මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ
ප්‍රාඥ පුරුෂ උත්තම චරිත හඳුනා ගැන්මෙහි ලා වන මූලික මඟ පෙන්වීමක් අපට විනය පිටකයේ පරිවාරපාලියෙන් ලබාගත හැකි වෙයි. ඒ ප්‍රාඥ පුරුෂ තත්ත්වය ලබාගැන්මෙහිලා ගෞතම බුදුන්වහන්සේ විසින් යෝජනා කරන ලද මාර්ගය වන්නේ යති ජීවිතයයි. යම්බඳු වූ යති ජීවිතය පෝෂණය සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු, යහපත් ගිහි ජීවිතයක් සකසා ගැන්මෙහිලා ද වැදගත් වෙයි.
විනය පිටකයෙන් අවධාරණය කැරෙන පරිදි විනයධර භාවය භික්ෂුවකගේ බැබළීමට බලපාන ප්‍රබල හේතුවකි. විනය යන වචනය දෙස බලද්දී අපට පෙනෙන්නේ එය ගිහි ජීවිතයට ද ඉතා වැදගත් වන බවයි. ‘විනය’ යන වචනය සැදෙන්නේ ‘විශේෂයෙන්’ යන අර්ථය දෙන ‘වි’ උපසර්ගය පූර්වයෙන් යෙදී ‘පැමිණවීම’ ‘ගෙන යෑම’ යන අර්ථ දෙන ‘නී’ ධාතුවෙනි. ඒ අනුව ‘විනය’ යනු විශේෂයෙන් ගෙන යෑමයි, විශේෂයෙන් පැමිණවීමයි, පමුණුවාලීමයි. මෙහිදී විශේෂ වූ තත්ත්වයකට, විශේෂ වූ හික්මීමකට පැමිණවීම ‘විනයෙන්’ අදහස් වෙයි. එය භෞතික වූ තනතුරු – උගත්කම් ආදියෙන් වන ඉහළයෑමක් නොව චරිතය සම්බන්ධයෙන් වන ‘උසස්වීමක්’ වෙයි. ඒ විනය තිබිය යුත්තේ භික්ෂුන් වහන්සේලාට පමණක් නොවේ. විනය ගිහියනට ද අවශ්‍යය. ඒ විනය පුරුෂයනට ද අවශ්‍යය, ස්ත්‍රීනට ද අවශ්‍යය.
යහපත් සමාජ පැවැත්මක් අපේක්ෂා කළ හැක්කේ විනය යැයි සම්මත කාරණා ගැන කතාකරමින් අවිනයෙහි හැසිරෙන අය සිටි තරමට නොව අභ්‍යන්තරයෙන්ම විනයෙහි පිහිටි පිරිසක් සමාජගත වන තරමට ය. එබඳු විනයක් අභ්‍යන්තරයේ ඇති විට එය ඒ චරිතයේ බාහිර ස්වරූපයෙන් ද ප්‍රකාශයට පත් වෙනවා ඇත. තරුණ සිද්ධාර්ථ කුමරු දුටුවිට කිසාගෝතමි නිබ්බුත පද කීවේ ඒ විනය ඔහු වෙතින් බාහිරව ද ප්‍රකට වූ නිසාය. ‘එයා හරි ප්‍රසන්න ළමයා, සීදේවී ගෑනු කෙනෙක්’ බඳු සමාජ කියැවීම්වලින් ප්‍රකට වන්නේ ද විනයයි. මේ ප්‍රාඥ පුරුෂයන් – ප්‍රාඥ ස්ත්‍රීන් සම්බන්ධයෙන් දැකිය හැකි එක් ලක්ෂණයකි.
විනයධර ප්‍රඥාවන්තයා – ප්‍රඥාවන්තිය කළ යුතු දෙය දනියි; නොකළ යුතු දෙය ද දනියි. භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන්, මේ සඳහා භාවිත කොට ඇති වචනය වන්නේ ආපත්ති සහ අනාපත්තිය. සමාජයේ බොහෝ අවුල් වියවුල්වලට හේතු වන්නේ කළ – නොකළ යුතු දේ දැන නොසිටීමය. එසේ නොදැන කටයුතු කරන මනුෂ්‍යයන් නිසා සමාජය අවුල් වෙයි.
නිදසුනක් ලෙස අපේ ජීවිතයට සමීප මංගල සහ අවමංගල අවස්ථා ගනිමු. මංගල ගෙදරක අවමංගල දේ සිදුවනු දක්නට ලැබේ. ‘මංගල’ යනු ශුභ දෙයයි, අශුභ දෙය නොවේ. මේ අනුව මඟුල් ගෙදරක, මත්පැන් තිබිය හැකි නොවේ. මංගල යනු අවමංගල්‍යය නොවේ. එහෙයින් ඒ ගෙදර කිසිදු ආකාරයකින් අවමංගල්‍යය කැඳවන තැනක් ඊට අනුබල දෙන තැනක් විය යුතු නොවේ. එහෙත් බොහෝ මඟුල් ගෙවල් සම්බන්ධයෙන් කිව හැක්කේ ඒවා අවමඟුල් ගෙවල් බවය. මන්ද කලින් ඇණවුම් කොට සතුන් මැරීම හෝ මැරවීම සිදුවන බැවිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට මංගල මේසය ලෙස දකින්නට ලැබෙන්නේ විවිධ සතුන්ගේ මාංසයන්ගෙන් පිරි අවමංගල මේසයකි. ප්‍රාඥ පුරුෂයන් – ප්‍රාඥ ස්ත්‍රීන් වෙසෙන සමාජයක නම් මෙය සිදුවිය හැකි නොවේ.
භික්ෂුන් වහන්සේලා මෙන්ම ප්‍රඥාවන්තයන් වනු කැමැති ස්ත්‍රීන් සහ පුරුෂයන් විසින් ද ලුහු ඇවත් හෙවත් ලහුක ආපත්ති, ගරු ඇවත් හෙවත් ගරුක ආපත්ති දැන සිටීම වැදගත්ය. මෙය ‘සුළු දේවල්’ සහ ‘මහ දේවල්’ දැනගැනීම ලෙස වඩාත් සරල කොට ගිහි ජීවිතයට බද්ධ කළ හැකිය. සුළු දෙය නොදැන මහ දෙය දත නොහැකිය. සුළු වරද තේරුම් නොගෙන මහ වරද තේරුම් ගත නොහැකිය. අපට බොහෝ විට දක්නට ලැබෙන්නේ සුළු දෙය නොව මහ දෙය දන්නා බව පෙන්වන ස්ත්‍රීහු ය, පුරුෂයෝ ය. ඒ ඇතැම් දෙනා උගත්ය, ධනවත්ය, බලවත්ය, රූමත්ය. මහ දෙය දන්නා බව ද කියති. ඒ අනුව හැසිරෙති. ඒ නිසා තමා ද අවුලට පත්ව සමාජය ද අවුල් කරති.
මෙහිදී අපගේ සිහියට නැඟෙන්නේ උපනිෂද් සාහිත්‍යයේ එන ශ්වේතකේතු චරිතයයි. ශ්වේතකේතු වූ කලී උපනිෂද් යුගයේ ජීවත් වූ කෙනෙකි. ඔහු දොළොස් හැවිරිදි කල ඔහුගේ පියා වන උද්දාලක ආරුණේය, පුතා ඉගෙනීම සඳහා ගුරුවරුන් වෙත යවයි. එසේ යන ශ්වේතකේතු පෙරළා එන්නේ අවුරුදු දොළහකට පසුවය. එනම් ඔහුට අවුරුදු 24දීය. එහෙත් පෙරළා ගෙදර එන්නේ ගෙදරින් පිටව ගිය අහිංසක දරුවා නොව වේදයන් ඉගෙන උගත්කමේ මානයෙන් දැපුණු අහංකාර පරවශ තරුණයෙකි. ඒ අහංකාර පරවශ භාවය ප්‍රකට කිරීම සඳහා උපනිෂද් භාවිත කරන්නේ ‘මහාමනා’, ‘අනූචානමානී’, ‘ස්තබ්ධමානී’ යන වචනයි. තමා සියල්ල දන්නේය යන තද වූ දැඩි වූ මානය ඇති බව යනු මෙහි අර්ථයයි.
අද කාලයේ හැටියට කෙනකුට තමාගේ විෂයයට අනුව බී.ඒ, බී.කොම්, බී.එස්.සී, එම්.ඒ, එම්.එස්.සී, පී.එච්.ඩී ආදි වශයෙන් වන උපාධි ලබා ගැන්මට අවුරුදු දොළහ හොඳටම ප්‍රමාණවත්ය. එදා තත්ත්වයේ හැටියට අද පීඑච්ඩී හෙවත් දර්ශනසූරි උපාධිය ලද තත්ත්වයට පත් වූ ශ්වේතකේතුගේ දැඩි මානය දැක සංවේගයට පත්වන පියා, සිය උගත් පුතුගෙන් මෙසේ අසයි.
‘පුත, ඔබ යම් ඥානයක් නිසා නොඇසූ දෙය ඇසූ බවටත් නොසිතු දෙය සිතූ බවටත් නොදත් දෙය දන්නා බවටත් ගියේ ද ඒ ඥානය ගැන මට කියන්න.’
උගත් පුත්‍රයාට මීට පිළිතුරු දීම තබා ප්‍රශ්නයවත් නොවැටහෙයි. පියා පවසන්නේ විවේක තැනකට ගොස් මේ ගැන සිතන ලෙසයි. අනතුරුව සිය පුතුට අසල ඇති නුග ගසින් නුග ඵලයක් ගෙනෙන්නැයි කියා එය දෙකට වෙන්කරන ලෙස කියයි. මෙසේ දිගින් දිගටම නුග ඇටය ඉතා සියුම් වන කොටස් දක්වා වෙන් කරවනු ලබයි. අවසානයේ පියෙවි ඇසට නොපෙනෙන තරම් වන එහි සියුම් අංශුව ගැන කියන පියා, මහා නුග වෘක්ෂය බවට පත්වන්නේ ඒ සියුම් සාරයම බව පවසයි. ඒ සියුම් සාරය තුළ මහා නුග වෘක්ෂයත් මහා නුග වෘක්ෂය තුළ ඒ සියුම් සාරයත් ඇති බව උද්දාලක ආරුණේය පවසයි.
ඒ අනුව මහ දෙය තුළ කුඩා දෙයත් කුඩා දෙය තුළ මහ දෙයත් ඇති බව ශ්වේතකේතු තේරුම් ගනියි. මේ අනුව තමා යනු ලෝකය බවත් ලෝකය යනු තමා බවත් ඔහුට වැටහෙයි. නන්දන වීරසිංහ කවියා ‘මහත් සඳ පිනි බිඳෙක’ යන ගුණයෙන් නොව ප්‍රමාණයෙන් කුඩා කාව්‍ය ග්‍රන්ථය ඔස්සේ සිංහල පාඨක සමාජයට දීමට වෑයම් කෙළේ ද මේ උපනිෂද් චින්තාව යි.
සුළු දෙය මහත් දෙය බවත් මහත් දෙය තුළ සුළු බවත් ඇත්තේය යන අවබෝධය ඇති ස්ත්‍රී පුරුෂයෝ, ප්‍රාඥ පුරුෂ – ප්‍රාඥ ස්ත්‍රී යන නමින් හැඳින්විය හැකි වෙති. එබඳු අය ජීවත්වන සමාජයක ජීවත්වන්නට ලැබීම ආශිර්වාදයකි. බුදුන්වහන්සේ ධරමාන සමයේ විසූ භික්ෂු – භික්ෂුණීන් වහන්සේ ද ඒ සදාශ්‍රය ලැබීමට භාග්‍යවත් වූ ගිහි චරිත ද ප්‍රාඥ පුරුෂ – ප්‍රාඥ ස්ත්‍රී සමාජයකට දිය හැකි උපරිම නිදර්ශනය යැයි සිතේ.
බොහෝ ඇසූ තැන් ඇති බව ද ඇසූ දේ දැරීම ද රැස් කිරීම ද යති ලක්ෂණයක් ලෙස පරිවාරපාලිය පෙන්වා දෙයි. මෙය ද ගිහි ජීවිතයට අවශ්‍යය. බොහෝ දේ දරාගත හැක්කේ ද බොහෝ දේ රැස් කළ හැක්කේ ද ඇසූ තැනැත්තාටය. එහෙත් බොහෝ දේ ඇසීම යනු, නළු නිළියන්, ලේඛකයන්, ක්‍රීඩකයන් කන බොන සැටි ඔවුන් කැමැති වර්ණ, ඔවුන් කැමැති දේශපාලනඥයන් ආදී විස්තර දැන, ඒවා රැස් කිරීම නම් නොවේ. ඇසූ දෙය අර්ථවත් විය යුතුය. ඒ අර්ථවත් බව තමාට මෙන්ම සමාජය සම්බන්ධයෙන් ද අර්ථවත් වූවක් විය යුතුය. මේ අනුව අසන දෙය අතුරින් අර්ථදායි අවශ්‍ය දෙය දරා ගැනීමත්, රැස් කිරීමත් සිදුවිය යුතු අතර තමාට හෝ සමාජයට අර්ථයක් නැති අනවශ්‍ය දෙය බැහැර කිරීමට හැකි විය යුතුය. මෙය ප්‍රඥාවන්ත පුරුෂයකුගේ ලක්ෂණයකි, ප්‍රඥාවන්ත ස්ත්‍රියකගේ ලක්ෂණයකි. ප්‍රඥාවන්තයා ධර්මය දනියි, ඒ අනුව ජීවත් වෙයි. ඒ ධර්මයේ මුලත් යහපත්ය, මැදත් යහපත් ය, අවසානයත් යහපත්ය. එබඳු ධර්මය පුද්ගලයා කැඳවන්නේ මාර්ග බ්‍රහ්මචර්යය වෙත යි.
බ්‍රහ්මචර්යය යනු භාෂාත්මක විග්‍රහයට අනුව ද උසස් හැසිරීමයි. ‘බෘහ්’ ධාතුවෙන් සැදෙන ‘බ්‍රහ්ම’ යන්නෙන් අදහස් වන්නේ මහත් බවයි, උසස් බවයි. ‘චර්’ ධාතුවෙන් සැදෙන ‘චර්යා’ යන්නෙහි අර්ථය හැසිරීමයි.
ධර්මය ජීවිතයට සම්බන්ධ කොටගත් ප්‍රඥාවන්ත පුරුෂයා ඒ අනුව ජීවත්වෙයි. ප්‍රඥාවන්ත ස්ත්‍රිය ද එසේය. ඒ ධර්මයේ මුලත් යහපත් ය. මැදත් යහපත් ය, අවසානයත් යහපත් ය. එබඳු ධර්මය පුද්ගලයා කැඳවන්නේ මාර්ග බ්‍රහ්මචර්යය වෙත යි. බ්‍රහ්ම චරණයෙහි – උසස් හැසිරීමෙහි යෙදෙන ප්‍රඥාවන්තයා මෙන්ම ප්‍රඥාවන්තිය ඇසූ දෙයි දරයි, වචනයෙන් පුරුදු කරයි, සිතින් සලකා බලයි, දර්ශනයෙන් විමසා බලයි. එබඳු වූ ඔහුට හෝ ඇයට ඇති වන්නේ පවිත්‍ර සිතකි. ඔවුහු සුවසේ හිඳිති; සුවසේ නිදති; සුවසේ අවදි වෙති. මෙබඳු වූ උත්තම චරිත ජීවිතාවබෝධය ලබන්නේ මේ භවයෙහි මිස මතු ආත්මභාවයකදී නොවේ. රහතන් වහන්සේ පිළිබඳ ව ප්‍රකාශිත යථෝක්ත කරුණු ගිහි ජීවිත සමග නැණ පමණින් සම්බන්ධ කිරීමට දැරු කිසියම් ප්‍රයත්නයකි, මෙම ලේඛනය අපට දැනෙන්නේ ලෝකයේ ජීවත්වන ඕනෑම පුරුෂයකුට ඕනෑම ස්ත්‍රියකට කවර හෝ මට්ටමක ප්‍රාඥ පුරුෂයකු ප්‍රාඥ ස්ත්‍රියක බවට පත්වීමේ වාසනා ගුණය ඇති බවය. මේ ජීවිත කාලය තුළ එබඳු ප්‍රඥාවන්ත පුරුෂයන් එබඳු ප්‍රඥාවන්ත ස්ත්‍රීන් දැකීමට, ඇසුරු කිරීමට අප කාටත් වාසනාව ලැබේවා!

