අසිරිමත් සිත

cmadurawala
9 Min Read

පූජ්‍ය අම්පිටියේ රාහුල හිමි

සුදුද්දසං සුනිපුණං
යත්‍ථකාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මෙධාවි
චිත්තං ගුත්තං සුබාවහං’

අද අප සිත ගැන ධර්මදේශනා කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා සිත පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක් මේ මාතෘකාවට ගත්තේ. පළමු කොට ඒ ගාථාවේ තේරුම කුමක්ද කියන එක අපි බලමු. ‘සුදුද්දසං’ සිත දැක ගන්න බොහොම අමාරු දෙයක්. ‘දුද්දසං’ කියන්නේ දැක ගන්නට අමාරුයි ‘සුදුද්දසං’ කියන්නේ හොඳටම අමාරුයි.

මේ සිත කිසි කෙනෙක් දැකලා නැහැ. සිත ඇහෙන් බලන්න, අතින් අල්ලන්න පුළුවන් දෙයක් නොවෙයි. මේක හරියට විදුලි බලය වගේ, විදුලි බලය කිසි කෙනෙක් දැකලා නැහැ. විදුලි බලයේ පිටස්තර විකාශය නම් පේන්න තියෙනවා. එක තැනක ලාම්පුවක් පත්තු වෙනවා. තව තැනක ඔරලෝසුවක් ක්‍රියා කරනවා විදුලිය බලයෙන් තව තැනක විදුලි පංකාවක් කැර කෙනවා. තව තැනක කෑම පුච්චනවා. ඔය විදිහට විදුලිය බලයේ පිටස්තර විකාශය පේනවා මිසක් විදුලි බලය පේන්නේ නැහැ.

ඒ වගේම මේ සිත ඇහෙන් බලන්න අතින් අල්ලන්න පුළුවන් දෙයක් නොවේ. මහ පුදුම බලවේගයක් මේ සිත කියන එක. හැම සත්ත්වයා තුළම සිතක් තිබෙනවා. මනුෂ්‍යයා කියන්නේ මේ සිතත් කයත් එකතු වූ තැන. මේ කයට මිනිස්සු බොහෝම සලකනවා. බොහෝම හොඳ කෑම කනවා. විටමින් ජාති ඔක්කෝමත් හොයලා කනවා. පුදුම විදිහට ඉන්ද්‍රියයන් පිනවමින් ඒ ආහාර පානාදිය ගන්නවා. ශරීරයට තමයි මේ ඔක්කෝම කරන්නේ. හොඳ ඇඳුම් අඳිනවා. හොඳ ගෙවල්වල වාසය කරනවා. හොඳ යාන වාහන පාවිච්චි කරනවා. ඔහොම මේ ශරීරයට සැප දෙනවා. දොස්තර මහත්වරු බලන්න ගිහිල්ලා අසනීපකම් තියෙනවා කියලා මේ ශරීරය පරීක්‍ෂා කර ගන්නවා. නොයෙක් විදිහට එහෙම ශරීරයට පුදුම සැලකිල්ලක් දක්වනවා. නමුත් සිතට දක්වන සැලකිල්ල බොහෝම මදි. හිත හොඳට හදාගත්තොත්. හිත හොඳට සංවර කරගත්තොත්, හිත හොඳට දියුණු කරගත්තොත්, හිත හොඳට අලංකාර කරගත්තොත්, හිත හොඳට පාලනය කරගත්තොත් බොහෝම සැපයි. බොහෝම සැපයි.

ජීවිතය හරිම භාග්‍ය සම්පන්න එකක් වාසනාවන්ත එකක් සිත හොඳට පාලනය කරගත්තොත්, දියුණු කරගත්තොත්. මේ දියුණු නොකළ සිත සියලුම අනර්ථයට මුල, දියුණු නොකිරීම නිසා අනාගතය බොහොම අඳුරු කරගන්නවා. තමන්ගේ ජීවිතය පමණක් නොවෙයි. අනුන්ගේ ජීවිතත් අඳුරු කරනවා. රටට කිසිම ශාන්තියක් යහපතක් නොවන විදිහට ජීවිතය ගත කරනවා. රටට බරක් වන විදිහට, තමන්ට බරක් වන විදිහට කටයුතු කරන්නේ සිත හොඳට හදා ගත්තේ නැති නිසයි.

බුදුරජාණන් වහන්සේ තරම් නිතර සිත පිළිබඳ දේශනා කරපු උත්තමයෙක්වත්, මනෝ විද්‍යාඥයෙක්වත් ලෝකයේ පහළ වූයේ නැහැ. ඒ නිසා ඔය අපරදිග මනෝ විද්‍යාඥයෝ පොත් ලියන්නට යනකොට මුලටම පෙරවදන ලියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෙක් ලෝකයේ පහළ වුණේ නැති බව. ඒක පරම සත්‍යයක්. ඒ සමහර මනෝවිද්‍යාඥයෝ අපරදිග අය අපේ ලංකාවට එනවා ඇවිත් සමහර විට අප සමග කියනවා ‘බුදුරජාණන් වහන්සේගේ මනෝ විද්‍යාව මහ පුදුම එකක්. අපේ මනෝවිද්‍යාඥයන්ට තියෙන්නේ බාහිර දේ පිළිබඳවයි. ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ අපේ මනෝ විද්‍යාව බොහෝම දුර්වලයි. ඒකේ නැහැ එහෙම එකක්’ කියලා ඒ ඇත්තෝම කියනවා.

බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහෝම කාලයක් තිස්සේ, සංසාරයේ අනාදිමත් කාලයක පටන් බොහෝම හිත දියුණු කරපු උත්තමයන් වහන්සේ. දාන පාරමිතාව පුරුදු කිරීමෙන් උන් වහන්සේගේ මසුරුකම ලෝභකම තුනීකර ගත්තා. ඊළඟට ශීල පාරමිතාව පුරුදු කිරීමෙන් තමන්ගේ කය, වචනය හොඳට සංවර කරගත්තා. භාවනාදිය පුරමින් පුදුම විදිහට හිත දියුණු කළා. පුදුම විදිහට ජාතියක් ජාතියක් පාසාම හිත දියුණු කළා.

ඔය ඝටීකාර සූත්‍ර අටුවාවේ තිබෙන එකක් තමයි සියලුම බෝධි සත්ත්ව උත්තමයන් වහන්සේලා බොහෝ ජාතිවල පැවිදි වන බව, පැවිදි වෙන එකත් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සම්පූර්ණ කිරීමක්. පැවිදි වුණාට පස්සේ ත්‍රිපිටකය හොඳට ඉගෙන ගෙන ආරණ්‍යයකට ගිහිල්ලා හොඳට භාවනා කරනවා හිත දියුණු කරගන්නට. මේ හිත දියුණු කර ගැනීම බොහෝම හොඳ දෙයක්. මේක ඉතාමත් හොඳයි මුස්ලිම් අයටත්, කතෝලික අයටත්, හින්දු අයටත්, බෞද්ධ අයටත්, කාටත් හොඳයි. පොදු දෙයක් මේක, කාටත් අයිති දෙයක් මේක. තමන්ගේ හිත දියුණු කරගන්නට නම් පළමු කොටම තමන්ගේ කය වචනය දෙක සංවර කරගන්නට ඕන. දැන් අපි ඒක විස්තර කරන්නට පෙර මේ ගාථාවේ තේරුම කියල ඉවර කරන්නට ඕන.

හිත දකින්න පුළුවන් දෙයක් නොවෙයි, ඇහෙන් ඒ වගේම හිත අතින් අල්ලන්න පුළුවන් දෙයකුත් නොවෙයි. හිත මහා පුදුම එකක්, මේ හිත වඩන්න පුළුවන් එකක්. පුදුම විදිහට වඩන්න පුළුවන් එකක්. බුද්ධාදී උත්තමයන් වහන්සේලා හිත හොඳට දියුණු කරගත් උත්තමයන් වහන්සේලා ඊට වඩා හිත දියුණු කරන්න පුළුවන් කමක් නැහැ.

ඒ නිසා උන් වහන්සේට පුදුම ඤාණ ශක්තියක් තිබුණා. ඤාණ සාගරයක් බුදුරජාණන් වහන්සේ. අර ත්‍රිපිටකය කියවලා බලන කොට පේනවා අවුරුදු 45 තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පණ්ඩිත ගෝචර උදාර අදහස් තමයි ඔය ත්‍රිපිටකයේ තිබෙන්නේ. ඒවා කියවන්න කියවන්න මනුෂ්‍යයාගේ ඤාණය දියුණු වෙනවා. බොහෝම උදාර අදහස් ඇති වෙනවා. ඔය නිසා තමයි ඉතිහාසඥ එච්. ජී. වේල්ස් ආදී පඬිවරුන් ත්‍රිපිටක ධර්මය කියවලා තිබෙන නිසා ලෝකයේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයන් කිහිපදෙනෙක් හොයන්න ගිහිල්ලා පළමුවෙනි අංකය දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේට. ඉන්දියාවෙන් දෙදෙනෙක් හොයා ගත්තා අනිත් උත්තමයා තමයි ධර්මාශෝක මහ රජතුමා ඒ බෞද්ධ විදිහට හොඳට හැදිලා හිත බොහෝම හොඳට දියුණු කරගෙන ලෝක ශාන්තියක් සලසපු මහා පුදුම කෙනෙක් ධර්මාශෝක රජතුමා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ උන්වහන්සේගේ පණ්ඩිත ගෝචර නිර්මල අදහස්. පින්වතුනි, දැන් අපි පොතක් කියවන විට ඒ පොතේ තියෙන්නේ ඒ කර්තෘගේ අදහස් තමයි. ඊට වඩා දෙයක් දෙන්න බැහැ. දැන් මේ විදුලි බලය තියෙන විට විදුලි බල්බයක් තිබෙනවා නම් ඒකෙ බලය තියෙන්නේ වොට්ස් 60ක් නම් ඊට වඩා ආලෝකයක් දෙන්න බැහැ. හැම මනුෂ්‍යයකුම තමන්ගේ බුද්ධි මට්ටමේ හැටියටයි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවේ හැටියටයි කථා කරන්නේ.

සමහර අය බොහෝම අසභ්‍ය පොත් ලියනවා. මොකද? හිත බොහෝම කිලිටියි. සමහරෙක් බොහෝම මනුෂ්‍යයාට යහපත් සිද්ධ වෙන ගුණ නුවණ වැඩෙන හොඳ අදහස් ඇති පොත් ලියනවා. යම් යම් අඩු පාඩුකම් තිබෙනවා මොකද ඒ ඇත්තෝ තරමක් දියුණු මිනිස්සු නමුත් සම්පූර්ණ අය නොවෙයි. බුදුරජාණන් වහන්සේ අන්තිමටම හිත දියුණු කළ උත්තමයෙක්. උන්වහන්සේ නිරවුල් සන්තානයක් ඇති උත්තමයන් වහන්සේ. කෙලෙස් පොඩ්ඩක්වත් හිතේ නැහැ. හිත බොහෝම පවිත්‍රයි කියන්න බැරි තරම් පවිත්‍රයි හිත.

ඒ පවිත්‍ර හිතට ගෝචර නොවන දෙයක් නැති තරම්. ඒ නිසයි උන් වහන්සේ සර්වඥතා ඤාණයට පත් වුණේ. සියල්ල උන්වහන්සේ දැක ගත්තා. අවබෝධ කර ගත්තා. ත්‍රිපිටක ධර්මය කියවලා බලන කොට පේනවා බුදුරජාණන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ද කියලා. ඔය එච්. ජී. වේල්ස් ආදී පඬිවරු ඒ වගේම අපරදිග සිටිය රීස් ඩේවිඩ් ආදී පඬිවරු ඒ විදියේ උගත් අය මේ ධර්මය කියෙව්වාට පස්සේ තමන්ගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සම්‍යක්දෘෂ්ටික වුණා. හරි දර්ශනයක් ඇති කර ගත්තා. ඒ නිසා තමන්ගේ රක්‍ෂාව ඔක්කෝම අතහැර දමලා පටන් ගත්තා මුළු ත්‍රිපිටක ධර්මයම මුද්‍රණය කොට බෙදා හරින්න. විශ්වවිද්‍යාලවලින් ඒක පටන් ගත්තේ. ඔය රිස් ඩේවිඩ් වැනි පඬිවරු බුද්ධ ශාසනයේ දියුණුවට බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය පිණිස පැතිරයෑම පිණිස බොහෝම උපකාර කළා. ඒ හොඳ අවබෝධයක් ඇති වුණ නිසයි.

බුද්ධාගම කියවන්න කියවන්න බොහෝම රසයි, බොහෝම රසයි. ඒ වගේම හිතන්න හිතන්න නිතර බොහෝම හිතට සැනසිල්ලක් ලැබෙනවා. පිළිපදින්න පිළිපදින්න බොහෝම සැපයි. පින්වතුනි. එබඳු ශ්‍රේෂ්ඨ ධර්මයක් බුද්ධ ධර්මය. ඔය බුද්ධ ධර්මය කියන එක ලෝකයේ කවදත් පවතින එකක් නොවේ. අභාවයට යනවා කලක් යන කොට, සත්‍යය වැහිලා තිබෙනවා.

බුදු කෙනෙක් සම්මා සම්බෝධියට පත්වෙලා ඒ උත්තමයන් වහන්සේලාගේ සර්වඥතාඤාණයෙන් හිත දියුණු කරපු බලයෙන් මේ ඔක්කෝම අවබෝධ කර ගන්නවා. ග්‍රහලෝකවල විස්තර කියන්න පුළුවන්. ඒවායේ ආයුෂ ගැන, ඒවල කොහොමද ගිහිල්ලා උපදින්නේ කියලා. ඔය දිව්‍ය ලෝකවල පහළම දිව්‍ය ලෝකය චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය යි. ඒ දිව්‍ය ලෝකයේ එක දවසක් අපේ අවුරුදු 50 යි. ඊළඟට තාවතිංස දිව්‍ය ලෝකයේ එක දවසක් අපේ අවුරුදු 100යි. ඕක ඔප්පු කරන්න පුළුවන් දෙයක්. පින්වතුනි, ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් සොයා ගන්නට අමාරුයි. එච්චරකට කරුණු දේශනා කරලා තියෙනවා. පුදුමයි එච්චරකට කරුණු දේශනා කරලා තියෙනවා. පුදුමයි මනුෂ්‍යයාගේ ඤාණ ශක්තිය වැඩෙන අන්දම. බුද්ධ ධර්මය කියවන්න කියවන්න. ඒ ගැන විමසා බලන්න බලන්න මේකේ ශ්‍රේෂ්ඨත්වය තමන්ට හොඳට වැටහෙනවා.

‘සුදුද්දසං’ කියන්නේ හිත බොහෝම දැක ගන්න අමාරු දෙයක්. ‘සුනිපුනං’ බොහෝම සියුම් දෙයක් මේ හිත. හරියට අර කලින් කිව්ව විදුලි බලය වගේ දැක ගන්නට බැහැ. හිතේ ක්‍රියාකාරිත්වය පේනවා මිසක් හිත පේන්නේ නැහැ. ඔන්න කෙනෙක් දේශනාවක් කරනවා, තව කෙනෙක් පෑනකින් ලියනවා, තව කෙනෙක් පොතක් කියවනවා. තව කෙනෙක් උදැල්ලක් අරගෙන පොළව කොටනවා, තව කෙනෙක් වාහනයක් එළවනවා. ඔය පිටස්තර විකාශය තමයි හිතේ. තව කෙනෙක් පැත්තකට වෙලා එරමිණිය ගොතාගෙන භාවනා කරමින් ඉන්නවා. ඔය හිතේ විකාශය තමයි පේන්න්. හිත පිටතට පේන්නේ නැහැ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *