ගුණපාල කාරියවසම්
ජෝතිපාල හා ඝටීකාර හොඳ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙක්. හොඳ කල්‍යාණ මිත්‍රත්වයට ජාති ආගම් කුලමල භේද බලපාන්නේ නැහැ. ඊට හොඳම සාධකයක් තමයි මේ කතා පුවත. මීට පෙර භවයන්හි මොවුන් දෙදෙනා ඕන තරම් හමුවෙලා ඇති. එහෙත් මේ නම්වලින් මොවුන් දෙදෙනා එකට හමුවන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. ජෝතිපාල තරුණයා බ්‍රාහ්මණ කුලයේ ධනවත් තරුණයෙක්. ඝටීකාර තරුණයා මැටිවලින් භාණ්ඩ හදන (වළං හදන) කුල පරම්පරාවක දුප්පත් තරුණයෙක්. නමුත් මේ දෙදෙනා හොඳ මිතුරන්. කුලය හා වත් පොහොසත්කම් මේ දෙදෙනාගේ මිත්‍රත්වයට බලපෑම් කළේ නැහැ. පෙර භවයන්හි බලපෑම වෙන්න ඇති. දෙදෙනාම වැරදි වැඩ හෙවත් පව් වැඩ නොකළ දෙදෙනෙක්.
ජෝතිපාල තරුණයා මව්පිය උරුමයෙන් ලැබුණු දේපළ රැකබලා ගනිමින් යහපත් ජීවිතයක් ගත කරනවා. ඝටීකාර වළං හදමින් වයසට පත් අඳ මව්පිය දෙදෙනා රැකබලා යහපත් ජීවිතයක් ගත කරනවා. ඉඩ ලද හැමවිටම කාශ්‍යප බුදුන් හමුවීමට යන ඝටීකාර බුදුන්ගෙන් බණ අහනවා. ඒ වගේම කාශ්‍යප බුදුන් වහන්සේගෙන් අවශ්‍ය අඩුපාඩු ගැනත් සොයාබලනවා. උන්වහන්සේට අවශ්‍ය සිව්පසය ලබාදෙනවා. අවිවාහක ජීවිතයක් ගත කළ හෙතෙම අඳ මවුපියන්ට අවශ්‍ය ආහාර පාන සූදානම් කර තබලයි ගෙදරින් පිටවෙන්නේ. මේ අතරතුර පිණ්ඩපාත චාරිකාවේ වඩින කාශ්‍යප බුදුන් වහන්සේ ඝටීකාරගේ නිවසට වැඩම කර සූදානම් කර තිබෙන ආහාරපාන ගැනීම ද සිදුකරනවා. එසේ කරනුයේ ඝටීකාරගේ පෙර දැනුම්දීම අනුවයි. අනතුරුව බුදුන් වහන්සේ අඳ මව්පිය දෙපළට පිං අනුමෝදන් කරනවා. ආපසු නිවසට පැමිණෙන ඝටීකාර ඒ බව අසා වඩාත් සතුටට පත්වෙනවා.
ඝටීකාර කාශ්‍යප බුදුන් වහන්සේ හමුවීමට නිතර විහාරයට ගිය නමුත් තම මිත්‍රයා වන ජෝතිපාල එය ප්‍රතික්ෂේප කළ කෙනෙක්. කාශ්‍යප බුදුන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ධර්මය ගැන කොතෙක් කරුණු කීවත් ඔහුටත් බැණ වැදී බුදුන් වහන්සේටත් බැණ වදිනවා. ඔහු අගය කළේ ධනය පමණයි. මේ ජෝතිපාල එසේ මෙසේ කෙනෙක් නොවෙයි. මතු බුදුවීමට පෙරුම් පුරාගෙන එන බෝධිසත්වයා අනාගත ගෞතම බුදුන් වහන්සේ “කෙසේ හෝ හොඳින් හෝ නරකින් තම කලණ මිතුරා කාශ්‍යප බුදුන් වහන්සේ කරා රැගෙන යන්නෙමි”යි තරයේ අධිෂ්ඨාන කරගත් ඝටීකාර සැලසුමක් ගැන කල්පනා කළා. වෙනදා වගේ දෙදෙනාම දිය නෑමට ගඟට බැස්සා. නාගෙන අවසන් වනවාත් සමගම “අද බුදුන් හමුවීමට යමු”යි ඝටීකාර යෝජනා කළා. ජෝතිපාල බැහැ කීවා. “තම මිතුරා කෙසේ හෝ අද බුදුන් වහන්සේ වෙත රැගෙන යන්නෙමි” යි සිතූ ඝටීකාර ජෝතිපාලගේ කෙහිවල්ලෙන් ඇද (එදා ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම කොණ්ඩ වවා තිබුණි) යමු” යි කීවා.
ඒ අවස්ථාවේ ජෝතිපාල මෙහෙම හිතුවා. ”මොහු කවදාවත් නැතිව මගේ ඇඟට අත තිබ්බා. කෙහිවල්ලෙනුත් ඇද්දා. මොකද මේ. අද නම් බුදුන් හමුවට යා යුතුයි” කියා සිතුවා. “හා එහෙනම් යමු” යි කීවා.
දෙදෙනාම කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි විහාරය කරා පා නැඟුවා. වෙනදා තනිවම එන ඝටීකාර අද ලස්සන තරුණයෙකු සමග විහාරයට එන බව බුදුන් දුටුවා. මේ පෙරුම් පුරාගෙන එන බෝධිසත්වයන් බවත්, මාගෙන් පසුව ‘ගෞතම’ නාමයෙන් බුද්ධත්වයට පත් වනුයේ මේ තරුණයා බවත් බුදු ඇසින් දුටුවා. විහාරය ළංවත්ම ජෝතිපාලගේ පෙර තිබූ අකැමැත්ත ක්‍රමයෙන් පහවී ගියා. ඝටීකාර සිරිත් පරිදි බුදුන් වහන්සේට වැඳ තම මිතුරා හඳුන්වා දුන්නා. ජෝතිපාලත් බුදුන් වහන්සේට වැන්දා. ටික වේලාවක් දෙදෙනාම බුදුන් වහන්සේ සමග සුහදව සාකච්ඡා කරමින් සිට “දැන් යමු”යි ඝටීකාර කීවා. බුදුන් වහන්සේ දෙදෙනාටම බණ දේශනා කළා. ජෝතිපාල හොඳින් ඇහුන්කන් දුන්නා. පැහැදුණා.
“ඝටීකාර ඔබ යන්න. මම විහාරයේ නවතිනවා” ජෝතිපාල කීවා. ඒ අනුව මහණ වුණා. අනාගතය ගැන මෙනෙහි කළ කාශ්‍යප බුදුන් වහන්සේ මොහු අනාගතයේදී ගෞතම නමින් බුද්ධත්වයට පත්වන බවට විවරණ ලබාදුන්නා. මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ අන්තිම නියත විවරණයයි. එහෙත් වයසට පත් අන්ධ මව්පිය දෙදෙනාට සැලකිය යුතු නිසා ඝටීකාර මහණ වූයේ නැහැ. ටික කලකට පසු ඒ මව්පිය දෙපළ මිය පරලොව ගියා. ඝටීකාර තවදුරටත් වළං සාදමින් සාධාරණ ජීවිතයක් ගත කරමින් සිට මරණින් පසු බඹලොව උපත ලැබුවා. ඒ මහා බ්‍රහ්මයා ලෙසයි. ජෝතිපාල හිමියෝ මරණින් පසු තුසිත දෙව්ලොව උපත ලැබුවා. දැන් ඔබට වැටහෙනවා ඇති බුදුන් වහන්සේත් මහා බ්‍රහ්මයාත් එකම භවයක මිනිස් ලොව ඉපිද කල්‍යාණ මිත්‍රයන් සේ කටයුතු කර ඇති ආකාරය. ගෞතම බුදුන් වහන්සේ සිද්ධාර්ථ නාමයෙන් දඹදිව කිඹුල්වත් නුවර උපත ලබා ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක අභිනිෂ්ක්‍රමණය කර නේරංජනා ගං තීරය අසලට පැමිණ තමන් පෙරවාගෙන සිටි ඉතා වටිනා කසී සළුව අහසට විසිකර ‘තමන් බුද්ධත්වයට පත් වෙනවා නම් මේ කසී සළුව අහසේ පාවේවා’යි කළ ප්‍රාර්ථනය අනුව එය ඉහළ ආකාශයේ පාවී ගිය කතාව ඔබ අසා ඇති. එදා ඝටීකාර නමින් සිටි දැන් මහා බ්‍රහ්මයා ලෙසින් බඹලොව සිටින මහා බ්‍රහ්මයා තම පැරණි මිත්‍රයා අහසට විසිකළ එම සළුව රැගෙන බඹලොවට ගොස් එම සළුව තැන්පත් කර සෑයක් හෙවත් චෛත්‍යයක් ඉදිකරවන ලදී. ‘සළුමිණි සෑය’ නමින් එය නම් කර ඇත. කල්‍යාණ මිත්‍රත්වයේ තරම මෙයින්ද පැහැදිලි වේ. එය නිර්මාණය කළේ තම කල්‍යාණ මිතුරාගේ ගුණ සිහිපත් කිරීමටය.
ඝටීකාර තරුණයා පිළිබඳ තවත් කරුණු රාශියක් ඇතත් ඉන් කීපයක් පමණක් කෙටියෙන් විමසා බලමු. කාශ්‍යප බුදුන් කාලයේ ඝටීකාර තම නිවසේ දානයක් සූදානම් කර බුදුන් වහන්සේට ආරාධනා කර තිබුණා. රටේ රජතුමා පැමිණ ඒ දිනයටම දානයට ආරාධනා කළා. බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. රජතුමා එයට හේතු විමසූ විට ඝටීකාර නම් වළං සාදන තරුණයා එදින දානයට ආරාධනා කර ඇති බවත්, එතුමා ළඟ උතුම් ගුණ තුනක් තිබෙන බවත් වදාළහ. ඒ කවරේ දැයි රජතුමා ඇසුයෙන් “ඝටීකාර මුදල් තණ්හාවෙන් වැළකී මුදල් අත ගාන්නේ නැති බවත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරන බවත්, රාත්‍රියට ආහාර නොගන්නා බවත් බුදුන් වහන්සේ වදාළහ.
ඝටීකාරගේ රැකියාව වළං සෑදීම බව මීට පෙරත් සඳහන් කළා. නමුත් මුදල්වලට වළං විකිණීම කළේ නැහැ. නිවස ඉදිරිපිට ශාලාවක නොයෙක් වර්ගයේ වළං ගොඩගසා තිබෙනවා. තමන්ට අවශ්‍ය වළං තෝරාගෙන එයට සරිලන සේ ඒ ඒ අයට තිබෙන ආහාර වර්ග, කුළු බඩු වර්ග, අල බතල වර්ග ශාලාවේ තැනෙක තබා යනවා. ඒ කාලේ මිනිස්සු පවට හරි භයයි. වැරදි වැඩ කරන්නේ නැහැ. කපටිකම් කරන්නේ නැහැ. එය එක්තරා භාණ්ඩ හුවමාරු ක්‍රමයක්.
ඒ වගේම ඝටීකාර වළං සඳහා මැටි ගැනීමට පොළව හෑරුවේ නැහැ. වළවල් කැපුවේ නැහැ. මීයන්, තලගොයින්, මුගටි ආදී සතුන් පොළව හාරා ඇද දමන පස් පමණයි වළං සෑදීමට යොදාගත්තේ. දුර බැහැර ගොස් ඒවා එකතු කර ගන්නවා. එසේ සාධාරණ ලෙස මුදල් සොයාගෙන තමයි අම්ම තාත්ත පෝෂණය කළේ. කාශ්‍යප බුදුන් වහන්සේට පිණ්ඩපාතය වැරදුනහොත් ඝටීකාරගේ නිවසට යනවා. ඝටීකාර පිළියෙල කර ඇති ආහාර ලබාගෙන ඒ දෙමාපියන්ට පිං අනුමෝදන් කර විහාරයට වඩිනවා. අම්ම තාත්තා සතුටට පත් වෙනවා. ඒ බව අසා දැනගත් ඝටීකාර සතුටට පත්වී සතියක්ම ආහාර නොගෙනම සතුට භුක්ති විඳිනවා.
දිනක් කාශ්‍යප බුදුන් වහන්සේගේ කුටිය වර්ෂාවට තෙමුණා. උන්වහන්සේ භික්ෂුන් අමතා ඝටීකාරගේ ශාලාවේ සෙවිලිකර තිබෙන පිදුරු අරගෙන එන ලෙස කීවා. ඒවා අරගෙන ගොස් කුටිය සෙවිලි කළා. මේ බව දැනගත් ඝටීකාර බොහොම සතුටට පත් වුණා. පසුවදා මහ වැස්සක් වැස්සා. නමුත් ඝටීකාරගේ ශාලාව වැස්සට තෙමුණේ නැහැ. එය අශ්චර්යවත් සිද්ධියකි. එයින් ඝටීකාර දින ගණනාවක්ම සතුටට පත් වුණා. මෙවැනි උදාර ගතිගුණ ඇති චරිතයකි. ඝටීකාර තරුණයාගේ චරිතය ඒ ගතිගුණ හා කරන ලද පිං මහිමය නිසාමයි මරණින් පසු බඹලොව උපත ලැබ මහා බ්‍රහ්මයා බවට පත්වුණේ.
ඝටීකාරගේ කල්‍යාණ මිත්‍රයා වන ජෝතිපාල කාශ්‍යප බුදුන් වහන්සේට මුඩු මහණ යනුවෙන් විවිධ අවස්ථාවලදී අපහාස කර ඇති අතර, ඝටීකාර වරින් වර බුදුන් දැකීමට එන ලෙස ඉල්ලීම් කරද්දීත් ‘ඔය මුඩු මහණ දැකීමෙන් කිසි ප්‍රතිඵලයක් නැති බවද පවසමින් අපහාස කර ඇත. මෙහි විපාකය හෙතෙම ගෞතම බුද්ධත්වයට පත්වූ පසුව විඳීමට සිදුවී ඇත. ගෞතම බුදුන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට පෙර වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ එහි විපාක ලෙස බව සඳහන්ය.
ඒ කෙසේ වෙතත් ජෝතිපාල හා ඝටීකාර කලණ මිතුරන් දෙදෙනාගේ චරිත අප හැමටම ලොකු ආදර්ශයකි. එය ආදර්ශයට ගෙන පාප මිත්‍ර සේවනයෙන් වැළකී කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ඔබත් අදිටන් කරගන්න.

