ඥානය හා සත්‍යය

cmadurawala
9 Min Read

ආචාර්ය ලබුදූවේ සිරිධර්ම හිමි

ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ චඞ්කී සූත්‍රයයි. චඞ්කී සූත්‍රය බුද්ධ ධර්මයේ උගන්වන ඉතාම වැදගත් ධර්‍ම කරුණු රාශියක් අඩංගු අතිවිශේෂ සූත්‍රයක්. මා හිතනවා යම්කිසි කෙනකුට බුද්ධ ධර්‍මය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබන්නට අවශ්‍ය නම් ඒ සියලු දෙනා විසින්ම ඉතා සැලකිල්ලෙන් උගත යුතු සූත්‍රයක්ය කියලා චඞ්කී සූත්‍රය. මූලික බුද්ධ ධර්‍මයෙහි උගන්වන ඉතාම වැදගත් කරුණු රාශියක් විශේෂයෙන් ඤාණ විභාගය, සත්‍ය සංකල්පය වැනි ගැඹුරු කරුණු රාශියක් උගන්වන සූත්‍රයක් චඞකී සූත්‍රය. ඒ නිසා වෙසක් පොසොන් සමය තුළ මේ වගේ සූත්‍ර ධර්‍මයන් මාතෘකා කොට ගෙන ධර්‍ම දේශනාවන් පැවැත්වීම ඉතාම වැදගත් බව කිව යුතුව තිබෙනවා. වෙසක් පොහෝ දිනයක බුද්ධත්වය ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වය කුමක් ද එහි ඇති අගය කුමක්ද කියලන වැටහෙන්නේ මෙබඳු සූත්‍ර ධර්‍මයන් පිළිබඳව අවධානය යොමු කරන විටයි. බුදුවීම කියන එක හරි හැටි තේරුම් ගන්නට බැහැ. උන්වහන්සේ ප්‍රකාශයට පත් කළ ඤාණ විභාගය, ඒ කියන්නේ බුද්ධ ධර්‍මයේ උගන්වන ඤාණය – නුවණ පිළිබඳ විග්‍රහය හරි හැටි තේරුම් ගන්නේ නැතිව. බුද්ධ ධර්‍මයේ ඤාණය පිළිබඳ විශේෂ විග්‍රහයක් කරනවා. බුද්ධ ධර්‍මයෙන් අදහස් කරන්නේ ලෝකයත් ජීවිතයත් පිළිබඳ නියම සත්‍ය කුමක්ද කියල පැහැදිලි කිරීමයි. ඒ සත්‍ය පැහැදිලි කරගන්නට අවශ්‍ය වන ප්‍රධාන උපකරණය තමයි ඤාණය – නුවණ. ඤාණය නැතිව සත්‍ය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ නෑ. සමහර විට සමහර ධර්‍මවල, බුද්ධ ධර්‍මයේ නොවෙයි, වෙනත් ධර්‍මවල භක්තියට විශ්වාසයට මූලස්ථානය දෙනවා. එහෙත් බුද්ධ ධර්‍මයේ මූලස්ථානය දෙන්නේ ඤාණයට. එසේ වීමට හේතුව ඤාණයෙන් තොරව සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා. මේ චඞ්කී සූත්‍රයේ සඳහන් වෙන්නේ ඤාණ විභාගය සහ සත්‍ය සංකල්පයයි.

මේ සූත්‍රය සෑහෙන තරම් දීර්‍ඝ සූත්‍රයක්. මේ සූත්‍රයට සම්බන්‍ධ දීර්‍ඝ කතාපුවතක් තියෙනවා. නමුත් මා කියන්න කැමැතියි, මා මෙහිදී ඒ දීර්‍ඝ කතාපුවත කිය කිය ඉන්නට අදහස් කරන්නේ නෑ. මේ වටිනා කාලය තුළ යමක අගය සාරය දැනගැනීමයි වඩාත් වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්‍ම – වැදගත් ධර්‍ම සමහර කතා ප්‍රවෘත්ති තුළ ඇතුළත් කරල තියෙනවා. ඒ කතාවලින් අදහස් කරන්නේ, විශේෂයෙන් ඒ වැදගත් ධර්ම කාරණා ටික රැකගැනීමයි. අප දන්නවා ඉතා වැදගත් දෙයක් ආරක්ෂා කරන්න සමහර නොවැදගත් දේ පාවිච්චි කරනවා. හොඳ වීදුරු ටිකක් ආරක්ෂා කරගන්න සමහර විට පිදුරු ටිකක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ බෞද්ධ සාහිත්‍යයේ යම් යම් කතා ප්‍රවෘත්ති දීර්‍ඝ වශයෙන් දක්වා තියෙනවා. සමහර සූත්‍රවලත් කතාප්‍රවෘත්ති දීර්ඝ වශයෙන් දක්වා තියෙනවා. එහෙම කරල තියෙන්නේ එහි අඩංගු විශේෂ ධර්ම ආරක්ෂා කරල දිගටම පවත්වා ගෙනයෑම සඳහා චඞ්කී සූත්‍රයට සම්බන්ධ දීර්‍ඝ කතා ප්‍රවෘත්තිය මා කියන්නේ ඉතා ලුහුඬින්.

බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරන සමයෙහි එහි තිබුණු එක්තරා බ්‍රාහ්මණ ගමකට දවසක් වැඩියා. ඒ බ්‍රාහ්මණ ගමෙහි නම ඕපසාද. මේ ඕපසාද කියන බ්‍රාහ්මණ ගම බොහෝම සශ්‍රීක, සංවර්ධිත, සියල්ලෙන් සම්පූර්ණ ගමක් හැටියට ඒ සූත්‍රයෙහි සඳහන් වෙලා තියෙනවා. මේ ගම කොසොල් රජතුමන් විසින් චඞ්කී කියන බ්‍රාහ්මණයාට නින්දගමක් හැටියට පරිත්‍යාග කරපු ගමක්. ඒ ගමේ පාලකයා අධිපතියා චංකී කියන බ්‍රාහ්මණයායි. ඔහු ඉතාම උගත්, ශ්‍රේෂ්ඨ, කාගෙත් සම්භාවනයට ලක්වූ මහාසාර කුලයට අයත් ධනවත් බ්‍රාහ්මණයෙක්. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එබඳු විශේෂ ප්‍රසිද්ධියක් ඇති බ්‍රාහ්මණයන් රාශියක් හිටියා. පොක්කරසාති, කූටදන්ත ආදී නම්වලින් සඳහන් වෙන එම බ්‍රාහ්මණයන් අතර ඇතුළත් වෙන ඒ ගණයේම උසස් පෙළේ බ්‍රාහ්මණයෙක් තමයි චංකී බ්‍රාහ්මණයා. මේ චංකී බ්‍රාහ්මණයා ඕපසාද ගමෙහි අධිපතිව වාසය කරන කාලයෙහි බුදුරජාණන් වහන්සේ ඒ ගමට වැඩලා ඒ ගමෙහි දේව වන කියන සල් වනයෙහි වැඩ සිටියා. මේ පුවත ආරංචි වුණු ඕපසාද ගමෙහි සිටිය සියලුම උගත් – මහලු – තරුණ – බාල සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ දක්නට ගියා. බුදුරජාණන් වහන්සේ ගැන විශාල කීර්තියක් ඒ කාලයේ තිබුණා. තමන්ට අයිති රජ සැපතක් අත් හැරල දාල බොහොම දුෂ්කර ක්‍රියා කරල බුද්ධත්වයට පත්වෙලා ඉතාම රමණීය විදිහට අර්ථවත් දේශනා පවත්වන උදාර පුරුෂයෙක්ය කියන රාවය සෑම තැනම පැතිරී ගොස් තිබුණා. ඒ නිසා උන්වහන්සේ ඒ ඕපසාද ගමට වැඩි බව අසා ඒ ගමෙහි සිටි සියලු දෙනාම උන්වහන්සේ දකින්නට වැල නොකැඩී යන්නට පටන් ගත්තා.

චංකී බ්‍රාහ්මණයා එදා දිවාවිහරණය කරමින් තමාගේ මන්දිරයේ උඩුමහල් තලයෙහි සිටින විට විශාල සෙනඟක් යනව දැකල තොරතුරු අහල ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩි බව දැනගෙන ඔහුත් එහි යන්නට අදහස් කෙරුවා. එහෙත් ඒ ගමේ ඒ ප්‍රදේශයෙහි අධිපතියා හැටියට හිටි ඒ චංකී බ්‍රාහ්මණයා ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට යනු දකින්නට සමහර බමුණන් කැමැති වුණේ නෑ. ඊට විරෝධය ප්‍රකාශ කළත් චංකී බ්‍රාහ්මණයා කියා සිටියා; ගෞතම බුදුරජාණන් වහන්සේ බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. බොහෝම වැදගත් කෙනෙක්. නව අරහාදී බුදුගුණයන්ගෙන් යුක්ත කෙනෙක්. එබඳු ශ්‍රේෂ්ඨ ආගන්තුකයකු මගේ ප්‍රදේශයට පැමිණියාම එතුමන් පිළිගන්නට යෑම මගේ යුතුකමක් කියලා. එයට ඒ සියලු දෙනාගේම අනුමැතිය ලබාගෙන මේ බ්‍රාහ්මණයා තවත් පිරිසක් පිරිවරාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ ශාල වනයට ගියා. ඒ යන වේලාවෙ එතැන විශාල බ්‍රාහ්මණ පිරිසක්, උගත් පිරිසක් බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් සිටියා. ඒ අවස්ථාවේදී චංකී බ්‍රාහ්මණයා එහි ගිහිල්ලා උන්වහන්සේට වැඳලා එකත්පසෙක සිටියා.

බුදුරජාණන් වහන්සේ ඍද්ධි බ්‍රාහ්මණයන් සමග සාකච්ඡා කරන අවස්ථාවේදී එතැන හිටිය කාපටික කියන තරුණ බ්‍රාහ්මණයෙක් වරින් වර ඒ කතාවට බාධා කරමින් ප්‍රශ්න නඟන්න පටන් ගත්තා. මේ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ මේ තරුණ බ්‍රාහ්මණයාට කිව්වා, මේ කතා කරන අතරේ ප්‍රශ්න නඟන්න එපා. මේ කතාව ඉවර වුණාට පස්සේ ඔබට අවස්ථාව ලැබෙයි, ඒ වෙලාවට කතා කරන්නෙයි කියලා. එවිට මේ චංකී බ්‍රාහ්මණයා නැඟීසිටලා බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා; ගෞතමයන් වහන්ස, මේ තරුණ බ්‍රාහ්මණයා වළකන්න එපා. මොහු බොහොම දක්ෂ තරුණයෙක්. මොහු බොහොම උගත් තරුණයෙක්. මොහු ත්‍රිවේදයේ පරතෙරට ගිය කෙනෙක්. ඔබවහන්සේ සමග සාකච්ඡා කරන්නට බොහොම සුදුසුකම් ඇති තරුණයෙක්. ඒ නිසා ඒ තරුණයාගේ කතාවට බාධා නොකර ඉඩ දෙන්නය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කෙරුවා, මේ චංකී කියන වැදගත් බ්‍රාහ්මණයා මෙසේ හඳුන්වන්නේ මොහු සුදුසු පුද්ගලයෙක් වෙන්න ඕන කියලා. සමහර විට බුදුරජාණන් වහන්සේ සිතන්නට ඇති තරුණයන්ට තැනක් දෙනඑක වැදගත් කියලා. ඒ නිසා උන්වහන්සේ මේ තරුණයා දිහා බැලුවා. බැලූ වෙලාවෙහි මේ කාපටික කියන බ්‍රාහ්මණ තරුණයා ව්‍යක්ත, බොහොම කතාවෙහි දක්ෂ තරුණයා, උගත් තරුණයා කල්පනා කළා; බුදුරජාණන් වහන්සේ මා දෙස බලනවා, මා උන්වහන්සේ සමග සාකච්ඡා කරන්නට ඕනෑ වැදගත් ප්‍රශ්න කීපයක් මා උන්වහන්සේගෙන් අසන්නට ඕන කියලා.

මේ සූත්‍රයේ තියෙන වැදගත්කම ඔන්න ඔතන ඉඳලයි වඩාත් පෙනෙන්නේ. ඇත්ත වශයෙන්ම මේකට චංකී සූත්‍රය කියල කිව්වට මේ සාකච්ඡාව ඇතිවෙලා තිබෙන්නේ ඒ කාපටික කියන බ්‍රාහ්මණ තරුණයාත් බුදුරජාණන් වහන්සේත් අතරයි. ඒ බ්‍රාහ්මණ තරුණයා ඉතා වැදගත් ප්‍රශ්න කීපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තැබුවා. බුදුරජාණන් වහන්සේ ඒක ඉතාම දක්ෂ විදිහට විසඳලා තියෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම පැහැදිලි වන්නේ උන්වහන්සේ උගත් බමුණන් සමග පඬිවරුන් සමග කළ සාකච්ඡාවලදියි. බුද්ධ ධර්මය කුමක්ද කියල තේරුම් ගත හැක්කේ; අන්න එබඳු සාකච්ඡා විමසිල්ලට ලක්කිරීමෙන් පමණයි. බුද්ධ ධර්මයෙහි නොයෙක් අංශ තියෙනවා. දාර්ශනික, මනෝ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, දේශපාලනික වැනි නොයෙක් අංශයන්ගෙන් පරිපූර්ණ ධර්මයක්; බුද්ධ ධර්මය. මේ සූත්‍රයේදී අපට දකින්නට පුළුවන් වුණා බුද්ධ ධර්‍මයේ ඉගැන්වෙන දර්ශන අංශයට අයිති ඤාණ විභාගය පිළිබඳ වැදගත් කරුණු රාශියක්. මේ සූත්‍රය පමණක් වුවත් හරියට තේරුම් ගැනීමෙන් බුද්ධ ධර්‍මය පිළිබඳ තේරුමක් ඇති කරගන්ට පුළුවන්. ඤාණය කියන්නේ මොකක්ද? සත්‍ය කියන්නේ මොකක්ද? ඤාණය, සත්‍ය ලැබීමට උදවු වෙන්නේ කොහොමද? මේ ඤාණය, සත්‍ය ලබා ගැනීම සඳහා හේතුඵල ධර්මතාවය අනුව උපයෝගි වෙන්නෙ කොහොමද? මෙන්න මෙබඳු ප්‍රශ්න රාශියක් මේ සූත්‍රයේ අඩංගු වෙනවා.

පළමුවෙන්ම මේ කාපටික කියන බ්‍රාහ්මණ තරුණයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම සැලකර සිටියා.

“ගෞතමයන් වහන්ස, මේ බ්‍රාහ්මණයන් වේදය ගරු කරන පිරිසක්. ඒ වේදයේ උගන්නලා තියෙන, සම්ප්‍රදායානුකූලව ඔවුන්ට අයත්වී තිබෙන මන්ත්‍ර පද, ඒ බමුණන් සලකනවා ඉතාම ශ්‍රේෂ්ඨත්වයෙන්. ඔවුන් තීරණයකට බැහැලා ඉන්නවා ඒ වේදයේ සඳහන් සියල්ලම සත්‍යයයි. ඒ වගේම එයින් බැහැර සියල්ලම අසත්‍යයයි. ඔවුන්ගේ තීරණය ‘ඉධ මෙව සච්චං මොඝ මඤ්ඤං’ මෙන්න මේ වේදයේ සඳහන් දේ විතරයි සත්‍ය, අනිත් ලෝකයේ සියල්ලම හිස් – වැරදියි. ඔවුන් එබඳු තීරණයකට බැහැලා ඉන්නවා. “බොහොම වැදගත් කරුණක් මේක. එදා පමණක් නොවෙයි අද වුණත් බොහෝ දෙනා කල්පනා කරල තියෙනවා තමන් පිළිගත්ත දේ තමන්ගේ මතය තමන්ගේ දෘෂ්ටිය පමණයි හරි, අනෙක් සියල්ල වැරදියි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *