇත.

ලංකාවේ ද මෑත යුගයේ මානසික රෝගවල වැඩීයාමක් දක්නට ලැබේ. ඊට බලපෑ හේතු අතර,

  1. ජන සංයුතිය 2. යුද්ධය 3. ජන සංක්‍රමණය
  2. මත්ද්‍රව්‍ය භාවිතය 5. ආතතිය

ආදිය බලපා ඇත. මෙතරම් සුලබ වූ මානසික රෝග කෙරෙහි මිනිසුන් අතර තිබෙන වැරදි අවබෝධය දුරු කොට නිවැරදි දැනුවත් භාවයක් ඇති කරන්නේ නම් මානසික රෝගීන් ද සෙසු කායික රෝගීන් මෙන් අපවාදයෙන් හා කොන් කිරීමෙන් තොරව සමාජයේ ජීවත්වනු ඇත. බුදු දහමේ සහ වෛද්‍ය විද්‍යාවේ මානසික රෝග පිළිබඳව දක්වා ඇති සිද්ධාන්තයන් පිළිබඳ ජනතාවට හරි ආකාර වැටහීමක් තිබේ නම් කිසි දිනෙක මානසික රෝගීන් අපවාදයට ලක් කිරීමක් හෝ වෙනස්කොට සැලකීමක් නොකරනු ඇත.

මානසික ව්‍යාධි වර්ගීකරණය

මනෝ විද්‍යාඥයින් අධ්‍යයනයේ පහසුව සඳහා පහත සඳහන් පරිදි මානසික රෝග පෙළගස්වා ඇත.

  1. සුළු මානසික ව්‍යාබාධ – Neurosis
  2. ප්‍රධාන මානසික ව්‍යාබාධ – Psychosis
  3. පෞරුෂ ව්‍යාබාධ – Personality Disorders
  4. ලිංගික ව්‍යාබාධ – Sexual Disorders
  5. මනෝ කායික ව්‍යාබාධ – Psychosomatic Illness
  6. අපස්මාර ව්‍යාබාධ – Epilepsy
  7. ළමා මානසික ව්‍යාබාධ – Child
  8. බුද්ධි හීනතාව – Mental Subnormality

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *